සයිටම් පනත පාර්ලිමේන්තුවට ගෙනාවේ කවුද ?


 

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇමරිකාවට ගිය අගමැති රනිල් පසුගිය 10 වැනි සෙනසුරාදා සවස 3.30 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයකින් යළි සිය රට පැමිණියේ සති දෙකකට පසුවය. ඒ බිරිඳ මහාචාර්ය මෛත්‍රී ද සමගිනි.   


 අගමැතිවරයා පිළිගැනීමට එජාප ඇමැතිවරු හා මන්ත්‍රීවරු 50 කට ආසන්න පිරිසක් කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියහ.   
 ”අගමැති කාර් එකෙන් බහින කොට ඔබතුමා මූලිකවම එතුමා පිළිගන්න. අගමැතිතුමා නැති කාලයේ සභානායක හැටියට පක්ෂයේත්, ආණ්ඩුවේත් සියලු කටයුතු සොයා බලා මූලිකත්වය ගත්තේ ඔබතුමා නිසා මෙතනදීත් ඒ වගකීම ඉටුකරන්න.’ සාගල රත්නායක ඇමැතිවරයා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලට ආරාධනා කළේය.   


නැහැ, අපි ඔක්කොම එකට එතුමා පිළිගනිමු. කිරිඇල්ල කීවද සෙසු සියලු දෙනා කීවේ මූලිකවම සභානායක ලෙස අගමැතිවරයා පිළිගැනීමට ලක්ෂ්මන් කිරිඇල්ල ඉදිරිපත් විය යුතු බවය.   


 කිරිඇල්ලගේ මූලිකත්වයෙන් රවි කරුණානායක, සාගල, ස්වාමිනාදන් ඇතුළු සියලු දෙනා අගමැතිවරයා උණුසුම් ලෙස පිළිගෙන පර්යන්තය වෙත කැඳවාගෙන ආ පසු අග්‍රාමාත්‍යවරයා පිරිස අමතා වචන කිහිපයක් කතා කළේය.   


 ”මා ගිය රෝහල ලෝකයේ දියුණුම එකක්. එහි ඇති නවීන උපකරණ හා නව තාක්ෂණය දැක්කම පුදුම හිතෙනවා.’ අගමැතිවරයා කීවේය.   


‘කොයි එකටත් අපට ඒ රෝහලේ ඇඩ්‍රස් එක දීලා තියන්න.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේද සිනා මැදය.   


මද විවේකය අවශ්‍ය බවට අගමැතිවරයාට වෛද්‍ය උපදෙස් ලැබී තිබුණද ඔහු පසුදා සිටම යළි වැඩ ඇරඹීය. ජනපති සමඟ ඇතැම් වැදගත් සාකච්ඡා හා උත්සවවලටද ඔහු එක්විය. පාකිස්ථාන නාවික හමුදාපති ඇතුළු විදේශ නියෝජිතයන් ද හමුවිය.   


 සිය රටට පැමිණි අගමැතිවරයාගේ මූලික ඉලක්කය වූයේ ගංවතුර ආපදාවෙන් විපතට පත් ජනතාව ගැන දැඩි අවධානය යොමු කිරීමය. ඔහු ඒ වෙනුවෙන්ද විශේෂ සාකච්ඡා කිහිපයක් කැඳවීය. අත්‍යවශ්‍ය තීන්දු රැසක් ද දුන්නේය.   


‘වැඩිම ආපදාවලට ලක්වූ ප්‍රදේශවල ජනතාව හමුවෙලා ප්‍රශ්න කතා කර විසඳුම්දීමත් මට අවශ්‍යයි.’ අගමැතිවරයාගේ අදහස මත බ්‍රහස්ප්‍රතින්දා පෙරවරුවේ කළුතර, ගාල්ල, මාතර හා රත්නපුර ප්‍රදේශවල සංචාරය කිරීමට ඔහු තීන්දු කළේ වෛද්‍ය උපදෙස් පවා නොතකමිනි.   


 සංචාරවලට වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, සාගල රත්නායක මෙන්ම තලතා අතුකෝරල හා දුනේෂ් ගන්කන්ද ද එක්වූහ. ඒ වන විටද රුපියල් දශලකෂ 10,000 කට අධික මුදලක් රජය ගංවතුර ආපදාවට ලක්වූ ජනතාව වෙනුවෙන් වෙන්කර අවශ්‍ය යාන්ත්‍රණයද සකසා තිබිණ.  


මුලින්ම කළුතර දිසාවේ, පාලින්දනුවර හා බදුරලියේදී රාජ්‍ය නිලධාරින් හමුවී අවශ්‍ය තීන්දු ගත් පසුව අත්වැල්තොට විපතට පත් ජනතාව මුණ ගැසීම අගමැතිවරයා කළේය.   


අනතුරුව රත්නපුර-අයගමට ගිය ඔහු එහිදීද රාජ්‍ය නිලධාරින් හමුවී නාය ගිය රෝහල, පාසල හා පොලිසිය නිරීක්ෂණය කළේය. ඉන් පසුව ගාල්ල දිසාවේ නෙළුවට පැමිණි අගමැතිවරයා රාජ්‍ය නිලධාරින් හමුවි අාපදාවන් ඇතිවූ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රශ්නවලට අදාළ තීන්දු තීරණ ගෙන ආපදාවට පත් ව්‍යාපාරිකයන් හා සාකච්ඡා කළේය. අගමැතිවරයා එදින දිවා භෝජනය ගත්තේද නෙළුවේදීය.

 
 ඉන්පසුව මාතර දිසාවේ පිටබැද්දර හා ගොරකාවෙලට ගිය අගමැතිවරයා හානියට පත් ස්ථාන නිරීක්ෂණය කර ඒ ජනතාවද හමුවුණි.   
මොරවකට ගොස් ජනතාව හමුවී නායගිය ස්ථාන කිහිපයක්ද නිරීක්ෂණය කළේය. ගංවතුරින් විනාශ වූ පෝරුපිටිය පාලම ගැන සොයා බැලූ අගමැතිවරයා කොටපලදී රාජ්‍ය නිලධාරින් හමුවී ජනතාවට සහන සැලසීම සඳහා තීන්දු රැසක් දුන්නේය.   


 ගංවතුරින් විනාශ වූ ප්‍රදේශවලට යාමට පෙර අගමැතිවරයා උදෙන්ම පැමිණියේ අරලියගහ මැදුරටය. හෙලිකොප්ටරය පැමිණීමේ සුළු පමාවක් හේතුවෙන් පැමිණ සිටි මැති ඇමැතිවරුන් සමග කෙටි පිළිසඳරක යෙදීමට අගමැති රනිල්ට සුළු අවකාශයක් විවර විය.   
 ‘දැන් මේ මුස්ලිම් කඩවලට ගහන්න පටන් අරන්. මේක වහාම හොයල නතර කරන්න ඕනැ.’ ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම දයා ගමගේද අගමැතිවරයාට දැඩි ලෙස කීහ.   


 ‘ජාතිවාදීන්ට-ආගම්වාදීන්ට, දැඩි ලෙස වෛරය පතුරුවන අයට එරෙහිව පොලිසිය තදින් ක්‍රියා කළ යුතුයි. යළිත් ර​ෙට් ලේ ගංගා ඇති කරන්න ඉඩදෙන්න බැහැ. ජාතීන් අතර සහජීවනය සඳහා අවශ්‍ය නම් නව නීති ගේන්න කැබිනට් එක තීන්දු කළානේ.’ අගමැති යළිත් එය සිහිපත් කළේය.   


‘අර හාමුදුරුවන් මහින්දගේ කාලෙ වගේ ආපහු නීතිය අතට අරන් අනවශ්‍ය ලෙස හැසිරෙන්න ආවා. දැන් උසාවියටත් අපහාස කර උසාවිය මග අරිනවා. ඒ සංවිධානයේ අය යම් කඩාකප්පල් වැඩ කරන බවයි පොලිසිය කියන්නේ.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීය.   
 ‘චම්පික ඇමැතිතුමායි, විජයදාස ඇමැතිතුමයි හාමුදුරුවෝ හංගගෙන ඉන්නවා කියලත් රටේ මතයක් තිබෙනවා.’ දයා ගම​ෙග් විජයදාස රාජපක්ෂගෙන් ඇසුවේ සිනාසෙමිනි.   


 ‘චම්පික කැබිනට් එකේදි ඔය චෝදනාව ප්‍රතික්ෂේප කළා. මට කියන්න තිබෙන්නෙත් එච්චරයි. මහින්ද රාජපක්ෂලාට හිතවත් නීතිඥයෙකු හාමුදුරුවන්ට රැකවරණ දෙන බවයි රාජිත කැබිනට් මාධ්‍ය හමුවේදී කිව්වේ.’ විජයදාස රාජපක්ෂ උස් හඬින් සිනහසෙමින් කීවේ එවැන්නකි.   


 ‘පොලිසිය කාර්යක්ෂම වීම අවශ්‍යයි. නීතියට උඩින් යන්න, උසාවියට අභියෝග කරන්න ඉඩ දෙන්න ආණ්ඩුවකට බැහැ.’ අගමැතිවරයා කීය.   


‘සයිටම් වෛද්‍ය විද්‍යාලය ගැසට් කරන එක එස්.බී. වෙනුවෙන් 2013 දෙසැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු දිනේෂ් ගුණවර්ධන දැන් සයිටම් එකට විරැද්ධව පාර්ලිමේන්තුවෙයි පිටයි කෑගැසීම පුදුමයි.’ දයා ගමගේ කීය.   


 ‘2013 දී දිනේෂ් පාර්ලිමේන්තුවට සයිටම් ගැසට් එක ඉදිරිපත් කරන අයුරු හා 2017 දී ඒකට විරුද්ධව කතා කරන විදිය ජාතික රූපවාහිනියේ පෙන්නුවා. දිනේෂ්ට දැන් පොළොව පලාගෙන යන්න හිතෙනවා ඇති. ඔය වගෙ තුට්ටු දෙකේ ලජ්ජා නැති පහත් ​දේශපාලනය කරන්න එපා කියලා මම දිනේෂ්ට පාර්ලිමේන්තුවේදී කිව්වේ ඒකයි.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.   


 ‘ගංවතුරට අදාළ සමුළුවක් ගැන ඔබතුමා ඇමරිකාවෙ ඉන්න කාලේ ලංකාවෙ කතා වුණා. ඒක කරනවද’ රවි කරුණානායක ඇසුවේ අගමැතිගෙනි.   


 ‘මුලින්ම විනාශය ඇස්තමේන්තු කර ආධාර ගන්න බැරි නැහැ. ආධාර දෙන රටවල් කැඳවල කියන්න පුළුවනි නම් වටිනවා. නැතිනම් මුලින් ඒ රටවලට කතා කරන්න ඕනෑ. ඒක හොඳ අදහසක්.’ අගමැතිවරයා කීවේය.   


 ‘කටාර් අර්බුදය තාම නිම නැහැ. ඒ ගැන අපේ ස්ථාවරය මොකක්ද?’ විජයදාස රාජපක්ෂ ඇසුවේ අගමැතිගෙනි.   


 ඒ අර්බුදයට අපේ සම්බන්ධයක් නැහැ. ඒක එයාලගෙ ප්‍රශ්නයක්නේ? අපේ සේවකයෝ ගැන ප්‍රශ්න ආවොත් කටාර්වලට විතරක් නෙවෙයි පොදුවේ ඒ රටවල් ඔක්කොමට බලපානවා. විදෙස් සේවකයො නැතුව ඒ රටවලට දුවන්න බැහැ. ඇමෙරිකාවෙන් හා සවුදියෙන් කොළ එළියක් කටාර් වලට දැන් එන ලකුණු තිබෙනවා. ඇමෙරිකානු යුද කඳවුර තිබෙන්නෙත් කටාර් වලයි. වෙන කිසිම මැදපෙරදිග රටක් එවැනි කඳවුරකට ඉඩ දුන්නේ නැහැ. ආරක්ෂක ගිවිසුමකුත් දෙරට අතර තිබෙනවා. ලෝකයේ වැඩි රටවල් කටාර් එක්ක ඉන්නේ. ලංකාවෙ ස්ථාවරයත් ඊට කිට්ටුයි.’ අගමැතිවරයා කීය.   


 කබීර් හා ලක්ෂ්මන් යාපාගේ අමාත්‍යාංශ කාමර ප්‍රශ්නය ගැනද එහිදී කතාබහ විය. ලක්ෂ්මන් යාපා කෑගසා ඇති බවත් අදාළ කාමර දෙදෙනාටම ලැබිය යුතු ඒවා බවට කබීර් පාර්ශ්වය ප්‍රකාශ කරන බවත් එහිදී එළිවිණ.   


‘හෙලිකොප්ටරය සූදානම්ලු. ගංවතුරින් බිඳ වැටුණු ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා උපරිම පියවර ගත යුතුයි’ කී අගමැතිවරයා අරලියගහ මැදුරෙන් නික්ම ගියේ රැස්ව සිටි මැති ඇමැතිවරුන්ට සමුදෙමිනි.   


‘ඔබතුමා අද හවසට කොළඹ එනවද’ විජයදාස රාජපක්ෂ විමසීය.   


‘දොස්තරල කියන දේත් අහන්න ඕන. ඒ නිසා දවස් දෙකකින් විතර තමයි ආපහු එන්නේ.’ අගමැතිවරයා කීවේය.   


රීති ප්‍රශ්නයක් පැන නැගුණු අවස්ථාවක හැර පාර්ලිමේන්තුවේ යම් මන්ත්‍රීවරයෙක් තම අවස්ථාවේදී නැගී සිට කතා කරන විට ඔහුට බාධා කිරීමට අන් අයට නොහැක. මෙහිදී රීති ප්‍රශ්නයක් ඇති බව සඳහන් කරමින් නැගී සිටින මන්්‍ත්‍රීවරු රීති ප්‍රශ්න නැගීමට වඩා සිය ප්‍රතිවිරුද්ධ කථිකයන්ට බාධා කිරීමට එම වරප්‍රසාදය භාවිත කිරීම නිරතුරුව සිදුවන්නකි. මේ පිළිබඳව කථානායකවරයා පසුගිය කාලය පුරා දිගින් දිගටම අවවාද කළේය.   


 රීති ප්‍රශ්න ඇසීම ගැන පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ යළි කතා බහට ලක්වුනේ ආපදා තත්ත්වය පිළිබඳ දීර්ඝ විවාදය පැවැත්වෙන අතරතුරය. රීති ප්‍රශ්න නැගීමට මන්ත්‍රීවරු ගණනාවක් එකවර ඉල්ලා සිටි විට අන් අයට හිමිවූ අවස්ථාව තමාට හිමි නොවූ බව සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ උදය ගම්මන්පිල මහතා එමගින් කථානායකවරයා විවේචනයට ලක්කර තිබිණි.   


සභා ගර්භය තුළ සාකච්ඡා විය යුතු රීති ප්‍රශ්න පිළිබඳ කරුණු මාධ්‍ය වෙතට ගෙන ඒම පාර්ලිමේන්තු වරප්‍රසාදයනට පටහැනි බවත් එම නිවේදනය මගින් කථානායකවරයාට අවවාද කරන ආකාරයෙන් විවේචනය කිරීමට විරුද්ධව පියවර ගන්නා ලෙසත් කරු ජයසූරිය මහතාට හිතවත් ප්‍රධාන පෙලේ භික්ෂුන් වහන්සේලා කිහිප නමක මෙන්ම දේශපාලන හිතවතුන් ඉල්ලා සිටියහ.   


නමුත් කථානායකවරයාගෙන් ඔවුනට ලැබුනේ බෙහෙවින් නිවුණු පිළිතුරකි. ‘මම කවදත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් කටයුතු කළ කෙනෙක්. මා ගැන විවේචනය කරන්න එතුමට තියෙන අයිතියටත් මම ගරු කරනවා. ඒක එතුමන්ගේ මතය, නමුත් නවක මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා මේ කාරණා පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කළා නම් තමයි හොඳ’ යැයි කී කථානායකවරයා වර්තමානයේ පවතින දේශපාලන බල සංයුතිය තුළ කථානායක ධුරය මොන තරම් සංකීර්ණ ද යන්න තේරුම් ගත හැකි අපූරු කතාවක් කීවේය.   


 ‘මේ තියෙන තත්ත්වය තුළ කථානායකකම හරියට අහස වගේ. වැස්සත් කට්ටියකට හොඳ නැහැ. පෑව්වත් තව පිරිසකට හොඳ නැහැ. හැබැයි මම ​ෙම් ධුරය භාර ගත්​ෙත් මේවා දැනගෙන. ඒ නිසා විවේචනවලට මුහුණ දෙන්න මට පුළුවන්.’ කථානායකවරයා කීවේය.


ගිය සඳුද‌ා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තායිලන්තයේ පැවැති “තාරුණ්‍යය සහ සාමය සඳහා අධ්‍යයනය” යන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහභාගි වූ අතර එම සමුළුවට තායිලන්තයේ අධ්‍යාපන අමාත්‍යවරයා මෙන්ම ලෝකයේ තවත් රටවල් රැසක අමාත්‍යවරු සහ විද්වත්හු විශාල පිරිසක් එක්ව සිටියහ. සිකුරාද‌ා උදෙන්ම අකිල බදුල්ලට ගියේ එම ප්‍රදේශ​ෙය් පාසල් කීපයක පැවැත්වීමට නියමිතව තිබූ උත්සවවලට සහභාගි වීම සඳහාය.   


රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පසුගිය සිකුරාද‌ා උදෑසන කොළඹ නව නගර ශාලාවට ගියේ සමස්ත ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහා සභාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමටයි. පරිපාලන නිලධාරීන්ට මුහුණ පෑමට සිදුව ඇති විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයාට කරුණු දැක්වූ සංගමයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය අමාත්‍යවරයාට මුව නොසෑහෙන සේ ස්තුති කළේ “ඇමැතිතුමා පෙස්ටස් පෙ​ෙර්රා ඇමැතිතුමාගෙන් පස්සේ ඔබතුමා තරම් අපේ නිලධාරීන් ගැන හොයල බලපු වෙන ඇමැතිවරයෙක් අපිට මුණ ගැහිලා නෑ. අපිට ඔබතුමා විශ්වාසයි, අපේ වෘත්තීය ප්‍රශ්න ටික විසඳගන්න ඉස්සරහටත් සහය දෙන්න. එච්චරයි අපි ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ’’ කියාය. රංජිත් ඇමැතිවරයා සභාපතිවරයා ඇතුළු නිලධාරින් දෙස බලා කිව්වේ “දින සියයේ අපේ ආණ්ඩුවේ මම තරම් රැකියා දුන්න වෙන ඇමැතිවරයෙක් නැති තරම්. මට ඕන මිනිස්සු සතුටින් ඉන්නව දකින්න, තමුන්නාන්සේලාගෙ ඉල්ලීම් මම කැබිනට් එකට ද‌ාලා තියෙන්නේ. බලමු මුදල් අමාත්‍යංශෙ හිත උණුවෙල මේ දෙය කරල දෙයිද කියල” යැයි කීය.  

 

ජානි​ෙප

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී රැස්විය.  


එහිදී විශේෂ අවධානය යොමුවූයේ ‘ජාතිවාදීන්ට, ආගම්වාදීන්ට දඬුවම් දෙන්න අලුත් නීති ගේනවා’ යනුවෙන් රජය සිදුකර ඇති ප්‍රකාශය සහ ඒ හා බැඳුණු රට තුළ ආගම්වාදය සහ ජාතිවාදය ඉස්මතුවී ඇතැයි සඳහන් කරමින් කැබිනට් මණ්ඩලය නිකුත් කර ඇති විශේෂ නිවේදනය පිළිබඳවය.  


“ඔන්න දැන් ‘හොරාට කලින් කෙසෙල් කැන වැට පැනලා’ අපි ගිය සතියේදීත් මේ පිළිබඳව සාකච්ඡා කළා. ආණ්ඩුව ඉතාමත් සූක්ෂ්ම ආකාරයට සිංහල-මුස්ලිම් ගැටුමකට පාර කපන බව අපි රට හමුවේ තැබුවා. ආණ්ඩුව හොර රහසේ කර ගෙන ගියපු මේ වැඩේ දැන් ඒ අය අතින්ම ‘ලීක්’ වෙමින් තිබෙනවා. ජානිපෙ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.  


“ජාතිවාදය-ආගම්වාදය මඩින්න අලුත් නීති හදනවා කියලා ආණ්ඩුවේ ප්‍රධානීන් තරවටු කරනකොට, කැබිනට් මණ්ඩලය ඒ පිළිබඳව විශේෂ මාධ්‍ය නිවේදන නිකුත් කරනවා. ඇත්තෙන්ම ජාතිවාදී-ආගම්වාදී ප්‍රවණතාවන් පැරැදවීමට මේ ආණ්ඩුවට ඕනෑ නම් පළමුව කළ යුත්තේ මේ විදියේ මාධ්‍ය සංදර්ශන පැවැත්වීමද? ඔවුන් කළ යුත්තේ ආගමික නායකයින් කැඳවා ඔවුන් සමඟ සාකච්ඡා කොට ගැටුම්කාරි ප්‍රවණතාවන් පැරැදවීමට පියවර ගැනීමයි. නමුත් මේ අය දැන් ඉතාම ඉක්මනින් තමන්ගේ අභිලාෂය ඉටුකර ගන්නයි හදන්නේ. ඒ හින්දා ඔවුන් සිංහල-මුස්ලිම් ගැටුමක් හදන ගමන්, එය මැඩලීමට අලුත් මර්දන නීතිත් ගෙන එනවා’’. විමල් වීරවංශ මහතා සඳහන් කළේය.