සමගි ජනබලවේගයේ පක්ෂ ව්‍යවස්ථාව සම්මතයි


සති හතරක් පමණ තිස්සේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැති කැබිනට් රැස්වීම වෙනුවට, මෙවර කැබිනට් මණ්ඩලය ජනාධිපති කාර්යාලයේ දී රැස්විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුද‌ා සවස පැවැති කැබිනට් රැස්වීමට ඇමැතිවරුන් කිහිප දෙනකු පැමිණ සිටියේ නැත. ගිය සඳුද‌ා පැවැති කැබිනට් රැස්වීම 2020 වසරට පැවැත්වෙන අවසන් කැබිනට් රැස්වීම ද විය. මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට අද‌ාළ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරනු ලැබුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ද කැබිනට් රැස්වීමේ දී දැඩි විවේචන එල්ල විය. පසුගිය කාලය පුරාම එම කොමිෂන් සභාව සාධනීය කාර්යයන් කර නැති බව ඇමැතිවරු කිහිප දෙනෙක්ම පෙන්වා දුන්හ.


කලින් සතියේ මෙන් බඩු මිල ප්‍රශ්නය මෙවර කැබිනට් රැස්වීමේදී ද පැයක් පමණ තිස්සේ කතාබහට ලක්විය. ඇමැතිවරුන් වැඩි දෙනකුම කියා සිටියේ සහල්, පොල්, එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බවය. බඩු මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව ද දැඩි පීඩාවකට ලක්ව ඇති බව ඔවුහු කියා සිටියහ. වෙ​ෙළඳුන් සහ අතරමැදියන් බඩුමිල වැඩි කරන බව ඇමැතිවරු කියා සිටියහ. රජය සීනිවල බදු විශාල ලෙස අඩුකළ ද එහි වාසියවත් ජනතාවට නොයන බව තවත් ඇමැතිවරයෙක් කීවේය. අතරමැදියන්ගේ සූරාකෑම්වලින් ජනතාව මුද‌ාගත යුතු බව ඇමැතිවරු කීහ. ඒ අතර සහල් මිල අඩුකිරීම ගැන ද කතාබහට ලක්විය. රජය පොහොර සහනාධාරය දෙන නිසා හාල් මිල අඩුකිරීමට ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම ගැන ද එහිදී සාකච්ඡා විය. කැබිනට් රැස්වීම අවසන් වූයේ ජනාධිපතිවරයා ඇමැතිවරුන් සියලු දෙනාට නව වසර වෙනුවෙන් සුබපතමිනි.


මේ අතර ජනාධිපතිවරයා ගිය බද‌ාද‌ා සවස දිස්ත්‍රික්ක කිහිපයක සම්බන්ධිකරණ කමිටු සභාපතිවරුන් ජනාධිපති කාර්යාලයේ දී හමුවිය. මහනුවර, පොළොන්නරුව, මොණරාගල, කුරුණෑගල, මුලතිව්, කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක සභාපතිවරු ඊට සහභාගි වී සිටියහ. එහිදී මන්ත්‍රීවරයකු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ ‘සර් ෆේල් යනුවෙන් විපක්ෂය ගෙනයන මතය ගැනය. ඊට ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේ හිනාවෙමිනි. ‘සර් ෆේල්’ කියල මතයක් ගෙන ගියාට කමක් නෑ. මට හැටනව ලක්ෂයක් ඡන්දය දීලා තියෙනවා.’ යැයි ජනාධිපතිවරයා කීවේය.’ අපේකම, බෞද්ධකම, රැකගන්න, ආගමික සහජීවනය ඇති කරන්න වැඩකරනවා. මම සතියකට දෙකකට සැරයක් රුවන්වැලි සෑයට, ජයශ්‍රී මහා බෝධියට යන්නේ ඒක පෙන්වන්න.’ යැයි කී ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන් සහාය දෙනව නම් අපට මේ වැඩ ටික ඉදිරියට ගෙනයන්න අමාරු නැහැ, යැයි කීවේය. මේ අතර කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපතිවරුන් දෙදෙනාම පෞද්ගලික උපකාරක පන්ති ආරම්භ කිරීම පිළිබඳ ගැටලු ඉදිරිපත් කළේ උපකාරක පන්ති ගුරුවරුන් ද දැඩි අපහසුතාවට පත්ව ඇති බව කියමිනි. ඒවා සම්බන්ධයෙන් තීන්දු ගන්නෙ කොවිඩ් කමිටුව, ඒ කමිටුව රැස්වෙන දවසට ඔබතුමාලා දෙන්නත් එන්න.’ ජනාධිපතිවරයා කියා සිටියේය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගිය සති අන්තය ගතකළේ කොළඹින් බැහැරවය. මහනුවර අධිවේගි මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට අගමැතිවරයා ගිය සෙනසුරාද‌ා සහභාගි විය. එය සංවිධානය කරනු ලැබුවේ මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු විසිනි. දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුද ඊට සහභාගි වූහ. අනතුරුව අගමැතිවරයා සහභාගි වූයේ කුරුණෑගල පැවැති ඉඩම් ඔප්පු බෙද‌ා දීමේ උත්සවයකටය. ඒ ඉඩම් ඇමැති එස්.එම්. චන්ද්‍රසේනගේ ආරාධනයෙනි. එදින උත්සව කිහිපයකටම ගිය අගමැතිවරයා රාත්‍රී නැවතුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කුරුණෑගල වැව රවුමේ පිහිටි නිවසේය.


අගමැතිවරයා පහුවද‌ා උදේ දඹුල්ල බලා පිටත්විය. ඒ දඹුල්ලේ සහ සීගිරියේ පැවැති විවෘත කිරීමේ උත්සව කිහිපයකට සහභාගි වීම වෙනුවෙනි. 


දඹුල්ලේ සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කරන්නට අගමැතිවරයා ඉරිදා උදේ කුරුණෑගල සිට ආවේ හෙලිකොප්ටරයෙනි. අගමැති පිළිගන්නට ජානක බණ්ඩාර තෙන්නකොන් ඇමැතිවරයාත්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයාත් දඹුල්ල ක්‍රීඩාංගනයට කල්වෙලා ඇතිවම පැමිණ සිටියහ. අනතුරුව සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කළේ රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක, මධ්‍යම අණ්ඩුකාර ලලිත් යු. ගමගේ රෝහණ දිසානයක, ආචාර්ය සුරෙන් රාඝවන් ඇතුළු පිරිසකගේ ද සහභාගිත්වයෙනි. අගමැතිවරයා ප්‍රමුඛ පිරිස වෙනුවෙන් එදින උදේ කෑම සකස් කර තිබු​ණේ ජනකගේ දඹුල්ලේ නිවසේය. සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කර අගමැති ඇතුළු පිරිස ජනකගේ නිවසට ගියහ. සර්. ජන්දේ දින්නට පස්සේ දඹුල්ලට ආ පළමු දවස අදයි. ප්‍රමිත කීවේ අගමැතිවරයා පිළිගනිමිනි. ආගිය තොරතුරු ආදිය කතාබහ කරමිත් උදේ කෑම ගත් අගමැතිවරයා සිගිරියේ ඉදි වූ මහාචාර්ය සේනක බණ්ඩාරනායක පුරාවිද්‍යා පුහුණු මධ්‍යස්ථානය විවෘත කරන්නට ජනක ඇතුළු පිරිස ද සමග ගියේය.   


එදිනට පොළොන්නරුවේ ද උත්සව කිපයක් සුදානම් කර තිබු නිසා අගමැතිවරයා පිරිසට සමුදි වැඩි වෙලාවක් නොසිට පොළොන්නරුව බලා පිටත්ව ගියේය. පොළොන්නරුවේ උත්සවය අතර ප්‍රධාන තැනක් ගත්තේ සොළොස්මස්ථාන රජමහා විහාරය පූජා භූමියක් බවට පත්කිරීමේ සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවයයි. වේඬරුවේ උපාලි අස්ගිරි අනුනාහිමියන්ට එම සන්නස් පත්‍රය පිළිගැන්වී​මේ උත්සවයට දිස්ත්‍රික්කයේ ඇති ඇමැතිවරුන් ද පැමිණ සිටි නමුත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණ සිටියේ නැත. එදින දවස පුරා තවත් උත්සව කිපයකට සහභාගි වූ අගමැතිවරයා රාත්‍රිය ගත කළේ කන්තලේ සියර් පාර්ක් හෝටලයේය. සඳුඳා දිනය ද අගමැතිවරයාට කාර්ය බහුල වූයේ අනුරාධපුරයෙ ද උත්සව කිහිපයක් යොදාගෙන තිබු බැවිනි. කන්තලේ සිට උදේ පාන්දරම අගමැතිවරයා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වඳින්නට පැමිණියෙය. එස්.එම්. චන්‍ද්‍රසේන, දුමින්ද දිසානායක ඇතුළු මැති ඇමැතිවරු පිසක්ද අගමැතිවරයාගේ පැමිණිම අපේක්‍ෂාවෙන් පාන්දරම ශ්‍රී මහා බෝධිය අසලට පැමිණ සිටියහ. ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගත් අගමැතිවරයා අනතුරුව අටමස්ථානාධිපති පල්ලේගම සිරි නිවාස නාහිමියන්ද බැහැදැක සැපදුක් විමසන්නට අමතන නොකළේය. ජේතවන පුරාවිද්‍යා කෞතුකාගාරයත්, සංඝමිත්තා ආරාමයක් විවෘත කළ අගමැතිවරයා මිරිසවැටිය ඇතුළු ආගමික ස්ථාන කිහිපයකටම ගොස් කොළඹ බලා පිටත්වීමට සුදානම් වූයේ එදින හවස කැබිනට් රැස්වීමට ද සහභාගිවීමට තිබූ බැවිනි. අනුරාධපුරයට ඇදහැලුණු මහවැසි හමුවේ අගමැතිවරයාට හෙළිකොප්ටරයෙන් කොළඹ ඒම ගැටලුවක් විය. මේ නිසා හෙළිකොප්ටරය නාරම්මලට ගෙන්වා ගෙන අගමැතිවරයා කොළඹ බලා පිටත්ව ආවේ චන්ද්‍රසේන ඇමැතිවරයා ද සමගය. මේ අතර වැඩ සමග යළි ගමට බස්නාහිර පළාත් වැඩ සටහන ගිය සඳුඳා උදේ අරලියගහ මැදුරේදී පැවැත්වුණේ දරිද්‍රතාව තුරන් කිරීමේ හා ආරථික පුනර්ජීවන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, ප්‍රසන්න රණතුංග සරත් වීරසේකර, බැසිල්, ප්‍රේමජයන්ත ඇතුළු මැති ඇමැතිවරු රැසක් ද ඊට සහභාගීවී සිටියහ. වැඩ සමග යළි ගමටට වැඩසටහනට රැගෙන බැසිල් පසුගිය සති කිහිපයේ රටපුරා ගියේ එහි පළාත් වැඩසටහන් සංවිධානය කර තිබුණු හෙයිණි. දකුණ, වයඹ, උතුරමැද මධ්‍යම, ඌව, සබරගමුව යන පළාත්වල පැවැති එම වැඩසටහන්වලින් පසුව බස්නාහිර වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. කොවිඩ් වයිරසය ව්‍යාප්තියෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ ද බස්නාහිර පළාතටය. වාර්තාවී ඇති රෝගීන් ගෙන් සියයට 75 ක් ම වාර්තාවන්නේද බස්නාහිරිනි. ඒ නිසාම බස්නාහිර පළාතේ ජනජීවිතයටත් ආර්ථිකයටත් එල්ල වී ඇති බලපෑම අති මහත්ය. ජනවාරි වන විට එකම කොවිඩ් රෝගීයකුටවත් නැති පළාතක් බවට පස්නාහිර පළාත පත්කළ යුතු බව බැසිල් එහිදී කීවේ බස්නාහිර පළාත කොවිඩ් වසංගතයෙන් බේරා ගැනීම රටේ සෙසු පළාත්වල ජනජීවිතයට හා රටේම ආර්ථිකයට ද බලපාන බැවිනි. මේ හමුවෙන් පසුව මැති ඇමැතිවරුන් කතාබහ කරමින් සිටිය දී නිමල් ලන්සා ප්‍රසන්නගෙන් ඉල්ලීමක් කළේ සංචාරකයන්ට ඉක්මනින් රට විවෘත කරන ලෙසය. සංචාරක ව්‍යාපාරයේ නියැලිලා ඉන්න අය ඉතා අමාරුවෙන් ජීවත්වන බව ඔහු කීවේය. 
ප්‍රසන්න රණතුංග සංචාරක අැමැතිවරයා කීවේ පසුගිය මාස දහයෙම එක සංචාරකයෙක්වත් ලංකාවට නොපැමිණි බවය. සංචාරක ව්‍යාපාරයෙන් ජීවත්වුනු ලක්‍ෂ 25 කට පමණ ජීවත් වෙන්න විදියක් නැති බව ප්‍රසන්න ද කීවේය. ඔහු කීවේ අනෙකුත් ක්ෂෙත්‍ර වගේම සංචාරක ව්‍යාපාරයක් දැන් පටන්ගත යුතු බවය. ඒ ගැන තමාට හිතුමතේට තීන්දු ගත නොහැකි බවත් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව සංචාරකයන්ට රට විවෘත කරන බවත් ඔහු කීවේය. 


මැති ඇමතිලාත් ගෙවල්වලට කොටුකළ කොරෝනා 


නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරන් සිවුදෙනකු මේ වනවිට සිටින්නේ සිය නිවෙස්වල නිරෝධායනය වෙමිනි. ඒ ඇමැති සි.බී. රත්නායක රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් පියතිස්ස හා වරුද පාන්ඩි රඹේෂ්වරන් යන සිවුදෙනාය. මේ සිවුදෙනා නිවෙස්වලට කොටු කරනු ලැබුවේ කොරෝනා වැළඳෙනු ආගරපතන ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා විසිනි. අාගරපතන සභාපති පසුගිය දින කිහිපයේ දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන් ද සහභාගි වූ රැස්වීම් කිහිපයකටම ගොස් සිටියේ පි.සී.ආර්. පරීක්‍ෂා කර නිරෝධායනයට යොමු කර සිටියදීය. ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව පී.සි.ආර්. පරීක්‍ෂණ වාර්තාවලින් තහවුරුවීමත් සමග දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන්ට පමණක් නොව තවත් බොහෝ පිරිසකට නිවෙස්වලට වී නිරෝධායනය වන්නට සිදුවී ඇත. 


මේ අතර ආණ්ඩුවේ පක්‍ෂ නායකයන්ගේ රැස්වීමක් හෙට (28) පස්වරුවේ පවැත්මට නියමිතව. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීය. 


අලුත් වසරේ දේශපාලන වැඩ පිළිවෙළ මෙන්ම කල්ගිය පළාත් සභා මැතිවරණය ගැනද එහිදී සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට නියමිතව ඇත.


සමගි ජනබලවේගයේ පක්ෂ ව්‍යවස්ථාව සම්මතයි


සමගි ජනබලවේගයේ නව පක්ෂ ව්‍යවස්ථාව පාක්ෂිකයන් වෙත ඉදිරිපත් කර සම්මත කරගැනීම ඉකුත් සෙනසුරාද‌ා බණ්ඩාරවෙල දී සිදුවිය. පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව හා විධායක සභාවේ රැස්වීම් ද එදිනම පැවැත්විණි. මෙම රැස්වීම පැවැත්වුණේ බණ්ඩාරවෙල හෝටලයේය. ‘දිනමු’ වැඩසටහන හා සාමාජිකයන් ප්‍රවර්ධනය ද එයට සමගාමීව සිදුවිය.


හරීන් ප්‍රනාන්දු, චමින්ද විජේසිරි, රවි සමරවීර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, වඩිවේල් සුරේෂ්, දිගම්බරම්, රාධා ක්‍රිෂ්ණන් ඇතුළු මන්ත්‍රීවරු මෙම රැස්වීම පැවැත්වීමට බොහෝ වෙහෙස මහන්සි වූහ. සමගි ජන බලවේගයේ පක්ෂ නායකයන් වන පාඨලී චම්පික රණවක හා මනෝ ගනේෂන් එදින පැමිණීමටම නොහැකි බව පක්ෂ මහලේකම්වරයාට දැනුම් දී තිබිණ.


පක්ෂයේ නව ව්‍යවස්ථාව ඉදිරිපත් කළේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරය. එය ඒකමතිකව සම්මත විය.
බදුල්ලට පැමිණි විපක්ෂනායක සජිත් ප්‍රේමද‌ාස පාක්ෂිකයන් හමුවෙමින් දිනමු වැඩසටහන ක්‍රියාත්මක කරන අතරවාරයේ දී සාමාන්‍ය ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ගැටලු ගැන සොයා බැලීය.


මේ අතර සිය පියාගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති උද‌ාගම්මානය වෙත යාමට ද විපක්ෂනායකවරයා අමතක කළේ නැත. රණසිංහ ප්‍රේමද‌ාස ජනාධිපතිවරයා විසින් ඉදිකළ පළමු උද‌ාගම් අතර වාසනාගම ද විය. එහි නිවාස සියයක් වූ අතර ඒ නිවාසවල පදිංචිකරුවන් හමු වී සුහද කතාබහක යෙදීමට ද විපක්ෂනායකවරයා කටයුතු කළේය.


‘මේ ගමට ප්‍රේමද‌ාස මහත්තයා වාසනාගම කියල නම් කළා.’ ඒ වගේම ගමට වාසනාවත් උද‌ාවුණා.’ ජනතාව කීහ.


අනතුරුව ඔහු ගියේ අර්තාපල් වගා බිමක් වෙතය.


‘මොනවද ඔයාලට තියෙන ප්‍රශ්න’ විපක්ෂනායකවරයා විමසුවේය.


‘සර් අපිට පොහොර නෑ.’ ගොවි ජනතාව තමන්ගේ මැසිවිලි ඉදිරිපත් කළහ. ‘ආණ්ඩුවෙන් දෙනවා කියලා කියපු පොහොර ලැබෙන්නේ නැද්ද?’ විපක්ෂනායකවරයා විමසුවේය.


‘ආණ්ඩුවෙන් නොමිලේ දෙනවා කියපු පොහොර තියා සල්ලිවලටවත් පොහොර ලැබෙන්නේ නෑ. පොහොර නැතිව මේ වගාව කරන්න අමාරුයි. අපි දැන් හරිම අමාරුවක වැටිලා ඉන්නේ.’ ගොවි ජනතාව පැවසූහ.
ඉන්පසුව විපක්ෂනායකවරයා ගියේ ගම්මිරිස් වගාකරුවන් හමුවීමටය. ඔවුන්ගේ මැසිවිල්ල වූයේ ගම්මිරිස් සඳහා තවමත් අඩු මිලක් නියම වීමය. ගම්මිරිස් ප්‍රති අපනයනය තහනම් කර ගොවියාට හොඳ මිලක් ලබා දීමට ආණ්ඩුව අපොහොසත්වීම ගැන විපක්ෂනායකවරයාගේ අවධානය යොමුවිය. ගම්මිරිස් ගොවියා ගැන සොයා බලා කටයුතු කිරීමට ද විපක්ෂනායකවරයාගෙන් සහතිකයක් හිමිවිය.


බදුල්ල දිස්ත්‍රික්කයේ ‘දිනමු’ වැඩසටහන අවසානයේ දී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි. එයට සියලුම මන්ත්‍රීවරු එක්ව සිටියහ.


වැඩකටයුතු අවසානයේ විපක්ෂනායක සජිත් හා හරීන් ඇතුළු පිරිස ගීත ගායනා කළහ. හේෂා විතානගේ, චමින්ද විජේසිරි ද ගායනයට එක්ව සිටියහ. පිරිස රාත්‍රී 12 පමණ වනතුරු ගීත ගයමින් විනෝද වූහ.


විපක්ෂනායක ජංගම සේවය සමග සජිත්ගෙන් මෙහෙයුම් තුනක්


මේ අතර සජිත් රටපුරා යමින් පක්ෂ යාන්ත්‍රණය සවිබල ගන්වන මෙහෙයුම් තුනක් ක්‍රියාත්මක කරයි.
එකක් ‘දිනමු’ වැඩසටහනය. තවත් එකක් ‘ගමින් ගමට දොරින් දොරට’ වැඩසටහනය. අනෙක ‘විපක්ෂනායක ජංගම සේවය’ ය.


ලංකාවේ මුලින්ම ජංගම සේවය පටන් ගත්තේ ප්‍රේමද‌ාස ජනාධිපතිතුමා. එතුමා විපක්ෂයේ ඉන්නකොටයි ඒ වැඩේ පටන් ගත්තේ. ඔබතුමත් ඒ වගේම ගමින් ගමට යන මේ වැඩේ හරිම වටිනවා.’ විහාරාධිපති හිමිනමක් සජිත්ට කීවේය.


බදුල්ලේ දිනමු වැඩසටහන් අවසන් කළ විපක්ෂනායකවරයා පැමිණියේ ගාල්ලටය. ඒ බද්දේගම ආසනයේ ආසන බලමණ්ඩල පිහිටුවීමටය. ඒ දොරින් දොරට ගමින් ගමට වැඩසටහනය. බන්දුලාල් බණ්ඩාරිගොඩ හිටපු මන්ත්‍රීවරයා විසින් සංවිධානය කළ එම බල මණ්ඩල රැස්වීමට ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයාත් මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාත් එක්ව සිටියහ.


බල මණ්ඩල රැස්වීම අවසන් කළ විපක්ෂනායකවරයා පැමිණියේ බද්දේගමටය. ඒ ඔහුගේ පැරණි දේශපාලන මිතුරෙක් වන ආනන්ද ලැනරෝල්ගේ නිවසටය.


ආසන බල මණ්ඩල රැස්වීම්වලට සහභාගිවීමට අමතරව අහුංගල්ල ධීවර වරායේ ධීවරයන්ගේ ජනදුක විමසීමට ද විපක්ෂනායකවරයා ඉදිරිපත් විය. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, හිටපු ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මෙන්ම ගාල්ලේ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා ද එයට එක්ව සිටියහ.


ධීවර ජනතාවගේ ගැටලුවලට කන්දුන් විපක්ෂනායකවරයා ඇතැම් ගැටලු පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවෙන් විමසන බවට සහතිකයක් දුන්නේය.


කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන් සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීමේ දී ආගමික වතාවත් කිරීමට අවස්ථාව නොලැබීම ගැන සමාජයේ තැනින් තැන කතාබහ ඇතිවිය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව අවසන් කටයුතු කිරීමට අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලමින් බොරැල්ල කනත්ත ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. මේ උද්ඝෝෂණයේ බර කරට ගත්තේ එස්.එම්. මරික්කාර් සහ මුජිබර් රහුමන් දෙදෙනාය. විපක්ෂනායක සජිත් ඇතුළු පිරිස එයට එක්ව ජනතාව වෙනුවෙන් කතා කළහ.


පක්ෂ නායකයෝ සමගි ජන බලවේගයට


පසුගිය සති කිහිපය පුරාම විවිධ දේශපාලන පක්ෂවල සාමාජිකයෝ සමගි ජන බලවේගය සමග එක්වූහ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ නීතිඥ රොහාන් පල්ලෙවත්ත විපක්ෂනායකවරයා හමු වී සමගි ජන බලවේගයට සහාය ලබා දීමට ඉදිරිපත් විය.
ඔහු සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට පත්කරන අතර පක්ෂයේ විදේශ ප්‍රතිපත්ති සහ විදේශ ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස ද වගකීම් පැවරෙනු ඇත.


එජාපය ජාතිවාදී පක්ෂයක් නොවෙයි නියෝජ්‍ය නායක රුවන්


කොළඹින් පිට පළාත්වල කොරෝනා වසංගත තත්ත්වය පැවැතීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පසුගිය සතියේ පැවැත්වීමට සැලසුම් කර තිබූ සංචාර අවලංගු කිරීමට සිදුවිය. මාතලේ, පොළොන්නරුව, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පක්ෂ ක්‍රියාකාරීන් හමුවීමට කලින් සැලසුම් කර තිබුණත් ඒවා සියල්ල අවලංගු කිරීමට සිදුවිය.


එහෙත් පක්ෂ ක්‍රියාකාරීන් සමඟ විටින් විට හමුවී සාකච්ඡා කළ විජයවර්ධන මහතා පවත්නා ගැටලු හා ඒවාට ලබාදිය යුතු විසඳුම් පිළිබඳව සාකච්ඡා කළේය.


පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ද ඉකුත් සතියේ රැස්වූ අතර එහිදී පක්ෂයේ නව මහලේකම් ෂමල් සෙනරත් මහතාට අද‌ාළ ගිණුම් කටයුතු හා ඉදිරි කටයුතු පිළිබඳව අවධානය යොමු කළේය.


පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වී සිටි සාකච්ඡාවක දී කොරෝනා වසංගතය හා එමගින් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ ආද‌ාහනය කිරීම පිළිබඳව පවත්නා ගැටලුව ද සාකච්ඡා කෙරිණි.
මෙහිදී නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ එක්සත් ජාතික පක්ෂය ජාතිවාදී පක්ෂයක් නොවන බවය.


නව වසරේ ජනවාරි 1 වැනිද‌ා රුවන් විජයවර්ධන මහතා රුවන්පුරයේ චාරිකාවක යෙදීමට නියමිතය.
කසාද බඳින්න ටිකක් කම්මැලියි   


රත්මලාන රාජ්‍ය ඔෟෂධ නිෂ්පාදන සංස්ථාවේ නව ඖෂධ නිෂ්පාදන ඒකකයක් විවෘත කිරීම සහ ෆ්ලුක්ලොක්සිලින් ප්‍රතිජීවක ඖෂධය එළි දැක්වීම ඉකුත් 23 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.   


පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ, සරත් වීරසේකර, මහාචාර්ය චන්න ජයසුමන, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ ඇතුළු ඇමැතිවරු ද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, අග්‍රාමාත්‍ය දේශපාලන කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ, රාජ්‍ය ඔෟෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ ඇතුළු පිරිස සිටියේ අගමැතිවරයා එන තෙක් ආගිය තොරතුරු කතා බහ කරමිනි.   


මේ කතා බහ සිදුවෙද්දී එතැනට ආ අගමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් අමාත්‍ය සරත් වීරසේකරට කීවේ “සර් පොලිසියේ කාලයක් තිස්සේ තියෙන ප්‍රශ්න ටික විසඳලා දෙනවා නම් ඒක ලොකු දෙයක්” කියාය. “ඒ ගැන අවශ්‍ය දේ කරන්න දැනටමත් මම පටන් අරන් තියෙන්නේ. සමහර තැන්වල ගොඩක් අඩුපාඩු තියෙනවා” අමාත්‍ය වීරසේකර කීවේය.   


“යහපාලන කාලෙ පොලිසියේ අයට අසාධාරණකම් වුණා. ඒ ගැනත් බලන්න ඕනෑ” අමාත්‍ය ගාමිණී ලොකුගේ කීවේ දේශපාලන පලිගැනීම් කමිටුවට ලැබුණු පැමිණිලි ගැන පෙන්වා දෙමිනි. මේ කතා බහ අතරතුර කාගේත් උණුසුම් පිළිගැනීම මැද අගමැතිවරයා උත්සව සභාව වෙත පැමිණියේය. නව ඖෂධ නිෂ්පාදන ඒකකය විවෘත කර සභාව ඇමතූ අගමැතිවරයා “රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මම එදා බලාපොරොත්තු වූ ආකාරයට අප රටට අවශ්‍ය ඖෂධ අපේ රටේම නිෂ්පාදනය කරන්න කටයුතු කර ගෙන යනවා. ඒ ගැන මට ඇත්තේ ලොකු සතුටක්” යැයි කීවේය.   


ඉන් පසු අගමැතිවරයා කාර්ය මණ්ඩල සමග සංස්ථා පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙද්දී “සර්, ඩොක්ටර් උත්පල මේ සංස්ථාවේ සභාපති වෙලා හොඳට වැ​ඩේ කරගෙන ගියාට තවමත් තනිකඩයෙක්” කුමාරසිරි හෙට්ටිගේ කීවේය. “සර්! උත්පල කසාද බඳින්න ටිකක් කම්මැලියි” මහාචාර්ය චන්න ජයසුමන කියද්දී, “එහෙම බෑ කම්මැලි නැති කෙනෙක් සොයා ගන්න. මේ ඉන්න අයගෙනුත් උපදෙස් ගන්න” අගමැතිවරයා කීවේ කාගේත් සිනා හඬ මැදය.  

 

-ගජබා-