අලුත් පනතෙන් බුද්ධි අංශ සාමාජිකයන්ට රැකවරණ


(අජන්ත කුමාර අගලකඩ)  

මෙරටදී හෝ ඉන් පිටතදී ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, භෞමික අඛණ්ඩතාවට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අවස්ථාවලදී බුද්ධි අංශවලට ක්‍රියාත්මක වීමට හා බලාත්මක වීමට හැකිවනසේ නව නීතිමය ක්‍රමවේදයක් සකස් කිරීමට රජය තීරණය කර ඇත.  

ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලය, රාජ්‍ය බුද්ධි සේවය, ත්‍රිවිධ හමුද‌ාව හා පොලිසිය යටතේ ක්‍රියාත්මක බුද්ධි ආයතන සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශය ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වන අතර එම බුද්ධි අංශ මෙහෙයුම් ආශ්‍රිත ක්‍රියාකාරකම් පාලනය හා බලාත්මක කිරීම මෙමගින් සිදුකෙරෙනු ඇත.  

 

 බුද්ධි අංශ පාලනයට හා මෙහෙයුම් කටයුතුවලට සහාය වීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන මෙරට නීති පද්ධතිය තුළ නොමැතිවීම සැලකිල්ලට ගනිමින්, මෙම නව වැඩපිළිවෙළ සකස් කිරීමට තීරණය කර තිබේ. බුද්ධි අංශ විසින් සිදුකරනු ලබන මෙහෙයුම්වලදී ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බුද්ධි අංශ ක්‍රියාකාරකම් නීති පද්ධතිය තුළ අපරාධයක් හෝ වරදක් බවට පත් කිරීමටත් බුද්ධි අංශ සාමාජිකයන්ගේ වගකීම් සහ මුක්තිය හඳුන්වා දීමට සහ බුද්ධි ආයතනවල ක්‍රියාකාරීත්වය සඳහා ​ නෛතික වගකීමක් පැවරීමටත් මෙමගින් ප්‍රතිපාදන සැලසෙනු ඇත.  


මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික බුද්ධි පනත නමින් නව පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.