​සියලු බලවේග එකතු කරන්න ශ්‍රීලනිප අනුමැතිය


ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණයට ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය එක්වී තරග කරන්නේද නැතිනම් වෙන්ව තරග කරන්නේද යන්න ගැන දේශපාලන කරළියේ දැඩි කතාබහක් ඇතිව තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගිය බදාදා රාත්‍රියේ රැස්වූයේ මේ කතා බහ අතර වාරයේය. මධ්‍යම කාරක සභාව රැස්වූවේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේය. මුලසුන ගත්තේ ජනපති මෛත්‍රිය. රාත්‍රී 7.45ට පමණ රැස්වීම ආරම්භ විය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද හිටපු අගමැති දි. මු. ජයරත්න මහතාද රැස්වීමට පැමිණ සිටියහ. වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය සහ දේශපාලන කටයුතු ගැන සාකච්ඡා විය. පක්ෂයේ ප්‍රති සංවිධාන කටයුතු ගැන මහලේකම් දුමින්ද පැහැදිලි කළේය. දි.මු. ජයරත්න හිටපු අගමැතිවරයා කීවේ ශ්‍රිලනිපයත් ඒකාබද්ධ විපක්ෂයත් එකට එකතු විය යුතු බවය. අපි ඕන තරම් ​ෙබදිලා තියෙනවා. හැබැයි අපි බෙදිලා දිනලා නැහැ. අපි බෙදුන හැමවිටම පැරදුණා. ඒ නිසා අපි එකට එකතු වෙලා ඉන්න ඕන යැයි දි. මු. කීවේය. නිමල් සිරිපාල ඇමැතිවරයා එජාපයෙ ක්‍රියාදාමය ගැන දැඩිව විවේචනය කළේය. ඔහු කීවේ එජාපය ශ්‍රීලනිපයේ ප්‍රතිපත්තිවලට පටහැනි දේ කරන බවය. කැබිනට් රැස්වීමේදී විරුද්ධ වන දේවල් පවා එජාප ඇමැතිවරුන් වෙනත් විදියට ගෙනැවිත් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන බව ඔහු සඳහන් කළේය. 



නිමල් සිරිපාල එජාපයට චෝදනා එල්ල කරද්දි කලින් හිටපු අය කරපු හොරකම් හොඳ දැයි හිටපු ජනාධිපතිනිය ඇසුවාය. මේ ආණ්ඩුවේ හොරකම් කරන අයටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. කලින් කරපු අයටත් එහෙමයි නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා සඳහන් කළේය. සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා කතා කරමින් කීවේ ආර්ථිකය පහළ බැස ඇති බවය. ආර්ථිකය බැස ඇති ආකාරය සුසිල් එකින් එක සංඛ්‍යා ලේඛන ගෙනැවිත් පැහැදිලි කළේය. 


උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සුපුරුදු දේශනය පටන් ගත්තේය. ඊට සෑහෙන වෙලාවක් ගතව තිබිණි. සමහරු කීවේ මෙතුමා ඉතින් හැමදාම දේශන කරන බවය. ඒ අතරේ ලලිත් දිසානායක ආරම්භක වැටුප රුපියල් 18,500 ට වැඩි සේවකයින්ට හෝ නිලධාරින්ට පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නොහැකි බව පනතේ සඳහන් වන බව කීවේය. එය අසාධාරණයක් බවත් එය නිවැරැදි කළ යුතු බවත් ඔහු කියා සිටියේය. අපි ඡන්දයට යනවා නම් යම් ක්‍රමවේදයක් හදාගත යුතුයි යැයි තිලංග පැවැසීය. මේ සියලු කරුණු අසා සිටි ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමැතිවරයා කීවේ “යූඑන්පියත් වැරැදි වැඩ කරනවා නම් ආර්ථිකයත් කඩා වැටිල නම් අපි එකතු වෙන්න ඕන. මෙතන වුන සියලු කතාවලින් කියැවුණේ අපිට එකතු වෙමු කියලයි. ඉතින් මම කියන්නෙත් එකතු වෙමු කියලයි කියාය.

ලක්ෂ්මන් යාපා රාජ්‍ය ඇමැතිවරයාද අදහස් දැක්වූයේ පුවත්පතක මුල් පිටුවක්ද පෙන්වමිනි. එජාපයට වෙලා තියෙන්නෙ අපි එකතු වෙන එක නවත්වන්න යැයි ලක්ෂ්මන් යාපා කීවේය. මේ කතා බහ අවසානයේ ජනාධිපතිවරයා කීවේ වාමාංශික ප්‍රගතිශිලී සියලු බලවේග එකට එකතු කරගෙන පළාත් පාලන ඡන්දයට යන බවය. ඒ සඳහා ඕනෑ කෙනකුට එකතු විය හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය එකතු කිරීමේ උත්සාහයක්ද මේ වනවිට කතාබහ වෙමින් තිබෙන බවට ආරංචි පැතිර යයි. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම සමග සාකච්ඡා කිරීමට ශ්‍රිලනිපය නිමල් සිරිපාල, අනුරයාපා සහ ලසන්ත අලගියවන්න යන තිදෙනා ද පත්කර ඇත. මේ අතර ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවේදී ඇමැතිවරුන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ බැඳුම්කර වංචාවට සම්බන්ධ අය කවුරුන්ද සම්බන්ධයෙන් හෙළිවෙමින් තිබෙන බැවින් ඔවුනට එරෙහිව දඬුවම් දිය යුතු බවය. 
 පළාත් පාලන ඡන්දය ඉලක්ක කර ගනිමින් දකුණේ මහ ඇමැති ෂාන් විජයලාල් ගිය සතියේ අම්බලන්ගොඩින් අලුත් වැඩකට අත ගැසුවේය. එය නම් කර තිබුණේ ‘ඔව් අපි ඡන්දෙට සූදානම්’ යනුවෙනි. අම්බලන්ගොඩ ආසනයේ බල මණ්ඩල හතම සම්බන්ධ කර ගනිමින් ෂාන් රැස්වීම් මාලාවක් පවත්වන්නට කටයුතු කළේ ළඟ එන ඡන්දයට පාක්ෂිකයින් සූදානම් කිරීම වෙනුවෙනි. 


 

ශ්‍රීලනිප-ඒකාබද්ධ කපුකම හරියයිද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර පළාත් පාලන ඡන්දය සඳහා එකඟතාවක් ඇතිවේද නැද්ද යන්න ගැන සමාජය තුළ මේ වනවිට ඇත්තේ දැඩි කතාබහකි. සාකච්ඡා ඉදිරියට ගෙනයන්නට දෙපාර්ශ්වයෙන්ම කමිටු දෙකක්ද පත්කර ඇති අතර යෝජනාවලින්ද එහා මෙහා හුවමාරු වී ඇත. මේ සඳහා පත් කළ කමිටු දෙක ඊයේ (25) සවස හමුවීමට නියමිතව තිබිණි. ආණ්ඩුව තුළද ශ්‍රීලනිපය හා එජාපය අතර විරසකයක් වර්ධනය වෙමින් තිබූ බව ගිය සතියේ දෙපාර්ශ්වයෙන්ම පැවැති මාධ්‍ය හමුවලින්ද පැහැදිලි විය. මේ තත්ත්වය තුළ දේශපාලන කරළිය වඩා සංකීර්ණ වෙමින් තිබෙන ආකාරයක් දකින්නට තිබේ.