ආණ්ඩුවේ පනත් සංශෝධනය ආණ්ඩුවෙන්ම පරද්දයි


පනත ගෙනා ඇමැතිත් විරුද්ධව ඡන්දය දීලා

ජවිපෙත් ඡන්දය මගහරී

(අජන්ත කුමාර අගලකඩ)  

පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමට අදාළව පළාත් පාලනය, පළාත් සභා සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් පෙරේද‌ා (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සීමා නිර්ණ වාර්තාව ආණ්ඩුවත් විපක්‍ෂයත් එක්ව වැඩි ඡන්ද 139කින් පරාජයට පත් කළේය.  


වාර්තාවට පක්‍ෂව එක ඡන්දයක් හෝ නොලැබුණු අතර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ විෂය බාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ද වාර්තාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක් විය.  
ආණ්ඩුවේ ප්‍රධාන පක්‍ෂ දෙක වන එක්සත් ජාතික පක්‍ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ෆයිසර් මුස්තාපා ඇමතිවරයා වාර්තාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරද්දී ආණ්ඩුවේම ශ්‍රීලනිප සෙසු මන්ත්‍රීවරු විසිදෙදෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියහ.   


වාර්තාවට පක්‍ෂව ඡන්දය දෙන බවට දිගින් දිගටම ප්‍රකාශ කළ ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය විමසන අවස්ථාවේ දී සභාවේ නොසිටියේය.  


ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සැලකිය යුතු පිරිසක් විවාදය හෝ ඡන්දය විමසන අවස්ථාවේ දී සභාවේ නොසිට මඟහැර සිටීම ද දක්නට ලැබිණි. ආණ්ඩුව විසින්ම ඉදිරිපත් කරන ලද වාර්තාවක් ආණ්ඩුව විසින්ම පරාජයට පත් කරන ලද අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.  


මෙවැන්නක් මෑත ඉතිහාසයේ වාර්තා වූ පළමු අවස්ථාව ලෙස ද ඔවුහු පෙන්වා දෙති.