අයවැය විවාදයේ දින ගණන අඩුවෙයි


කොරෝනා උවදුර පාර්ලිමේන්තුවටත්

 

(අජන්ත කුමාර අගලකඩ)  

කොවිඩ් අර්බුදය හේතුවෙන් මෙවර පාර්ලිමේන්තුවේ අය වැය විවාදය සඳහා වෙන් කෙරෙන දින ගණන ද බොහෝ දුරට අඩුවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ලබන වසර සඳහා වන අය වැය අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ.   

අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව දෙවන වර කියවීමේ විවාදය සතියක පමණ කාලයක් ද අය වැය කාරක සභා අවස්ථා විවාදය මාසයක පමණ කාලයක් ද සාමාන්‍යයෙන් පැවැත්වේ.   
එහෙත් මෙවර කොවිඩ් අර්බුදය නිසා අය වැය දෙවන වර කියවීමේ විවාදය සහ කාරක සභා අවස්ථා විවාදය සඳහා වෙන් කෙරෙන දින ගණන අඩු කිරීමට ඉඩ ඇති බව පැවැසේ.   


මේ සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (29) පැවැති පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් යෝජනා හා අදහස් ඉදිරිපත් වී ඇත.   


ඒ අනුව අය වැය දෙවන වර කියවීමේ විවාදයේ දින ගණන අඩු කිරීමට අමතරව කාරක සභා අවස්ථාවේ අමාත්‍යාංශ සියල්ලම විවාදයට නොගෙන අමාත්‍යාංශ කිහිපයක් කමිටු මට්ටමින් සාකච්ඡා කර එකවර විවාදයට ගැනීම සම්බන්ධයනේ ද සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.   


කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීරණය පක්ෂ නායකයන් මේ සතියේදී රැස්වී ගනු ඇතැයි ද වාර්තා වේ.   
කොරෝනා හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු ද එක් දිනකට පමණක් සීමා කිරීමට පක්ෂ නායකයන් තීරණය කර ඇත. මේ අතර මේ වසර සඳහා වන අය වැය විසර්ජන පනත් කෙටුම්පත ද ලබන 12 සහ 13 යන දෙදින තුළ විවාදයට ගෙන සම්මත කිරීමට ද තීරණය කර ඇත.