අලුත් මන්ත්‍රීවරුන්ටත් කොරෝනා නීති


මහජන ගැලරියට අමුත්තන් කැඳවීම සීමා කරයි

(අජන්ත කුමාර අගලකඩ)  

ලබන මස 5 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් තේරී පත්වන අභිනව පාර්ලිමේන්තුව කොවිඩ්-19 වයිරසය හමුවේ සෞඛ්‍යාරක්ෂිතව රැස්කිරීම සඳහා වන සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මේ සතියේ දී පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තාවේ.  

එම සෞඛ්‍යය නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට සකස් කෙරෙමින් පවතින බව ද එම අමාත්‍යාංශ ආරංචිමාර්ග කියයි.  


කොවිඩ් 19 වයිරසය හමුවේ පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට අදාළ වන සෞඛ්‍ය නිර්දේශ මාලාවක් ලබාදෙන්නැයි පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.  


ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් ද ඉකුත්දා පවත්වා ඇත.  


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා සභා ගැබේ අසුන් ගැන්වීම ගැටලුවක් නොවන නමුත් මහජන ගැලරියට අමුත්තන් කැඳවීම සීමා කරන්නට සිදුවනු ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇති බව ද වාර්තා වේ.  


පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම් පැවැත්වීම, පුස්තකාලය පරිහරණය, මන්ත්‍රීවරුන්ගේ හා අමුත්තන්ගේ භෝජනාගාර ආදිය සම්බන්ධයෙන් ද අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මෙම නිර්දේශ මාලාවට ඇතුළත් වනු ඇති බව පැවසේ.