අඩු වයිරස් ප්‍රමාණයකින් කොරෝනාව ඇඟට රිංගන්න පුළුවන්


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ

  • වැඩි නැඹුරුව තරුණ ප්‍රජාවට

(උපුල් වික්‍රමසිංහ)   

ශ්‍රී ලංකාවේ පැතිර ගිය කොවිඩ් 19 පළමු හා දෙවැනි රැලිවලදී ව්‍යාප්ත වූ වයිරස් ප්‍රභේද හා සැසඳීමේ දී දැන් පැතිර යන බ්‍රිතාන්‍යය වයිරස ප්‍රභේදය ස්වසන පද්ධතියට ඇතුළු වීමේ හැකියාව වැඩි බවත් ආසාදනය වීමට අවශ්‍ය වයිරස් ප්‍රමාණයද ඉතා අඩු අගයක් ගන්නා බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය ඉරිදා ලංකාදීපය සමග සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවාය. 

පෙර පැතිර ගිය වයිරස ප්‍රභේද ආසාදනය වූවන්ගෙන් සියයට අනූවකට වැඩි ප්‍රතිශතයකට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළද මෙම බ්‍රිතාන්‍ය වයිරස ප්‍රභේදය ආසාදනය වූවන්ගේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ප්‍රතිශතය සියයට පනහ දක්වා අඩුව ඇතැයි පවසන මලවිගේ මහත්මිය උණ, උගුරේ අමාරුව සහ ඇඟපත වේදනාව වැනි සුළු රෝග තත්ත්වයන් පෙන්නුම් කරන බවද සඳහන් කළාය. 
තවද මෙම බ්‍රිතාන්‍ය වයිරස ප්‍රභේදය ආසාදනය වූවන්ගෙන් දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් කරන ප්‍රතිශතයද වැඩි වී ඇතැයි කී මහාචාර්යවරිය වයිරසය තරුණ ප්‍රජාවට ආසාදනය වීමෙ ඉහළ නැඹුරුවක් පෙන්නුම්කරන බවද ප්‍රකාශ කළාය.