​විජයදාස ඉවත්කළ එජාප තීන්දුව


 

විජයදාස රාජපක්ෂගේ ගැටලුවෙන් ආණ්ඩුව හා එජාපය රත්ව තිබියදී පසුගිය සති අන්තයේ අගමැතිවරයා නැගෙනහිර පළාතේ සංචාරය කළේය.  


රෝහිත බෝගොල්ලාගම නැගෙනහිර ආණ්ඩුකාර ධුරයට පත් කර සති තුනක් ඇතුළත අගමැතිවරයා එහි ගිය දෙවැනි අවස්ථාව මෙය විය.  


 ඊට නැගෙනහිර ආණ්ඩුකාර බෝගොල්ලාගම, මහ ඇමැති නසීර් මෙන්ම රවුෆ් හකීම්, රිෂාඩ් බදියුද්දීන් ඇතුළු මැති ඇමැතිවරුන් විශාල පිරිසක් ද මෙවර එක් වූයේ රෝහිත බෝගොල්ලාගමගේ ඇරයුමෙනි.  


එරාවුර් හා කාන්තන්කුඩිවල ඉදිවූ නගර සභා සංකීර්ණ දෙක විවෘත කළ අගමැතිවරයා නැගෙනහිර සංචාරක වෙළඳපොළ හා තොරතුරු මධ්‍යස්ථානයට මුල්ගල තැබීය.  


‘මධ්‍යම රජයත්, පළාත් ආණ්ඩුවත් නැගෙනහිර දියුණුවට සැළසුම් රැසක් දියත් කරනවා. නව ආණ්ඩුකාර බෝගොල්ලාගමගේ අත්දැකීම් හා ලෝක සබඳතා මත නැගෙනහිර පළාත විදෙස් ආයෝජනවල තෝතැන්නක් කිරීම අපේ අරමුණයි. මෙතෙක් මේ පළාත්වලට ලැබුණේ කුඩම්මාගේ සැලකිලි නිසා අප එය උඩුයටිකුරු කරනවා.’ අගමැතිවරයා එහිදී කීවේය.  


සති අන්තයේ අගමැතිවරයා ඉන්දියාවේ පෞද්ගලික සංචාරයක නිරත වන හෙයින් ඔහුට සතිය පුරා රාජකාරි බහුල විය.  


 සඳුදා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එජාප මන්ත්‍රී කණ්ඩායම අරලියගහ මැදුරේදී රැස්විය. පක්ෂ ප්‍රවර්ධනය හා රටේ සංවර්ධනය ගැන දීර්ඝව කතා කර විජයදාස රාජපක්ෂ ගැන කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීන්දුව ගැන ද අවධානය යොමු විය.  


 එජාප මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරිය ගිය බ්‍රහස්පතින්දා රැස්වෙලා තීන්දු කළේ විජයදාස ඇමැතිතුමා ආණ්ඩුවේ සාමුහික තීන්දුවලට පටහැනිව කතා කිරීම හා ක්‍රියා කිරීම නිවැරදි කරන්න අවස්ථාවක් දීමටයි.  


 එතුමා ඊට එකඟ වුණා. ඒත් අද වනතෙක් මගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව එක්ක ඒ ක්‍රියාමාර්ග ගැන එතුමා කතා කළේ නැහැ. පවතින තත්ත්වය එයයි’ ඇමැති මලික් සමරවික්‍රම පැහැදිලි කළේය.  


ආණ්ඩුවේ සාමුහිකත්වයට අභියෝග කළ විජයදාස ඇමැතිතුමා හොරුන් රැකීමට ක්‍රියා කළ බවටත්, නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් තොරතුරු එළි වුණා. ආණ්ඩුවට එරෙහිව ක්‍රියා කරන අය කවුරු වුණත් ඒ ගැන තීන්දුවක් ගැනීම අත්‍යවශ්‍යයි.’ හරීන් ප්‍රනාන්දු, අජිත් පී. පෙරේරා, රන්ජන් රාමනායක ඇතුලු බොහෝ දෙනෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨයන් වන රවී-මංගල ඇතුලු අයද කීවේ එකම අදහසකි.  
එජාප මන්ත්‍රී කණ්ඩායම ගිනියම් වී ඇති බව තේරම් ගත් අගමැතිවරයා එජාප මහලේකම් කබීර් හෂීම්ට් පැවරුවේ එජාප ස්ථාවරය ජනපතිතුමාට දන්වා යැවීමට නිල ලිපිය සකස් කරන ලෙසය.  


‘සාමුහිකත්වය කඩ කළ විජයදාස ඇමැතිවරයා ඒවා නිවැරැදි කරනවා වෙනුවට පක්ෂයටත් අගමැතිවරයාට හා ආණ්ඩුවටත් ප්‍රහාර එල්ල කිරීම අනුමත කළ නොහැකියි.’ කබීර් හෂීම් සැකසූ ලිපියේ අන්තර්ගතය විය.  


‘අපේ මන්ත්‍රීවරුන් විජයදාසට විරුද්ධව තදින් හිටියා. ගිය රජයේ හොරුන් රැක්කා කියා ඔවුන් ලොකු චෝදනාවක් කළා. මා මලික්ට කතා කර සඳුදා වෙනකන් කල් ගත්තෙත් අමාරුවෙනුයි.  


විජයදාස ඉන් ප්‍රයෝජන ගත්තේ නැති එක අපරාධයක්’ රැස්වීම නිම වූ පසු අගමැතිවරයා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලට කීවේය.  
අනතුරුව අගමැතිවරයා ජනපතිවරයා හමුවීමට ගියේය.

 
 ‘මන්ත්‍රීවරුන් තීරණය කළේ විජයදාස ඉවත් කරන්නයි. බහුතර මතයට ඉඩදීම හැර මට වෙන විකල්පයක් නැහැ.’ අගමැතිවරයා ජනපතිට කීවේය.  


අනතුරුව පක්ෂ දෙක අතර ඇති ගිවිසුම පරික්ෂාවට ලක්වූ අතර අගමැතිගේ නිර්දේශය මත ඇමැතිවරුන් ඉවත් කළ හැකි බවට වන එකඟතාව ක්‍රියාත්මක කිරීමට තීන්දු කෙරිණ.  


විජයදාස ඇමැතිතුමා ශ්‍රීලනිපයට හේත්තු වෙන්නත් උත්සාහ කර තිබෙනවා කියා ආරංචියි. ගමේ කමට අමරවීර ඇමැතිතුමා විතරලු ඒකට සපෝට් කර තිබෙන්නේ.  


ඇමැතිතුමා සාස්තරකාරයන්ගෙයි, 2020 දී විපක්ෂයේ පොදු අපේක්ෂකයා කියන ලණු දෙකම ගිලලා කියලත් ආරංචියි.’ රන්ජන් රාමනායක අගමැතිවරයාට කීවේ බ්‍රහස්පතින්දා අගමැති අරලියගහ මැදුරේදී හමුවූ විටය.  


 ‘මිනිසුන්ට ඕනෑ හොරුන් අල්ලන්නයි. අගමැතිතුමා ගිය සතියේ දළදා මාලිගාවට ආපු වෙලාවේ කාන්තාවෝ ටිකක් එතුමා වටකර ගත්තාම අප නුවර අධිවේගය හදනවා, රන්වැට අලුත් කරනවා කිවුවම කාන්තාවෝ කෑ ගහලා අැහුවේ හොරන් අල්ලන්නේ නැද්ද කියලයි. ලක්ෂ්මන් කිරිඇල්ල කී විට අගමැතිවරයා ඇතුලු සියලු දෙනාට සිනහව නවතාගත නොහකි විය.  


විජයදාසගේ ආණ්ඩු විරෝධය පසුපස ඉන්දියාව ඉන්නවා කියලත් ආරංචියක් යනවා. හම්බන්තොට චීනෙට දීම ඊට හේතුවලු.’ දයා ගමගේ කීවේ ජාත්‍යන්තර දේශපාලන තොරතුරක් එළිදක්වමිනි.  


‘මූසල දෙවසර කියා ඒකාබද්ධය විරෝධතාව තිබ්බා. ඒකට මැස්සෝ ඇහිරුණා.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනා මැදය.  


‘බලයයි-හොරකමුයි නැති නිසා ඒකාබද්ධ අයට මේ දෙවසර මූසල ඇති. ඒත් ජනතාවට එහෙම වෙන්න බැහැ. අගමැතිවරයා කීය.  
‘අපේ මූසල කියන දෙවසර තුළ පඩි 10,000 කින්, විශ්‍රාම වැටුප 3500 කින්, මහපොළ 5000 දක්වා හා සමෘද්ධිය වැඩි කළා. ඩීසල්-පෙට්‍රල්- භූමිතෙල් ගෑස් අඩු කළා.  


 බනින්න, විරෝධතා දාන්න නිදහස දුන්නා. නරුම විධායක බලතල අඩු කළා. උදාගම් 460 ක් හැදුවා. අධිවේග පටන් ගත්තා. රට පුරා පාරවල්, ​පාලම්, බෝක්කු හැදෙනවා. බෙහෙත් වර්ග 48 ක මිල අඩු කළා. හෘද හා පිළිකා රෝගීන්ට විශාල සෙතක් ඇති කළා.   
චෝදනා එල්ල වූ ගමන් ඇමැතිවරුන් අස් වුණා. තව කොච්චර දේවල් මූසල කියන වසර දෙකෙහි වුණාද’ ලක්ෂ්මන් කිරිඇල්ල කළ විග්‍රහයට අගමැතිවරයාගේ ද ප්‍රසාදය හිමි විය.  


 ‘විජයදාස ඇමැතිතුමාගේ ප්‍රශ්නයෙන් දේශපාලන වාසි ගන්න ඒකාබද්ධය දැඟලුවත් හරි ගියේ නැහැ. රූපවාහිනී චැනල් දෙකක් ඒකට උදව්වට ඇවිත් අන්තිමට අත ඇරියා.   


හාමුදුරුවරුන් කිහිප දෙනෙකු එළියට ආවත් උන්වහන්සේලාත් අන්තිමට අකුළ ගත්ත. පක්ෂයක අභ්‍යන්තර ප්‍රශ්නයකට අත දැමීම වැරදි බව හිමිවරුන්ටත් තේරුණා.  


 දූෂිතයින් රකින කෙනෙකුගේ පැත්ත ගැනීම වැරදි බව රටේම මතය වූ නිසා සියලු දෙනා රිවස් ගියා.’ අජිත් පී. පෙරේරාගේ විග්‍රහයටද කාගේත් එකඟතාව හිමි විය.  


විජයදාසට මහින්දත් කැමැති නෑලු. එකම ගමේ තව රාජපක්ෂ කෙනෙකු ඉහළට ගේන්න එයාලා කැමැති වෙනවද? හරින් ප්‍රනාන්දුගේ අදහස එය විය.  


‘අයවැයටත් කලින් මුදල් ඇමැතිතුමා දීපු වාහන, මෝටර් සයිකල් හා ස්වයං රැකියා සඳහා සහන ජනතාව අගය කරනවා.’ දයා ගමගේ කීය.  


‘විපක්ෂය හිතුවෙ අප අතපය වන වනා ඡන්දවලට යාවි කියලයි. උපාධිධාරින් 20,000 කට සංවර්ධන සහායක පත්වීම් දෙනවා.’ අගමැතිවරයා කීය.  


‘නීතිඥ සංගමය ඇමැතිතුමාට සපෝට් කිරීම ගැන ජනතාවට පුදුමයි. රන්ජන් රාමනායක කීය.  


‘නීතිඥ සංගම් නිලවරණයට ආණ්ඩුව අත දැම්මේ නැහැ. ඒත් විජයදාස උදව් කළා. ජනාධිපති නීතිඥකම් ගන්නත් උදව් කර තිබෙනවා.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.  


 ‘සයිටම් අය කොටුවෙ උපවාස කරනවා නේද? දයා ගමගේ ඇසීය.  


‘නුවර ඉඳලා පා ගමන් ඇවිත් ගෙදර ගියා. මේ උපවාසයෙනුත් හති වැටෙන්නේ ඔවුන්මයි. ගහල එලවන්නේ නැත්තේ ඇයි කියා මිනිස්සු අපෙන් අහනවා. යහපාලනය එහෙම කරන්නේ නෑනේ? ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.  


 ’නව බදු පනතට විරුද්ධවත් ජවිපෙ පෝස්ටර් ගහලා. අනුර කුමාර ඇමැති රාජිතට කුණුහරුපෙන් බැන අනාගත්තා.’ වජිර අබේවර්ධන කීය.  


‘පක්ෂ නායකයෙකු කවදාවත් පාර්ලිමේන්තුවේ එහෙම කතා කරන්න නරකයි. අවාසිය රාජිතට නොවෙයි අනුරටමයි.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.  


 ‘දැනට බදු ගන්නේ සාමාන්‍ය ජනතාවගෙන් වක්‍රව 80% ක් හා සල්ලි තියෙන අයගෙන් 20% යි. සාමාන්‍ය ජනතාවට සහන දී ඒක 60% ට අඩු කර සල්ලි ඇති අයගෙන් 40% ක් ගැනීම පනතේ අරමුණයි. ඊ.පී.එෆ් හා ඊ.ටී.එෆ්. වලට අප බලපෑම් කරන්නේ නැහැ.  


 මූල්‍ය අරමුදලේ යෝජනා ආවත් අප ඒවා පිළිගත්තෙ නැහ. රට තුළින් එන හොඳ ස​ංශෝධන පිළිගන්නවා. ලබන සතියේ පනත සම්මත කර වක්‍ර බදු ගෙවන සාමාන්‍ය මිනිස්සුන්ට සහනය දෙනවා.’ අගමැතිවරයා පැහැදිලි කළේය.  


‘කතරගම දේවාලෙ ගැටුම දෙවියන්ටත් අගෞරවයක්’ දයා ගමගේ කීය.  


‘මේ ආණ්ඩුව ඒ කාලේ වගේ දේවාලවලට අත දාන්නේ නැහැ. කපුරාල හා නිළමේගේ ප්‍රශ්නය සිවිල් උසාවියට දාන්න පුළුවනි. නිලමේගේ ගෙදරට පැනපු එක පොලිසිය උසාවියෙන් බේරලා දිය යුතු එකක්.’ අගමැතිවරයා සිය ස්ථාවරය පැහැදිලි කළේය.


කතානායකට කෞතුක භාණ්ඩයක් තෑගි

ගෙවී ගිය සතියේ කතානායකවරයා හමුවූ සුවිශේෂි පුද්ගලයෙකු දශක 07 ක් පමණ පැරණි වටිනා ග්‍රැමෆෝන් තැටියක් තිළිණ කළේය. 1948 පළමු නිදහස් උළෙල අමතා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන් විසින් පවත්වන ලද ඓතිහාසික කතාවේ පටිගත කරන ලද මුල් පිටපත මෙන්ම ඩඩ්ලි සේනානයක අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා කරන ලද කතාවක්ද සහිත මෙම වටිනා ග්‍රැමෆෝන් තැටිය කතානායකවරයාට පරිත්‍යාග කළේ මෙරට කීර්තිමත් දේශපාලනඥයෙකු වූ දිවංගත ගාමිණී ජයසූරිය මහතාගේ පුතනුවන් වන ප්‍රසන්න ජයසූරිය මහතාය. රට දැය සමය වෙනුවෙන් කැප වූ පිරිසිදු ජාතික නායකයෙකු ලෙස ගාමිණී ජයසූරිය මහතා ඉතිහාසයේ නොමැකෙන ලෙස සනිටුහන් වනු ඇතැයි ගෞරවයෙන් සිහිපත් කළ කතානායකවරයා එතුමා ආරක්ෂා කළ එම ග්‍රැමෆෝන් තැටිය අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරන බවට පොරොන්දු විය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට යොමු කර එහි පිටපත් සංයුක්ත තැටි අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂ සභාපති හා මහලේකම් වෙත ද ලබා දීමට කතානායකවරයා පියවර ගත්තේය. 


 

මංගලගෙන් පොරොන්දුවක්

 පසුගිය සතිය පුරාම සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් දැනුම් දී තිබුණේ වැඩ නිමවා ජනතා අයිතියට පත් කිරීමට සූදානම් කර ඇති නව උදා ගම්මාන රැසක් පිළිබඳ තොරතුරුය. 37 වැනි උදා ගම්මානය වූ අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත ‘ශ්‍රී විභූතිගම’ ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට පී. හැරිසන් ඇමැතිවරයා, චන්ද්‍රාණි බණ්ඩාර ඇමැතිවරිය ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ. සජිත් සිය කතාවේදී සිහිපත් කළේ ගමෙන් බිහිවී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැවැන්ත දේශපාලන චරිත බවට පත් හොරොව්පතානේ ඊ.එල්.බී. හුරුල්ලේ, අ’පුර නැගෙනහිර- යසපාල හේරත්, අ’පුර බටහිර චන්ද්‍ර බණ්ඩාර, කලාවැව- ඒ.එම්.එස්. අධිකාරි, කැකිරාවේ- ජී.ඩී. මහින්දසෝම, මිහින්තලේ- දයා වළගම්බාහු, මැදවච්චියේ ඩී.එම්. ආරියදාස වැනි ජනතා නායකයන් පිළිබඳවය. ‘මේ දැවැන්ත චරිත ’’ යුග පෙරළියට ලබා දුන්නේ මහා දායකත්වයක්. මම ඉස්කෝලෙ යන කාලේ තාත්තත් එක්ක මෙහේ ආපු නිසා මේ හැමෝගෙම දස්කම්, විස්කම්, හපන්කම් මගේ ඇස් දෙකෙන් දැකලා තිබෙනවා. ඒ හැම දෙනාටම උපහාරය හා ශීර්ෂ ප්‍රණාමය පුදකරන්න මම පැකිලෙන්නේ නෑ. සජිත් චන්ද්‍රාණි හා හැරිසන් සමග කීවේ හැඟුම්බරවය. සජිත් එසේ කීම චන්ද්‍රාණි සහ හැරිසන් දෙදෙනාගේද පැසසුමට හේතු විය. 38 වැනි උදා ගම්මානය වන සූරියවැව බැඳිගංතොට, ‘සොමිරිවිගම’ ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ මංගල සමරවීර, අභිනව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වීම බොහෝ දෙනගේ අවධානය යොමු වූ විශේෂ සිද්ධියක් විය. මංගල සහ සජිත් උත්සවයට යමින් ජනතාව සමඟ කතාබස් කරමින් මංගල කීවේ ‘ඔයාගේ වැඩේ නම් නියමයි මේකට මීට වැඩි ප්‍රචාරයක් දෙන්න ඕනෑ. මම අනිවාර්යයෙන්ම ලබන අය වැයෙන් දැනට වඩා වැඩි සහයෝගයක් ඔයාට ලබා දෙන්නම්.’ කියාය.