​පෝට්සිට් පනත තුනෙන් දෙකෙන් සම්මත කරන්න වේද?


  • අගමැති මහින්ද අභයාරාමයේ
  • පීඩාවට පත් ජනතාවට විපක්ෂයෙන් හුස්මක්

 


පෝට් සිටි පනත තුනෙන් දෙකේ බලයෙන් සම්මත කර ගැනීමට සිදුවුවහොත් ඒ සඳහා ගත යුතු ක්‍රියා මාර්ග ගැනීමට ආණ්ඩුවේ ඉහළම බලවතුන් මේ දිනවල පියවර ගනිමින් සිටියි. එයට හේතු වී ඇත්තේ උසාවි නියමය මත යම් හෙයකින් එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් ආණ්ඩුවේම සමහර පාර්ශ්ව හෘද සාක්ෂියේ තීන්දුව මත එම පනතට සහාය නොදී සිටිනු ඇතැයි ආණ්ඩුවේ ඉහළ තැන්වලට සැක මතු වී තිබීමය.  


ආණ්ඩුව පිහිටුවීමට දායක වූ කුඩා පක්ෂවල සමහර මන්ත්‍රීවරුන්, සමහර පක්ෂ නායකයන්, ශ්‍රීලනිපයේ යම් යම් පිරිස් එම පනතට යහය නොදී සිටිනු ඇතැයි මත පළව තිබේ. 

 
එසේ වුවහොත් එම පනතට සහාය ලබා ගන්නේ කාගෙන් ද? දේශපාලන අංශ මේ දිනවල ඒ සම්බන්ධ කතිකාවක නිරතව සිටියි.  


ඉදිරි සතිය රට ලොක් ඩවුන් නොකළොත් පනත පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමට නියමිතව ඇත්තේ මේ මස 20 වැනිදාය. මේ වන විට පවතින කොරෝනා තත්ත්වය මත දේශපාලන පක්ෂවලට ද තම තමන්ගේ මධ්‍යම කාරක සභා රැස් කිරීමට අවස්ථාවක් ලැබී නැත. මේ නිසා පනතට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දීමට එම පක්ෂවලට තීන්දු තීරණ ගැනීමට ද මේ වන විට අසීරුව පවතී. ආණ්ඩුවට සහාය දෙන කුඩා පක්ෂවලින් වැඩිම මන්ත්‍රී පිරිසක් නියෝජනය වන ශ්‍රීලනිපය ඉන්නේ ද දෙගිඩියාවකිනි. එක් පැත්තකින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වැළැක්වුණේ නැති බවට චෝදනා එල්ල වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බේරා ගැනීමට ද එම පක්ෂයට සිදුවේ. ආණ්ඩුවේ පොදු මතයට විරුද්ධව ඡන්දය දුනහොත් ආණ්ඩුවේ ප්‍රධානීන් මෛත්‍රී සම්බන්ධයෙන් දැඩි තීන්දුවලට යනු ඇතැයි එම පක්ෂයේ මුල් පෙළ ක්‍රියාකාරීහු බියෙන් පසුවෙති. එමෙන්ම ආණ්ඩුවේ ජනප්‍රියතාව පිරිහෙමින් යන අවස්ථාවක පොදුජන විරෝධයට ලක් වන අණ පනත්වලට සහාය පළ කළ හොත් ඉදිරි මැතිවරණයක දී දේශපාලන භූමියෙන් අතුගෑවී යෑමේ අවධානමක් ද කුඩා පක්ෂවලට තිබේ. මේ නිසා කුඩා පක්ෂ සිටින්නේ පනතට රජය සමග හිටගන්නවා ද? නැද්ද? යන කරුණු විසඳා ගත නොහැකිවය.   


ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් ඉකුත් අඟහරුවාදා හැන්දෑවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මහාචාර්ය ජී.එල්. පීරිස්, බැසිල් රාජපක්ෂ, සාගර කාරියවසම්, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ටිරාන් අලස්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, මහාචාර්ය තිස්ස විතාරණ, මහින්දානන්ද අලු‍ත්ගමගේ, පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර ඇතුළු පක්ෂ නායකයෝ පිරිසක් ඊට සහභාගි වූහ. 
විමල් වීරවංශ ඇමැතිවරයා මෙම සාකච්ඡාවේ දකින්නට නොලැබිණි. ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීම් දෙකක් මීට පෙර අවස්ථා දෙකකදී පැවැත්වූ නමුත් හවුල්කාර පක්ෂ 10ක නායකයෝ ඊට සහභාගි නොවූහ. එහෙත් මෙවර රැස්වීමට ඔවුන් සියලු‍ දෙනාම පාහේ පැමිණ සිටිනු දක්නට ලැබිණි.


පක්ෂ නායක හමුව කැඳවා තිබුණේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලු‍ නිරාකරණය කරගැනීමේ අපේක්ෂාවෙනි. එහෙත් සාකච්ඡාවට ගැනුණේ කොරෝනා ගැනය. සාකච්ඡාව ආරම්භයේදීම නැගී සිටි මහින්ද අමරවීර ඇමැතිවරයා කියා සිටියේ රටේ ප්‍රශ්නය වෙනත් දෙයක් නිසා මේ අවස්ථාවේ පළාත් සභා ඡන්දය ගැන කතා කිරීමේ තේරුමක් නැති බවය.


“අපි මේ වෙලාවේ පළාත් සභා මැතිවරණ ගැන කතා කරනවා කියන්නේ මාධ්‍යයට වැරදි මතයක් යන්න පුළුවන්. ඒ නිසා අපි මේ වෙලාවේ පළාත් සභා ගැන කතා නොකර කොරෝනා ප්‍රශ්නය සහ ඒකෙන් ගොඩ එන්න ක්‍රමයක් ගැන කතා කරමු.”‍ වාසුදේව නානායක්කාර ද කීවේය. ඊට පක්ෂ නායකයෝ සියලු‍ දෙනාම එකඟතාව පළ කළහ. අනතුරුව කතා කළේ දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා ය. “කොරෝනා මර්දන වැඩපිළිවෙළ ගැන ප්‍රශ්නත් තියෙනවා. අපි මේක ගැන ජනතාවට තේරුම් කරලා දෙන්න ඕනෑ.”‍ දිනේෂ් කීවේය. ඊට පිළිතුරු දුන්නේ අගමැති මහින්ද ය.


“මේ සම්බන්ධයෙන් තියෙන වෙනත් අදහස් එහෙමත් කියන්න.”‍ අගමැතිවරයා කීවේය.


ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ කතා කළේ ඉන් අනතුරුවය. ඔහු පැමිණ සිටියේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ ගැන සකස් කළ ලියවිල්ලක් ද අරගෙනය. ඊට ජී. වීරසිංහට අමතරව ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ ද අත්සන් තබා තිබිණි. එය එම පක්ෂ දෙකේම ඒකාබද්ධ යෝජනාවකි. කොරෝනා මර්දන වැඩපිළිවෙළ සඳහා එම පක්ෂ දෙක යෝජනා ගණනාවක් ඉදිරිපත් කර තිබිණි. ඊට ප්‍රධාන කාරණා හයක් අඩංගු විය. කොරෝනා ප්‍රශ්නය ජාතික අර්බුදයක් නිසා ඊට සර්වපාක්ෂික යාන්ත්‍රණයක් සකස් කිරීම, ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළකට යාම, හුදෙකලා ප්‍රදේශවල මෙන්ම ඉන් පිටත ඉන්න දුප්පත් ජනතාවට ආහාර මල්ලක් ලබාදීම, එන්නත්කරණය කඩිනම් කිරීම එම කාරණා අතර විය.


ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අනතුරුව කතා කරමින් රජයේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ ගැන පැහැදිලි කළේය. ඔහු කීවේ වැඩි වන රෝගීන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා අලු‍තින් ඇඳන් දස දහසක් සකස් කරගෙන යන බවය. ඒ අතරම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක්ද අලු‍තින් සකස් කරගෙන යන බව ඔහු කීවේය. එන්නත්කරණ වැඩපිළිවෙළ ගැන ද ඔහු සඳහන් කළේය. ඔහු කීවේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ හයක අඩුවක් පවතින බව සෞඛ්‍ය අංශ දැනුම් දී ඇති බවය. එම හිඟ එන්නත් ප්‍රමාණය ඇමරිකාවෙන්, බ්‍රිතාන්‍යයෙන් සහ ඉන්දුනීසියාවෙන් ලබාගැනීමට රජය සාකච්ඡා කරමින් සිටින බව බැසිල් කීවේය. සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි ද ඒ ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළාය. අපහසුතා මැද්දේ වුවද කොරෝනා මර්දන වැඩපිළිවෙළ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ එක්ව සාර්ථකව කරගෙන යන බව ඇය කීවාය.


කොරෝනා ප්‍රශ්නයෙන් පසුව පැන නැගුණේ පොහොර ප්‍රශ්නයයි. “රසායනික පොහොර තහනම් කිරීම හොඳයි. හැබැයි එකපාරට කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න පුළුවන්.”‍ එසේ කීවේ වාසුදේව නානායක්කාරය. වාසුදේවගේ ප්‍රශ්නයට උත්තර දුන්නේ බැසිල්ය. “ඒක ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළක්. ඒක දැන් ආපස්සට ගන්න අමාරුයි. අපි දැන් කරන්න ඕන එතනින් මතුවන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමයි.”‍ බැසිල් කීවේය. ජෝන් සෙනෙවිරත්න අදහස් දක්වමින් කීවේ, පොහොර ප්‍රශ්නයෙන් ලොකු අමාරුකම් ඇති වෙන්න පුළුවන් බවය. එහෙත් අතුරලියේ රතන හිමියන් සිටියේ වෙනත් අදහසකය. උන්වහන්සේ කීවේ “අපි මේ වැඩපිළිවෙළ අමාරුවෙන් හෝ ඉදිරියට ගෙන යා යුතු බවය. තමන් වහන්සේ ඊට සහය දෙන බව ද උන්වහන්සේ කියා සිටියහ.


කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලු‍ත්ගමගේ පොහොර ප්‍රශ්නය ගැන පැහැදිලි කළේය. “මේ කන්නයට අවශ්‍ය පොහොර තියෙනවා. සමහරු පොහොර හිඟයක් පෙන්වා ඒවා හංගගෙන ඉන්නවා. හංගපු පොහොර ගන්න මට බලයක් නෑ. ඒක කරන්න පුළුවන් පාරිභෝගික අධිකාරිය හරහා බන්දුල ඇමැතිතුමාටයි.”‍ මහින්දානන්ද කීවේය. බන්දුල කීවේ හංගාගෙන තිබෙන පොහොර එළියට ගන්න ලබන සතියේ කැබිනට් පේපර් එකක් දමන බවය.


කොළඹ වරාය නගර පනත් කෙටුම්පත ගැන ද සාකච්ඡාවට ලක්විය. ඒ ගැන මතු කළේ ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයාය. “පෝට්සිටි පනතට මොකද වෙන්නේ”‍ ගෙවිඳු විමසීය. “ඒකෙ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඇවිත් තියෙන්නේ. කතානායකතුමා තීන්දුව ලබන අඟහරුවාද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නට පස්සේ අපිට විවාදයට ගන්න පුළුවන්”. දිනේෂ් පිළිතුරු දුන්නේය. “එතකොට සංශෝධන කරන්න තිබුණොත් මොකද වෙන්නේ?”‍ ගෙවිඳු යළිත් විමසීය. “ඒක සාකච්ඡා කරල කරන්න පුළුවන්.” දිනේෂ් කීවේ පනත් කෙටුම්පත ලබන සතියේ විවාදයට ගන්නා බව තහවුරු කරමිනි.


ඔන්ලයින් කැබිනට් රැස්වීම


සතියේ කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා හැන්දෑවේ පැවැත්විණි. කොරෝනා හේතුවෙන් මෙවර ද කැබිනට් රැස්වීම පැවැත්වුණේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ය. ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ සිට ඊට සම්බන්ධ විය. සෙසු ඇමැතිවරු කාර්යාල වල සිට සහ නිවෙස් වල සිට ඊට සම්බන්ධ වූහ. ජනාධිපතිවරයා රැස්වීමට එනතෙක් ඇමැතිවරු ආගිය තොරතුරු ආදිය කතාබහ කරමින් සිටියහ. රැවුල වවාගත් අමුත්තෙක් කැබිනට් රැස්වීමට සම්බන්ධවී සිටියේය. ඒ මහින්දානන්ද අලු‍ත්ගමගේ ය. ‘‘කැබිනට් එකට ආපු අලු‍ත් අමුත්තා කවුද කියලා මම මේ බැලු‍වා”‍ ඩලස් කීවෙ මහින්දානන්දට විහිළුවක් කරමිනි. ඩලස් සහ මහින්දානන්ද දෙන්නාම ගිය සතියේ සිටියේ ස්වයං නිරෝධායනය වෙමිනි. ‘‘ඇයි මෙහෙම හොඳ නැද්ද?’’ මහින්දානන්ද විමසුවේ ඩලස් ගෙනි. ‘‘නෑ නෑ බොහොම හොඳයි. මට එකපාරටම අඳුරගන්න බැරි වුණා”‍ ඩලස් කිව්වේ හිනා වෙමිනි.


මෙවර ද කැබිනට් රැස්වීමේ වැඩි අවධානයක් යොමු වුණේ කොරෝනා ප්‍රශ්නය ගැනය. කෝවිඩ් අර්බුදය හමුවේ ලොක්ඩවුන් කරන ප්‍රදේශවල ජනතාවට සතොස හරහා අත්‍යවශ්‍ය බඩුමල්ලක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි බව බන්දුල කීවේය. ‘‘ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ඒකට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවනං අපට සහාය දෙන්න පුළුවන්’’ බන්දුල කියද්දි ප්‍රසන්න රණතුංග එන්නත් කරන වැඩපිළිවෙළ ගැන කීවේය. කොළඹ වගේම ගම්පහත් එන්නත් කරන වැඩසටහන හොඳින් ක්‍රියාත්මක වන බව ප්‍රසන්න රණතුංග කීවේය. එන්නත් කරන වැඩපිළිවෙළේ ප්‍රමුඛතාව බස්නාහිර පළාත නිසා කළුතර එන්නත් කරන වැඩ කොහොමදැයි ජනාධිපතිවරයා රෝහිත ගෙන් ඇසුවේය. කළුතර එන්නත් කරන වැඩසටහන හොඳින් ක්‍රියාත්මක වන බව රෝහිත කීවේය. ‘‘එන්නත් කරන වැඩසටහනට හැමෝම සෞඛ්‍ය අංශවලට සහාය දෙන්න. අපි ලබන සතියේ ඉඳලා එන්නත් ගෙන්වීම වැඩිකරනවා”‍ ජනාධිපතිවරයා කීවේය.
මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල කිව්වේ මහනුවර දිස්ත්‍රික්කයේ ද කොවිඩ් රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන බවය. එබැවින් මහනුවර දිස්ත්‍රික්කයේද එන්නත් කරන වැඩසටහන ඉක්මන් කරන්නැයි ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. තවත් එන්නත් මිලියන තුනක් චීනයෙන් ඉක්මනින් ගෙන්වන්න මේ දිනවල කටයුතු කරගෙන යනවා. අපි හැකි ඉක්මනින් එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි”‍ ජනාධිපතිවරයා සඳහන් කළේය. අනතුරුව ඩලස් කතා කළේය. විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට කොවිෂිල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව දුන් බවද ඩලස් කීවේය. ඒකට සහාය දීම ගැන ඩලස්, ජනාධිපතිවරයාට ප්‍රශංසාව පළ කළේය.


කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට අවශ්‍ය ඇඳන් දස දහසක් අලු‍තින් හැදීමේ වැඩපිළිවෙළ ආරම්භ කළේ බැසිල් ය. ඒ කටයුතු සම්බන්ධීකරණය කරමින් සොයා බලන්නේ නාමල් ය. දින 10ක් තුළ ඇඳන් දස දහසක් හැදීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය ගැන නාමල් කැබිනට් මණ්ඩලය දැනුවත් කළේය. ‘‘අපි අද හවස ඉඳලම ඇඳන් බෙදාහරින්න පටන් ගත්තා. රෝහල් 13ක තාවකාලික වාට්ටු ඉදිකිරීමේ කටයුතු පොදුජන පෙරමුණේ මූලිකත්වයෙන් සිදුවනවා’’ නාමල් කීවේය. බැසිල්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙලට හැම ආයතනයකම පාහේ වෘත්තීය සමිති නියෝජිතයින්ගේද සහාය ලැබෙන බව ඔහු කීවේය.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වරින් වර කරන ප්‍රකාශවලින් ආණ්ඩුව ද අපහසුතාවට පත් වේ. පසුගිය කාලය පුරා ද උන්වහන්සේ ආන්දෝලනාත්මක ප්‍රකාශ ගණනාවක් කළහ. මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගිය බදාදා හැන්දෑවේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ සුවදුක් විමසීමට නාරාහේන්පිට අභයාරාමයට ගියේය. අගමැතිවරයාගේ දැනුම්දීම මත බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ද පැමිණියේය. අගමැතිවරයා ආනන්ද හිමියන්ගේ සුවදුක් විමසන අතරේ බන්දුල ඇඟට නොදැනී කීවේ හාමුදුරුවන් කරන සමහර ප්‍රකාශ නිසා ආණ්ඩුවද අපහසුතාවට පත්වන බවය. ‘‘අපි ආණ්ඩුව ගෙනාපු අය. අපි විවේචන කරන්නෙ ආණ්ඩුව හදාගන්න”‍ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කියා සිටියහ. කොරෝනා ප්‍රශ්නය සම්බන්ධයෙන් ද උන් වහන්සේ අදහස් දැක්වූහ. කොරෝනා ප්‍රශ්නය හමුවේ රට ලොක්ඩවුන් කරන්නැයි උන්වහන්සේ ඉල්ලීමක් කළහ. අගමැතිවරයාත් බන්දුලත් කීවේ එසේ කිරීම එතරම් පහසු නොවන බවය. ‘‘මේ වෙලාවේ රට වැහුවොත් ආර්ථිකය ඉවරයි. එහෙම වුණොත් මිනිස්සු මැරෙනවා කන්න නැතිව. ඒ නිසා ලෙඩ්ඩු වැඩියෙන් හම්බවෙන ප්‍රදේශ ලොක්ඩවුන් කරන එකයි වඩා ප්‍රායෝගික”‍ බන්දුල කීවේය .
කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන බදාදා, බ්‍රහස්පතින්දා විවාදයට ගැනේ. ඊට පෙර මෙම පනත් කෙටුම්පත පිළිබඳ ආණ්ඩුවේ පක්ෂ නායකයන් දැනුවත් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත. ඒ අනුව ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් හෙට හවස කැබිනට් රැස්වීමට පෙර අගමැති වරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ


පීඩාවට පත් ජනතාවට විපක්ෂයෙන් හුස්මක්


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය දිනවල තානාපතිවරුන් කිහිපදෙනෙකු හමු වූයේ කොරෝනාවෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබාදීම ගැන අවධානය යොමු කරමින්ය.


ජපාන තානාපති සුගියාමා අකිරා හමුවූයේ විපක්ෂ නායක කාර්යාලය්දීය.
‘‘කොරෝනා ව්‍යසනය අබියස දැඩි පීඩාවකට පත්ව සිටින ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගීම උදෙසා අත්‍යාවශ්‍ය සෞඛ්‍යමය උපකරණ සහ ආධාර ලබා දීමට ජපානයේ සහාය අවශ්‍යයි”‍ සජිත් කීවේය.
ජපානය මේ ‘‘සම්බන්ධයෙන් උපරිම මැදිහත්වීම සිදුකරනවා”‍ ජපාන තානාපතිවරයා කීය.
එන්නත්කරණය පිළිබඳව සජිත් තානාපතිතුමාගෙන් විමසුවේය.
‘‘එන්නත්කරණය සඳහා ජපානය ප්‍රමුඛතාවය දුන් නිසා කොරෝනා උවදුර ව්‍යසනයක් නොවන තැනට පත්වුණා”‍ ජපාන තානාපතිවරයා පැහැදිලි කළේය.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන ‘‘හනා සිංගර්’’ ඇතුළු කණ්ඩායම හමුවූ සජිත් විශේෂ අවධානයක් යොමු කළේ කොරෝනා ව්‍යසනය සහ ඒ හරහා මතුව ඇති අභියෝග පිළිබඳව ය. විශේෂයෙන්ම දැඩි පීඩාවකට පත්ව සිටින ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගීම උදෙසා අවශ්‍ය සහාය විපක්ෂ නායකවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරියගෙන් ඉල්ලා සිටියේය.
‘‘විපක්ෂයෙන් හුස්මක්’’ වැඩසටහන පසුගිය සතියේදී ආරම්භ වූයේ කොරෝනා වලින් පීඩාවට පත් ජනතාවට සහන ලබාදෙමින් රෝහල්වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමටය. සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, එස්.එම්. මරික්කාර් ඇතුළු මන්ත්‍රීවරු මේ සඳහා එක්ව සිටියහ.
‘‘ඔබතුමා පසුගිය කාලයේ දිගටම රෝහල්වලට වෛද්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළා නේ”‍ මරික්කාර් ඇසුවේය.


‘‘ඔව්. ඒත් මේක විශේෂ අවස්ථාවක්. රෝහල් වල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පහසුකම් වැඩියෙන් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපේ වගකීම ඉටු කරන්න ඕනෑ”‍ සජිත් කීය.
‘‘මේ ආණ්ඩුව හරියට මේකෙත් තත්ත්වය තේරුම්ගත්තේ නෑ. පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණවත් පරිදි සිදුකරන්නේ නෑ. ඒ නිසා මේක දැන් සමාජගතවෙලා”‍ රාජිත පවතින අනතුර හෙළි කළේය.
‘‘කොරෝනා ව්‍යසනය සහ එහි පෙර මග ලකුණු චීනයේ ආරම්භ වූ මොහොතේ සිටම ඊට පෙර සූදානම් වීමේ අවශ්‍යතාව පිළිබඳව සමගි ජන බලවේගය නිරන්තරයෙන්ම ආණ්ඩුවට සහ අදාල බලධාරීන්ට අවධාරණය කළා. ඒත් මේ අය මේව සෙල්ලමකට ගත්තා”‍ සරත් ෆොන්සේකා කීය.
‘‘කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කිරීම වෙනුවට ජනතාවාදී වැඩපිළිවෙලක අවශ්‍යතාව අපි පෙන්වාදුන්නා.
පක්ෂ පාට භේද පසෙක ලා මෙරට සමස්ත ජන පරපුරේ ජීවිත අපේක්ෂාවන් වෙනුවෙන් අපි පෙනී ඉන්නවා”‍ සජිත් කීය.


බැසිල් ගැන කතා


සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බ්‍රහස්පතින්දා උදෑසන විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේ සජිත් හමුවීමටය.


‘‘ආණ්ඩුවට දැන් හරියට ප්‍රවෘත්ති නිවේදනයක්වත් ලියන්න පුලු‍වන් අය නෑ. එවන නිවේදනවල තියෙන දේවල් පැහැදිළි කරන්න තවත් නිවේදනයක් දාන්න වෙලා”‍ ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා කීවේ සිනාසෙමින්ය.
‘‘අර අකුණු ගහනකොට එළියට දාන යකඩ කෑල්ල වගේ මාධ්‍යවේදීන් දැන් එළියට දාලා. ආණ්ඩුවේ පව් ඒ අය පිටින් යන්නේ”‍ ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයා කීවේය.


‘‘ආණ්ඩුව ගෙවල්වලට වෙලා පරිස්මට ඉන්න කියනකොට බැසිල් ඇමෙරිකාවෙ ගිහින්”‍ මුජිබර් පැවසුවේය.
‘‘අන්න ආණ්ඩුවේ ආදර්ශවත් නායකයෝ. හරියටම උපදෙස් පිළිපැදලා. ඇමෙරිකාවේ තමන්ගේ ගෙදරටම ගිහින්”‍ තුශාර ඉඳුනිල් කීවේ විහිළුවෙනි. 

 

 

 

-ගජබා-