ආණ්ඩුවේ ගැටුම ලෙහන්න අගමැති මැදිහත්​ෙවයි


සාකච්ඡාව 19 වැනිදා

(අජන්ත කුමාර අගලකඩ)  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එක්ව මෙවර මැයි දිනය සමරන්නේ ද නැද්ද යන්න අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 19 වැනිද‌ා පැවැත්වෙන ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කිරීමට නියමිතය.  


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනමත්, හවුල්කාර පක්ෂ වෙනමත් මැයි දිනය සැමරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ දැඩි කතාබහක් මේ වන විට ඇතිව තිබේ.  

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් ඉකුත් බ්‍රහස්පතින්ද‌ා (08) රාත්‍රියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙ රැස්වූ අවස්ථාවේ දී ද මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව එම රැස්වීමට සහභාගි වූ පක්ෂ නායකයෙක් ඉරිද‌ා ලංකාදීපයට පැවැසීය.  


ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ හවුල්කාර පක්ෂ අතර ඇතිව තිබෙන මතවාදී ගැටුම මේ සඳහා බලපා ඇති අතර ලබන 19 වැනිද‌ා අගමැතිවරයා සමඟ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ලංකා සම සාමජ පක්ෂය වෙනම මැයි රැලි පැවැත්වීමට අදහස් කරන බව එම පක්ෂ දෙකේ නායකයන් ඉකුත් බ්‍රහස්පතින්ද‌ා පැවැති හවුල්කාර පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත.  


මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව මැයි දින රැලියක් පැවැත්වීමට අවශ්‍ය වුවහොත් සංවිධාන කටයුතු සඳහා පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි දින කමිටුවක් පත්කර ඇත.