අලුත් පාර්ලිමේන්තුව එනතුරු ආණ්ඩුවේ වියදම් හිරවෙයි


  • කෝටි තිස්හය දාහක බිල්ගෙවන්න සල්ලි නැතුව පොහොර - බෙහෙත්  ගෙන්වීමත්  අඩාලයි

 

 

(අජන්ත කුමාර අගලකඩ)   

ඉකුත් වසරේ නොගෙවූ බිල්පත් පියවීම සඳහා රුපියල් කෝටි 36,700 ක අරමුදල් සොයා ගැනීම වෙනුවෙන් රාජ්‍ය ණය සීමාව වැඩි කිරීමට අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කළ යෝජනාව ආණ්ඩුව විසින් ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් එම හිඟ බිල්පත් පියවීම බරපතළ අර්බුදයක් බවට පත්ව ඇත.   


ඒ අනුව ණය සීමාව වැඩි කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම නව පාර්ලිමේන්තුව රැස්වනතෙක් කල්යනු ඇත. 


නව පාර්ලිමේන්තුව පත්වී අලුත් අයවැයක් ඉදිරිපත් කර බිල්පත් පියවීමට අවශ්‍ය අරමුදල් වෙන්කර ගන්නා තෙක් මේ අනුව ආණ්ඩුවට බලා සිටීමට සිදුව තිබේ.   

එසේ වුවත් ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරමුලේ මුදල් භාවිතා කිරීමට බාධාවක් ඇති නොවන හෙයින් රජයේ සෙසු කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකියාව ලැබේ.
ඉකුත් වසර කීපය තුළ රජයේ සේවාවන් සහ සංවර්ධන කාර්යයන් සඳහා ගෙවීමට ඇති රුපියල් කෝටි 15,600 ක පමණ හිඟ බිල්පත් සහ විදේශීය ණය ලෙස රුපියල් කෝටි 21100 ක මුදල්ද ඇතුළුව රුපියල් කෝටි 36,700 කට අධික වියදම් පියවීම වෙනුවෙන් අරමුදල් සොයා ගැනීමට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබිණි.   


එම මුදල් සොයා ගැනීම සඳහා රජයේ ණය සීමාව රුපියල් කෝටි 36,700 කින් ඉහළ දැමිය යුතුව තිබූ අතර එය ඉකුත් ඔක්තෝබර් මාසයේ සම්මත කරන ලද අතුරු සම්මත ගිණුමට සංශෝධනයක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට කැබිනට් අනුමැතිය දී තිබිණි.   


එහෙත් එම සංශෝධන යෝජනාව ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට විපක්ෂය සූදානම් වූ බැවින් ආණ්ඩුව විසින් යෝජනාව ඉවත්කර ගනු ලැබීය. මේ තත්ත්වය තුළ රජයේ ණය සීමාව වැඩි කිරීමට පාර්ලිමේන්තුවෙන් අනුමැතියක් නොලැබීම නිසා මහා භාණ්ඩාගාරයට එම මුදල ණය වශයෙන් ලබා ගැනීම ගැටලුවක් වී ඇත. 

 
රජය විසින් නිරවුල් කිරීමට ඇති බිල්පත් අතර වෛද්‍ය සැපයුම් සේවා, රෝහල් ඇතුළු සෞඛ්‍ය සේවා පවත්වා ගැනීම, ඉකුත් ජනාධිපතිවරණයේදී ලබාගත් සේවා වෙනුවෙන් රජයේ සේවකයන්ට හා රාජ්‍ය ආයතනවලට කළයුතු ගෙවීම්, ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලී සහනාධාරය, පොහොර සහනාධාරය ආදිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් කෝටි 10,100 ක පමණ බිල්පත්ද මහාමාර්ග ව්‍යාපෘති, ගම්පෙරළිය ව්‍යාපෘති, ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය ආදී සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු රුපියල් කෝටි 5500 ක පමණ හිඟ බිල්පත්ද ​ෙවන බව වාර්තා වේ.