​විශ්වාසභංගය පරදන්න එජාප සාකච්ඡා


පළාත් පාලන මැතිවරණයේ දී එජාපය මෙන්ම ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිපයද පසුබෑමට ලක්වී පොදුජන පෙරමුණ බහුතර පළාත් පාලන ආයතන ජය ගත්තේය. එජාපය කියන්නේ එම ප‍්‍රතිඵලයේ පදනම 2015 ජනාධිපතිවරණය හා සසැඳීමේදී රාජපක්ෂ පිලට ඡන්ද ලක්ෂ 09 ක් අඩුවී ඇති අතර ප‍්‍රතිපක්ෂයට එදා ලැබුණු ඡන්ද පදනම ඒ ලෙසම රැකී පවතින බවයි.


මෙවර ඡන්ද පදනම පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූර සංඛ්‍යාවට අනුයුක්ත කළහොත් පොදු ජන පෙරමුණට 90 ක් එජාපයට 70ක් හා එජනිසයට 30කට ආසන්නව ලැබී ඇතැයිද එජාපය කියයි. “එජනිස නැතිව අනාගතයේදී කිසිදු පක්ෂයකට ආණ්ඩු පිහිටවන්න බැහැ. ජනපතිවරයා ළඟදී කීවේ එවැන්නකි”


මැතිවරණ පසුබෑම තුළ ශ‍්‍රීලනිප බලපෑමෙන් අගමැති රනිල් ඉවත් කිරීමට මෙහෙයුම දියත් වූවද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ අගමැති ඉවත් කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය විය.


අනතුරුව එජාප පාර්ශවයෙන් පැමිණි විශ්වාසභංග කතාව කර ගහ ගෙන ගියේ ඒකාබද්ධ විපක්ෂය ය. ඒකාබද්ධයේ හා ශ‍්‍රිලනිප අත්සන් 55 ක් සහිත විශ්වාසභංගය කතානායකට බාර වූයේ ඒ සඳහා එජාපයේද බහුතර සහාය ලැබෙනු ඇත යන විශ්වාසය තුළ වූවද “එජාප ප‍්‍රතිසංස්කරණ කඩිනම් කිරීම මිස අගමැති ඉවත් කර ආණ්ඩුව අර්බුදයට යැවීම තම අරමුණ නොවන බව” එජාප බහුතරයගේ ස්ථාවරය වේ.


ඒ තුළ විශ්වාසභංගය පහසුවෙන් ජය ගැනීමට සිතා සිටි ඒකාබද්ධයේ අරමුණ දැඩි අභියෝගයකට ලක්ව ඇති බවද එජාපය කියයි. මෙහිදී ශ‍්‍රීලනිප අභ්‍යන්තර අරගලය ද නිර්මාණය විණ. විශ්වාසභංගයට පක්ෂ හා විපක්ෂව ශ‍්‍රීලනිපය තුළ පැහැදිළි බෙදීමක් පවතින නිසා ඒ බෙදීම රටට නොපෙනෙන ලෙස සඟවා ගැනීමට ඔවුන් දැඩි වෙහෙස ගන්නා බවද ඔවුහු කියති. මුස්ලිම් හා දෙමළ සුළු පක්ෂවල අවසන් තීන්දුව තීරණාත්මක වූවද ඔවුන්ගේ අවසන් තීන්දුව එළි දකිනු ඇත්තේ අවසන් හෝරාවේ බව කියවේ.


එහෙත් ජවිපෙ ඍජුවම විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කරන බවද, දෙමළ සංධානය ඊට විපක්ෂව ඡන්දය දෙන බවද මේ වන විට ඉඟිකර තිබේ.


“මහනුවර අධිවේගයේ තුන් වැනි අදියර නුසුදුසු සමාගමකට දීලා. මා එය අනුමත කරන්නේ නැහැ.” ජනපති පසුගිය කැබිනට් මණ්ඩලයේ දී ප‍්‍රකාශ කළේ හිටපු මහා මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල දෙස අවධානය යොමු කරවමිනි.


 

“අප දුන්නේ ජපානයේ ඉතාම සුදුසු සමාගමටයි. ඒ සමාගම කුඩා සබ් කොන්තරත්තුව වෙනත් සමාගමකට දීලා. එහෙම නැතුව අප ටෙන්ඩරය දුන් සමාගම නුසුදුසුයි කීම වැරදියි. මා සියලු විස්තර සති දෙකක් තුළ ඔබතුමාට ඉදිරිපත් කරන්නම්. අප දීපු සමාගම නුසුදුසුයි නම් ඔබතුමා තීන්දුව ගන්න” ලක්ෂ්මන් කිරිඇල්ල කළ පැහැදිළි කිරීම ජනපතිගේද විශේෂ අවධානයට යොමු විය.


විශ්වාස භංගය ලබන 04 පාර්ලිමේන්තුවේදී විවාද කිරීම හා ඡන්ද විමසීමට අදාළ කරුණු සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ කතානායක කරුගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වූහ.
“තිලංග සුමතිපාල නියෝජ්‍ය කතානායකතුමා, ඔබ එස්.බී. තියපු ශ‍්‍රීලනිප ප‍්‍රවෘත්ති සාකච්ඡාවට එකතුවෙලා විශ්වාසභංගය ගැන අගමැතිට විරුද්ධව කතා කළා. අගමැතිට විරුද්ධව එස්.බී. කී සියලු දේ ඔබ අනුමත කළා. නියෝජ්‍ය කතානායක ලෙස ඔබ තනතුරේ ගෞරවය හා පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය හෑල්ලු කළා. එහෙම පහත් වැඩ කරන්න එපා” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහහඬින් කීවේය.


“ශ‍්‍රීලනිප කෙනෙකු නිසයි මා ඒකට ගියේ. තනතුරු දැරුවත් මා ශ‍්‍රීලනිපය නියෝජනය කරන්නේ”, තිලංග සුමතිපාල පැවැසුවේය.


“එහෙම කරන්න බැහැ. කරු කතානායකතුමා ඒ තනතුර බාර ගත්තට පසු එජාප රැස්වීම්, ප‍්‍රවෘත්ති සාකච්ඡා තියා සිරිකොතටවත් එන්නේ නැහැ. ඒ ගෞරවනීය ආදර්ශය ඔබ ඉගෙන ගන්න” කිරිඇල්ල යළිත් දැඩිප‍්‍රහාරය එල්ල කළේය.


“මා නියෝජ්‍ය කතානායක නම් ඔය ප‍්‍රවෘත්ති සාකච්ඡාවට යන්නේ නැහැ” කතානායක කරුද කීවේය.


උණුසුම් වාද විවාද මැද නිමාවූ පක්ෂනායක රැස්වීමේදී ” නම” කතාකර විශ්වාසභංගයට ඡන්ද විමසීමටද පක්ෂ නායකයෝ තීන්දු කළහ.


විශ්වාසභංග ඉදිරිපත්වී තිබුණද අගමැතිවරයා සිටිනුයේ ඉතා සැහැල්ලුවෙනි. යොදා ගත් සියලු උත්සවවලටද ඔහු එක් විය. දකුණු ආසියානු වානිජ මණ්ඩල සමුළුව හා උතුරේ ගුරුවරුන්ගේ සමුළුව ඒ අතර ප‍්‍රධාන තැනක් ගත්තේය.


“ඔබතුමා අඩියක් පිටුපසට ගන්න”, බොහෝ දෙනකු එසේ කියද්දී විශ්වාස භංගය ජය ගැනීමේ මෙහෙයුමද අගමැතිවරයා දියත් කළේය.


බ‍්‍රහස්පතින්දා පෙරවරුවේ අගමැතිවරයා සිරිකොත ගියේ විශේෂ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමටය.


එහිදී ආණ්ඩුව පෙරලා බලය ඩැහැ ගැනීමේ විපක්ෂ හා ආණ්ඩුව තුළම සිටිනා සුළු පිරිසගේ මෙහෙයුම පරදවා විශ්වාසභංගය පරාජය කිරීමට අදාළ යෝජනාව සම්මත වූයේ කාගේත් එකඟත්වය තුළිනි.


“ආණ්ඩුව පරද්දන්න එජාපයේ කවුරුවත් ක‍්‍රියාකරන්නේ නැහැ. ඒත් විශ්වාස භංගය පැරදවූ දිනට පසුදිනම එජාප ප‍්‍රතිසංස්කරණ වහාම කළ යුතුයි. ඒ ගැන ප‍්‍රතිඥාව අවශ්‍යයි. නැති නම් අපටත් තීන්දුව ගන්න වෙනවා. ඒ මතයේ එජාප හුඟ දෙනෙකු ඉන්නවා” සුජීව සේනසිංහ මෙන්ම රංගෙ බණ්ඩාරද කීවේ එකම කතාවකි.


“හතරවැනිදා විශ්වාසභංගය දිනා 05, 07 හා 08 දිනවල අවශ්‍ය ප‍්‍රතිසංවිධාන කරනවා. ඊට අදාළව කැඳවූ වාර්තා මා මහලේකම් කබීර්ට බාර දෙනවා” යයි කී අගමැතිවරයා අදාළ වාර්තා කබීර් අතට පත් කළේය.
කෘත්‍යාධිකාරී රැස්වීම පැයකට වඩා ඇදුනද කිසිවකු මතභේදාත්මකව කතා කිරීම හෝ ක‍්‍රියා නොකිරීම හෝ කැපී පෙනුණි.


රැස්වීමෙන් අනතුරුව අගමැති හා මැති ඇමැතිවරුන් තේ පානය කරන ගමන්ද අදහස් හුවමාරු කරගත්තේ අගමැතිවරයා මැදිකර ගනිමිනි.


“විශ්වාසභංගයට මුහුණ දීමට එජාපය සූදානම්. අගමැතිතුමාගේ සැහැල්ලු හැසිරීම ඉතා හොඳ ලක්ෂණයකි. ලක්ෂ්මන් කිරිඇල්ල කී විට සියලු දෙනා එය අනුමත කළහ.


“ශ‍්‍රී ලනිපය මෙතනදී මොකක්ද කරන්නේ කියා තාම නිසි තීන්දුවකට ඇවිත් නැහැ” දයා ගමගේ ඇසුවේ අගමැතිගෙනි.


“මා දන්නේ නැහැ එයාල මොනවා කරාවිද කියලා. ජනාධිපතිතුමා තමයි, තීන්දුව ගත යුත්තේ.” අගමැති කීවේය.


“ආණ්ඩුවට එරෙහිව පැමිණි විශ්වාසභංගයට පක්ෂව ශ‍්‍රීලනිපය ඡන්දය දුන්නොත් ඔවුන් නැතුව අපි ඉදිරියට යමු. එහෙම වුනොත් ජනාධිපතිතුමාත් තනිවෙලා ලොකු පීඩනයකට ලක් වෙනවා. ඒ භයානකකම ගැන එතුමාට හරි වැටහීම වටේ අය දෙන්නේ නැහැ. ඉතා අඥාන ගේම් එකක් එයාලා මේ ගහන්නේ.” මැති-ඇමතිවරු කිහිප දෙනෙකු කීවේ එවැනි අදහසකි.


“අගමැතිතුමාගේ යටතේ තිබූ විෂයයන් කිහිපයක් ජනාධිපතිතුමා වෙනස් කරල නේද?” වජිර අබේවර්ධන විමසීය.


“එජාපය සතු විෂයයන් එජාපය ඇතුළෙමයි, වෙනස් කර තිබෙන්නේ සමහර ඒවා කළ යුතු බවට අප නිර්දේශ කළා.” අගමැති කීය.


“ඒත් නිර්දේශ නොකළ ඇතැම් විෂයනුත් එහා-මෙහා කර තව ප‍්‍රශ්නයක් හදලා නේද? එජාප විෂයයන් එජාප ඇමතිවරුන් අතරේ වෙනස් කළත් එජාප එකඟතාවෙන් ඒක නොකිරීම ගැටලුවක් නේද?” එහි සිටි බදුලු දිසා මන්ත‍්‍රී චමින්ද විජේසිරි කී දේ සියලු දෙනා අනුමත කළහ.


“ඔව්. අපේ විෂයයන් ගැන තීන්දු ගත යුත්තේ අපමයි.” පී හැරිසන් කීය.


“මුළින් 04 වැනිදා විශ්වාසභංග කඩුල්ල පනිමු. ශ‍්‍රීලනිපය මේකට විරුද්ධ වෙලාත් අප මේක දිනුවාම අගමැතිතුමා හා ආණ්ඩුව තව ශක්තිමත් වෙනවා.” කිරිඇල්ල කීය.


“වසන්ත සේනානායකගේ දැන් අදහස මොකක්ද දන්නේ නැහැ නේද?” එජාප නීති නිලධාරියෙක් ඇසුවේය.


“මම දන්න තරමට බහුතර මතයට ගරු කර එතන හිට ගැනීම ඔහුගේ පිළිවෙත බව ආරංචියි.” නිලධාරියා වැඩිදුරටත් කීය.


”මුස්ලිම් පක්ෂවල අලුත්ම මතය මොකක්ද ? ඔවුන් පරිස්සමින් හැන්ඩ්ල් කළ යුතු අයයි” දයා ගමගේ කීවේය.


“දැනට ප‍්‍රශ්නයක් නැහැ. අද සවස එජාපෙ සියලු පක්ෂ නායකයන් මා හමුවෙනවා.” අගමැති කීවේය.


“ශ‍්‍රීලනිපය විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන්නොත් හෝ ඡන්දය වර්ජනය කළොත් හෝ ඒ අයට ආණ්ඩුවෙන් පිට වෙන්න වෙනවා. අපට විකල්පය බලන්න වෙනවා. එහෙම වුණොත් තනි ආණ්ඩුවට අපව තල්ලු කළේ ඔවුන් බව ජනතාව තේරුම් ගනීවි.” මැති-ඇමතිවරුන් කිහිප දෙනෙකු කී විට අගමැතිවරයා නලළ රැලි ගන්වා ඉතා සැහැල්ලුවෙන් ඉවත බලා ගත්තේ මද සිනහවක්ද සමගිනි.