ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිපයෙන් ජනපතිට යෝජනාවලියක්


 

(දයාසීලි ලියනගේ)  
රජය තුළ තම සහභාගීත්වය වෙනුවෙන් ඉදිරි වසර දෙකහමාරක කාලය තුළ ක්‍රියාත්මක කළ යුතු වැඩ පිළිවෙළ ඇතුළත් යෝජනාවලියක් මේ මස අගදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කිරීමට වත්මන් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් පිරිසක් තීරණය කර ඇත.  


මෙම යෝජනාවලිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විසින් දැනටමත් සකස් කරමින් සිටින බව ස්වදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති ඩබ්ලිව්.ඒ. නිමල් ලංසා මහතා “ඉරිදා ලංකාදීප”යට පැවැසීය.  

ගතවූ වසර දෙකක කාලය තුළ රජය ගෙන ගිය ආර්ථික, සංවර්ධන කටයුතු පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බැවින් ඉදිරි කාලය තුළ රජය ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් කර මෙම යෝජනාවලිය සකස් කරනු ලබන බවද නිමල් ලංසා මහතා පැවැසීය.  මෙතෙක් රජයේ වැඩපිළිවෙළ පිළිබඳව සෑහීමකට පත් නොවී බලවත් කළකිරීමට පත්ව සිටින රජයේ මැති ඇමැතිවරුන්ගේ අත්සනින් ඉදිරිපත් කරන යෝජනාවලිය අවධානයට ගෙන ඒ සඳහා තීන්දු තීරණ නොගතහොත් තදබල තීන්දුවලට එළඹීමට ඇතැම් මන්ත්‍රීවරුන් දැනටමත් තීන්දුකර සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.