​නොබැඳි පිළිවෙතට සැකසෙන අලුත් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය


 

නව රජයේ විදේශ ප්‍රතිපත්තිය කවරාකාරයට සකස් වනු ඇති ද යන්න විමසමින් ආචාර්ය හරින්ද විදානගේ මහතා සමග කළ සාකච්ඡාවක් මෙසේය.   


ප්‍රශ්නය:- ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු රාජපක්ෂ මහතා ඉන්දියානු වෙබ් පුවත් සේවයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් තමන්ගේ රජය යටතේ විදේශ ප්‍රතිපත්තිය හසුරුවන ආකාරය ගැන පුරෝකථන කීපයක් ලබා දුන්නා. එහිදී ඔහු ඉන්දියානු හා චීන සාධක ගැනත් සඳහන් කළා. මේ කාරණාත් එක්ක රටේ විදේශ ප්‍රතිපත්තිය කවර දිශාවකට ගමන් කරයි කියල ද ඔබ හිතන්නේ?   


පිළිතුර:- මම හිතන්නේ අලුත් ජනාධිපතිතුමාට ඕන වුණා එතුමගෙ විදෙස් ප්‍රතිපත්තිය කලින් තිබුණු විදේශ ප්‍රතිපත්තිවලට වඩා ගුණාත්මක අතින් වෙනස් බව පෙන්වන්න. ඒ සම්මුඛ සාකච්ඡාව ඒ වෙනුවෙන් එතුමා උපරිමයෙන් ප්‍රයෝජනයට ගත්තා. එතනදී එතුමට පැහැදිලි කාරණා කීපයක් ඉදිරිපත් කරන්න අවශ්‍ය වුණා. එතනදී එතුමා මුලින්ම අවධානය යොමු කළේ අපේ කලාපය ගැන. ඉන්දු ශාන්තිකර කලාපයේ ඉන්න ප්‍රධාන බලවතුන් දෙන්නා වන චීනයයි, ඉන්දියාවයි එක්ක ඉදිරියේ දී පවත්වාගෙන යන සබඳතාවල ස්වභාවය ගැන එතුමා පැහැදිලි කළා. විශේෂයෙන්ම ඉන්දියාව ගැන.   


ප්‍රශ්නය:-  එතනදී එතුමා ඉන්දියානු අභිලාෂ ගැන විශේෂයෙන් සඳහන් කළා. ඒ වගේම එතුමගෙ මුල්ම නිල සංචාරය යෙදුණෙත් ඉන්දියාවට. මේ තත්ත්වය තේරුම් ගත යුත්තේ කෙසේ ද?   


පිළිතුර:- කාරණා කීපයක් නිසා මේ තත්ත්වය අවබෝධ කරගත යුතුයි. අපි ගොඩක් දෙනෙක් නව ජනාධිපතිතුමාව දන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා හැටියට. දේශපාලන වෙනස්කම් එතුමා හොඳට නිරීක්ෂණය කරනවා. අපේ සාම්ප්‍රද‌ායික විදේශ ප්‍රතිපත්තියේ දී ඉන්දු - ලංකා සබඳතාවලට විශේෂ තැනක් හිමි වෙනවා. නමුත් මෙතන තියෙන්නෙ ඊට වඩා වෙනස් දෙයක්. ඒ කියන්නේ අපි සාම්ප්‍රද‌ායිකව තේරුම් ගත් ඉන්දියාව නෙවෙයි දැන් තියෙන්නේ.   
1947 නිදහස ලබාගත් ද‌ා ඉඳලා 2014 වෙනකන් පැවැති ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය නේරු - ගාන්ධි ආකෘතිය කේන්ද්‍ර වූ විදේශ ප්‍රතිපත්තියක්. මොන නායකයා බලයට ආවත් විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුණේ නේරු - ගාන්ධි අදහස් මත. ඒක ඇතුළෙ ඉන්දියාවේ බලය විදහා දැක්වීමට කිසි නායකයෙක් උත්සාහ ගත්තේ නෑ. තමන්ගේ බලය විදහා දක්වන්න පුළුවන් සීමාව හැටියට ඉන්දියාව සැලකුවෙ දකුණු ආසියාව.   
නමුත් 2014 දී මෝදි බලයට පත් වීමත් සමග මේ තත්ත්වය වෙනස් වුණා. කලාපය තුළ මීට වඩා ඉන්දියාවේ බලය විදහා දක්වන්නත් ඒ හරහා ඉන්දියාව ලෝක බලවතකු හැටියට ස්ථානගත කරන්නත් අගමැති මෝදිට අවශ්‍ය වුණා. මේ නිසා මෝදි කිව්වා ශාන්තිකර සාගරය පැත්තට ඉන්දියාවේ බලය ව්‍යාප්ත කළ යුතුයි කියලා. ‘ඇක්ට් ඊස්ට්’ ප්‍රතිපත්තිය කියලයි මේ ප්‍රවණතාව ඉන්දියානු විදේශ ප්‍රතිපත්තියේ දී හඳුන්වන්නේ.   


මෝදියි ගෝඨාභය රාජපක්ෂ මහතායි අතර යම් යම් සමානකම් මම දකිනවා. මනා කළමනාකරණ හැකියාව. නව තාක්ෂණය ගැන ඇති දැනුම. සුදුස්සාට සුදුසු තැන ලබා දීම මේ වගේ කාරණාවල දී ඒ බව පේනවා. ඊට අමතරව මේ නායකයො දෙන්නම චීනයට ප්‍රමුඛ තැනක් ලබා දෙනවා.   


ඉන්දියාවට තියෙන විශාලතම කලාපීය අභියෝගය තමයි චීනය. ඒ දෙරට අතර විරසකවීමුත් සිදුවුණා. මෑතක දී භූතානයෙ ඩොක්ලාම් කියන ප්‍රදේශයේ දී මේ දෙරටේ හමුද‌ා අතර යම් ආතතිකාරී තත්ත්වයක් පැන නැගුණා. මෙවැනි අවස්ථාවල දී ඉන්දියාව සාම්ප්‍රද‌ායිකව පසුබසින නමුත් මේ සිද්ධියේ දී ඉන්දියානු හමුද‌ා පසුබැස්සෙ නෑ. චීනයයි පසුබැස්සෙ.   
මේ අතින් බලන කොට මෝදිගෙ විදේශ ප්‍රතිපත්තිය වගේම ආරක්ෂක ප්‍රතිපත්තියත් වෙනස්. මම හිතන විදියට මේ තත්ත්වය අපේ ජනාධිපතිතුමා අවබෝධ කර ගෙන තියෙනවා. කලාපයේ කුඩා රටවල් මීට වඩා ඉන්දියාව ගැන සංවේදී විය යුතුයි කියන තැනක මෝදි ඉන්නවා. අපි චීනයත් එක්කයි ඇමෙරිකාවත් එක්කයි පවත්වන සබඳතා ගැන ඉන්දියාව ප්‍රශ්න කරන්නේ නෑ. නමුත් ඉන්දියාව අපේක්ෂා කරනවා අපි ඉන්දියාවේ ආරක්ෂක අභිලාෂ ගැන මීට වඩා සංවේදී විය යුතුයි කියලා.   
 මෙන්න මේ යථාර්ථය තමන් අවබෝධ කරගත්තා කියලා පෙන්නන්න තමයි එතුමා ඒ සම්මුඛ සාකච්ඡාව ඉන්දියාවේ ආරක්ෂාව විශ්ලේෂණය කරන මාධ්‍යවේදියෙකුට ලබා දුන්නේ. ‘භාරත් ශක්ති’ කියන්නෙ තනිකරම ඉන්දියාවේ ආරක්ෂාව විශ්ලේෂණය කරන වෙබ් අඩවියක්. ඒ වෙබ් අඩවිය පටන් අරගෙන අවුරුද්දයි ගතවෙලා තියෙන්නේත්. ඒකෙන් තේරෙනවා ජනාධිපතිතුමා මොන තරම් දුරට අධ්‍යයනය කරලා ද මේ සම්මුඛ සාකච්ඡාව ලබා දීලා තියෙන්නෙ කියලා.   


ප්‍රශ්නය:-  පසුගිය දසකයක කාලෙදි ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හැසිර වූ ආකාරය විමර්ශනය කිරීමේ දී පැහැදිලි වෙන කාරණයක් නම් ‘චීන’ සාධකය ඉතා වැදගත් ලෙස මතු වූ බව. රාජපක්ෂ රජයක් යටතේ මේ චීන සාධකය මොන වගේ තැනකට තල්ලු වෙයි කියල ද ඔබ කල්පනා කරන්නේ?   


පිළිතුර:- අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය ගත්තම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගන්න වෙන යථාර්ථයන් කීපයක් තියෙනවා. එකක් තමයි මෝදි අගමැති යටතේ ඉන්දියාවේ නව භූමිකාව. ඒ වගේම චීනයේ පිබිදීම හා ලෝක දැක්ම. චීනයේ ඒ ලෝක දැක්ම ඉදිරිපත් කරන්නෙ 2013 දී චීනයෙ ජනාධිපති ධුරයට පත් වූ ෂි ජින් පින්ග් මහතා. තම තමන්ගෙ රටවල ශක්තිය ලෝකයට ගෙන යෑමේ දැඩි වුවමනාවක් ඉන්දියානු චීන නායකයන්ට තියෙනවා. ඒ නිසා තමයි ඒ බල ව්‍යාපෘති දෙක ගැටෙන්නෙත්. 

 
චීනය ටිකින් ටික දකුණු ආසියාව පැත්තට එද්දි ඒකට ප්‍රතිචාරයක් විදියට ඉන්දියාව නැගෙනහිර ආසියාව පැත්තට යනවා. සාම්ප්‍රද‌ායික බලවතා වෙන ඇමෙරිකාව 2010 න් පස්සේ කල්පනා කරනවා ලෝකෙ බල ව්‍යාපෘති වෙනස් වෙමින් තියෙන පසුබිමක තමනුත් වෙනස් වෙන්න ඕන කියලා. ඒ නිසා 2011 දී වගේ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඔබාමා ‘ආසියාවට නැඹුරුවීම’ කියන ප්‍රතිපත්තිය ආරම්භ කරනවා. ඒ නම වෙනස් කරලා ‘ආසියාවේ සමතුලනයක් ඇති කිරීම’ කියන ප්‍රතිපත්තිය ගේනවා. ඒක අවුරුදු 50 කට විතර පස්සෙ ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේ ඇති වූ විශාල වෙනසක්. ඒ හරහා යුද, ආර්ථික බලයන් ඉන්දියන් හා පැසිෆික් සාගර කලාපවලට යොමු කිරීමට ඔවුන් පියවර ගන්නවා.   
 නමුත් ඇමෙරිකාවයි ඉන්දියාවයි අතර ආරක්ෂාව සම්බන්ධයෙන් යම් යම් එකඟතා 2005 න් පසු ඇති වෙනවා. මේ රටවල් දෙක සමීප වෙන මහා පොදු සාධකය චීනය.   


ප්‍රශ්නය:-  2015 යහපාලන ආණ්ඩුව බලයට පත් වූ විගස වරාය නගර ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට පියවර ගත්තා. එයින් යම් මතභේදකාරී තත්ත්වයක් පැන නැගුණා. අලුත් ජනාධිපතිවරයා ඉන්දීය මාධ්‍යයකට ලබා දුන් සාකච්ඡාවේදී කියනවා හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීම වැරදි බවත් ඒ බදු ගිවිසුම නැවත සමාලෝචනය කරන බවත්. මේ ප්‍රවණතා චීන - ලංකා සබඳතාවලට මොන විදියෙ බලපෑමක් ඇති කරයි ද?   


පිළිතුර:- ඔය කතාවත් එක්ක හුඟ දෙනෙක් අහනවා හම්බන්තොට වරාය ගිවිසුම වෙනස් වෙයි ද කියලා. රාජ්‍ය නායකයන් කියන සමහර කතා ඒ වචනවල ආර්ථයෙන්ම වටහා ගන්නවාට වඩා වැදගත් වන්නේ ඒවයෙන් ලබා දෙන ඉඟි තේරුම් ගැනීමයි. ඒ ඉඟිය පැහැදිලියි. ඒ ඉඟිය දෙන්නේ ඉන්දියාවටයි, චීනයටයි, අපටයි. චීනයට ලබා දෙන ඉඟිය තමයි යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා චීනය ලබා දුන්න විශිෂ්ට සහ​යෝගය නිසා යුද්ධය අවසන් වූ පසු ලංකාවේ දැවැන්ත ආයෝජන සිදුකිරීමට ඉඩ දුන්නත් මින් ඉදිරියට දෙරටේ සබඳතා හැසිරවීමේ දී ලෝක භූ දේශපාලනික යථාර්ථයන් සමග කටයුතු කරන බව.   
 ඉන්දියාවටත් ඉඟියක් ලබා දෙනවා. ඉන්දියාවේ ආරක්ෂක අභිලාෂවලට අපි සංවේදී වෙනවා. නමුත් ඊට සාපේක්ෂව ඉන්දියාව අපේ රටට ලබා දෙන ආර්ථිකමය සහයෝගය වැඩි කළ යුතුයි කියන පණිවිඩය ඔහු නොකියා කියනවා. 

 
 මේ නිසා අපි ජනාධිපතිතුමාගේ කතාවේ හරය අවබෝධ කරගැනීම ඉතා වැදගත්. එතුමන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙත් සඳහන් වෙන්නේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියලා. නමුත් මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය න්‍යායාත්මකව කියන්න ලේසි වුණත් ක්‍රියාත්මක කරන්න ටිකක් අමාරුයි. ඒක තමයි එතුමාට රාජ්‍ය නායකයා විදියට මූණ දෙන්න සිදුවෙන අභියෝගය.   


ප්‍රශ්නය:-  එක්සත් ජාතික පක්ෂ විරෝධී ආණ්ඩුවක් බලයට පත් වුණහම ක්‍රියාත්මක කෙරෙන විදේශ ප්‍රතිපත්තිවල සාමාන්‍යයෙන් දකින්න පුළුවන් තත්ත්වයක් තමයි ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර කඳවුරෙන් දුරස් වන ස්වභාවයක් පෙන්නුම් කිරීම. අලුත් ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා පවසා තිබුණා. ජිනීවා i/30 යෝජනාව වගේම සෝෆා වගේ රටට අහිතකර ගිවිසුම් යළි සමාලෝචනය කරනවා කියලා. එම්.සී.සී. ගිවිසුම ගැන ජනාධිපති රාජපක්ෂ මහතාත් මේ වනතුරු සිය ස්ථාවරය හෙළි කරලා නෑ. මේ පසුබිමේ බටහිර කඳවුර සමග වන සබඳතා මොන විදියෙ හැඩයක් ගනියි ද?   


පිළිතුර:- මම හිතන්නෙ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තේරුම් අරගෙන තියෙනවා බටහිර කඳවුර සතුරෙකු කරගෙන වැඩක් නෑ කියලා. බටහිර කඳවුර ලෝක දේශපාලනයේ ප්‍රබල භූමිකාවක් රඟ දක්වනවා. අපි කොච්චර කිව්වත් චීනය, ඉන්දියාව නැගිටලා තියෙනවා කියලා බටහිර කඳවුර වැදගත්. ඉන්දියාවත් එක්තරා දුරකට බටහිර කඳවුරේ ඉන්නේ. අපි භූ දේශපාලනිකව බටහිර සැලකුවොත් ඕස්ට්‍රේලියාව, ජපානය වගේ රටවලුත් ඒකට අයත් වෙනවා.   
ජනාධිපතිතුමා ඒ යථාර්ථයත් තේරුම් අරගෙන තියෙන්නෙ. පරිවාරයෙ ඉන්න ඇමැතිවරු මොනවා කිව්වත් සෝෆා, එම්.සී.සී. වගේ ගිවිසුම් ගැන තවම එතුමා මොකුත් නොකිව්වෙත් ඒ නිසයි.   


 දිනේෂ් ගුණවර්ධන මහතාත් කිව්වේ ඒ ගිවිසුම් සමාලෝචනය කරනවා කියලා. ඒවා ප්‍රතික්ෂේප කරනවා කියලා කිව්වේ නෑ. 21 වැනි සියවසේ භූ දේශපාලනය අපි තේරුම් ගත යුතුයි. චීන, ඇමෙරිකා, ඉන්දියා බල ව්‍යාපෘති තීව්‍ර වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ රටවල් වලින් එන හැම එකක්ම අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. බුද්ධියෙන් කටයුතු කරන්න අපිට සිද්ධ වෙනවා.   


 රාජ්‍යයේ පැවැත්ම තමයි ඉතාම වැදගත්. මම හිතන්නෙ මේ ජනාධිපතිතුමා තමයි අපේ රටේ බලයට පත් වූ පළවැනි වෘත්තීයවේදී ජනාධිපතිවරයා. එතුමා හොඳට ඇමෙරිකාව ගැනත් දන්නවා. චීනය ගැනත් දන්නවා. 

 
ප්‍රශ්නය:-  රාජපක්ෂ මහතා බලයට ආවොත් ශ්‍රී ලංකාව ජාතික ආරක්ෂක රාජ්‍යයක් කරා ගමන් ගනු ඇති බවට ඇතැම් විශ්ලේෂකයන් මත පළ කළා. විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධ කාරණයේ දී ජාතික ආරක්ෂාවට කවරාකාරයේ වැදගත්කමක් හිමි වෙයි කියල ද ඔබ හිතන්නේ?   


පිළිතුර:- මගේ ලිබරල් මිතුරන්ට තියෙන ලොකුම බයත් ඕකමයි. ඒ කියන්නේ මේ රට ජාතික ආරක්ෂක රාජ්‍යක් බවට පත්වෙලා අවසන් වෙයි ද කියන එක. අද ලෝකය ගත්තම සියලුම රටවල් ජාතික ආරක්ෂක රාජ්‍යයන් වෙලා ඉවරයි. හේතුව ලිබරල් ගෝලීය ආණ්ඩුකරණ සංකල්ප අර්බුදයට යෑම. ලංකාවටත් වෙලා තියෙන්නේ ඒකයි. අපට තියෙන භූ දේශපාලනික ප්‍රශ්න නිසා ජාතික ආරක්ෂාවට ප්‍රමුඛ තැනක් දෙන්න සිදුවෙලා තියෙනවා.   


 නමුත් ජාතික ආරක්ෂාව කියන්නේ මිලිටරි ආරක්ෂාව විතරක් නෙවෙයි. රටේ තියෙන හැම ක්ෂේත්‍රයකම ආරක්ෂාව තහවුරු කිරීමයි. අධ්‍යාපනය, ආර්ථිකය ආදී සියලු අංශ. ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්තියක් තවම අපේ රටට නෑ. 

 
 ඒ ගැන නැඹුරුවක් තියෙන ජනාධිපතිවරයෙක් බිහිවෙලා ඉන්න නිසා අවසාන වශයෙන් අපිට පුළුවන් වෙයි ජාතික ආරක්ෂක උපාය මාර්ගයක් සකස් කර ගන්න.   
 අවසාන වශයෙන් කියන්න ඕන වැදගත් කිසිදු තේමාවක් සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් ද්වීපාර්ශ්වීය එකඟත්වයක් අපේ රටේ නෑ. රටේ වැදගත් කාරණා ගැන කිසිදු දේශපාලනමය එකඟත්වයක් අපේ රටේ නෑ. මම හිතන්නේ මෙතුමාට ලොකු අවස්ථාවක් තියෙනවා මේ තත්ත්වය රටේ ඇති කරන්න. දේශපාලන පක්ෂ අතර කිසියම් සම්මුතියක් ගොඩ නගන්න එතුමට පුළුවන් නම් මම හිතන්නෙ සාධනීය විදේශ ප්‍රතිපත්තියක් ගොඩනගන්න පුළුවන්.

 

 සාකච්ඡා කළේ
උපුල් වික්‍රමසිංහ  
ඡායාරූපය - චානුක කුලසේකර