සජිත්ට තැන ලැබුණු ‘‘අලි’’ සටන


ර්ඝ සංවාදයකින් පසු එක්සත් ජාතික පක්ෂය තම ජනපතිවරණ අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක, ඇමැති සජිත් ප්‍රේමද‌ාස මහතා නම් කිරීමට තීන්දු කළේය. ඉකුත් බ්‍රහස්පතින්ද‌ා පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී මේ පිළිබඳ අවසන් සාකච්ඡාව පැවැති අතර එහිදී සජිත්ට අනුමැතිය හිමි විය.


මේ පිළිබඳ සාකච්ඡා දිගටම රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමද‌ාස මහතා අතර සිදුවිය. අතරමැදියකු ලෙස කතානායක කරු ජයසූරිය මහතා සහභාගි විය.


කවුරුන් කොහොම කීවත් සජිත් ප්‍රේමද‌ාස මහතා මෙම අවස්ථාව ලබා ගත්තේ දීර්ඝ කැපකිරීමක් සිදුකිරීමෙන් පසුවය. ඉකුත් බද‌ාද‌ා රාත්‍රී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දීර්ඝ සාකච්ඡාවක් පැවැති අතර කතානායක කරු ජයසූරිය ද එම සාකච්ඡාවට එක් විය.


‘මම මෙතනදී හිටගන්නේ හරි මැද. මටත් අපේක්ෂකයා වෙන්න කියලා පාර්ශ්ව ගණනාවකින් ආරාධනා කෙරුවා. හැබැයි හැමෝම සමගි වෙලා එක තීරණයකට එනවා නම් මම ඒ හැම දෙයක්ම කැප කරන්න ලෑස්තියි.’ කථානායකවරයා කීවේය.


මෙලෙස සිදු වූ සාකච්ඡා අතර කරු, රනිල්, සජිත් තිදෙනා පමණක් සහභාගි වූ සයකන් මන්ත්‍රණ තුනක් පසුගිය සතියේ සිදුවිය.​ හෝරා ගණනාවක් ඇදී ගිය එම සාකච්ඡා පැවැත් වුණේ හැව්ලොක් ටවුමේ අමරසේකර මාවතේ පිහිටි කරු ජයසූරිය මහතාගේ නිවසේදීය.


රනිල් සජිත් දෙදෙනා එක් අවස්ථාවක බත්තරමුල්ලේ පිහිටි කථානායක නිල නිවසට ද පැමිණි අතර එහිදී කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ නමුත් ඔවුන්ට මාධ්‍යවේදීන්ගේ උකුසු ඇසින් නම් බේරී යාමට හැකි වුණේ නැත.


රවි සජිත් පස මිතුරුකම ද සමනය කර කිසියම් මිතුකමක් ගොඩනැංවීමට ද ඔවුන් දෙපළ නිවසට කැඳවාගත් කරු ජයසූරිය මහතාට හැකි විය. ඇමැත් රංජිත් මද්දුම බණ්ඩාර ද තවත් සාකච්ඡාවක් සඳහා එක් විය.


ඉකුත් බ්‍රහස්පතින්ද‌ා උදෑසන අරලියගහ මැදුරේදී අවසන් සාකච්ඡාව පැවැත් වූණේ අගමැති රනිල් සහ නියෝජ්‍ය නායක සජිත් අතරය. කරු ජයසූරිය, රංජිත් මද්දුම බණ්ඩාර, ඇතුළු තවත් දෙතුන් දෙනෙක් ද එම අවස්ථාවට එක් වූහ.


බලය බෙදීම, අලුත් ව්‍යවස්ථාවක් ඇති කිරීම හා විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම පිළිබඳ මෙහිදී රනිල් පාර්ශ්වය කරුණු පෙන්වා දුන්නේය. සජිත් පාර්ශ්වය කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ නොහැකි බවත් එහෙත් අවශ්‍ය නම් යම් වෙනස්කම් කළ හැකි බවත්ය.


ඉන්පසු එළඹියේ අගමැති හා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන අනාගතය ගැන ප්‍රශ්නය.


‘ඒක එතුමා තීන්දු කරන්න ඕනෑ...’


සජිත් පාර්ශ්වයේ මන්ත්‍රීවරු කියා සිටියහ.


සජිත් ජනපති වූ දිනක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් සජිත් ප්‍රේමද‌ාස මහතා ජනපති ධුරයෙන් ඉවත් වී අගමැති ධුරයට පත්විය යුතු බව ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර කීවේය.


‘මේ රටේ ජනාධිපතිවරණ පහකදීම විධායක ජනාධිපති ක්‍රමය අයින් කරන්න පොරොන්දු වූ ජනාධිපතිවරු බලයට පත්වුණා. හැබැයි කවුරුත් අයින් කළේ නෑ. දැන් මිනිස්සු ඒ සටන් පාඨය විශ්වාස කරන්නේ නෑ.’ සජිත් පිලේ ඇමැතිවරු කියා සිටියහ.


‘විධායක බලතල අඩුකරනවා නම් ඉතින් ඡන්දයක් තියන්න ඕනැ නෑනේ...’ නවීන් දිසානායක ඇමැතිවරයා කීවේය.


සජිත් ප්‍රේමද‌ාස මහතා එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමටත්, එකතු වී වැඩ කිරීමට සියලු දෙනා එකඟ වීමත් බද‌ාද‌ා උදෑසන අරලියගහ මැදුරේ පැවැති රැස්වීමේ අවසාන තීන්දුව විය.


රටම බලා සිටි එජාපයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වුණේ බ්‍රහස්පතින්ද‌ා සවස තුනට එජාප මූලස්ථානය වූ පිටකෝට්ටේ සිරිකොත මන්දිරයේදීය. එජාප නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමද‌ාස ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ කෘත්‍යාධිකාරියේ වාඩිගෙන සිටියහ. රැස්වීම පැවැත් වුණේ කෙටි වේලාවකි.
ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණ පිහිටුවීම ගැන එජාප නායකයා මුලින්ම කතා කළේය. අපේ සහෝදර පක්ෂ ජනාධිපති අපේක්ෂකයා තෝරණ එක එජාපයට භාර දීල තියෙනවා. දැන් අපේක්ෂකත්වය සඳහා සජිත් ප්‍රේමද‌ාස නියෝජ්‍ය නායකතුමාගේ නම යෝජනා වෙලා තියෙනවා. තවත් කවුරු හරි අපේක්ෂකත්වය බලාපොරොත්තු වෙනවාද?’ එජාප නායකයා විමසද්දී කිසිවකුත් ඉදිරිපත් වූයේ නැත.
‘එහෙනම් අපි ඒකමතිකව නියෝජ්‍ය නායකතුමාව නම් කරනවා.’ අගමැති රනිල් යළිත් කීවේය. ඉන්පසු කෘත්‍යාධිකාරි මණ්ඩල සියලු සාමාජිකයෝ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමද‌ාස මහතා සමඟ වැඩ කිරීමට තීරණය කළහ.


ඉන්පසු එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ ලබන 3 වැනිද‌ා එජාපයේ මහා සම්මේලනය පවත්වා එහිදී ද සජිත් ප්‍රේමද‌ාස මහතාගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පාක්ෂිකයාට දැනුම් දෙන බවයි.
ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරු හෙට (30) කොළඹට කැඳවා ඇත. නාම යෝජනා භාරදීම 7 වැනි සඳුද‌ා සිදුකෙරේ. පසුදා (8) සජිත් ප්‍රේමද‌ාස මහතා තම ජනාධිපතිවරණ සටන අරඹන්නේ දළද‌ා වහන්සේ වැඳ පුද‌ා ගැනීමෙන් අනතුරුවය. එදින මල්වතු අස්ගිරි මහානායක මාහිමිවරු බැහැ දැක ආශිර්වාද ගැනීමටත් සැලසුම් කර ඇත.


10 වැනිද‌ා කොළඹ දී එජාපය පවත්වන දැවැන්ත ජන රැලියකි.
පසුගිය අඟහරුවාද‌ා එජාප නායක, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, සභාපති කබීර් හෂීම්, මලික්, මද්දුම බණ්ඩාර, රවි, නවීන් ඇමැතිවරුන් අරලියගහ මැදුරේදී සවස 5 ට හමු වූයේ තීරණාත්මක තීන්දුව ගැනීමටය.
අපේක්ෂක තේරීම අද ඉවර කරමු. රටට ගිය චිත්‍රයට වඩා අප අතර දැන් විශාල අවබෝධයක් තිබෙනවා නේද?’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.
‘ඔව්. අපි සජිත්ට අපේක්ෂකත්වය දෙමු. සියලු දෙනා එකතුවෙලා මේ ඡන්දය දිනමු. මේක දිනන්න පුළුවන් ඡන්දයයි. මොකද, ආණ්ඩුව ඇතුළෙන් හා පිටින් දේශපාලනිකවත් ඊට අමතරව ජනමාධ්‍යත් කොච්චර කකුළෙන් ඇද්දත් මේ ආණ්ඩුව තරම් රටට වැඩ කළ පිරිස තවත් නැහැ. කෝටි දහස් ගණන් රාජපක්ෂලාගේ ණය කන්ද ගෙවමිනුයි අප ප්‍රාතිහාර්ය කළේ. ඒ විතරක් ද, ආණ්ඩු විරෝධය කෘතිමව ඇති කළ ජනමාධ්‍ය හෝ සමාජ ජාලාවල හෝ කිසි කෙනෙකුගේ මයිල් ගහකටවත් හානියක් වුණේ නැහැ. ඒ තරමටම අප නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සවිමත් කළා. මට ඒ ඇති අවශ්‍ය නම් මා දේශපාලන-යෙනුත් සමුගන්නම්.’ අගමැතිවරයා සිය ස්ථාවරය දීර්ඝ ලෙස පැහැදිලි කළේය.
‘නැහැ. නැහැ. ඔබතුමා යන්න එපා. අගමැතිකම මෙන්ම පක්ෂ නායකත්වයේත් ඔබතුමා දිගටම රැඳී ඉදීම ඉතාම වැදගත් වෙනවා. ඒ අත්දැකීම් වටිනවා.’ කබීර්, මලික් මෙන්ම රංජිත් මද්දුම බණ්ඩාර ද කීවේ එකම කතාවකි.


‘හොඳයි එහෙනම් සජිත් අපේ අපේක්ෂක ලෙස තීන්දුයිනේ. අද රෑට මට නම් හොඳට නින්ද යාවි.’ ලක්ෂ්මන් කිරිඇල්ල අවසානයේ කීවේ කාගේත් සිනා සහ සුබ පැතුම් මැදය.
තීන්දුව ගැනීමත් සමඟ එය ප්‍රචාරය වූයේ ඉතා විකෘති චිත්‍රයක් රටට දෙමිනි. දැවැන්ත කොන්දේසි මාලාවකින් සජිත් ගැට ගසා ඔහු තරගයට දැමීමට එජාප නායකයා සූක්ෂමව ක්‍රියා කර ඇති බවත්, සජිත් පෙන්වා රනිල් බලය ගැනීමේ වැඩපිළිවෙළ දියත් කර ඇති බවත්ය. ඒ හරහා සජිත් ප්‍රේමද‌ාස පත් වූයේ දැඩි අපහසුතාවයකටය.
බද‌ාද‌ා සවස සජිත් පිළිගැනීමේ සිව් වැනි දැවැන්ත රැලිය මතුගම දී පැවැති අතර ඔහු එහිදී දැවැන්ත ප්‍රහාරය තමා බැඳ දැමුවා යයි කියන කොන්දේසිවලට එරෙහිව එල්ල කළේය.
‘මා කාගේවත් කොන්දේසිවලට යට වෙලා වැඩ කරන්නේ නැහැ. මා රූකඩයක් නොවෙයි. කොන්දේසි එක්ක සක්විති රජකමවත් එපා.’ සජිත් මතුගම දී කීවේ එවැන්නකි.
බ්‍රහස්පතින්ද‌ා අගමැතිවරයා සුපුරුදු ලෙස අරලියගහ මැදුරේදී මැති ඇමැතිවරුන් ද හමු විය.
‘ඊයේ සජිත් මතුගමදී කරපු කතාව ටිකක් සැර වැඩියි කියලයි සමහරුන් කියන්නේ. ඒත් ඒ ගැන අප වඩාත් ගැඹුරින් විග්‍රහ කරගන්න ඕනෑ. ඔහු උත්තර දුන්නේ අගමැති හෝ පක්ෂයට හෝ වඩා බොරු ප්‍රවෘත්ති පැතිර වූ ජනමාධ්‍ය හා සමාජ ජාලාවලටයි. නවීන් දිසානායක කී දේ අගමැති ඇතුළු කාගේත් දැඩි අවධානයට යොමු විය.
‘ඒක ඇත්තයි. ජනාධිපතිවරණයකට එන අපේක්ෂකයාගේ කකුල් අත පය බැඳ ද‌ාලා කියන එකයි රටට ගිය වැරදි චිත්‍රය වුණේ. ඒක නිවැරදි කරන්නයි සජිත් එතැනදී ක්‍රියා කළේ. ඒක හරි.’ අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි කීවේය.


‘අපේ අ​ෙප්ක්ෂකට කිසිම කොන්දේසියක් ද‌ාන්නේ නැහැ. කිසි කෙනෙකු කොන්දේසිවලට යටත් විය යුතු නැහැ. පක්ෂ ස්ථාවරය අනුව මේ ජනපතිවරණයේදීත් ඉදිරියට ගෙන යා යුතු අපේ ප්‍රතිපත්ති තිබෙනවා. ඒ නිසා එකඟතා අපට පහසුවෙන් බේරගන්න පුළුවනි. කොන්දේසි කියන වචනය සම්පූර්ණයෙන්ම එජාපය තුළ ගැටුම් ඇති කරන්න විපක්ෂයට හිතවත් අය කළ කුමන්ත්‍රණයක්. අගමැතිවරයා පැහැදිළි කළේය.
‘වර්ජන රැල්ල ඉතා අසාධාරණ ජනතාව අපහසුතාවයට මෙන්ම කුපිත කරන එකක් වෙලා. රටේ ආර්ථිකයටත් විශාල හානියක්. මේ පිටුපස්සේ පටු දේශපාලන අවස්ථාවාදීන් ඉන්නවා කියන එකයි, සල්ලි යොදවනවා කියන එකයි බුද්ධි අංශත් වාර්තා කරනවා. ප්‍රශ්නයක් විසඳුවහම තවත් ප්‍රශ්න අල්ලා ගෙන වර්ජන දිගටම කිරීමෙන් මේ අවස්ථාවාදීකම පැහැදිලියි.’ දිනේෂ් වීරක්කොඩිගේ විග්‍රහය එය විය.
‘වර්ජකයන්ගේ සාධාරණ හා යුක්ති සහගත ඉල්ලීම් අප ඉෂ්ඨ කළා. ඒ වගේම ඉටු කරනවා. රුපියල් 10,000 ක් 2500 ක් ලෙස දෙවරක් පඩි වැඩි කළා. ලබන ජනවාරියේ තවත් විශාල පඩි වැඩිවීමක් අප කරනවා.
රාජපක්ෂලා වර්ජකයන් වෙඩි තියා මරා, අතුරුදහන්කර හෝ අතපය කඩා හෝ මර්දනය කළා මිසෙක කිසිම ඉල්ලීමක් ඉෂ්ඨ කළේ නැහැ. ඒක නිසානේ තාමත් රණවිරුවන් මහපාරේ ඉන්නේ.


‘මේ පහත් පෙළේ වර්ජන මෙහෙය වන්නන්ට ජනතාව ඡන්දවල දී මෙන්ම මහ පාරෙදිත් උත්තර දේවි කියලයි මට හිතෙන්නේ. වර්ජකයන් ගැන මා ඉතා කනගාටු වෙනවා. අගමැතිවරයා කීවේ ඉතා හැඟීම්බරවය.
පසුගියද‌ා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය, මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ මහා විද්‍යාලයේ දරුවෙකුගේ මවක් සජිත් ප්‍රේමද‌ාස ඇමැතිවරයා හමු වී ඉදිරිපත් කළේ දුක් ගැනවිල්ලකි. ‘සර් මේ පැත්තෙ ඉස්කෝලයක් ඉස්කෝලයක් ගානේ බස් බෙදනවා. ළමයි 1000 කටත් වැඩිය ඉන්න මැදමුලන රාජපක්ෂ ඉස්කෝලෙට අපි දැන් අවුරුදු ගාණක ඉඳලා රටේ ලොකු ලොක්කො පස්සේ ගිහින් බස් එකක් ඉල්ලුවා. අනේ දුප්පත් අපේ දරු පැටවුන්ට තඹ සත පහකටවත් සැලකිල්ලක් ලැබුණේ නෑ’ කියාය. ‘ඇයි මට මීට කලින් නොකීවේ’ සජිත් ඇසුවේය. දින දෙක තුනක් යන්නට මත්තෙන් මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ මහා විද්‍යාලයටත් අලුත්ම බස් රථයක් වෙන් කෙරුණේය. මැදමුලන හන්දියෙන් බස් රථයට නැගගත් ළමුන් පිරිසක් ද සමග එය පාසල වෙත පදවා ගෙන ආවේ ද සජිත්මය. මේ අපූරු දර්ශනය පාර දෙපස විශාල සෙනඟක් රැස්කකා බලා සිටියහ. ‘බස් මාමේ, අපට බස් එකක් දුන්නාට ස්තූතියි.’ ‘ගෙවල් මාමේ, අපේ බස් තෑග්ග අපූරුයි.’ ළමෝ පුවරු ඔසවාගෙන ඔල්වරසන් දෙමින් ප්‍රීතිය පළ කළහ. විදුහල් භූමියේ දී දෙමාපියෝ සජිත් වටකර ගෙන කීවේ ‘පැය 48ක් ඇතුළත ලැබුණු මේ තෑග්ග ගැන අපට පුදුමෙනුත් පුදුමයි සර්’ කියාය.  


 මේ අතර එක්සත් ජාතික පෙරමුණේ නායකයන් පසුගියද‌ා සජිත් හමු වී කීවේ අපූරු කතාවකි. ‘ආණ්ඩුව අමාරුවේ වැටෙන්ඩ යන වෙලාවට තමයි අපිව මතක් වෙන්නේ. විශ්වාසභංග යෝජනාවක් එනවයි කියමුකෝ. ඔන්න එතකොට අපේ සහයෝගය ඉල්ලනවා. ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරන කොට අපට හඬක් නෑ. කෝමද එහෙම’ මනෝ ගනේෂන් ඇසුවේය. මෙම හමුවට පාඨලී, රිෂාඩ් බදුර්දීන්, පලනි දිගම්බරම්, වී. රාධාක්‍රිෂ්ණන් ආදීහු සහභාගි වී සිටියහ. සජිත් කීවේ ‘මම ඔයගොල්ලන්ගේ වටිනාකම තේරුම් ගත්තු කෙනෙක්. මම අද ගරු අගමැතිතුමා හමුවෙන අවස්ථාවේ දී එතුමාටත් මේ ගැන කතා කරන්නම්’ කියාය. ඉකුත් 17 වැනිදා මතුගම, දොඩන්ගොඩ, පුහාඹුගොඩ ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ අභිනව චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ උත්සවයට ගිය සජිත්ට මතුගම ප්‍රධාන සංවිධායක ජගත් විතාන කීවේ ‘සජිත් එනවා’ කළුතර දිස්ත්‍රික් මහ රැළිය මතුගම නගරයේ දී සංවිධාන කිරීමට තමන් කැමැති බවයි. 25 වැනිද‌ා එම රැළිය මතුගම දී පැවැත්වීමට ඒ මොහොතේම තීරණය කෙරිණි. 25 වැනිද‌ා රැස්වීම පැවැත්වීමට සියලු කරුණු පෙළ ගැසෙමින් තිබුණත් 22 වන විට පටන් ගත් මහා ධාරානිපාත වර්ෂාව නතර වන ලකුණු පෙනුනේම නැත.  


‘මේ රැස්වීම් කරන්න පුළුවන් වෙයි ද’ කියා ජගත් විතානගෙන් අසද්දී ඔහු ඉතා සැහැල්ලුවෙන් දුන් උත්තරය සජිත් අන්දමන්ද විය. ‘සර් බය නැතිව ඉන්ඩකෝ රැස්වීම කරන්නේ මමනේ’ ජගත්ගේ උත්තරය විය. 24 වැනිද‌ා වන විට මොර සූරන වැස්සෙන් ප්‍රදේශයේ මංමාවත් රැසක් ගංවතුරට යට වී තිබුණේය. පසුවද‌‌ා මතුගම මහජන පිටියේ රැළියක් පැවැත්වීම ඒ වන විට සිතීමට පවා අපහසු කාරණයක් විය. 24 වැනිද‌ා රෑ එළිවෙන තුරුම නොකඩවා වැස්සේය. 25 වැනිද‌ා උදේ 10 ට පමණ සජිත් නැවතත් ජගත් අමතමින් කීවේ ‘කරන්න අමාරු නම් ඕක අවලංගු කරමු.’ කියාය. ජගත් අභියෝගය අතහැරියේ නැත. ‘පුළුවන් සර්. මම මේක කොහොම හරි කරනවා.’ ජගත්ගේ දැඩි ස්ථාවරයෙන් සජිත් නැවත අන්දමන්ද විය. සියල්ලන් පුදුමයට පත් කරමින් 25 වැනිද‌ා දහවල් 12 වන විට වැස්ස සහමුලින්ම නතර විය. හවස 3 වෙද්දී ටිකෙන් ටික ජනයාගෙන් පිරුණු මහජන පිට්ටනිය 4.45ට පමණ සජිත් රැස්වීම් භූමිය වෙත එන විට අතුරු සිදුරු නැතිව පිරී තිබුණි. ඒ ඉතිහාසයේ මතුගම දේශපාලන රැස්වීමකට ආ ලොකුම සෙනගය. ගයන්ත, චන්ද්‍රාණි, හරීන්, රවින්ද්‍ර සමරවීර, අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ, මරික්කාර්, හේෂා, දිලිප් වැනි සජිත්ගේ පාර්ලිමේන්තු මැති ඇමැති සගයන් ද තවත් දේශපාලන චරිත රැසක් ද රැස්වීමට සහභාගි වූහ. ජගත් ඇසුවේ ‘දැන් මොකද කියන්නේ සර්’ කියාය. ‘මේක නම් මහ පුදුම දෙයක්නේ’ සජිත්, අජිත් පී. පෙරේරා දෙස බලමින් කියද්දී ජගත් කීවේ ‘මට නම් හිතෙන්නේ මේක සුබ පෙර නිමිත්තක්’ කියාය.  


ශ්‍රී ලංකාව ද සාමාජිකත්වය දරන ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයෙන් 2019 වසරේ විශිෂ්ටතම නායකයා ලෙස පිදෙන ගෞරව සම්මානය පසුගිය සතියේ පිරිනැමුණේ කථානායක කරු ජයසූරිය මහතාටය. The Most Admired Leader of Sri Lanka සම්මානය ඔහු වෙත පිරිනැමුණේ කොළඹ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී දෙස් විදෙස් විද්වතුන් සහ වෘත්තිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැති උත්සවයකදීය.
මෙහිදී ඔහුගේ හමුද‌ා දිවිය ද ඉන්පසු ව්‍යාපාරික ක්ෂේත්‍රයෙහි ලොව පතල කළමනාකරුවෙකු ලෙස පෙන් වූ ව්‍යවසාය විශිෂ්ටත්වය ද, රාජ්‍ය තාන්ත්‍රික සේවාවන් ද, හේතුපාඨ කොට ගෙන තිබූ අතර විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා කථානායකවරයා ලෙස ලබා දුන් නිර්භය ද‌ායකත්වය ද ප්‍රධාන වශයෙන් ඇගයීමට ලක් විය.