අගෝස්තු දක්වා රජයේ සියලු වියදම් සීමා කරයි


(දයාසීලි ලියනගේ)  

ලබන අගෝස්තු මාසය දක්වා අමාත්‍යංශ හා රාජ්‍ය ආයතනවල මුදල් වියදම් කළ යුතු වන්නේ මේ වනවිටත් වැඩ ආරම්භ කර තව දුරටත් පවත්වාගෙන යා යුතු ප්‍රමුඛ අවශ්‍යතාවන් වන විෂයයන් සඳහා පමණක් බව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා සියලු අමාත්‍යංශ ලේකම්වරුන් පළාත් සභා ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නියම කර ඇත.  

ඉදිරි මාස තුන සඳහා මෙම ආයතනවලට මුදල් වෙන්කර ඇති අතර එම මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන්ද නියමයන් සඳහන් කරමින් උපදෙස් නිකුත් කර තිබේ.  


ඒ අනුව වියදම් දැරීමේදී දැනටමත් නිමකර ඇති කාර්යයන් සඳහා ඉදිරිපත් වී ඇති බිල්පත් නිරවුල් කිරීමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු අතර රාජ්‍ය ආයතන සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීම් කල් දැමීමටත් වියදම් දැඩිව පාලනය කිරීම සඳහා විධිවිධාන යෙදීමටත්, ප්‍රමුඛත්වයෙන් අඩු වියදම් කපා හැරීමටත් සියලුම ආයතන ප්‍රධානීන් වග බලා ගත යුතු බවටත් උපදෙස් දී තිබේ.