​හකීම් - රිෂාද් ​කැබිනට් රැස්වීමේදී ගැටුමක


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානයට මුල පුරමින් තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත් කළේ ගිය සති අන්තයේය. ඒ සඳහා පක්ෂයේ මධ්‍යම කාරක සභාවත් සමස්ත ලංකා කාරක සභාවත් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයට ගිය ඉරිදා උදේ 9.00 ට කැඳවා තිබුණේ ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙනි. රැස්වීම් ශාලාවේ ඉදිරිපස අසුන් විධායක සභිකයින්ට පනවා තිබූ අතර, ඉන් පිටුපසට වන්නට සමස්ත ලංකා කාරක සභිකයින්ට අසුන් පනවා තිබිණි. එහෙත් සමස්ත ලංකා කාරක සභිකයින්ගෙන් ද සමහරුන් ඉදිරිපෙළ අසුන්වල ඉඳගන්නටවීම නිසා සමහර විධායක සභිකයින්ට පිටුපසට යන්නට සිදුවිය. රැස්වීම් දෙකම එකට පැවැත්වූ නිසා අත්සන් ලේඛන දෙකක් ද සූදානම් කර තිබිණි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ද ආරාධනය කර තිබුණ ද ඔවුන් පැමිණ සිටියේ නැත. එහෙත් හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා නම් කලින්ම පැමිණ සිටියේය.


විධායක සභාව ආරම්භවීමට පැයකට පමණ පෙර විජිතමුනි සොයිසා ඇමැතිවරයා සහ නුවරඑළිය සංවිධායක රොෂාන් ගුණවර්ධන අතර ඇතිවූ බහින්බස්වීම ගුටි කෙළියක් දක්වා දුරදිග නොගියේ අවට සිටි අයද මැදිහත් වී ගැටුම සමථයකට පත් කරන්නට වූ බැවිනි. විජිතමුණි සොයිසා නුවරඑළියේ කළ සංචාරයකදී එහි සංවිධායක රොෂාන් ගුණවර්ධන දැනුවත් නොකළ බවට එල්ල වූ චෝදනාව මේ ගැටුමට මුල්විය. ඇයි අපේ ආසනවලට එනකොට අපිට කියන්නේ නැතිව වෙන අයත් එක්ක එන්නේ.’ රොෂාන් ඇසුවේ විජිතමුණි ගෙනි. මම හදිසියේ ආවේ. අනෙක අපේ ආයතනයක වැඩකට. මොකක්ද ඒකෙ වැරැද්ද යැයි විජිතමුණි ඇසුවේය. මම එහේ සංවිධායක. අපි ඉන්නේ බල මණ්ඩල හදන්න සංවිධාන කටයුතු හදන්න විතරදැයි රොෂාන් අහද්දී ‘මම දන්නේ නෑ ඒක.’ යැයි විජිතමුණි උත්තර දුන්නේ ගණනකට නොගෙනමය. රොෂාන්ට ඒකට යකා නැග්ගේය. ‘ඔය වගේ බලු වැඩ කරන්න එපා’ යැයි ඔහු සොයිසාට කීවේය. සොයිසාගේ ඉවසීමේ සීමාව ද ඉක්මවා ගිය බැවින් කොහෙද හලෝ සොයිසලා බලු වැඩ කරල තියෙන්​ෙන’ යැයි කියමින් රොෂාන්ගේ ඇඟට පැන්නේය. දෙපස සිටි පිරිස මැදිහත්ව බේරන්නට වූ නිසා ගුටි බැට හුවමාරුවකට නොගොස් වැඩේ එතනින්ම හමාර කරන්නට හැකි විය.


ජනාධිපතිවරයා උදේ 10.05 ට පමණ පැමිණි අතර එස්.බී., දුමින්ද සහ අමරවීර ගොස් ජනාධිපතිවරයා පිළිගෙන රැස්වීම් ශාලාවට කැඳවාගෙන ආවෝය. පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කළේ දුමින්ද දිසානායකය. පක්ෂ ව්‍යවස්ථාව අනුව සභාපති ධුරය හැර අනෙකුත් සියලු තනතුරු අහෝසි වන බවත් තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත්කර යුතු යැයි යෝජනා කරන බවත් මහලේකම් දුමින්ද කීවේය. අනතුරුව කතා කළේ ජනපති මෛත්‍රිය. පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සඳහා දින 45 කට තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත්කරන බව ජනාධිපතිවරයා කීවේය. ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළේදී සභාපති විදියට මාත් ඉවත් විය යුතු නම් කියන්න යැයි ජනාධිපතිවරයා කීවේ සිනාසෙමිනි. එහෙත් කිසිවකු ඒ ගැන කිසිවක් කීවේ නැහැ. ජනාධිපතිවරයා තාවකාලික නිලධාරි මණ්ඩලය ප්‍රකාශයට පත් කළේය. ඊට අනුව දුමින්ද දිසානායක පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කර තිබිණි. එය ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායමද දිගින් දිගටම කියා සිටි ඉල්ලීමකි. දුමින්දගේ මහලේකම් කමට යෝජනා කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසය. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග දිගටම කටයුතු කළ විද්වතෙකි. චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රි යන නායකයින් තුන්දෙනා සමගම වැඩ කළ විද්වතෙකි. පක්ෂයේ අනුශාසක මණ්ඩලය ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ඇමැති දි.මු. ජයරත්න යන මහත්වරුන් පත්කරගනු ලැබූහ. නිමල් සිරිපාල, ජෝන් සෙනෙවිරත්න, බැසිල් හා අනුර යාපා යන මැති ඇමැතිවරු ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස පත්වූහ. සුසිල් හා අනුර යාපා ඒ වන විට සිටියේ විදේශගත වෙලාය.


ෆවුසි, අමුණුගම, අමරවීර, දයාසිරි, රෙජිනෝල්ඩ් කුරේ, පියසේන ගමගේ, විජිතමුණි. මහින්ද සමරසිංහ, ඩිලාන්, ෂාන් විජයලාල්, අංගජන් රාමනාදන් උප සභාපතිවරුන් ලෙස පත්වූහ. සියඹලාපිටිය, සරත් ඒකනායක, ධර්මසිරි දසනායක, ඉසුර දේවප්‍රිය, චාමර සම්පත්, ලසන්ත අලගියවන්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්​ෙල් සුමේධා ජයසේන යන පිරිස උපලේකම්වරුන් ලෙස පත්වූයේ ජනාධිපතිවරයාගේ යෝජනාවකිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පත් කරන්නට ජනාධිපතිවරයා යෝජනා කළේය.


ජනාධිපතිවරයා අදහස් දක්වමින් කීවේ පෙබරවාරි 10 වැනිදා ඡන්ද ප්‍රතිඵලය ගැන විවිධ අය විවිධ අදහස් මත පළකරන බවය.තමාගේ අදහස නම් 10 වැනිදා ජනතාව පොහොට්ටුවට ඡන්දය දුන්නේ පොහොට්ටුවට ගමේ බලය දීමට නොව, ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරෝධය පළකිරීමක් ලෙස බව ජනාධිපතිවරයා කීවේය. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන තමාට අහන්න තිබෙන බව කී ජනාධිපතිවරයා මේ යන්​ෙන් බණ්ඩාරනායක ප්‍රතිපත්තියේ නොවන බව කීවේය. මේ වසර අග වන විට පළාත් සභා කීපයක ඡන්දය පවත්වන බව කී ජනාධිපතිවරයා එය ද ඉලක්ක කර ගනිමින් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ගමට ගෙනියන්නැයි කීවේය.
ශ්‍රිලනිප මහ​ෙල්කම් ධුරයට රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත්කළේ හදිස්සියට වුවද ඔහු ඊට පත් කරන්නට ජනාධිපතිවරයා සැලසුම් කර තිබුණේ සති ගණනාවක සිටය. ගිය සෙනසුරාදා මහනුවර උත්සවයකට ගිය ජනපති මෛත්‍රි, උත්සවය අවසන් වී මහනුවර ජනපති මැදුරට ගියේය. එහි සිට ජනාධිපතිවරයා රෝහණ ලක්ෂ්මන්ට දුරකථන ඇමැතුමක් ගෙන විමසා සිටියේ මේ මොහොතේ සිටින්නේ කොහිද කියාය. මහනුවර සිටින බව කී විට ඔහුට ජනපති මැදුරට එවෙලේම එන්නැයි ජනාධිපතිවරයා දැනුම් දී තිබිණි. එහිදී ජනාධිපතිවරයා තම අදහස පියදාස මහතාට ප්‍රකාශ කර තිබූ අතර ඊට ඔහුගේ ද එකඟතාව පළවිය. ඒ අනුව පහුවදා උදේ බත්තරමුල්ල අපේ ගමේදී සමස්ත ලංකා කාරක සභාව හා විධායක සභාව පැවැත්වෙන බැවින් රෝහණ ලක්ෂ්මන්ට ඊට සහභාගි වන ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දී තිබිණ. රෝහණ ලක්ෂ්මන් එදින රාත්‍රි 10.00 ට පමණ බිබිලේ සිට ආ බස් රථයෙන් කොළඹට පැමිණ සිය නවාතැනට ගොස් පහුවදා බත්තරමුල්ල රැස්වීමට ගියේය.

 

 

සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි අඟහරුවාදා උදේ පැවැත්වූවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. කැබිනට් සාකච්ඡාව යන අතරේ රාවුෆ් හකීම් ඇමැතිවරයා නෝක්කාඩුවක් කීවේ උතුරු පළාතේ නැවත පදිංචි කිරීමේ කමිටුවට තමා ද ඇතුළත් කරන ලෙස ඉල්ලමිනි. හකීම්ගේ කතාවට උත්තර දුන්​ෙන් රිෂාද් බදියුදීන්ය. රිෂාද් හකීම්ගේ යෝජනාවට එකහෙළා විරුද්ධ විය. ඔහු කීවේ හකීම් නුවර කෙනෙකු නිසා උතුරේ නැවත පදිංචි කිරීමේ කමිටුවට ඔහු ඇතුළත් කිරීමේ අවශ්‍යතාවක් නැති බවය. එහෙත් හකීම් දිගටම කීවේ තමාද මෙම කමිටුවට ඇතුළත් විය යුතු බවය. මම නුවර නිසා දාන්න බැරි නම් දුමින්ද දිසානායකයි, ෆයිසර් මුස්තාපයි කොහොමද ඔය කමිටුවේ ඉන්නේ යැයි හකීම් තර්කයක් මතු කළේය. රිෂාද් ඊට උත්තර දෙමින් කීවේ දුමින්ද දිසානායක ජනාධිපතිතුමා විසින් පත්කළේ උතුරේ සිංහල අය නැවත පදිංචි කිරීම ගැන හොයන්න. ෆයිසර් පත්කරල තියෙන්නේ. පළාත් සභාව සම්බන්ධිකරණය කරන්න කියාය. ඇමැතිවරුන් දෙදෙනා අතර වාදය උණුසුම් වචන හුවමාරුවක් දක්වා දුරදිග ගියේය.


මේ අතර කල්පිටියේ අවතැන්වූවන්​ෙග් මුස්ලිම් පාසල් නඩත්තුව උතුරු පළාත් සභාවෙන් නතර කර ඇතැයි රිෂාද් කීවේය. ගුරුවරුන්ගේ පඩිත් නවත්තලා. පාසල් ටිකත් අයින් කරලා යැයි රිෂාද් කීවේය. ඔහු කීවේ එම පාසල් වයඹ පළාත් සභාවට ගන්නැයි උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් කියා ඇති බවය. මේ අතර ඔහු කීවේ තම ජනතාව පදිංචි කරවීමද හරියට සිදුව නැති බවය. මම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් අතහැරලයි ආවේ. ඒ ආවේ එකඟතාව ඇතිව. රිෂාද් කීවේය. මේ අතර හකීම් කීවේ රිෂාද් සලකන්​ෙන් ඔහුගේ අයට පමණක් බවය. ඒකට රිෂාද්ට ද යකා නැග්ගේය. ඔහු කීවේ හකීම් වතුර දෙන්නෙත් එයාලාගේ අයට පමණක් බවය. මීට පෙර හිටපු සිංහල ඇමැතිවරුන්වත් මේ විදියට කටයුතු කර නැති බව රිෂාද් කීවේය. අනතුරුව ජනාධිපතිවරයා මැදිහත් වී කීවේ මම රැස්වීමක් කැඳවලා මේ ගැන සාකච්ඡා කරන්නම් කියාය.


බස්නාහිර පළාතේ වතු පාසල්වලට බඳවා ගත් දෙමළ මාධ්‍ය ගුරුවරුන් 89 දෙනෙකුගෙන් 50 ක්ම මුස්ලිම් අය බව මනෝ ගනේෂන් කීවේය. මේ අය බඳවා ගත්තද එම පාසල්වල නොසිටින නිසා වතුවල අයටම පත්වීම් දෙන්නැයි මනෝ ගනේෂන් කීවේ ඒ ගැන දීර්ඝ පැහැදිලි කිරීමක්ද කරමිනි. මේ ප්‍රශ්නයම දෙණියායෙත් තිබෙන බව සාගල රත්නායක ද කීවේය.


නකල්ස්වල ඉඩම් ප්‍රශ්නයක් තිබෙන බව මහින්ද අමරවීර කීවේය. ඔහු කීවේ මේ ගැන මල්වතු මහා නාහිමියන්ද අවධානය යොමුකර ඇති බවය. නකල්ස් ලෝක උරුමයක් බැවින් එහි ඉඩම් කිසිවකුට දීමට හැකියාවක් නැති බව කීවේය. තමා පරිසර ඇමැති කාලෙ නකල්ස් ලෝක උරුමයක් කළා. ආරක්ෂක කලාපයක් ද ඇති කළ බව ඔහු කීවේය. කබීර් හකීම් හෝටල් සඳහා රක්ෂිතයේ ඉඩම් නොදෙන බවය. අමරවීර කීවේ මල්වතු මහානාහිමියන්ද මේ ගැන අවධානය යොමුකර ඇති නිසා මෙතන ප්‍රශ්නයක් තිබිය හැකි බවය. සරත් අමුණුගම කීවේ මීට අදාළ කමිටුවේ තමාත් සිටි බවය. මේ කියන්​ෙන් රක්ෂිතයෙන් පිට තියෙන මුඩු ඉඩම් ගැන බවය. ජනාධිපතිවරයා කීවේ වහාම සිතියමක්ද සකස්කර සියලු තොරතුරු කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලෙසය.