​නැව් ගනුදෙනුව පිටුපස ​‘‘ඩීල්’’ එකක්


 

බ්‍රහස්පතින්දා පෙරවරුවේ අගමැතිවරයා අරලියගහ මැදුරට පැමිණ රාජකාරි අරඹන්න පෙර පැමිණ සිටි මැති-ඇමැතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් රැසක්ද හමුවූයේය.  


එහිදී ඇතැම් මැති-ඇමැතිවරුන් හා ඇතැම් නිලධාරීන්ගේ ප්‍රමුඛ අවධානය යොමු වූයේ ශ්‍රී ලංකාව විසින් රුසියාවෙන් මිලදී ගැනීමට යන නැව් ගැනය.  


ඉන්දියාවෙන් හා ජපානයෙන් ණයවර හරහා හා ත්‍යාග ලෙස නවීන තාක්ෂණයෙන් යුතු ලංකාවේ වත්මන් අවශ්‍යතා සපුරන නැව් 04ක් ලැබීමට නියමිතව තිබියදී වසර ගණනාවක් පැරැණි හා අධික ලෙස වැඩ ගත් ලංකාවේ අවශ්‍යතා ඉටු නොකරන නැව් රුසියාවෙන් මිලදී ගැනීමට උත්සාහ කරන බවට එහිදී කතාබහක් ඇති විය.  


කැබිනට් මණ්ඩලයට ආරක්ෂක අමාත්‍යාංශය හරහා අදාළ යෝජනාව පැමිණිය ද එය පසුවට කල් තැබිණ.  


කැබිනට් මණ්ඩලය තුළ සම්මත වුවද අදාළ යෝජනාව ආරක්ෂක මණ්ඩලය තුළින්ද සම්මත විය යුතුය. එක්තරා පිරිසක් මෙම මිලදී ගැනීම රටට ප්‍රයෝජනයක් නැති බවට වන ස්ථාවරයක සිටින හෙයින් ඒ තුළ වත්මන් නාවික හමුදාපතිවරයාගේ තනතුර ද අනතුරට පත්ව තිබෙන බවට ආරංචි පැතිර යමින් තිබේ. නැව් මිලට ගැනීමේ ඩීල් එක පිටුපස සිටින දේශීය ඒජන්තවරයා ගැන ද එහිදී කතා බහ වී තිබේ.   


ලංකාව තුළ දැන් යුද්ධය නැති හෙයින් වෙරළාරක්ෂක නැව්වලට ප්‍රමුඛත්වය දිය යුතු බවට ද ඒ තුළ රුසියානු නැව් මිලට ගැනීම නවතා දමන්නේ නම් එය රටට වඩාත් වාසිදායක තීන්දුවක් බව ද එසේ නොවුවහොත් ගනුදෙනුව හරහා යහපාලන රජයට එරෙහි ප්‍රබල මාධ්‍ය ප්‍රහාර සිදු විය හැකි බවට ද මත පළ විය.  


‘‘නව ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාව හොඳ බව බොහෝ දෙනකුගේ අදහසයි. මා මහා නාහිමිවරුන්ටත් පිටපත් දී කරුණු පැහිදිලි කළා’’ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීය.  


‘‘ශ්‍රීලනිපයත් බලය බෙදීමට එකඟයි. බුදු දහමට තිබෙන ප්‍රමුඛත්වය තියාගෙන අනිත් ආගම්වලටත් මදිපුංචිකමක් නොකරන පදනම කවුරුත් අගය කරනවා’’ දයා ගමගේ කීවේය.   


‘‘බුදු දහමට ප්‍රමුඛත්වය දීම අනිවාර්යයෙන් කරන අතරේ අනිකුත් ආගම්වලට මදි පුංචිකම් නොකළ යුතුයි කියන එකට ශ්‍රීලනිපය විරුද්ධයිලු. ඒක පුදුම තත්ත්වයක්. රවී කරුණානායක මෙන්ම රන්ජන් රාමනායක කීවේ එකම කතාවකි.  


‘‘විධායක ජනාධිපතිකම අහෝසි කරන්නත් ශ්‍රීලනිපය විරුද්ධයිලු. ජනාධිපතිතුමා ආවේ එය අහෝසි කරන්නයි. ඒත් පළාත් සභාවලට අදාළ විධායක බලතල ජනාධිපතුමා ළඟ තිබීම ගැටලුවක් නොවන බව කාගේත් අදහසයි’’. ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ එයය.  


‘‘මේ ගැන ජවිපෙ ස්ථාවරය අහන්න ඕනෑ. ඔවුන් දැන් රටේ මහ පොළොවේ ඇත්ත දකින තැනට පරිවර්තනය වෙලා’’ නවීන් දිසානායක කීවේය.  


‘‘මේ කෙටුම්පතෙහි තිබෙන්නේ යෝජනා විතරයි. සාකච්ඡා ඔක්තෝබර් විතර වෙනකම් යනවා. අවසන් කෙටුම්පත එන්නේ ඊට පස්සෙයි. එජාපය කරන්නේ සියලු පක්ෂ එකතු කර පුළුල්ව කතා කර ගැටලු ලිහන එකයි’’ අගමැතිවරයා ප්‍රතිචාර දැක්වීය.  


‘‘අලුත් ඡන්ද ක්‍රමයේ 60% - 40% තිබූ කේවල හා සමානුපාතික එක 50%-50‌% කළා කියා ඒකාබද්ධය කෑ ගහනවා.’’ වජිර අබේවර්ධන කීය. සුළු පක්ෂ හා සුළු ජාතික පක්ෂ ගැන නොහිතා ප්‍රධාන පක්ෂ 02ට විතරක් වාසි ලැබෙන ක්‍රම හදලා රටකට ඉදිරියට යන්න බැහැ යැයිද අගමැතිවරයා පැහැදිලි කළේය.  


‘‘අර රොහින්ග්‍යා සරණාගතයන්ට අපේ හාමුදුරුවරුයි, තරුණ පිරිසකුයි කරපු පහත් වැඩෙන් බුදු දහමටයි, ලංකාවටයි ලොකු කැළලක් වුණා.’’ රන්ජන් රාමනායක කී දේ සියලු දෙනාම අනුමත කළහ.  


රාජිතයි, මංගලයි රෙදි ගැලවෙන්න ඒකට උත්තර දුන්නා. 2008 දී හා 2013 මහින්දගේ කාලේ 55ක් හා 170ක් ඒ සරණාගතයන් ලංකාවට ඇවිත් තිබෙනවා. ඔවුන් ලංකාවට එනවා නොවෙයි අපේ මුහුදු සීමාවේදී නාවික අංශ අල්ල ගන්නවා. කලින් ආපු අය එජා  සරණාගත කාර්යාලය හරහා ඇමරිකාව, කැනඩාවට යවා තිබෙනවා. ඕස්ට්‍රේලියාව බලා යද්දී මේ පාර අල්ල ගත් 30 දෙනාත් ඉක්මනින් යවාවි.’’  


එක්සත් ජාතීන්ගේ සරණාගත ගිවිසුමට 2005 දී අත්සන් කළෙත් මහින්ද රාජපක්ෂයි. අපේ අයත් යුද්ද කාලේ ලක්ෂ 22ක් සරණාගතයන් ලෙස පිටරට ගිහින් තිබෙනවා. හාමුදුරුවරුන් හා ඒ තරුණ පිරිස මේවා නොදැන පහත් ලෙස හැසිරීම ඉතා කනගාටුදායකයි. ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළහ.  


දඟලපු හාමුදුරුවරුන් හා තරුණ කොටස් අල්ල ගත්තෙ නැති එක පොලිසිය කළ රාජකාරි පැහැර හැරීමක්. ඒ කාන්තාවන්ට පහත් විදියට අඩන්තේට්ටම් කර පිරිමි අයට ගහලත් තිබෙනවා.’’ රන්ජන් රාමනායක කීය.  


බැඳුම්කර පරීක්ෂණවලට ආණ්ඩුව මැදිහත් වෙන්න එපා කියලා සජිත්, නවීන් හා රුවන් ඇමැතිවරුන් ඔබතුමා හමුවෙලා බලපෑම් කළා කියා ගිය ප්‍රවෘත්තිය මොකක්ද? වජිර අබේවර්ධන මෙන්ම දයා ගමගේ ද ඇසුවේ අගමැතිගෙනි.  


‘‘මා හම්බ වුණේ නැහැ. එහෙම කතාවක් ඇති වුණෙත් නැහැ. ඒ ප්‍රවෘත්තිය පළවුණේ කොහොමද කියලා ඒ තුන්දෙනාගෙන් අහන්න’’ අගමැතිවරයා කීවේ උස් හඬින් සිනාසෙමිනි.  


‘‘පොල් ගිනි ගණන්. ඒ අස්සේ ගෑසුත් ඉහළ ගියා’’ දයා ගමගේ කීය.  


‘‘පොල් හිඟයට හේතුව නියඟය හා පරිසර හේතුයි. ගෑස් මිල ලෝකයේ ඉහළ ගියා. මාස 2ක් ඒ බර ජනතාවට නොදී ආණ්ඩුව දරාගෙන සිටියා’’ අගමැති කීය.  


‘‘ජෝශප් මයිකල් හා රවී අතර ගැටුම එජාපයට හා ආණ්ඩුවට අනවශ්‍ය අවාසි ගෙනාවා කියලයි මිනිස්සු කියන්නේ.’’ නවීන් දිසානායක කීය.  


‘‘ජෝශපුත් කළ වැඩේ හරි නැහැ. මා අද උදේ එයාට කතාකර අනාථ වෙලා ඉන්න විපක්ෂයට අනවශ්‍ය තුරුම්පු දෙන්න එපා කිව්වා’’ අගමැති කීවේය.  


‘‘කෝටි 60ක් සිල් රෙදි බෙදලා මහින්ද නිලධාරි දෙන්නෙකු හිරේ යැව්වා. මධ්‍යම මහ ඇමැති පාසල් දරුවෝ දාලා සාරි පොට අල්ලලා ඒක අධ්‍යාපන ලේකම්ගේ ඇඟේ ගහලා. මාර දේවල් රටේ වෙන්නේ’’ රන්ජන් රාමනායක කීවේය.   


‘‘පළාත් සභාවල කාලය ඉවර වුණාම ඡන්ද පවත්වන තෙක් ඒ ඒ ආණ්ඩුකාරවරුන්ට බලය පැවරෙනවා. පී හැරිසන් කීවේය.  


‘‘ඔව් රෝහිත බෝගොල්ලාගම එහෙම පත්වෙලා මාස දෙකෙන් නැගෙනහිර රජ වෙනවා’’ අගමැති කීවේ උස් හඬින් සිනාසෙමිනි.  
‘‘ලබන වසර මැද වෙන විට රට පුරා වයිෆයි කලප 8500ක් ඇති කරනවා කියා අසා අපේ තරුණ පරපුර උද්දාම වෙලා වගේ පේනවා’’ දයා ගමගේ කීය.  


‘‘එජාපයට ජනපති හා අගමැතිට ආණ්ඩුවට හා රණවිරුවන්ට සෙත් පතා හා මියගිය රණවිරුවන්ට පින් දීමට අරලියගහ මැදුරේ තියපු දානයට එන්න එපා කියා ගම්මන්පිල සවුත්තු වුණා’’ ලක්ෂ්මන් කිරිඇල්ල කීය.  


‘‘හාමුදුරුවරුන් හොරුන් වෙනුවෙන් මුදල් ගරන්න පිණ්ඩපාතේ යවන්න හොඳයි, ඒත් දානයකට වඩින්න නරකයි. ගම්මන්පිලගේ බුදු දහමේ දැනුම පරීක්ෂා කරන්න කියලයි උපාසක අම්මලා කීපදෙනකු මට කිව්වේ’’ රන්ජන් රාමනායක කීවේ සිනා මැදය.  


 

​පැලනොවුණු ​මුල්ගලක්

ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන පසුගිය සතියේ හදිසියේම ගාලු ගියේ රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුන් විසින් සංවිධානය කරන ලද ‘ගී නිම් නද’ සංගීත මියැසියෙහි විශේෂ ආරාධිතයෙකු ලෙස එක්වීමටය. එම ගී මියැසිය මහත් සේ රස වින්දනය කළ ඇමැති වජිර ගී මියැසියේ ගායනයට පැමිණි විශාරද සුනිල් එදිරිසිංහ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කළේය. ඒ පණ්ඩිත් අමරදේව ශූරීන්ගේ අවසන් කටයුතු සිදුවූණ දින ගායනා කළ ‘මළ හිරු බසිනා සැන්දෑයාමේ’ ගීතය ගායනා කරන ලෙසය. ඇමැති වජිර කළ එම ඉල්ලීමට ප්‍රේක්ෂකාගාරයෙන් ලැබුණේ ඉතාමත් උද්වේගාකාර ඉහළ ප්‍රතිචාරයකි.  


 ඊට පසුදින අගමැති රනිල් ගාල්ලට පැමිණියේ පොලිස් නිලධාරින් වෙනුවෙන් වැකුණුගොඩ රජයේ නිවාස සංකීර්ණයේ නිල නිවාස 100 ක් විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමේ අපේක්ෂාවෙනි. රජයේ නිලධාරීන්ට ලබා දීම සඳහා වැකුණුගොඩ හා හබරාදූව නිවාස සංකිර්ණ දෙක ඉදිකරන ලද්දේ 2001-2004 එක්සත් ජාතික පක්ෂ රජය පැවැති කාලයේ රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා වූ වජිර අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙනි. වසර 13 කට පසු එම නිවාස සංකීර්ණය විවෘත කරන ලද්දේ ඔහු ස්වදේශ කටයුතු ඇමැතිවරයා ලෙස යළි පත්වීමෙන් අනතුරුවය. එය එක්තරා අහඹු සිදුවීමකි. කෙසේ වෙතත් අගමැතිවරයාත් ස්වදේශ කටයුතු ඇමැති වජිරත් මෙම අතීත කතාව සිහිපත් කළේය. මුල්ගල් පැලවෙන්නට ඉ​ඩ නොදී මූලිකත්වය ගත් අයම විවෘත කිරීමට භාග්‍ය ලැබීම ගැන ඇමැති වජිර ද සිටියේ එක්තරා සතුටකිනි.


 

​සූරියවැවට ආ ​කහ කුරුල්ලෝ

සූරියවැව ජාතික පාසලට වසර 50ක් පිරීම නිමිත්තෙන් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා පිරිනැමූ ත්‍යාගය රුපියල් ලක්ෂ 71ක් වටිනා ආසන 42කින් සමන්විත වායුසමනය කළ අලුත්ම කහපාට බස් රථයකි.   


මීට පෙර දෙබරවැව ජාතික පාසලේ 80 වැනි සංවත්සරයට ද සජිත් මෙවැනිම කහපාට බස් රථයක් තෑගි දී තිබුණි. දෙබරවැව ජාතික පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරු, සිසුන් හා ආදි සිසුන් පිරිසක් ඔවුන්ගේ බස් රථයෙන් මේ උත්සවයට නෑගම් ඒමද විශේෂ සිද්ධියක් විය.   


සජිත් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල සිට කිලෝ මීටර් 2ක් පමණ බසය පදවාගෙන විදුහල වෙත ආවේ පාසලේ සිසු-සිසුවියන් පිරිසක් ද බසයට නංවාගෙනය. බස්රියට ඉදිරියෙන් නළා ශබ්ද කරමින් ඉදිරිපස විදුලි පහන් දල්වාගත් ප්‍රදේශවාසීන්ගේ වාහන සහ මෝටර් සයිකල් පෙළපාලියක් පැමිණියේය.   


බස් රථය පසුපසින් ආවේ දෙබරවැව ජාතික පාසලේ බස් රියයි. කහකුරුල්ලන් දෙදෙනා දුර තියා දුටු දරු - දැරියන් හා දෙමාපියන් විදුහලේ කොඩි වනමින් ප්‍රීති ඝෝෂා පළ කළහ.   


බස්රථය මිලදී ගැනීමට මුදල් ලබා දී තිබුණේ සජිත්ගේ ඉල්ලීම පරිදි පරිත්‍යාගශීලි දානපතියන් පිරිසකි. සංකේතයක් ලෙස නිර්මාණය කළ යතුරක් සජිත් පාසලේ සිසුවියක හා සිසුවෙකු වෙත භාර දුන්නේය.   


‘‘අපේ දුප්පත් දරුවෝ වෙනුවෙන් මෙතුවක් කාලෙකට කවුරුවත් මෙහෙව් සැළකිල්ලක් කරල නෑ සර්’’ සජිත් වටකර ගත් දෙමාපියන් කියද්දී සජිත් කීවේ ‘‘සල්ලිත් තිබුණු, බලයත් තිබුණු කාලේ මොනවත්ම සිද්ධ වෙලා නෑතමයි. මම මේ ළමයින්ට ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තටාකයකුත් හදල දෙනවා. මේ දේවල් කරන්න මට ජනාධිපතිතුමාගෙත්, අගමැතිතුමාගෙත් ආශිර්වාදය, දිරිගැන්වීම නොඅඩුව ලැබෙනවා’’ කියාය.