​හම්බන්තොට වරාය චීනයට දී ​ගත් මුදලට කරන දේ


දුම්රිය වර්ජනය, පළාත් පාලන ඡන්දය, විවිධ රැස්වීම් හා උත්සව මෙන්ම ජාත්‍යන්තර දූත පිරිස් හමුවීම් ආදිය නිසා ගෙවී ගිය සතිය ද අගමැතිවරයාට කාර්ය බහුල විය.   


බ්‍රහස්පතින්දා උදේ වෙනදාටත් කලින් නිවසින් පිටත් වූ ඔහු මුළින්ම අවමංගල්‍ය උත්සව කිහිපයකට ගියේය. 

 
පසුව ජනාධිපතිවරයා ද හමුවීමෙන් අනතරුව අරලියගහ මැදුරට පැමිණි අගමැතිවරයා විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් සමග විශේෂ සාකච්ඡාවකට එක්විය.   


සභානායක හා උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල ද ඊට එක්විය. විශ්වවිද්‍යාලවල ගැටලු අඩු පාඩු මෙන්ම රාජ්‍ය අධ්‍යාපනය තුළ තවත් සිසුන් දහස් ගණනකට ඉඩකඩ සැපයීම මෙන්ම වෛද්‍ය අධ්‍යාපනයට අදාළ අවම සුදුසුකම් ගැන ද එහිදී අවධානය යොමු විය.   
‘‘ලෝකයේ කිසිම රටක රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් විතරක් අධ්‍යාපනය සපුරන්න බැහැ. ලොව පුරා පෞද්ගලික සරසවි අධ්‍යාපනයද තිබෙන්නේ ඒකයි. අපේ නිදහස් අධ්‍යාපනය උපරිමව රැකගන්නා ගමන්, එය දියුණු කරන ගමන් ඊට සම්බන්ධ වීමට නොහැකි සිසුන්ට පෞද්ගලික අධ්‍යාපනය හරහා ඉඩකඩ දීම සියලු ආණ්ඩුවල ප්‍රතිපත්තියයි’’ අගමැතිවරයා කළ පැහැදිළි කිරීම උප කුලපතිවරු සියලු දෙනා පිළිගත්හ.   


වයඹ, රත්නපුර හා කටුබැද්දේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල තුනක් ළඟදී පටන් ගන්නවා. රුපියල් කෝටි 50ක් විශ්වවිද්‍යාල ගොඩනැගිලිවලට වෙන් කළා.   


සිංගප්පූරුව නිදහස ලබන විට කොළඹ විශ්ව විද්‍යාලයටත් යටින් තිබුණ එක සරසවියයි තිබුණේ. අද ඒක ලොව දියුණුම දහය අතරට ඇවිත්. අප තාම එකම තැනයි ඉන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල කීය.​   


භෞතික දියුණුව ආණ්ඩුව ඇති කරනවා. අපේ විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය ඉහළ දාලා ලොව හොඳම ඒවා අතරට ගේන එක ඔබලාගේ වගකීමයි. අගමැති කීය.   


අනතුරුව චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සබදතා අංශයේ ප්‍රධානීන්ගෙන් යුතු චින දූත පිරිස ද අගමැතිවරයා හමු විය.   


චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය නව ආර්ථික සබඳතා හරහා නව මාවතකට පිවිස ඇති බවත්, එය තවදුරටත් ශක්තිමත් කිරීමටත් මෙහිදී දෙරටම එකඟ වූහ.   


අනතුරුව සුපුරුදු ලෙස අගමැතිවරයා හමුවීමට අරලියගහ මැදුරට පැමිණ සිටි මැති ඇමැතිවරුන් සමග පිළිසඳරක යෙදීමට ද ඔහු අමතක කළේ නැත.   


සජින් වාස් වැරදිකරු වෙලත් රුපියල් 1000ක් දඩය නියම කිරීම ගැන මිනිස්සු දොස් කියනවා. මිනිස්සු හිතන්නේ මේක පිටි පස්සේ ආණ්ඩුව ඉන්නවා කියලයි රන්ජන් රාමනායක කීවේය.   


‘‘මිනිස්සු මා එක්කත් ඒ ගැන බැණ තිබෙනවා. රටේ පවතින නීති වෙනස් කරන්න වෙනවා. උසාවි තීන්දුවට ආණ්ඩුවට කරන්න දෙයක් නැහැ. ලක්ෂ්මන් කිරිඇල්ල කීය.   


ලොව දූෂිතම රටවල් 04ට ලංකාව වැටිලා කියා තව ලෙඩක් පත්තු වෙලා දයා ගමගේ කීය.   


එහෙම එකක් නැහැ. ඕවා මේ ආණ්ඩුවට විරුද්ධව පතුරන මඩ. ගිය රජය කාළේ තිබු ඔය චෝදනාව දැන් නැහැ. අගමැති කීය.   


රාජපක්ෂලගේයි වටේ හිටපු අයගේයි කෙරුවාවල් නිසයි, රටට එදා දූෂිත ලේබලය වැදුණේ. ගයන්ත කරුණාතිලක කී දේ අගමැතිවරයා ද අනුමත කළේය.   


ජිවන බර අඩු මට්ටමට තියා ගන්න අප මෙතෙක් සමත් වුණත් හදිසි නියඟ ගංවතුර නිසා හාල්, පොල් හා එළවළු ප්‍රශ්න ළඟදී ආවා. ඒවා තාවකාලිකව රටින් ගෙන්වා දිගු කාලීන විසඳුම් ජනවාරිවල පාර්ලිමේන්තුවට දානවා.   


ආපදා නිසා කෘෂිකර්මය හා රටේ ආර්ථිකය වැටෙන්න ඉඩ නොතබන ලෙස අැමැති අනු කමිටු වාර්තාව ආවාම ක්‍රියා මාර්ග ගන්නවා අගමැතිවරයා කීය.   


බැඳුම්කර කොමිසම දාපු එක හොඳයි. ඒත් ගිය රජයේ හොරකම් සොයන්න එක කොමිසමක්වත් නොදැමීම ගැන මිනිස්සු ප්‍රශ්න කරනවා රන්ජන් කීය.   


ජනාධිපතිතුමාව හමු වුණාම ඒක කියන්න අගමැතිවරයා කීවේ සිනා සෙමිනි.   


ඔව්! ගිය රජයේ දූෂණ ගැන පරීක්ෂණ විතරයි. තාම කොමිෂන් නැහැ. මිනිස්සු ඒ ගැන මගෙනුත් ඕන තරම් අහලා තියෙනවා. වජිර අබේවර්ධන කීය.   


දුම්රිය වර්ජනය දින හතක් ඇදුනා. අන්තිමට වෘත්තීය සමිති දිනා ගත්ත දෙයක් නැහැ. ජනතා රැල්ලක් විරුද්ධව ආවාම අකුළා ගත්තා ලක්ෂ්මන් කිරිඇල්ල කීය.   


දුම්රිය වෘත්තීය සමිතිවල හුඟ දෙනෙකු මට කතා කළා. සා/පෙළ විභාගය දඩමීමා කරගෙන කළ වර්ජනය නිසා ඒ වෘත්තීය සමිති නායකයන්ගේ ගෙවල්වල දරුවන්ම විරෝධය පළ කරනවා කිව්වා. අප විභාගෙට යන වෙලාවේ මේ වගේ පටු වර්ජන දියත් කළොත් මොකද වෙන්නේ කියා ඒ ළමයි වෘත්තීය සමිතිවල තම පියවරුන්ගෙන් ප්‍රශ්න කරන තරමට වැඩේ අවුල් වුණා කියලත් ඇතැම් වෘත්තීය සමිති නායකයන් මට කිව්වා. අගමැතිවරයා කීය.   


රටට විශාල ණය බරක් වූ හම්බන්තොට වරාය සියයට 70 හා සියයට 30 අනුපාතයට චීනය එක්ක එකතු වෙලා සංවර්ධනය කරන්න ගහපු ගිවිසුමේ පළමු වාරිකය ලෙස ලැබුණු ඩොලර් දස ලක්ෂ 294 අපේ විදේශ සංචිතවල දැමීමේ අරමුණ ගැන මිනිසුන්ට එච්චර අවබෝධයක් නැහැ ලක්ෂ්මන් කිරිඇල්ල කීය.   


අපේ විදේශ සංචිතවල මෙතෙක් තිබුණේ ණයට ගත්ත ඩොලර් පමණයි. අවුරුදු 25කට පසුවයි, අපේම ඩොලර් විදේශ සංචිතයේ තැන්පත් කළේ. ඒක රටට වාසියක්. රුපියලේ අගය පවා ඒ නිසා යම් තරමකට ශක්තිමත් වේවි අගමැතිවරයා පැහැදිලි කළේය.   
‘‘ජනාධිපතිතුමා ඒකාබද්ධෙ පාර්ලිමේන්තු අය ගලවන විට ඔබතුමා ගමේ ඒකාබද්ධය ගලවලා එජාපයට ගන්නවා. ඔවුන් දැන් නන්නත්තාර වේගන එන්නේ’’ දයා ගමගේ කීවේය.   


‘‘අප ගම් මට්ටමින් ගන්නෙත් දූෂණ චෝදනා නැති අය විතරයි. ඒ නිසා හුඟ දෙනෙකු ගන්නත් අපට අමාරු වේවි. මොකද, ශ්‍රීලනිප හිටපු ප්‍රාදේශීය සභාවල අයගෙන් සියයට 90ක් ගමට තිත්ත වෙච්ච අයයි’’ අගමැති කීවේය.   


‘‘දැන් කේ.පී. කොහෙද ඉන්නේ කියා සමහරුන් අහනවා. කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදීත් ඒක මතුවුණා’’ ගයන්ත කරුණාතිලක ඇසුවේ අගමැතිගෙනි.   


‘‘කේ.පී. ඉන්න තැනක ඇති. ඒ තැන කොතන ද කියා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අහන්න’’ අගමැතිවරයා කීය.   


‘‘ඇ​ෙමරිකාව ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගන්නා බව ප්‍රකාශ කළා. ලංකාවේ ස්ථාවරය මොකක්ද? දයා ගමගේ ඇසීය.   
ඇ​ෙමරිකාවේ ඒ තීන්දු එක්ක අපට හැප්පෙන්න අමාරුයි. ටෙල්අවීව් නගරයෙන් අපේ කාර්යාල මාරු කළ යුතු නැහැ. ඇ​ෙමරිකානු තානාපති ඇවිත් මාව හමුවුණාම මා තත්ත්වය පැහැදිළි කළා.   


මැද පෙරදිග සාම වෑයමටත් ඇ​ෙමරිකාවේ මේ තීන්දුව බලපාවි කියා මා පෙන්නා දුන්නා අගමැතිවරයා පැහැදිළි කළේය.   


මේ රජය ඇ​ෙමරිකන් ගැතියි කියා කියන මහ බොරුවට මේ ස්ථාවරය හොඳ උත්තරයක් දයා ගමගේ කීය.   


වෛද්‍ය විද්‍යාලවලට ශිෂ්‍යයන් ගැනීමේ අවම සුදුසුකම ලෙස එක වසරකදී රසායන විද්‍යාව, භෞතික විද්‍යාව හා ජීව විද්‍යාව තුනෙන් දෙකකට සම්මාන හා අනිකට සාමාන්‍ය සාමාර්ථ අවශ්‍ය බවට ප්‍රකාශ කළාම දොස්තර සංගමය ඒකටත් බෑ කීම පුදුමයි. මෙතෙක් අවශ්‍යව තිබුණේ සාමාර්ථ තුනක් විතරයි ලක්ෂ්මන් කිරිඇල්ල මතුකළේ‍ එයය.   


අවම ප්‍රමිතිය යෝජනා කළේ‍ ආණ්‍ඩුව නොවෙයි. වෛද්‍ය සභාවයි. වෛද්‍ය සභාවේ තීන්දු අනුව කටයුතු කරන්න කියා මෙතෙක් ආණ්ඩුවට බල කරපු දොස්තරලා මෙතනදී වෛද්‍ය සභාවේ තීන්දුව පිළිගන්නෙ නෑ කීම පුදුම දෙයක් අගමැති කීය.   


ශ්‍රීලනිපය ඡන්ද පදනම ගත්තාම මහින්දලාට හුඟක් යටින් හිටපු බව පෙනුනත් ඒකාබද්ධ අය කිහිප දෙනෙකු බා ගැනීම නිසා ඒකාබද්ධේ දෙදරලා, ශ්‍රීලනිපය උඩට ගියා ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ අගමැතිටය.   


ඔහු නළල රැලි ගන්වා ඉවත බලා ගත්තද කිසිවක් කීවේ නැත.   


ඒ වුණාට ශ්‍රීලනිපෙ ‘‘හාඩ් කෝ’’ එක තාම ශ්‍රීලනිපයට විරුද්ධයි. ඔවුන්ගෙන් බහුතරය තාම ඉන්නේ මහින්ද එක්කයි. ඡන්දය යන අතරේ ශ්‍රීලනිපයට තව උඩට එන්න නම් තව හුඟක් දේවල් කරන්න වේවි. ගමේ තත්ත්වය එහෙම බවයි, මන්ත්‍රීවරුන් හුඟ දෙනෙකු මට කිව්වේ. මැති ඇමැතිවරුන් කීප දෙනෙකු කීවේ එවැන්නකි.   


මේ ඡන්දයේ දී සියයට 60 හෝ උපරිම සියයට 65යි ඡන්ද ප්‍රකාශ වෙන්නේ. පාවෙන ඡන්ද පාවිච්චි වෙනවා නම් ඉන් අති බහුතරය එජාපයටයි. නැතිනම් ඒ ඡන්ද ගෙදර නවතීවි. පාවෙන ඡන්ද වෙන පැත්තකට යාවි කියා හිතන්න අමාරුයි අගමැතිවරයාගේ විග්‍රහය එය විය.


 

කතානායකට සිහිපත් වූ ​සූරියආරච්චි ගුරුතුමා කවුද?

කතානායක කරු ජයසූරිය මහතාට ඉකුත් සතියේ තම පාසල් දිවිය මතක් වෙන සිදුවීමක් ඇතිවිය. එයට හේතු වූයේ 6 වැනි ශ්‍රේණියේ දරුවන්ගේ නිර්මාණ ඇතුළත් ‘‘ඇසි දිසි මානයේ’’ 6 පොඩ්ඩන්ගේ නිර්මාණත් රැගෙන තමා හමුවීමට ආ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ධර්මසේන මහතා ගුරුවරුන් හා දරු පිරිස දුටු විගසය.   



මෙහිදී සිය පාසල් දිවියේ අපූර්ව මතක සටහන් අවදි කළ කරු ජයසූරිය මහතා කීවේ ‘‘අපේ කාලේ හමු වූ ශ්‍රේෂ්ඨ ප්‍රතාපවත් ගුරුවරු තවමත් අපේ හිත්වල ජීවත් වෙනවා. මට මතකයි අපේ සිංහල ඉංග්‍රීසි භාෂා ඥාණය පෝෂණය කරපු සූරියආරච්චි ගුරුතුමා පන්තියට ඇවිත් සුදෝ සුදු කවි පන්තියේ එන ‘‘කටුරොඳ ගම්මානය’’ කළුලෑල්ලේ ඇඳපු හැටි. තවමත් අපේ හිතේ ඒ සුන්දර ගම්මානය මැවෙන්නේ එතුමාගේ මතකයත් එක්ක’’ එතුමා සියසිරිගේ පාසල් ගමන කියන අපූරු පොත විස්තර කරපු හැටි කියූ කතානායක කරු ජයසූරිය මහතා ‘‘ගොඩ මඩ දෙකම සරු සාරය ඵලබරය’’ කවියේ මුල් පදය මුමුණන විට ගුරුවරු හා දරුවෝ ද එක්ව ඉතිරි පද කිහිපය මුමුණමින් ගැයූහ.   


කතානායකවරයා තමාට සිංහල ඉගැන් වූ සූරියආරච්චි ගුරුතුමා ලෙස ගෞරවයෙන් සිහි කළේ අන් කිසිවකු නොව ගුරු වෘත්තියෙන් සමුගෙන පසු කලෙක මෙරට දේශපාලනයේ පතාක යෝධයකු බවට පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම්වරයකු සහ කීර්තිමත් ඇමැතිවරයකු වූ දිවංගත එස්.කේ.කේ. සූරියආරච්චි මහතාය.


 

​රත්නෙළුම්වලයායට  ​වතුර

පසුගිය දා සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා තිස්සමහාරාමයට නුදුරු ගමකට ගියේ වකුගඩු රෝගීන් කීප දෙනෙකුගේ සුවදුක් බලා ඔවුන්ට ආධාර උපකාර කර ඒම සඳහාය. එහි එක් නිවසක දී සජිත් සමග කතාවට එක් වූ පාසල් දරු දැරියන් හතර පස් දෙනෙක් කීවේ ‘‘මාමේ අපේ ගම රත්නෙළුම්වලයාය. අපේ ගමට වතුර නෑ. බොන්නේ අපිරිසිදු වතුර’’ කියාය. එම දරුවන්ගේ දුක්මුසු කතාව ඇසූ සජිත් ඒ මොහොතේම ප්‍රජා ජල දෙපාර්තමේන්තුවට නියෝග කළේ වහා එම ගම්මානයට ගොස් එහි ජල ප්‍රශ්නය සොයා බලා ඊට ජල සම්පාදනය කිරීමට දින 4ක් තුළ ඇස්තමේන්තුවක් ලබා දෙන ලෙසය.   


ඒ අනුව රුපියල් 44,056,608.23 (කෝටි 4.4)ක ඇස්තමේන්තුව සජිත් අතට පත් වූ අතර රත්නෙළුම්වලයාය සහ රබර්වත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකේ පවුල් 400ක් ඉලක්ක කර ගත් ජල සම්පාදන සැලැස්ම සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ මුදල් පරිත්‍යාග කිරීම සිදුවුණේ‍ ගම්මාන දෙකේම වැසියන්ගේ සහභාගීත්වයෙනි.   


මෙම ව්‍යාපෘතිය සමග සජිත්ගේ සිහියට ආවේ සිය පියාගේ කාලයේ ක්‍රියාත්මක වුණු ජංගම අමාත්‍යාංශ වැඩපිළිවෙලය. සජිත් ඒ මෙහොතේ එහි සිටි නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති පලන්සූරිය මහතා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේ ‘ගමින් ගමට - දොරින් දොරට’ යටතේ ජනවාරි මස 01 වැනි දා සිටම අමාත්‍යාංශ ජංගම සේවාවක් දිවයින පුරා අරඹන     ලෙසය.