​අරලියගහ මැදුරේ ​​වෙසක් අසිරිය


එජාප ප්‍රතිසංස්කරණ, නව ඇමැති මාරුව හා රටේ ආර්ථිකය හැසිරවීම ඇතුළු කරුණු රැසක් ඉටු කරන අතරේ අගමැතිවරයා වෙසක් පුන් පොහොය නිමිත්තෙන් අරලියගහ මැදුර තුළ සර්වඥ ධාතු ප්‍රදර්ශනය හා පහන් කූඩු ප්‍රදර්ශනය ද සංවිධානය කළ අතර එය විවෘත වූයේද අගමැති හා බිරිඳ මහාචාර්ය මෛත්‍රී අතිනි.


දින 05 ක් පුරා පැවති ප්‍රදර්ශන සඳහා ලක්ෂ ගණනක පිරිසක් පැමිණියහ.


“අරලියගහ මන්දිරේට ආපු හුඟ දෙනෙකු ධාතු වඳින්න, වෙසක් කූඩු බලන්න වගේම මන්දිරේ බලන්නත් ලොකු උනන්දුවක් තිබුණා” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ අගමැතිටය.
“අධි ආරක්ෂිත කලාප හැරෙන්න අනිත් හැම තැනම මිනිස්සුන්ට විවෘත කරන්න මා උපදෙස් දුන්නා” අගමැති කීය.


“වෙසක් බලන්න ආපු අයට ඇතුළේ පොඩි දන්සැලකුත් තිබුණා නම් තමයි හොඳ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනාසෙමිනි.


“ඇතුළේ නොතිබුණාට අවට කෑම-බීම, අයිස්ක්‍රීම්, කඩල, දන්සැල් හුඟක් තිබුණා ගමගේ රිය පෙළටත් කඩල වගයක් බෙදුවා. මමත් කඩල දන්සැලෙන් කාලා මේ ඉන්නේ” අගමැති කී විට සියලු දෙනාම ඊට දැඩි සතුට පළ කළහ.


බ්‍රහස්පතින්දා පෙරවරුවේ අගමැතිවරයා සුපුරුදු ලෙස අරලියගහ මැදුරට පැමිණියේ රාජකාරි සඳහාය. ධාතු ප්‍රදර්ශනය හා වෙසක් කූඩු ප්‍රදර්ශනය නිමාවීමෙන් පසුව පරිශ්‍රය පවිත්‍ර කිරීමේ කටයුතුද ඔහු අධීක්ෂණය කළේය.
“ඉස්සර වගේ අපේ මිනිස්සු තැනකට ආවාම ඒතැන දැන් කිලිටි කරනවා අඩුයි. ඒක හොඳ ප්‍රවණතාවක්”, අගමැතිවරයා කී දේ සියලු දෙනා අනුමත කළහ.


“එජාප ප්‍රතිසංස්කරණ හා ඇමැති මාරුව ගැන එජාප දෙතුන් දෙනෙකු මාධ්‍යවලට විවිධ ප්‍රකාශ දී තිබුණා. ඇතැම් මාධ්‍ය ඒවා විකෘති කර පළ කරන බව පේනවා”, දයා ගමගේ කතාවට මුල පිරුවේය.


“මැති-ඇමතිවරුන් කියන ඇතැම් දේවල් මාධ්‍ය විකෘති කර අවශ්‍ය කෑල්ල විතරක් පෙන්නලා ප්‍රශ්න ඇති කරන බව ප්‍රකාශ දීපු අයම අපට පැහැදිලි කර තිබෙනවා”, ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


“විකෘති කරන ප්‍රකාශවලට පිළිතුරු දීමේ ක්‍රමවේදය එජාපය කඩිනමින් සූදානම් කරනවා. ඒවා ටී.වී., රේඩියෝ, පත්තර විතරක් නෙවෙයි, සමාජ ජාලා හා ෆේස් බුක් අතරත් පැතිරවීමට තීන්දු කළා”, මහලේකම් අැමැති අකිල විරාජ් කාරියවසම් කීය.


“ඇමැති මාරුව ගැනත් එජාප සුළු පිරිසකගේ යම් විරෝධාකල්ප තිබෙනවා. ඒවාත් මේ දිනවල මාධ්‍යවල යනවා. ඔවුන්ගේ අදහස් ගැනත් පක්ෂය අවධානය දැක්වීම අවශ්‍යයි”, නවීන් දිසානායක කී දේ සියලු දෙනා අනුමත කළහ.


“එජාපය ඉල්ලුවත් අපේ පැත්තට අලුත් තනතුරු ලැබුණේ නැහැ. ඒත් අගමැතිතුමා හෝ නොදැන අපේ අලි සහිර් මවුලානාට නියෝජ්‍ය අැමැතිකමක් දීලා. ශ්‍රීලනිපයේ තුන් දෙනෙකුත් ඒ නිසා අවුල් වෙලාලු”, ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


“අපේ එජාප පසුපෙළත් මේ තත්ත්වය නිසා වැරදි අවබෝධයකට ගිහින් ඇති. මා ඔවුන්ට තත්ත්වය පැහැදිලි කළා. එජාපයට ඉක්මනින් සාධාරණය ඉටුවිය යුතු බව අපේ ස්ථාවරයයි”, අගමැතිවරයා පැහැදිලි කළේය.
“රංගෙ බණ්ඩාරට කැබිනට් තනතුරක් පොරොන්දු වුණත් දුන්නේ නැහැ කියා එතුමා චෝදනා කළා, චමින්ද විජේසිරි කීය.


“එතුමාට කවුරුවත් එහෙම පොරොන්දුවක් දී හෝ කවුරුවත් එතුමා වෙනුවෙන් එහෙම ඉල්ලීමක් කර හෝ නැහැ. ඇත්ත ඒකයි”, එහි සිටි නීති අංශ නිලධාරියෙකු කීවේ චමින්ද විජේසිරිගේ පැනයට පිළිතුර ලෙසය.


“අකිල නව මහා ලේකම්තුමාට අධ්‍යාපන ඇමැතිකම විතරයි, ඉතිරි කළේ. සංස්කෘතිය ගලවා විජයදාස ඇමැතිතුමාට දුන්නා. ඒක එක අතකට මහ ලේකම්​ෙග් වැඩ කරන්න පහසුවක්”, නවීන් දිසානායක කීවේය.


“අධ්‍යාපන ජාතික ප්‍රතිපත්ති හැදීම අපේ අධීක්ෂණය තුළ නිලධාරින් කරනවා. මට ප්‍රධාන නගරවල ජාතික පාසල් 380 ක් විතරයි, බලන්න ති​ෙබන්නේ. මහලේකම්කම, ෆුල්ටයිම්, කර එජාපය කරකවලා උඩට ගන්නවා, අකිල විරාජ් කී විට සියලු දෙනා ඔහුට සුබ පැතූහ.


“මට බුද්ධ ශාසන අමාත්‍යාංශය තිබූ කාලේ ලොකු සේවයක් කරන්න ලැබුණා. දැන් සංස්කෘතික දීපු නිසා ඊටත් ලොකු දෙයක් මට කළ හැකියි. මහින්ද රාජපක්ෂලා රටට පටවපු සයිටම් අර්බුදයත් ඉක්මනින් විසඳන්න ඕනෑ, විජයදාස රාජපක්ෂ කී දේට අගමැතිවරයාද එකඟත්වය පළ කළේය.


“ඇමැති මාරුව විද්‍යාත්මකද කියා විපක්ෂය හා සමහර මාධ්‍ය ප්‍රශ්න කරනවා. සමහරුන් ඒ ගැන උසුළු විසුළුත් කරනවා”, ඇමැති සජිත් ප්‍රේමදාස කීය.


“මහින්දගේ කා​ෙලට වඩා නම් දැන් මේ ඇමැති මාරුව ඉතා විද්‍යානුකූලයි. විෂයන් බෙදුවාම විද්‍යානුකූල බව තවත් තහවුරු වේවි” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


“එජාප විකල්ප නායකයා කවුද කියා කියන්නැයි එජාප පසුපෙළ ඉල්ලනවද? දයා ගමගේ කීවේය.


“නායකත්වයට ඉදිරිපත් වෙන්නවත් කෙනෙකු ආවේ නැහැ. විකල්ප නායකයෝ එළිවෙනවාටත් සමහරුන් කැමති නැහැ. එහෙම නම් එජාප පසු පෙළ විකල්ප නායකයන්ගේ නම් අහන්නේ ඇයි කියා මට තේරෙන්නේ නැහැ” අගමැති කීවේ සිනා මැදය.


“විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දී අනාථ වූ ශ්‍රීලනිප 16 දෙනා මල්වතු අස්ගිරි හාමුදුරුවරුන් හමුවෙලා මීඩියා සංදර්ශන දාන්න ගිහින් තවත් අනාථ වුණා” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනාසෙමිනි.
“පොහොට්ටුවේ ඇතුළේ කල්ලි තුනක් හතරක් මරා ගන්නවා.


ගෝඨා-බැසිල්-මහින්ද-නාමල් කල්ලියි විකල්ප කල්ලියි එකාට එකා නැහැ. 2019 ජනාධිපති අපේක්ෂකකම් බෙදා ගන්න මුහුදට හත් ගව්වක් තියා අමුඩ ගහන්න ගිහිල්ලයි, කට්ටිය නාන්නේ” නවීන් දිසානායක කී දේ අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළේ උස් හඬින් සිනාසෙමිනි.