​කතානායකට ඇමෙරිකාවෙන් ඉහළ පිළිගැනීමක්


 

වැදගත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා රැසක් පණ ගැන්වුණු ගෙවී ගිය සතිය ශ්‍රී ලංකාව නැවත වරක් ලෝක දේශපාලනයේ දී ස්වකීය අනන්‍යතාවය සනිටුහන් කළ බව පෙනී ගියේය. විශේෂයෙන්ම ලෝක බලවතා වන ඇමරිකා එක්සත් ජනපදය කලකට පසුව මෙරට සම්බන්ධව දැඩි මිත්‍රශීලී පිළිවෙතකට පිවිස ඇති බව ප්‍රකට වූයේ ඇමෙරිකානු කොංග්‍රසයේ ඇරයුමින් එරට බලා ගිය කතානායකවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසට දක්වන ලද උසස් ප්‍රතිචාරය තුළිනි.  


ද්වී සභා ව්‍යවස්ථාදායකයක් ක්‍රියාත්මක වන ඇමෙරිකාවේ කොංග්‍රස් සහ සෙනෙට් සභිකවරුන් මෙන්ම රාජ්‍යතන්ත්‍රයේ ඉහළ නිලධාරීන් විශාල පිරිසක් එකවර සහ වෙන වෙනම හමුවීමට කතානායකවරයා ප්‍රමුඛ නියෝජිත පිරිස කටයුතු කළේය. සෑම විටෙකම ඩෙමොක්‍රැටික් හා රිපබ්ලිකන් පක්ෂ දෙකේම නියෝජිතයන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දිරිගන්වන සුළු සුභවාදී ප්‍රතිචාර දැක්වීම ඇමරිකානු රාජ්‍ය ප්‍රතිපත්තියේ තිරසාර බව ප්‍රකට කරවන්නක් විය.  


මෑතකාලීනව ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුව සිදුකර ඇති ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ අගය කළ ඇමරිකාව ස්වාධීන කොමිෂන් සභා ආංශික කාරක සභා වැනි ව්‍යුහයන් පිළිබඳව බෙහෙවින් පැසසුම් කරමින් එම ආයතන ශක්තිමත් කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 2 ඉක්මවන ආධාර ලබාදීමට ඉදිරිපත් විය. ශ්‍රී ලාංකික නියෝජිත පිරිස වෙනුවෙන් පැවැති භෝජන සංග්‍රහයේ දී ලෝකප්‍රකට කීර්තිමත් ඇමරිකානු රාජ්‍ය නිධාරිනියක වන මැඩ්ලින් ඕල්බ්‍රයිට් මහත්මිය ස්වකීය ජීවන චරිතාපදානය ඇසුරින් සම්පාදනය කළ Prague Winter කෘතිය කතානායකවරයාට තෑගි කළේ එහි සුවිශේෂී සුභ පැතුම් සටහනක් ද තබමිනි. එහිදී කරු ජයසූරිය මහතා යහපාලනය සහ විනිවිදභාවය ප්‍රවර්ධනය උදෙසා කරනු ලබන මැදිහත්වීම අගය කිරීමට ඇය අමතක නොකළාය.  


දිවයිනට පය තැබූ වහාම පාර්ලිමේන්තු සම්ප්‍රදායේ හැත්තෑවැනි වසරක් සපුරාලීම වෙනුවෙන් පැවැති සංවත්සර උළෙලෙහි කටයුතු උරමතට ගත් බැවින් කතානායකවරයා බෙහෙවින් කාර්යබහුල විය. ආසියාවේ ප්‍රජාතාන්ත්‍රික පාර්ලිමේන්තු ක්‍රමයේ පැරණිම පූර්වාදර්ශ සපයන රට ලෙස සිය හත්වැනි දශකය ඉතා අභිමානවත් චාම් උළෙලකින් සැමරීමට කටයුතු යොදා තිබූ අතර කරු ජයසූරිය මහතාගේ ඇරයුමෙන් දකුණු ආසියානු රටවල් 8 ම නියෝජනය කරමින් කතානායකවරු ඊට එක් වී තිබීම හේතුවෙන් උළෙල කලාපීය සැමරුම් උත්සවයක් බවට පත්ව තිබිණි.  


මේ අතර වසර හතරකට වරක් පැවැත්වෙන දකුණු ආසියානු කතානායක සමුළුව බදාදා පෙරවරුවේ කොළඹ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භ වූ අතර අග්‍රාමාත්‍යවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ ප්‍රධානීහූ සියලු දෙනාම ඊට එක්ව සිටියහ.  


සාර්ක් කලාපයේ පැවති මතවාදීමය පරස්පරතා හේතුවෙන් මෑත භාගයේ සියලු රටවල් සහභාගි වූ මෙවන් සාර්ක් එකමුතුවක් දක්නට නොලැබුණු නමුත් මෙවර සියලු සාමාජිකයන් එක මිටකට ගොනු කර ගැනීමට සමත් වූ කරු ජයසූරිය මහතා සාමාජික කතානායකවරුන්ගේ සුවිශේෂී ප්‍රශංසාවට ලක්විය.  


ඉදිරි වසර 4 සඳහා සාර්ක් කතානායකවරුන්ගේ සම්මේලනයේ සභාපති ධුරයට කරු ජයසූරිය මහතා තෝරා ගැනුණේ සියලු සාමාජික රටවල එ්කමතික එකඟත්වයෙනි.


 

​එකම රියෙන් ගිය ​යා​ළුවෝ

ලෝක ජනාවාස දිනය යෙදී තිබුණු ඔක්තෝබර් 02 වැනි සඳුදා එම නිල උත්සවයට පෙර බෙලිඅත්ත, මෝදරවාන පවුල් 480කට පානීය ජලය සැපයීම සඳහා රුපියල් ලක්ෂ 32ක වියදමින් තැනෙන ඒකාබද්ධ ජල ව්‍යාපෘතියේ වැඩ ඇරඹීම සඳහා එහි ගිය සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා දුටුවේ උත්සවය පැවැත්වෙන ස්ථානයේ සවිකර තිබූ තමන්ගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ රූපවල හිස් කොටස් කඩා දමා ඇති බවයි.


මාතර පැවැත්වෙන ජනාවාස දින උත්සවයට ඒමට මඳක් ප්‍රමාද විය හැකි බව මංගල සමරවීර ඇමැතිවරයාට දුරකථනයෙන් දැනුම් දුන් සජිත් ඇසුවේ ‘‘අපි කොහේදිද හමුවෙන්නේ’’ කියාය.


‘‘අපේ ගෙදරට එන්න’’ මංගල කියද්දී සජිත් කීවේ ‘‘මාත් එක්ක බුද්ධිකත් ඉන්නවා’’ කියාය. එවර මංගල කීවේ ‘‘බුද්ධික මෙහේ ඕනෑ තරම් ඇවිත් තියෙනවා. එයත් එක්කම එන්න’’ කියාය.


ඒ අනුව සජිත් බුද්ධික ද සමඟ මංගලගේ නිවසට ගියේය. නිවසේ තිබූ මංගලගේ පියා වන මහානාම සමරවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඡායාරූප පෙන්වමින් මංගල ඒ ගැන විස්තර කළේය. උත්සවයට සජිත්, මංගල සහ බුද්ධික ගියේ එකම ජීප් රථයේය. උත්සව භූමියට ඒ වන විටත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ද පැමිණ සිටියේය.


උත්සවයේදී පවුල් 1,500කට රුපියල් ලක්ෂ 1,605ක ප්‍රතිලාභ හිමිකර දෙද්දී මංගල කීවේ ‘‘මේ වගේ සහන තොගයක් මාතරට ලැබුණාමයි’’ කියාය. සජිත් සිය කතාවේදී කීවේ ‘‘ඔබතුමා අය-වැය කතාව කරගෙන යනකොට නිවාස අමාත්‍යාංශයට ලොකුම හැන්දෙන් බෙදන්න ඕනෑ’’ කියාය.


 

රවි රට පුරා

ඉදිරියේ පැවැත්වීමට නියමිත ප්‍රාදේශීය මැතිවරණ සඳහා පාක්ෂිකයන් දිරිගැන්වීමේ අරමුණෙන් අනුරාධපුරය හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය දේශපාලනඥයින් හමු වී ඔවුනට ශක්තියක් වීමට හිටපු විදේශ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා වෙහෙසක් ගන්නා අයුරු පසුගිය සතියේ දක්නට ලැබිණි. ඔහු කොළඹ දිස්ත්‍රික්කයට පමණක් සීමා නොවී එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා වශයෙන් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කිරීමට සැලසුම් කර සිටී.  


එසේ පාක්ෂිකයන්ට උත්තේජනය ලබා දෙමින් සංවිධාන කටයුතුවල නිරත වූ එක් අවස්ථාවක උතුරු මැද පළාතේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ‘‘මොකක්ද ඇමැතිතුමා ජාඇල යොවුන් පෙරමුණ රැස්වීමේ දී ඇති වුණේ’’යයි රවී ගෙන් ඇසීය.  


ඔහු සුපුරුදු පරිදි සිනාසෙමින් ‘‘ඒක ගම්පහ දිස්ත්‍රික්කයේ යොවුන් පෙරමුණේ වැඩ මුළුවක් ඒ වැඩ මුළුවේ ආසන සංවිධායකයන්ට කතා දීලා තිබුණේ නැහැ. එහෙම දීලා තිබුණා නම් ආසන සංවිධායකවරුන් 13 දෙනාටම දෙන්න ඕනැ. සියලුම සංවිධායකයන් තරුණයන් 20 දෙනා බැගින් වැඩමුළුවට සම්බන්ධ කරලා තිබුණා. අනික මම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ලැබිය යුතු ගෞරවය ඉහළින්ම ලබා දෙන කෙනෙක්. ඒ නිසයි මම කිසිවක් කිව්වේ නැත්තෙ. අනික මට අපවාද අපහාස කළාට මම කිසිවක් කියන්න ගියේ නැහැ. ඒ මම ඉගෙන ගත්ත හටි.  


මේ වගේ සිදුවීම් ද ඔවු​ෙග් වාසියට හරවා ගන්නවා. නමුත් මම එදාත් ගල් මුල් වලින් ගුටිකාගෙන නායකයාත් රැක්කා. පක්ෂයත් රැක්කා. සිරිකොතත් රැක්කා. අදත් එහෙමයි හෙටත් එහෙමයි කියමින් හිටපු විදේශ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා හිටපු පළාත් සභා මන්ත්‍රීට පක්ෂයේ අතීතය සිහිපත් කර දුන්නේය.


 

​සිසු රක්ෂණය සිසු දෑතට

 

ගෙවී ගිය සතිය අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට කාර්ය බහුල සතියක් වූයේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ උත්සව ගණනාවක් යෙදී තිබුණු නිසාය. ඒ අතර ඉතාමත් වැදගත් උත්සවයක් වූයේ ගිය සඳුදා අරලියගහ මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් පැවැති “සුරක්ෂා” සිසු රක්ෂණාවරණයයි. මේ රක්ෂණාවරණය හරහා ලක්ෂ 45ක් පමණ වන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් හිමිවීමට නියමිතය. හැමවිටම නිලධාරින් සම්බන්ධ කර ගනිමින් අකිල ඔවුන්ට උපදෙස් දුන්නේ උත්සවය ඉතා සාර්ථක ලෙස පැවැත්වීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා ලෙසය. මේ උත්සවයෙන් පසු එදින දහවල් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය. අගමැතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී ඔහුගේ සංකල්පයක් මත ආරම්භ කළ මේ තරගාවලිය මෙවර පැවැත්වුණේ 33 වැනි වතාවටය.   


අනතුරුව එදින හවස කොළඹ විශාඛා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුණු අතර අකිල එම උත්සවයට ගියේ අගමැතිවරයා ද සමඟ ය.