හිටපු අගමැති ගෙදර ගිය හැටි ජනපති කියයි


විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු ගැන සාකච්ඡා කර මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් ඉකුත් සතියේ සිකුරාද‌ා අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එහි මුලසුන ගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. මෙම විශේෂ රැස්වීම කැඳවීමට ප්‍රධාන හේතුවක් වූයේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවේම ඇතැම් මන්ත්‍රීවරුන් සමාජය ඉදිරියේ විවිධ අදහස් පළකිරීමය. ඇතැමුන් කියා සිටියේ 20 ගැන තමන් කිසිවක් නොදන්නා බවකි. මේ නිසා 20 වැනි සංශෝධනය ගැන තමන් දැනුවත් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා තිබිණි. ඉකුත් සතියේ සිකුරාද‌ා සවස මේ රැස්වීම පැවැත්වූයේ එම ඉල්ලීම්වල ප්‍රතිඵලයක් වශයෙනි. ජනාධිපතිවරයාට අමතරව ප්‍රධාන මේසයේ අසුන් ගත්තේ අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඇමැතිවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, අලි සබ්‍රි, දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුය.


විස්ස ගැන මුලින්ම පැහැදිලි කළේ මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමැතිවරයාය. ‘අපි මේ විස්ස ගේන්නෙ 19 අහෝසි කරන්න. 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ රට ආපස්සට ගෙන ගියා. රට අරාජික කළා. ඒ නිසා මෙය අහෝසි කරන්න ඕන කියන පොදු මතය ජනතාව අතර ඇති වුණා. පහුගිය මැතිවරණයේ දී අපි ජනතාවට කිව්වෙත් 19 අහෝසි කරනවා කියලයි. ජනතාව එය අනුමත කළා. අපි 19 අහෝසි කරන්න 20 ගේනවා. මේක අලුත් ව්‍යවස්ථාවක් ගේන එකේ පළමු පියවරයි.’ යැයි ජී.එල්. පැහැදිලි කළේ දීර්ඝ විස්තරයක් ද ඉදිරිපත් කරමිනි.
අනතුරුව කතා කළේ අධිකරණ ඇමැති අලි සබ්‍රි ය. ඔහු 19 අහෝසි කිරීම හා 20 ගෙන ඒම ගැන පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළේ වීඩියෝ පට කීපයක් ද පෙන්වමිනි. 19 වැනි සංශෝධනය ගෙන ඒමට මුල් වූ අයම එය අහෝසි කළ යුතු බවට කළ කී දේවල් ද ඔහු මන්ත්‍රී කණ්ඩායම හමුවේ පෙන්වීය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 19 අහෝසි කළ යුතු බවට කළ ප්‍රකාශයක් ද ජයම්පති වික්‍රමරත්න 19 අසාර්ථක බව ගැන පාර්ලිමේන්තුවේ කළ කතාවක් ද අලි සබ්‍රි ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී රූප රාමු ද සහිතව පෙන්වීය.
‘දැන් ඔබතුමාලට තේරෙනවා ඇති නේද 19 වෙනස් කරන්න ඕන ඇයි ද කියලා.’ යැයි අලි සබ්‍රි කීවේය. ඒ සමගම ඔහු 20 වැනි සංශෝධනයේ ජනතාව අතර මතභේදයට තුඩු දී ඇති කාරණා ගැන එකින් එක පැහැදිලි කළේය. විගණන කොමිසම, ද්විත්ව පුරවැසිභාවය ආදී කාරණා ගැන ද අලි සබ්‍රි කරුණු කීවේය. අනතුරුව නැගී සිටි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු කියා සිටියේ 20 ට විරුද්ධව ජනතාව අතර වැරදි මත වැඩියෙන්ම ප්‍රචාරය කරන්නේ ආණ්ඩුවේම අය බව ය. ඔහු ඉල්ලීමක් කරමින් කීවේ එළියට ගොස් මේ ගැන වැරදි මත හදන එක වහාම නතර කරන ලෙස ය. ප්‍රශ්න තියෙන ඒවා ඇතුළේ කතා කර විසඳ‌ා ගන්නැයි ද ඔහු ඉල්ලීමක් කළේය.


අනතුරුව නැගී සිටියේ වාසුදේව නානායක්කාර ඇමැතිවරයාය. ‘ඇයි මේ සාකච්ඡාව අද කැඳෙව්වේ. මේක කැඳෙව්වේ 20 ගැන සංවාදයටම තමයි’ යැයි වාසු කීවේය.


ආණ්ඩු පක්ෂ රැස්වීමේදී නිමල් - විමල් පැටලෙති


වාසුගෙන් පසුව අදහස් දැක්වූයේ විමල් වීරවංශ ඇමැතිවරයාය. මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී යම් යම් දෝෂ සහගත තත්ත්වයක් මතුවුණා. ඒකයි මෙහෙම තත්ත්වයක් ඇති වූයේ යැයි විමල් කීවේය. ජනාධිපතිවරයා කීවේ ජනතාව අතරට මේ ගැන වැරදි මතයක් ගෙන ගියේ අපේම අය තමයි’’ යනුවෙනි. අනතුරුව නැගිට්ටේ ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයාය.


ඔහු 20 ගැන එළියේද දැඩි විවේචන ඉදිරිපත් කළ මන්ත්‍රීවරයෙකි. අපි ජනතාවට පොරොන්දු වූයේ අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලයි. ජනතාව ඉල්ලන්නේ 20 නෙවෙයි යනුවෙන් ඔහු දීර්ඝ විස්තරයක් කළේය. ඔහුගේ පැහැදිලි කිරීම් හමුවේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළින් යම් යම් බාධා කිරීම් හා විරෝධතා ද එල්ල විය. ඔහු විරෝධය නොතකාම දිගටම කියාගෙන ගියේය.


අනතුරුව ඒ කතාවට ජනාධිපතිවරයා ද මැදිහත් විය.


‘‘ජනතාව මට ජනවරමක් දුන්නේ මේ රට හදන්නයි. මිනිස්සු කිව්වේ මේ රට කොහොම හරි හදන්න කියලයි. මම ගමට ගිහින් ජනතාව හමුවුණු වෙලාවේ ඔවුන් පොඩි ප්‍රශ්නයක් කිව්වම ඒක විසඳන්න නිලධාරින් චක්‍රලේඛ එවන්න කියනවා. මෙහෙම කොහොමද රට හදන්නේ. නිලධාරීන් චක්‍රලේඛ ඇතුළෙ හිර කරලා තියෙන්නේ. අපි එහෙමනම් ව්‍යවස්ථාව අල්ලාගෙන දිගටම සාකච්ඡා කර කර ඉඳිමු,’’ ජනාධිපතිවරයා තදින් කීවේය.


‘‘හැබැයි මතක තියාගන්න මෙහෙම කතාකර කර විතරක් හිටියොත් අපට වෙන්නෙත් කලින් හිටපු අයට වෙච්ච දේම තමයි. මට ඕන මේ රට හදන්න. රට හදන්න තියෙන බාධාවන් ඉවත් කරන්න. අපි මේ රට හදමු. අලුත් ව්‍යවස්ථාවක් ගේන්න මම පොරොන්දු වෙනවා. දැන් කරන්නේ 19 ඉවත් කරන එක විතරයි. අලුත් ව්‍යවස්ථාව ගේන එක හැමෝම සාකච්ඡා කරලා කරමු. අපට ඕන 19 ඉවත් කරන්න. 19 සාර්ථක නම් අද මේ පුටුවේ ඉන්නේ එක්කෝ රනිල් වික්‍රමසිංහ නැත්නම් සජිත් ප්‍රේමදාස. හිටපු අගමැති කෙනෙක් ජනතාව මනාපෙන් ගෙදර යැව්වා. හිටපු අගමැතිවරයාට දිස්ත්‍රික්කයේම මනාපවලින් මන්ත්‍රීකමත් රැක ගන්න බැරි වුණා. මේක සෙල්ලමක් නෙවෙයි. මේ 19 තියාගෙන රට කරන්න කාටවත් බැහැ’’ යැයි ජනාධිපතිවරයා කීවේ දීර්ඝ පැහැදිලි කිරීමක් ද කරමිනි. අනතුරුව පසුපෙළ මන්තීවරු කිහිප දෙනෙක් ද අදහස් දක්වන්නට වූහ. ඔවුන් සියලු දෙනාම පාහේ අදහස් දක්වන්නට වූයේ 19 ඉවත් කළ යුතු බව කියමිනි. නිමල් සිරිපාල ඇමැතිවරයා නැගිට්ටේ ඒ අතරවාරයේය. අපි 19 අහෝසි කරලා 20 සම්මත කර ගන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි අපේ පූර්ණ සහයෝගය මේ සම්බන්ධයෙන් පළ කරනවා යැයි නිමල් කීවේ 20 ගැන පැහැදිලි කරමිනි. නිමල්ගෙන් පසුව නැගිට්ටේ විමල් වීරවංශය. ‘‘ජනාධිපතිතුමනි, මෙතුමා මේ කියන දේවල් ඔබතුමා පිළිගන්න එපා. මම කැබිනට් එකේදි 20 තියෙන සමහර කරුණු ගැන විවේචනය කරලා කතා කළාම කැබිනට් ඉවර වෙලා යද්දි මෙයා මට වෙල්ඩන් විමල් කියලා කිව්වා. අපට ඔයා වගේ කතා කරන්න බැහැනේ කියලත් කීවා. ඒ නිසා මේ වගේ තක්කඩි අදහස් පිළිගන්න එපා යැයි විමල් කීවේය. අගමැති මහින්ද කීවේ ඒ වචනය ටිකක් සැර වැඩියි, ඒක ඉවත් කර ගන්න යනුවෙනි. විමල් ඒ වචනය ඉල්ලා අස්කර ගත්තේය.


අනතුරුව අදහස් දක්වන්නට වූයේ වාසුදේව නානායක්කාරය. ඔහු 19 ගැනත් 20 ගැනත් කළ විවේචනාත්මක පැහැදිලි කිරීමට හැමෝගෙම අවධානය යොමු විය. 18 වැනි සංශෝධනය ගෙනෙද්දි මම තමයි 18 ට විරුද්ධව වැඩියෙන්ම කතා කළේ. අගමැතිතුමාට ඒක මතක ඇති. මම 18 ට විරුද්ධව කතා කළා. හැබැයි 18 ට පක්ෂව මම පාර්ලිමේන්තුවේදි ඡන්දෙත් දුන්නා. 18 ට පක්ෂව ඡන්දය දෙද්දි විපක්ෂයේ අය මට හූ කිව්වා. ඇයි මම එහෙම කළේ. ආණ්ඩුව විදිහට එක තීරණයක සිටිය යුතු නිසා. මම මේ කියන්නේ 20 ට විරුද්ධ වෙනවා කියන එක නෙමෙයි. අපි මේකේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න ඕනැ යැයි කියමින් වාසු 20 තියෙන ගුණ අගුණ ගැන එකින් එක පැහැදිලි කළේය. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එය උනන්දුවෙන් අසා සිටියහ. ඉන් පසුව ජනාධිපතිවරයා නැවත අදහස් දක්වන්නට විය. ‘‘මේකෙන් අලුත් ව්‍යවස්ථාවක් ගේන්නේ නෑ. 19 ඉවත් කිරීමයි වෙන්නේ. අපි හැමෝම ඒක පිළිගන්නවා. ජනතාව මට කිව්වේ රට හදන්න. රට දියුණු කරන්න නිලධාරීන් වැඩ කරන්න තීන්දු ගන්න බයයි. එහෙම රට හදන්න බැහැ. අපි මේ රට හදන්න ඕනැ. ඒකට මට සහාය දෙන්න.’’ ජනාධිපතිවරයා කීවේ රැස්වීමේ කටයුතු හමාර කරමිනි. හිටපු ජනාධිපති මෛත්‍රීත් 20 ට එරෙහිව දිගින් දිගටම හඬනගන විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාත් මේ රැස්වීමට පැමිණ සිටි නමුත් ඔවුන් අදහස් දැක්වූ බවක් වාර්තා නොවීය.


විස්ස මේ සතියේ එයි


විසිවැනි සංශෝධනය මේ සතියේම පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කර ගැනීම ආණ්ඩුවේ අදහසය. 20 පිළිබඳව ශ්‍ර්‍රේ‍ෂ්ඨාධිකරණ මතය ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් දැනුම් දී හමාරය. 20 පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ අනිද්දා (20) පාර්ලිමේන්තුවේදීය. ඒ කතානායකවරයා විසිනි. එසේ වුවද එහි ඇතැම් කරුණු ගිය සතිය ​ෙවන විට මාධ්‍යවල පවා පළවී තිබිණි. විස්සේ විවාදය ගැන සාකච්ඡා කරන්නට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ ද ගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී රැස් වූහ.


මේ අතර 20 ට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දය ගැනීමට ද ආණ්ඩුවෙන් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා විය.


ගිය මහ ඡන්දයේදී හවුල්කාර පක්ෂවලට ද ලැබුණු මන්ත්‍රී ආසන ගණන ඇතුළුව ආණ්ඩුවට හරියටම මන්ත්‍රීධුර 150 ක් තිබිණි. එය 20 සම්මත කරන්නට හොඳටම ප්‍රමාණවත්ය. එසේ වුවද මහින්ද යාපා මන්ත්‍රීවරයා කතානායකවරයා වීමත් විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා 20 ට එරෙහි මතයක සිටීමත් නිසා ආණ්ඩුවේ ඡන්ද ගණන 148 ක් පමණ වේ. මේ තත්ත්වය තුළ ආණ්ඩුවට තුනෙන් දෙක ගැනීමට අඩුම තරමින් මන්ත්‍රීවරුන් දෙදෙනෙකුවත් විපක්ෂයෙන් ගත යුතුවේ. මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට වැඩි ගණනක් විපක්ෂයෙන් ඒ සඳහා ගැනීම ආණ්ඩුවේ ඉලක්කය වී ඇත. එහි බර කරට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා වන බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාය. ඔහු සංවිධාන කටයුතුවලට මෙන්ම මන්ත්‍රීවරුන් ගැනීමේ මෙහෙයුම්වලට ද අති දක්ෂයකු බව ඔහු ගැන අවබෝධයක් ඇති ඕනෑම අයකු දන්නා කරුණකි.


එළියට නොආ ශ්‍රීලනිප වාර්තාව


20 ගැන අධ්‍යයනයට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින්ද ඉකුත්දා කමිටුවක් පත්කරනු ලැබීය. දැනගන්නට ඇති පරිදි ඒ කමිටුව නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් එක් වතාවක් පමණක් රැස්විය. ඒ රැස්වීම පැවැත්වුණේ ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ නිවසේදීය. 20 ට පූර්ණ සහාය දිය යුතු බවට එම කමිටුවේ පිරිසක් කියද්දී තවත් කිහිපදෙනෙකු එහි ඇතැම් කරුණු සම්බන්ධයෙන් විවේචනාත්මක මත පළ කිරීමක් ද කර ඇති බව වාර්තා විය. කෙසේ වුවද එහි වාර්තාව සකස් කර පක්ෂයට බාර දී අවසන්ය. එහෙත් ඒ වාර්තාවේ කිසිවක් මාධ්‍යයට හෝ මේ වනතෙක් හෙළිදරව් වී නැත.


බැක් බෙන්චර්ස්ලා බැසිල් හමුවෙති


ආණ්ඩු පක්ෂයේ​ පසුපෙළ මන්ත්‍රීවරුන් බැක් බෙන්චර්ස්ලා නමින් සංවිධානයක් පිහිටුවා ගෙන ඇත්තේ ඔවුන්ට ඇති ප්‍රශ්න ගැටලු විසඳා ගැනීමේ අරමුණෙනි. ගිය සතියේ මේ පිරිස අරලියගහ මන්දිරයේදී බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා හමුවූහ. ඒ ඔවුන්ගේම ඉල්ලීමකට අනුවය. වීරසුමන වීරසිංහ, ජගත් කුමාර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රේමනාත් දොලවත්ත ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරු කීප දෙනෙක් ඊට එක්ව සිටියහ. මේ සියලු දෙනා ආණ්ඩුවේ තනතුරු නොමැති මන්ත්‍රීවරුන්ය. එහිදී ඉදිරිපත් වූ එක් ප්‍රධාන ඉල්ලීමක් වූයේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සභාපති ධුර ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට ලබා ගැනීමය. ඒ සඳහා බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාගේ එකඟතාව පළ වූ බවද වාර්තා විය.


ගම්පහ අයට 5000 දෙන්නැයි ප්‍රසන්න ඉල්ලයි


සතියේ කැබිනට් රැස්වීම ගිය සඳුදා හවස ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. එහි වැඩි අවධානය යොමුවූයේ කොවිඩ් වයිරසය මර්දනය ගැනය. කොවිඩ් 19 තුන්වන රැල්ලේ තත්ත්වය ගැන කැබිනට් මණ්ඩලයට පැහැදිලි කළේ සෞඛ්‍ය අමැති පවිත්‍රාය. ඇය කීවේ කොවිඩ් රැල්ල පාලනය කිරීමට සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශත් උපරිමයෙන් කැප වී කටයුතු කරන බවය. ජනාධිපතිවරයා කීවේ පළමු සහ දෙවැනි රැල්ල පාලනය කළා වගේ තුන්වන රැල්ල පාලනය කරන්නත් අපට පුළුවන් යනුවෙනි. ඒ අතර ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා යෝජනා කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන ජනතාවට රුපියල් 5000 ක දීමනාවක් ලබාදෙන ලෙසය. ඒ ගැන ඉදිරියේදී අවධානය යොමුකරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.


කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික පර්යේෂණ සමුළුව ගිය සතියේ පැවැත්වූයේ අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙනි. එහි ප්‍රධාන දේශනය කළේ ද මහාචාර්ය පීරිස්ය. මාතෘකාව සංවර්ධනය සහ ආරක්ෂාවය. ඔහු කීවේ රටක ආරක්ෂාව තහවුරු නොකර සංවර්ධනයක් කළ නොහැකි බවය. ඊට උදාහරණ බොහොමයක් ගත්තේ යහපාලන ආණ්ඩුවෙනි. යහපාලන ආණ්ඩුව ආරක්ෂාව කිසිසේත් මායිම් නොකර කටයුතු කළ නිසා රටම ප්‍ර්‍රපාතයට ඇදවැටුණු බවය.


ටවර් හෝල් රඟහල පදනමේ ගිය සතියේ පැවැති රැස්වීමට ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයා ද සහභාගි වූයේ ඔහු නිල බලයෙන්ම එහි සාමාජිකයකු බැවිණි. රැස්වීමට සහභාගී වී එද්දී එහි නිලධාරියකු ජනක අතට ලියුම් කවරයක් දුන්නේය. එය විමසා බැලූවිට නිලධාරියා කීවේ එම රැස්වීමට සහභාගී වීම වෙනුවෙන් රුපියල් 6000 ක දීමනාවක් ගෙවන බවකි. ජනක ලියුම් කවරය ආපසු දුන්නේ මේ හයදාහත් පදනමටම යොදාගන්නා ලෙස දන්වමිනි.


කොවිඩ් රැල්ල පාලනය කිරීමට කැප වී සිටින සෞඛ්‍ය අංශවලට හා ආරක්ෂක අංශවලට ආශිර්වාද පතා බෝධිපූජා පින්කමක් ගිය බ්‍රහස්පතින්දා හැන්දෑවේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්වූයේ මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙනි. එය සංවිධානය කරනු ලැබුවේ වෙළෙඳ අමාත්‍යාංශය විසිනි. ආචාර්ය බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, ගෙවිඳු කුමාරතුංග ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ද ඊට එක්ව සිටියහ. මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් බෝධි පූජාව පටන් ගන්නට සූදානම් වෙද්දී අගමැති මහින්ද වෙන ගමනක් යන අතරතුර හදිසියේ ඊට සම්බන්ධ විය. මෙතුමට ඉතින් අභයාරාමය අලුත් තැනක් නෙමෙයිනේ. ආනන්ද නාහිමියන් කීවේ අගමැතිවරයාට ආශිර්වාද කරමිනි. 

 


රටට සෙත්පතා රුවන්ගෙන් පුණ්‍යකර්මයක්


කොරෝනා ව්‍යසනයෙන් රට බේරා ගැනීමට සහ රටට සෙත් පැතීම සඳහා සර්ව රාත්‍රික පිරිත් දෙසුමක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ඉකුත් දා පැවැත්විණි.


එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ආරාධනයෙන්  ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ ඇතුළු මහා සංඝරත්නය විසින් මෙම සර්ව රාත්‍රික පිරිත් දේශනය පවත්වන ලදී.


කටුනායක සේවිකාවන් විපක්ෂ නායකට කීවේ මොනවාද?


සමගි ජන බලවේගයේ දේශපාලන රැස්වීම් පසුගිය සතියේ දී නතර කර තිබුණේ කොරෝනා වෛරසය සමාජයේ වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙන නිසාය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විපක්ෂනායක කාර්යාලයේ නිලධාරීන්ට මෙන්ම සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේ කටයුතු කරන සියලු දෙනාටම දැනුම් දී තිබුණේ හැකි සෑම සනීපාරක්ෂක උපක්‍රමයක්ම අනුගමනය කරන ලෙස ය.


පාර්ලිමේන්තුවේ සිය කාර්යාලයේ වැඩ කරන ඇතැම් අයට නිවසේ සිට රාජකාරි කිරීමට ඔහු අවස්ථාව ලබා දී තිබුණේය.


“මේ වගේ අවස්ථාවල දී මම මගේ කාර්ය මණ්ඩලය දිහා නම්‍යශීලීව බලන්නේ. මම කාර්යාලයේ මහ රෑ වෙනකම් වැඩ කරන හැම දවසකම ඔය අයත් මාත් එක්ක හිටියා. මේ අවස්ථාවේ දී අවදානමක් තිබෙන අය ගෙදර ඉඳගෙන වැඩ කරන්න” සජිත් විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරීන්ට උපදෙස් දී තිබුණි.


ඒ අනුව ඇතැම් අය නිවසේ සිට රාජකාරි කළ අතර වට්ස් ඇප් හා දුරකතන මාර්ගයෙන් නිරන්තරයෙන් ඔවුන් හා සම්බන්ධ වෙමින් රාජකාරි කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට විපක්ෂ නායකවරයා වැඩපිළිවෙළක් යොදා තිබුණේය. එසේ නිවසේ සිට රාජකාරි කරන අය ද දිවා රෑ නොමැතිව තමන්ගේ රාජකාරි කටයුතු කිරීමට ද අතපසු කර තිබුණේ නැත.

 


අභ්‍යන්තර සාකච්ඡා


මහජන හමුවීම් නොපැවැත් වුව ද මේ සතියේ සමගි ජන බලවේගයේ අභ්‍යන්තර සාකච්ඡා කිහිපයක්ම පැවැත් වූවේය.


‘කොරෝනා මර්දනය සඳහා ආණ්ඩුව ප්‍රමාණවත් වැඩපිළිවෙළක් අරගෙන නැති බව තමයි පේන්නේ. විපක්ෂ නායක තුමා මේ ගැන පාර්ලිමේන්තුවේ දී ඇහුවා. ආණ්ඩුව උත්තර නැතිව හිටියා. මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමන් පාර්ලිමේන්තුවේ දී කිව්වා. ඒත් තවම ආණ්ඩුව ඒ නම් ඉදිරිපත් කරලා නෑ.’ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කීවේය.


මේ නම් ඉදිරිපත් කරන්නේ නැත්තේ ඇයි කියන එක අපිට ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම ඉන්දියාවේ ඉඳලා ගෙන්වපු අය නිරෝධායනය කරන්නේ නැතිව නිදහස් කර ගැනීමට බලපෑම් කළාය කියලත් ආණ්ඩුවට සම්බන්ධ අයට චෝදනා එල්ලවෙලා තියෙනවා. ඉන්දියාවේ සිට ගෙන්වපු අය නිරෝධායනය කළා නම් ඒකට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සම්බන්ධ විය යුතුයි. ඒත් ඒවාට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සම්බන්ධ කරගෙන නැති බව ඒ අය කියනවා. මනුෂ තමන්ට ලැබුණු තොරතුරු අනාවරණය කළේය.


මේ අතර විපක්ෂ නායකවරයා පැවැසුවේ කොරෝනා නිසා පීඩාවට පත්වී සිටින පුද්ගලයින් ගැන විපක්ෂයක් ලෙස තොරතුරු සොයා බැලිය යුතු බවය.


‘ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය පනවා තිබෙන ප්‍රදේශවල ජනතාව ගැන සොයා බලන්න. එදිනෙදා ආදායම් උපයපු අයට රැකියාව කර ගැනීමට නොහැකිව අසරණ වෙලා ඉන්නවා. ‘‘ඇඳිරි නීතිය දාන වෙලාවේ අතේ රුපියල් හයසීයක් තිබුණා. දැන් තියෙන්නේ රුපියල් දහයේ කාසි දෙකක් විතරයි. පොඩි අය කන්න ඉල්ලනවා. කරගන්න දෙයක් නැතිව ඉන්නවා’’ කියලා ගම්පහ පැත්තේ කෙනෙක් කියනවා රූපවාහිනී නාළිකාවක පෙන්නුවා. විපක්ෂ නායකවරයා කීවේ කොරෝනා නිසා අසරණ වූ ජනතාව ගැන සිහිපත් කරමින්ය.
‘රුපියල් පන්දාහේ දීමනාව කොරෝනා නිසා අසරණ වූ අයට දෙන්න ආණ්ඩුවේ කිසිම සූදානමක් නෑ’ පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කීවේය.


‘ගිය පාර රුපියල් පන්දාහේ දීමනාව දුන්නේ ඡන්දය බලාගෙන. ඒකත් සමෘද්ධි අරමුදලේ සල්ලිවලින් දුන්නේ. තවම ආණ්ඩුවෙන් ඒ මුදල් සමෘද්ධි අරමුදලට පියවලා නෑ. දැන් ඡන්දයක් නැති නිසා වෙන්න ඇති ආණ්ඩුව ජනතාවට සහන ලබා දෙන්නේ නැත්තේ. පටු දේශපාලන වාසි ගැන කල්පනා කරන මේ ආණ්ඩුව ජනතාවගේ දුක හඳුනන්නේ නෑ. ඒ නිසා තමයි කොරෝනා අස්සේ හරි විසි වැනි සංශෝධනයක් සම්මත කර ගන්න ආණ්ඩුව හදන්නේ’ සජිත් දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.


‘ඔබතුමා කිව්ව කතා දැන් කාටත් තේරෙන්න පටන් අරගෙන තියෙන්නේ. වෛරසය ආසාදනය වී ඇති පිරිස් සඳහා ප්‍රතිකාර කිරීමට රෝහල්වල තියෙන ඇඳන් සංඛ්‍යාව ප්‍රමාණවත් නෑ.’ රංජිත් මද්දුම බණ්ඩාර පැවැසුවේය.


මේ අතර කටුනායක වෙළෙඳ කලාපයේ සේවිකාවන් කිහිප දෙනෙක් විපක්ෂ නායකවරයාට දුරකතන ඇමතුම් ලබා දී තිබුණේය.


‘සර්, අපිට පීසීආර් පරීක්ෂණ තියන්න කියලා එක දවසක් ගෙන්වා ගත්තා. එදා අපිට පරීක්ෂණ කරන්නේ නැතිව යැව්වා. පස්සේ දවසක නැවත ගෙන්වා ගත්තා. අපිට පැයක් ඇතුළත එන්න කියලා කැඳවා ගත්තේ. අඩුම තරමේ අපට අරගෙන යන්න ඕනැ අත්‍යවශ්‍ය දේවල් අරගෙන යන්නවත් මේ අය වෙලාව දුන්නේ නෑ’ වෙළෙඳ කලාප සේවිකාවෝ සජිත්ට කීහ.


‘ඒ විතරක් නෙවේ සර්, එක පාරටම කඩා පැනලා අපිට විනාඩියෙන් ලෑස්තිවෙන්න කියලා වාහනවල පටවගෙන ගියා. අපි බලෙන් කොරෝනා හදා ගත්තේ නෑ, ඒත් ඒ අය අපිට සැලකුවේ අපි මිනීමරුවෝ ගානට දාලා’ තවත් සේවිකාවක් කීවාය.


‘ගිය වතාවේ හමුදාවේ රණවිරුවෝ කොරෝනා මෙහෙයුමට දාලා එයාලාට කොරෝනා ආසාදනය වුණාම සමහරු එයාලට ගල් ගහන තත්ත්වයට පත්වුණා. එහෙම කළ ගුණ නොදන්න අය ඉන්නවා. ඔයාල වෙනුවෙන් අපි පුළුවන් උපරිමය කරනවා’ එසේ කී සජිත් වහාම විවිධ පාර්ශ්ව දැනුවත් කරමින් මේ පිළිබඳව සිය අවධානය යොමු කළේය.


‘මේ අය තමයි රෑ දවල් වෙහෙස වෙලා රටට විනිමය ගේන්න කැප වෙන්නේ. එහෙම අයට රටක් හැටියට කවුරුත් ණයගැතියි. ඒ නිසා ඒ අය වෙනුවෙන් අපි පෙනී ඉන්න ඕනැ’ සජිත් කීවේය.

 

 

-ගජබා-