සර්වපාක්ෂික සමුළුවේදී ජනපති කී රහස


ප්‍රධාන පෙළේ ක්‍රිස්තියානි දේවස්ථාන තුනකට හා තරු පන්තියේ සංචාරක හෝටල් තුනකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාර හමුවේ රටේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන සාකච්ඡා කරන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් බ්‍රහස්පතින්දා පෙරවරුවේ සර්ව පාක්ෂික සමුළුවක් හදිසියේම කැඳවීය.


ජනාධිපති කාර්යාලයේදී උදේ 10.00 ට ආරම්භවූ සර්ව පාක්ෂික සමුළුවට අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ආර් සම්බන්ධන්, මහින්ද අමරවීර, නිමල් සිරිපාල, දිනේෂ් ගුණවර්ධන, බැසිල් රාජපක්ෂ, වාසුදේව, විජිත හේරත්, විමල් වීරවංශ, චම්පික රණවක, උදය ගම්මන්පිල, ඩිව් ගුණසේකර, ඩග්ලස් දේවානන්ද, රවුෆ් හකීම්, රිෂාද් බදුර්දීන්, ඩලස් අලහප්පෙරුම, දිගම්බරන්, මනෝ ගනේෂන් ඇතුළු පක්ෂ නායකයෝ රැසක් සහභාගි වූහ.


සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වූ පක්ෂ නායකයින්ට ස්තුතිය පළකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අාරම්භයේදීම කරුණු පැහැදිලි කළේය. මෙතැන නිලධාරින්ගේ වරදක් වෙලා තියෙනවා. මම පිටරට ගියේ 16 වැනිදා. හැබැයි මේ ප්‍රහාරය ගැන ඉන්දීය ඔත්තු සේවය අ​ෙප් රටට දැනුම් දීල තියෙන්නෙ           

                                                                                                                          ගිය 4 වැනිදා. මට කියන්න දවස් 12 ක් තිබුණු නමුත් කිව්වෙ නෑ. අලුත් අවුරුද්දට සුබ පතන්න ආරක්ෂක ලේකම් සහ පොලිස්පති දෙන්නම ආවා. හැබැයි ඒ කවුරුවත් මට මේ ගැන කිව්වෙ නෑ. මට කිව්වා නම් මම මේ ගමන යන්නෙ නැහැ. මම 16 වැනිදා ගියේ තිරුපති. ලංකාවේ ඉඳල තිරුපතිවලට පැයයි. මට එහෙදි කිව්වා නම් මම ආපහු එනවා. පස්සේ මම සිංගප්පූරුවට ගියා. සිංගප්පූරුවේ ඉඳලා ගමන පැයයි විනාඩි 30 යි. මට එහිදි කිව්වා නම් මම ෆ්ලයිට් එකක් අරගෙන හරි එනවා. මට කියන්නෙ නැතිව නිලධාරීන් එක එක්කෙනාට ලියුම් ලිය ලිය ඉඳලා යැයි ජනාධිපතිවරයා කීවේ වරද සිදුව ඇත්තේ නිලධාරීන්ගෙන් බව අඟවමිනි. මම ආරක්ෂක අංශය සම්පූර්ණයෙන් ප්‍රතිසංවිධානය කරන්න තීරණය කරලයි තියෙන්නෙ. වගකීම් බාරගෙන ආරක්ෂක ලේකම්වරයාටයි පොලිස්පතිටයි දෙන්නටම අයින් වෙන්න කියලා මම මේ වන විටත් දැනුම් දීලා තියෙනවා යයි ජනාධිපතිවරයා කියා සිටියේය.


ජනාධිපතිවරයාගේ කතාවෙන් පසුව මුලින්ම අදහස් දැක්වූයේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකරය. ඔහු කතා කළේ ජනාධිපතිවරයාගේ කතාව පිළිගත නොහැකි බව කියමිනි. ජනතාව බලය දීලා තියෙන්නෙ නිලධාරීන්ට නෙමෙයි දේශපාලනඥයින්ටයි. දේශපාලනඥයින් තමයි නිලධාරීන්ට නියෝග දෙන්නෙ. ඔබට ඕනෑ නිලධාරීන් පත් කර ගත්තෙ ඔබතුමා. මේ වගේ ආරක්ෂක ලේකම් කෙනෙක් පත්කර ගන්න එපා කියලා අපි දිගින් දිගටම කිව්වා. ඒ නිසා මේකෙ වගකීම ඔබතුමාත් බාරගන්න ඕනෑ යැයි ඩිව් කීවේය.


මේ අතර හමුදාව එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන කී ඩිව් ගුණසේකර මහතා අපේ හමුදාව ජාතිවාදීව වැඩ කළේ නැහැ යැයි කීවේය. පාස්කු ඉරිදා ඇතිවූ ප්‍රහාරයේදී කාදිනල්තුමන් කටයුතු කළ ආකාරය ගැනද ඩිව් කාදිනල්තුමාට ස්තුතිය පළ කළේය. අනතුරුව කතා කළේ දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන්ය. මේ ප්‍රශ්න අතරේ ඔහු කතා කළේ ඔවුන්ගේ ප්‍රශ්න ගැනය. දෙමළ ජනතාව විදියට අපේ ප්‍රශ්න විසඳන්න කියල ඉල්ලුවේ කොටි ප්‍රශ්න පටන් ගන්න කලින්. හැබැයි කොටි ප්‍රශ්නය අවසන් කරල අවුරුදු 10ක් ගියා. තවම දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබිල නැහැ. ත්‍රස්තවාදය ඇතිවෙන්නේ ප්‍රශ්නවලට විසඳුම් නොදුන්නමයි. දැන්වත් අපේ ප්‍රශ්නවලට උත්තර දෙන්නයි සම්බන්ධන් ඉල්ලීමක් කළේය. හකීම් ඇමැතිවරයා කතා කළේ ඉන් අනතුරුවය. මුස්ලිම් අන්තවාදීන් සිටින්නේ ඉතාම සුළු පිරිසක් බවත් වැඩිම වුණොත් 200ක පමණ පිරිසක් බවත් කී හකීම් සමස්ත මුස්ලිම් ජනතාව දිහා ත්‍රස්තවාදීන් විදියට බලන්න එපා යැයි ඉල්ලීමක් කළේය. කාදිනල්තුමාගේ හැසිරීම ගැනද ගෞරවය පුදකරන බව හකීම් කීවේය. අපේ ආගම අවිහිංසක ආගමක්. යුද්ධයක් කරන විටදීවත් වැඩිහිටියන් මරන්න එපා. කාන්තාවන් මරන්න එපා, ළමයින් මරන්න එපා කියලයි නබිතුමා කියල තියෙන්නේ. ඒ නිසා මෙතනදී ඉස්ලම් ආගම ගැන වැරදි මතයක ඉන්න එපා යැයි හකීම් ඉල්ලීමක් කළේ ඉස්ලාම් අන්තවාදය පරාජය කරන්න සහාය දෙන බව කියමිනි.   


මේ විනාශයේ වගකීම ආණ්ඩුවට බාර ගන්න වෙනවා. වනතාවිල්ලුවේදී අත්අඩංගුවට ගත්ත සමහර අන්තවාදීන් දේශපාලන බලපෑම් නිසා නිදහස් කරන්න වුණා, ඒක නොවුණා නම් මේ තරම් විනාශයක් වෙන්නෙ නැහැ යැයි කීවේ කබීර් හෂීම් ඇමැතිවරයාය. මේ ප්‍රශ්නයට ඇමෙරිකාවේ අත පෙවීම ගැන පැහැදිලි කළේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාය. අයිඑස්අයිඑස් සංවිධානය බටහිර රටවල නිර්මාණයක්. අයිඑස්. ත්‍රස්තවාදීන් අල්ලන්න ඇමෙරිකාවේ උදව් ඉල්ලනවා කියන්නේ හරියට පුතා අල්ලන්න තාත්තාගෙන් උදව් ඉල්ලනවා වාගේ වැඩක්. ජනාධිපතිතුමත්, අගමැතිතුමත් මේ වගකීම බාරගෙන ජනතාවගෙන් සමාව ගන්න ඕනෑ යැයි විමල් කීවේය.   


පොදුජන පෙරමුණ වෙනුවෙන් පැමිණ සිටියේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාය. ඔහු කතාකළේ ඉස්ලාම් අන්තවාදය විනාශ කිරීම සඳහා වන ලිඛිත යෝජනාවලියක් ද ඉදිරිපත් කරමිනි. මෙතනදී අපේ සමහරු අපේ බුද්ධි අංශයට බැන්නට බුද්ධි අංශය වෙලාවට තොරතුරු දීලා තියෙනවා. හැබැයි ඉහළ නිලධාරීන් ඒ තොරතුරු වෙලාවට පැමිණිලි කරල නැහැ යැයි බැසිල් කීවේ උදාහරණයක් ද පැහැදිලි කරමිනි. ලෙඩකට බෙහෙත් ගෙනත් බොන්නැතිව ගෙදර තියාගෙන ඉදලා ​ෙලඩේ හොඳ වුණේ නැහැ කියලා දොස්තරට බනින එක විසඳුමක් නෙමේ. මේකත් අන්න ඒ වගේ යැයි බැසිල් කීවේය. මේ ප්‍රශ්නයට ඇමෙරිකාව නම් ගාව ගන්න එපා යැයි තිස්ස විතාරණ කියද්දී උදය ගම්මන්පිල කීවේ මේ ආණ්ඩුව පිළිබඳව අපට කොපමණ කර්කශ විවේචනයක් තිබුණත් ජනතාවට ආරක්ෂාව සපයන්න අපි ආණ්ඩුවට උදව් කරනවා කියාය. අද විපක්ෂනායක ධුරය දරන්නෙ එදා කොටි ත්‍රස්තවාදය පරාජය කරපු ආණ්ඩුවට නායකත්වය දුන් විධායක ජනාධිපතිවරයාය. එතුමාටත් ජාතික ආරක්ෂක සභාවට එන්න කියල එතුමගේ දැනුමෙන් පලපුරුද්දෙන් ප්‍රයෝජන ගත්තේ නැත්තේ ඇයි. ඉන්දියාවේ නම් ජාතික අර්බුදයකදී විපක්ෂනායකටත් ජාතික ආරක්ෂක සභාවට ආරාධනා කරනවා යැයි ගම්මන්පිල කීවේය.   


ජවිපෙන් සහභාගි වූයේ විජිත හේරත්ය. ඔහු කීවේ ත්‍රස්තවාදීන් මර්දනය කිරීමේදී ත්‍රස්තවාදීන් වැඩිවෙන විදියට වැඩ කරන්න එපා කියාය. හදිසි නීතිය පාවිච්චි කරල ජනතාව පෙළන්න කටයුතු කරන්න එපා යැයි විජිත හේරත් කීවේය. අනතුරුව රිෂාද් බදියුදීන් කතා කළේ ඔහුට එල්ල වන චෝදනාවලට ද පිළිතුරු දෙමිනි. මට චෝදනාවක් තියෙනවා අබ්දුල් රහීම් මගේ යාලුවෙක් කියලා. මම වෙළෙඳ ඇමැති අබ්දුල් රහීම් කොළඹ ව්‍යාපාරික සංගමයේ සභාපති ඒ නිසා මට එයා නිතර හම්බ වෙන්න වෙනවා. එහෙම නැතිව ඉස්ලාම් අන්තවාදයට අපේ සහායක් නැහැ යැයි රිෂාද් කීවේය. අසාද් සාලිද කතා කළේ ඔහුට එරෙහිව එල්ල වන චෝදනාවලට උත්තර බඳිමිනි. ත්‍රස්තවාදීන් නිදහස් කරන්න මම බලපෑම් කළා කියලා මටත් ​ෙචා්දනා එල්ල වෙනවා යැයි කී අසාද් සාලි ජනාධිපතිවරයා දෙසට හැරෙමින් කීවේ සර් මම එහෙම කළා නම් කියන්න. මම ඕනෑ දඬුවමක් විඳින්න ලෑස්තියි. එහෙම කළා නම් මාව අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමිනි.

   
අනතුරුව කතා කළේ පාඨලී චම්පික රණවක ඇමැතිවරයාය. මේ වෙලාවේ කවුරුවත් මේකෙන් දේශපාලන වාසි ගන්න හදල වැඩක් නෑ. විසිලක්ෂයක පමණ මුස්ලිම්වරුන් අතරේ දෙතුන් සියයක අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදීන් කණ්ඩායමක් ඉන්නවා. මේ ත්‍රස්තවාදීන් කණ්ඩායම දැන්ම මර්දනය නොකළහොත් මේක දෙතුන්දාහක් වෙනවා. ඒ නිසා අපි මේක මර්දනය කරන්න ඕනැ. ඒකට සියලු දෙනාගේ සහාය ගන්න ඕනැ. ඒ නිසා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහත්තයාත් ජාතික ආරක්ෂක සභාවට කැඳවලා මේ ප්‍රශ්නය විසඳන්න එකතුවෙලා කටයුතු කරමු, චම්පික යෝජනා කළේය. ජනාධිපතිතුමනි, මට අහන්න වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා තමයි ආණ්ඩුවේ ප්‍රධානියා. රටේ ප්‍රධානියා. හැබැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා ඔබතුමාට කතා නොකර අගමැතිතුමාටයි කතා කළේ. ඒකෙන් පේනවා බටහිර ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක කියලා යැයි අතාවුල්ලා කීවේ කතාව වෙනත් දෙසකට යොමු කරමිනි. අතාවුල්ලාගේ ප්‍රශ්නයට උත්තර දුන්නේ අගමැතිවරයාය. රටක අර්බුදයක් තියෙන වෙලාවේ මේ වගේ අනවශ්‍ය ප්‍රකාශ කරන්න එපා, අගමැතිවරයා ඉල්ලා සිටියේය.   


පක්ෂ නායකයින්ගේ විවේචන චෝදනා යෝජනා සියල්ල කෙරෙහි අවධානය යොමුකළ ජනාධිපතිවරයා කීවේ ඇතිවී තිබෙන අර්බුදය හමුවේ ආරක්ෂක අංශ පුළුල් ප්‍රතිසංවිධානයකට ලක් කරන බවය. ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම සඳහා හමුදා මෙහෙයුම් සිදුකරන බව කී ජනාධිපතිවරයා ඒවා සම්බන්ධීකරණය කිරීමට ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් කඩිනමින් ස්ථාපිත කරන බවද කියා සිටියේය.