ශ්‍රීලනිපයේ ලොකු පුටු පෙරැළෙයි !


ජනපති ඉරානයේ

 

ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරතවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණියේ ගිය අඟහරුවාදා අලුයම් කාලයේය. ඉරාන ජනාධිපති හුසේන් රුහානිගේ නිල ආරාධනයකට අනුව ජනපති මෛත්‍රී එරට රාජ්‍ය සංචාරයකට එක්වූයේ දෙරට අතර මිත්‍රත්වය තව තවත් තහවුරු කර ගැනීමේ අපේක්ෂාවෙනි. එහිදී වැඩි අවධානයක් යොමු කර තිබුණේ ඉන්ධන ප්‍රශ්නය කෙරෙහිය. ශ්‍රී ලංකාව ඉන්ධන මිලදී ගන්නා රටවල් අතර ප්‍රධාන තැනක් ගන්නේ ඉරානයයි. එමෙන්ම ශ්‍රී ලංකාව තේ අලෙවි කරන ප්‍රධාන රාජ්‍යයන් අතරද ඉරානය කැපී පෙනෙයි. ඒ නිසාම ජනාධිපතිවරයාගේ ඉරාන සංචාරය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන්ද ඉතා වැදගත් විය.  


සතියේ කැබිනට් රැස්වීමද අඟහරුවාදා උදේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වූයේ ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. මෙවර කැබිනට් රැස්වීමේ වැඩි අවධානය යොමුවූ කාරණා කීපයක්ම විය. ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය, බස් ගාස්තු ඉහළ දැමීම, ඉන්ධන සහනාධාරය සහ සයිටම් අර්බුදය ඉන් ප්‍රධානය. සයිටම් අර්බුදය විසඳීම සඳහා ඒකාබද්ධ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබුණේ ජනපති මෛත්‍රී හා උසස් අධ්‍යාපන ඇමැති විජයදාස රාජපක්ෂ විසිනි. එමගින් යෝජනා කර තිබුණේ සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය හදාරන සිසුන් 982 දෙනකු සුදුසුකම් පරීක්ෂා කර ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කර ගැනීමය. ජනධිපතිවරයාත්, විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාත් කීවේ මේ ප්‍රශ්නය තව දුරටත් ඇදී යා නොදී විසඳිය යුතු බවය. එම යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණි. රාජිත සේනාරත්න ඇමැතිවරයා සයිටම් ආයතනය දිගටම පැවැතිය යුතුය යන මතයේ දිගටම සිටි අයෙකි. එහෙත් මේ සම්බන්ධයෙන් ඔහු අදහස් දක්වන්නට නොගියේය. චම්පික රණවක ඇමැතිවරයා සයිටම් ආයතනයට එදා සිටම විරුද්ධය. ඔහු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි සටනේ දිගටම සිටියේය. එදින ඔහු විජයදාසගෙන් ඇසුවේ මේ ප්‍රශ්නය මෙතැනින් ඉවරද කියාය. විජයදාස කීවේද මේ ප්‍රශ්නය මෙතනින් ඉවරවන බවය. නැවත සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධි හදාරන්නට සිසුන් ඇතුළත් කර ගැනීමක් සිදු නොවන බවය.  


ගිය සතියේ දේශපාලන කරළිය පමණක් නොව රටම උණුසුම් කළ මාතෘකාව වූයේ ​බස් ගාස්තු ප්‍රශ්නයයි. නිමල් සිරිපාල ඇමැතිවරයා බස් ගාස්තු සංශෝධනය සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කර තිබුණේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් සකස් කළ නව ගාස්තු ලේඛනයක්ද සමගය. සාමාන්‍යයෙන් වාර්ෂිකව බස් ගාස්තු වැඩි කෙරෙන්නේ ජුලි 1 වැනිදා සිට නමුත් ඉන්ධන මිල වැඩි කිරීම නිසා බස් ගාස්තුද වැඩි කරන්නට ආණ්ඩුවට සිදුවිය. ඒ අනුව කැබිනට් මණ්ඩලය බස් ගාස්තු සියයට 6.56කින් වැඩි කිරීමට අවසර දුන්නේ රුපියල් 10 අවම බස් ගාස්තුව වැඩි නොකිරීමට ද තීරණය කරමිනි.  


ධීවරයින් සඳහා භුමිතෙල් සහනය ලබාදීමේ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ විජිතමුණි සොයිසා ඇමැතිවරයා විසිනි. ඊට අනුමැතිය ලැබුණේ ඉන්ධන සහනාධාරය ඉන්ධන මිල වැඩිවූ ඉකුත් 10 වැනිදා සිට ක්‍රියාත්මක වන ලෙස ගෙවීමටය. එහෙත් විජිතමුණි සොයිසාගේ තවත් යෝජනාවක් ප්‍රතික්ෂේප වූයේ ඇමැතිවරුන්ගේ දැඩි විරෝධය හේතුවෙනි. බහුදින යාත්‍රා සඳහා ඩීසල් සහනාධාරයක් දෙන ලෙස ඇමැතිවරයා ඉල්ලා තිබිණි. එහෙත් ඇමැතිවරු එම යෝජනාවට දැඩි විරෝධය පළ කළහ. ඒ අනුව ඩීසල් සහනාධාර යෝජනාව එතනින්ම ප්‍රතික්ෂේප විය. 


ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනා එක්සත් ජාතික පක්ෂය හැර අනෙකුත් සියලු දේශපාලන පක්ෂ නායකයින් හමුවීමට තීරණය කර ඇත. ඒ අනුව ගිය බ්‍රහස්පතින්දා හවස එම මන්ත්‍රීවරු පිරිස ඩිව් ගුණසේකර ප්‍රමුඛ කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් හමුවූයේ බොරැල්ල කොටා පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදීය. එහිදී ඩිව් ගුණසේකර ඇතුළු පිරිස සමග සාකච්ඡාවක් පැවැති අතර ඩිව් ගුණසේකරද කීවේ ශ්‍රීලනිපයට හවුල් ආණ්ඩුව සමග ගමනක් නැති බවය.  


මේ අතර ශ්‍රීලනිප මන්ත්‍රී 16 දෙනාගේ කණ්ඩායම එදිනම හවස 5.00ට බොරැල්ලේ පිහිටි තිලංග සුමතිපාලගේ නිවසේ රැස්විය. ඒ එදින රාත්‍රියේ පැවැත්වෙන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට යාමට පෙර පූර්ව සූදානමක් ලෙසය. ඔවුන් ඊට දින කීපයකට පෙරද තිලංගගේ නිවසේ රැස්වී සාකච්ඡා කර ජනාධිපතිවරයාට යෝජනාවලියක් භාර දුන්නේ කරුණු 15කින් යුත් ලිපියක් වශයෙනි.  


ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව බ්‍රහස්පතින්දා රාත්‍රි 7.15ට පමණ ජනාධිපති නිල නිවසේදී රැස්වූවේ ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. රැස්වීම ආරම්භයේදීම, ජෝන් සෙනෙවිරත්න මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට ලිපියක් භාර දුන්නේය. ඔහුගේ ලිපියේ සඳහන් වූ එක් කරුණක් වූයේ ශ්‍රීලනිපය හවුල් ආණ්ඩුවෙන් ඉවත්වන දිනය සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවය. ආගම සිහි කිරීමෙන් හා පක්ෂයේ මියගිය නායකයින් ඇතුළු සාමාජිකයින් හා දිවි පිදූ රණවිරුවන් සිහි කිරීමෙන් අනතුරුව පිළිගැනීමේ කතාව කළේ දුමින්ද දිසානායක මහලේකම්වරයාය. ඔහු එදින පසුගිය මධ්‍යම කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් නොකළේ මෙය විශේෂ රැස්වීමක් බව කියමිනි. එහෙත් ජනාධිපතිවරයා දුමින්දගේ අදහසට විරුද්ධ විය. ජනාධිපතිවරයා කීවේ මධ්‍යම කාරක සභාවට වාර්තාව ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බවය. මීට පෙරද අවස්ථා දෙකකදීම වාර්තාව ඉදිරිපත් නොකළ බව කී ජනාධිපතිවරයා මින් ඉදිරියට එසේ නොකරන්නැයි කීවේය.  


අනතුරුව කතා බහට ලක්වූවේ පක්ෂයේ ප්‍රතිසංවිධානය ගැනය. ජනාධිපතිවරයාද ප්‍රතිසංවිධානය ගැන පැහැදිලි කරන්නට පටන් ගත්තේ ශ්‍රීලනිප මැයි දිනය සාර්ථක කිරීමට කැපවීම ගැන ස්තුතියද පළ කරමිනි. ජනාධිපතිවරයා පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ ගැන විග්‍රහ කරද්දී කීවේ ජෝන් සෙනෙවිරත්න මන්ත්‍රීවරයා බාර දුන් ලිපියේ ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට සඳහන් වන බවය. ජනාධිපතිවරයා කීවේ එය ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 23 දෙනා තීරණය කළ යුතු බවය. ශ්‍රීලනිපය ආණ්ඩුවේ දිගටම සිටීම තුළ පක්ෂයට අවාසියක් වන බව ජනාධිපතිවරයාද කීවේය. මේ අතර ලෙස්ලි දේවේන්ද්‍ර නැගිට කීවේ පක්ෂයේ ප්‍රතිසංවිධානයට පෙර ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන අදම තීන්දු කළ යුතු බවය. මම මේ ටික කියලා ඒ ගැන කතා කරන්නම් යැයි ජනාධිපතිවරයා කීවේය. පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ ගැන පැහැදිළි කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා කීවේ ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වන දිනය තීරණය කිරීම ආණ්ඩුවේ සිටින 23 දෙනා තීරණය කළ යුතු බවය. දිගටම ආණ්ඩුවේ සිටියහොත් පෙබරවාරි 10 වැනිදා ප්‍රතිඵලයට වඩා අන්ත ප්‍රතිඵලයක් ඇතිවිය හැකි යැයිද ජනාධිපතිවරයා කියා තිබිණි.  


එස්. බී., දයාසිරි, සුසිල් හා ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරුද අදහස් දක්වන්නට වූහ. අවසානයේ තීරණය වූයේ ශ්‍රීලනිපයේ දැනට සිටින නිලධාරි මණ්ඩලය වෙනුවට ලබන 3 වැනිදා විධායක සභාව රැස්වී තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත් කරන්නටය. පක්ෂයේ ව්‍යවස්ථාව අනුව විධායක සභාව කැඳවීමට දින 10 කට පෙර ඒ බව දැනුම් දිය යුතු නිසා ජුනි 3 විධායක සභාව කැඳවන්නැයි ජනාධිපතිවරයා කීවේය. එම තාවකාලික නිලධාරී මණ්ඩලය සමඟ පෙර පක්ෂයේ දිස්ත්‍රික් හා ආසන බල මණ්ඩල කැඳවා පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීමටත්, සැප්තැම්බර් 2 වැනිදා පැවැත්වෙන සංවත්සරයට පෙර, ස්ථිර නිලධාරි මණ්ඩලයක් පත් කරන්නටත් තීරණය විය.   


හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද මධ්‍යම කාරක සභාවට පැමිණ සිටියද අදහස් දැක්වීමෙන් වැළකී සිටියාය. මධ්‍යම කාරක සභා රැස්වීම පැයකුත් විනාඩි 30 කට පමණ සීමාවී තිබිණි.