ශ්‍රීලනිප වැඩමුළුවේදී චන්ද්‍රිකා-ඩිලාන් වාදයක



ඕස්ටේ්‍රලියාවේ නිල සංචාරය සාර්ථකව නිම කළ අගමැති රනිල් වික්‍රමසිංහ යළි ලංකාවට පැමිණියේ රටට විශාල ආර්ථික හා දේශපාලන ජයග්‍රහණ රැසක් ද සමගිනි.


අනතුරුව ලංකාවේ ආර්ථිකය පවතින නරාවළෙන් ගොඩ ගැනීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන අගමැතිවරයා ඊට අදාළ මෙහෙයුම් රැසක් ගෙවී ගිය සතිය තුළ දියත් කළේය. රටපුරා විවෘත කිරීම්, මුල්ගල් තැබීම් ඇතුළු උත්සව රැසකට ද ඔහු එක්විය.
අරණායක නාය යෑමෙන් අනාථ වූ පවුල් රැසකට අගමැතිගේ උපදෙස් මත ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් පෞද්ගලික අංශයේ ද සහාය ඇතිව ඉදිකළ උදාගම ජනතා අයිතියට පැවරීම විශේෂ අවස්ථාවක් විය. එහිදී රටේ ණය බර ගැන අගමැතිවරයා කළ පැහැදිලි කිරීම “ජනතාවගේ ඇස් උඩ ගොස් නළල රැළි ගැන්වුණු බව” ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පසුව ප්‍රකාශ කොට තිබිණි.
“මේ වසරේ විතරක් ණය ගෙවීමට ඩොලර් කෝටි 408 ක් අවශ්‍යයි. ඉදිරි වසර තුන හතරේදී ඩොලර් කෝටි 3119 ක් ඕනෑ. ඒ මුදල රුපියල්වලින් ගත්තහම රුපියල් කෝටි 482000 ක්...” අගමැතිවරයා අරණායකදී කීවේය.


අපට හිස් භාණ්ඩාගාරයක් සහ ණය කන්දක් ලැබුණේ. ඒවා ගෙවමින් රට සංවර්ධනය කරන්නයි, ජනතාවට ප්‍රතිලාභ දෙන්නයි සිදුවීම දැලි පිහිය උඩ පිණුම් ගහනවා වගේ අමාරු වැඩක්. ජනාධිපතිතුමා හා අගමැතිතුමාගේ මූලිකත්වයෙන් ඒ අභියෝගය අපි ඉක්මණින් ජය ගන්නවා. ක්ෂණික නූඞ්ල්ස් වගේ ක්ෂණික ආර්ථික ප්‍රාතිහාර්ය බලාපොරොත්තු වෙන්න නරකයි,” සජිත් ප්‍රේමදාස යථාර්ථය එළි දැක්වීය.


 බ්‍රහස්පතින්දා පෙරවරුවේ අගමැතිවරයා අරලියගහ මැදුරට පැමිණියේ දිවයිනට පැමිණ සිටි චීන වෙළෙඳ ඇමැති හමුවීමටය. අනතුරුව පැමිණ සිටි මැති ඇමැතිවරුන් සමඟද අගමැතිවරයා කතාබහක යෙදුනේය.


“ඕස්ටේලියානු සංචාරය සාර්ථක වුණත් සිංහල දෙමළ අය දෙතුන් දෙනෙක් ඩීකින් විශ්වවිද්‍යාලය ළඟ අසාර්ථක පිකට් එකක් කරලා මගේ මුහුණේ දැලි ගෑවා...” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ අගමැති දෙස බලමිනි.


“එතන දෙතුන් දෙනයි හිටියේ. ගම්මන්පිලයි, ලොකුබණ්ඩාරයි එකතු වෙලා ඒ පහත් විරෝධතාව සංවිධානය කළා කියලා ආරංචියි,” වජිර අබේවර්ධන කීවේ ඔහුට ඕස්ටේ්‍රලියාවෙන් ලැබුණු තොරතුරු මත බව සඳහන් කරමිනි.


 “කුණුවලට කුණු එකතු වෙනවා වගේ අන්තවාදීන්ට අන්තවාදීන් එකතු වෙනවා. මේ විරෝධතාව ගැන ඕස්ටේ්‍රලියාවම පුදුම වෙනවා කියලා ඒ විශ්වවිද්‍යාලයේ අය මට කීවා. මේ අන්තවාදීන් දෙගොල්ලන්ගේ සම්බන්ධතාවයත් එතනදි තහවුරු වුණා,” අගමැතිවරයා කීවේ සැහැල්ලුවෙනි.


 “කවුරු දැඟලුවත් අපි රටට ප්‍රතිලාභ ගේනවා,” අගමැතිවරයා වැඩිදුරටත් කීවේය.


“අවුරුදු නවයකට පස්සේ හරි මාධ්‍යවේදී කීත් නොයාර්ට ගහලා මරන්න හදපු අය ඇල්ලීම ලොකු දෙයක්...” දයා ගමගේ කතාව වෙනතකට යොමු කළේ කාගේත් අවධානය දිනා ගනිමිනි. “පුදුම වැඬේ එතනදීත් හමුදා බුද්ධි අංශයේ අය කොටුවීමයි. අනිත් පුදුමය මාධ්‍යකරුවකුගේ ජීවිතයයි මරණයයි අතර ප්‍රශ්නයකදී සමහර මාධ්‍ය තාම සද්ද නැතුව ඉන්න එකයි.” “බිග් මැච් නවත්තන්න මාධ්‍ය හමු පවත්වන අපේ ගෞරවණීය ස්වාමීන්වහන්සේලා බුද්ධි අංශයේ සමහරු එදා රජයේ නියෝග මත කරපු මේ පහත් වැඩ ගැන වචනයක් කතා නොකිරීමයි. අනෙක් ආගමික නායකයින්ටත් මේවා ගැන කතා කිරීමේ ජාතික වගකීමක් තියෙනවා. මොකද දැන් එදා වගේ කාටවත් බයවෙන්න දෙයක් නැහැ. දැන් සුදු වෑන් නෑ...” රන්ජන් රාමනායක කීවේය.


“දෙමළ නීතිඥයකු විනිශ්චයකරුවකු ලෙස පත්කිරීම ගැන විපක්ෂය කෑ ගහනවා. ඒ කාලේ මහින්දලා කළ පත්කිරීම් හා ශිරාණි බණ්ඩාරනායකගේ නිවස ඉදිරිපිට රස්තියාදු අය එවලා, කිරිබත් උයලා පපර බෑන්ඞ් ගහලා කුණු හරුප කියලා රතිඤ්ඤා පත්තු කරලා ඇය එලවපු හැටි සමහරුන්ට දැන් මතක නැහැ,” ලක්ෂ්මන් කිරිඇල්ලගේ අදහස විය.


“මේ පත්වීමේදී සුදුසුකම් ගැන බලන්න වෙනවා. නීතිඥයෙක්, විනිශ්චයකාරයකු ලෙස පත් කළ හැකියි. දෙමළ විනිශ්චයකාරවරු නෑ. ඒ  අඩුවයි ජනාධිපතිතුමා සියලු දෙනා එක්ක කතා කරලා අනුමැතිය අරන් පුරවලා තියෙන්නේ. නීතිඥ සංගමයෙනුත් ලියුම් එවලා තියෙනවා. ඕන කෙනෙක් පත් කරන්න පුළුවන්. හැබැයි දැන් අයින් කරන්න බෑ. දැන් නීතියේ ස්වාධීනත්වය ඇතිකරලා තිබීම ඊට හේතුවයි,” අගමැතිවරයා පැහැදිලි කළේය.


 “අගමැතිතුමා රටේ අධික ණය බර ගැන රටට කිව්වාම මහින්ද මහත්තයා කියලා තිබ්බා රනිල් ගත්ත ණය ගෙව්වෙත් මම කියලා...” දයා ගමගේ විමසුවේ අගමැතිගෙනි.


 “2004 අපේ ආණ්ඩුව බාර දෙන කොට අපි රුපියල් කෝටි 45000 ක විදේශ ආධාර කන්දකින් ලොකු කොටසක් රටට උරුම කරලා මිසක් රට ණය කරලා අපි ගියේ නැහැ,” අගමැතිවරයා කීවේය.


 “අන්තිම සති දෙකේ මේ රටේ කොටස් වෙළෙඳ පොළේ හා බැඳුම්කරවල ආයෝජනය කරලා තිබුණ රුපියල් බිලියන 18 ක් විදේශ ආයෝජකයෝ ආපහු අරන් ගියා කියලා පළවුණු ප්‍රවෘත්තියේ ඇත්ත මොකක්ද?” වජිර අබේවර්ධන විමසීය.


“ඒ ප්‍රවෘත්තිය වැරැදියි. නිවාඞ් කබ්රාල්ලා ගෙනාපු ටෙම්පල්ටන් අරමුදලේ සල්ලි ටිකකුයි ගියේ... ඔය ගියාය කියන මුදල එච්චර ලොකු මුදලක් නොවෙයි,” අගමැති කීවේ රවී කරුණානායක දෙස බලමිනි.


 “හොංකොංවල ඉඳලයි ටෙම්පල්ටන් ෆන්ඞ් එක ක්‍රියාත්මක වෙන්නේ. ඔය අරමුදලේ ලෝකේ විශ්‍රාමික අයගෙ මුදලුයි, ලංකාව ඇතුළු රටවල්වල දේශපාලකයෝ ගසා කාපු මුදලුයි, මාෆියා කාරයන්ගේ මුදලුයි ඔක්කොම තියෙනවා... ළඟදී ඇමෙරිකාවේ ඩොලර් පොලී අනුපාතය 0.25 කින් වැඩි කළ නිසා මෙහේ තිබෙන ඩොලර් ටිකත් එහෙම ඇද්දා කියා තවත් ටිකක් යන්න පුළුවන්. ඒක මේ රජයේ ආර්ථික පිළිවෙතේ වැරැද්දක් හරි අපේ කොටස් වෙළෙඳපොළේ හෝ බැඳුම්කරවල ප්‍රශ්නයක් නිසා වෙච්ච දෙයක් නොවෙයි,” රවී කරුණානායක කීවේය.


“රාජ්‍ය ආයතන විකුණන එක ආර්ථික අර්බුදයට පිළියමක් කියලා මහ බැංකු අධිපති කියලා තිබුණා. එතුමාට ඒ පණිවුඩය නිවැරැදිව විග්‍රහ කර ගන්න අපහසු වෙලා වගේ...” දයා ගමගේ කීවේය.


“විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, බැංකු වගේ ඒවා නොවෙයි, රටට බරක් වූ පාඩු ලබන ජාතික වැදගත්කමක් නැති ආයතන විදේශ ආයෝජකයෝ එක්ක එකතු වෙලා ගොඩගැනීමයි අපි කරන්නේ. නැතුව මේ ණය කන්ද ගෙවන්න මැදමුලනෙන් සල්ලි දෙනවාද...” රවී කරුණානායක විමසුවේය.


“පේරාදෙණිය කෘෂි පීඨයේ ළමයි නවක සිසුන් ගෙදරක හිර කරලා, නිරුවත් කරලා ෆොටෝ අරන් පොලුවලින් ගහලා පහත් වැඩක් කරලා තියෙන්නේ. එයාලගේ විරෝධතාවලට නාවොත් නිරුවත් පින්තූර ප්‍රසිද්ධ කරනවා කියලා තරවටුත් කළාලු. මේ ගැන තදින් ඉන්න ඕන. සිසුන් පටු දේශපාලන ඉත්තෝ කරගන්න දෙන්න බැහැ,” රන්ජන් රාමනායක කීවේය.


 “දොස්තර සංගමය  සයිටම් ප්‍රශ්නෙදි අපි පැත්තක් ගන්නේ නැහැ කියමින් පළාත් මට්ටමින් වර්ජන කරනවා කියලා දැන් තර්ජන දානවා,” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


 “සයිටම් ළමයින්ට දීපු උසාවි තීන්දුව වෛද්‍ය සභාව පිළිගන්නේ නැතිලු නේද...” දයා ගමගේ විමසීය.


“එයාලට උසාවි යන්න වෙයි. කාලෝ ෆොන්සේකලා තමන්ගේ පටු දේශපාලනයෙන් මිදිලා සමබරව ශිෂ්‍යයන්ගේ හා රටේ ප්‍රශ්න දිහා බලන්නේ නැහැ... එහෙම බැරිනම් නම්බුව තියාගෙන ඉවත්වීම එකම විකල්පයයි,” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


 “ආබාධිත රණවිරුවකුගේ පඩිය රුපියල් 1500යි කියලා ගම්මන්පිල මහා බොරුවක් ටීවී එකේ කිව්වා. මේකේ ඇත්ත හොයලා රටට හෙළි කිරීම රජයේ වගකීමයි,” වජිර අබේවර්ධන කී දේ සියලු දෙනා අනුමත කළහ.

 ඉන්දීය රජය සත්කාරකත්වය හෙබවූ මධ්‍ය ප්‍රදේශයේදී පැවැති සාක් කලාපීය කතානායකවරුන්ගේ සමුළුව ගෙවුණු සතියේ නිමාවට පත්වූයේ කලාපීය අන්තර් පාර්ලිමේන්තු සබඳතාවයන්ට ශක්තිමත් පදනමක් දමමිණි.


 ශ්‍රී ලංකාවේ කතානායක කරු ජයසූරිය මහතාට කලාපයේ පරිණත රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වශයෙන් ඉහළ පිළිගැනීමක් සමුළුවේදී හිමිවීම විශේෂත්වයක් වූ අතර මෑත භාගයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළින් ගොඩ නැංවූ ලෝක අන්තර් පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කලාපය තුළ ද තවදුරටත් ඉදිරියට ගෙන යාමේ වගකීම සමුළු සාමාජිකයෝ ඔහුගේ උර මත තැබූහ.


කලාපයට බලපාන කාලගුණ වෙනස්වීම්, කෘෂිකර්මාන්තයේ ප්‍රවණතා, සංවර්ධනය, සෞඛ්‍ය ගැටලු යනාදී ක්ෂේත්‍රයන් අරභයා විශේෂ සැසිවාර පැවැති අතර කාලගුණ වෙනස්කම් පිළිබඳව සැසියේ සභාපතිත්වය උසුලන ලද්දේ ශ්‍රී ලංකා කතානායක කරු ජයසූරිය මහතා විසිනි.


සාක් කලාපීය කතානායක සමුළුව නිමකර ලංකාවට පැමිණි වහාම ඇමෙරිකා එක්සත් ජනපදය සමග සබඳතා ප්‍රවර්ධනය කිරීමෙහිලා වැදගත් දායකත්වයක් ලබා දීමටද කතානායකවරයාට හැකි වූයේ පසුගිය සතියේ ඇමෙරිකානු කොංග්‍රස් සාමාජිකයන් දොළොස් දෙනෙකුම ශ්‍රී ලංකාවට පැමිණි හෙයිනි.


ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට ලෝක බලවතාගේ ව්‍යවස්ථාදායකය හසුරුවන නියෝජිතයන් එපමණ සංඛ්‍යාවක් එකවර පැමිණීම ද පෙර නොවූ විරූ බැඳීමකට මග පාදා තිබූ අතර ඔවුන් සියලු දෙනාම සිය නිල නිවාස වෙත කැඳවා ශ්‍රී ලංකාව පිළිබඳ ඉතා වැදගත් සුබවාදී චිත්‍රයක් ගොඩනැංවීමට කතානායකවරයා ක්‍රියා කළේය.


කොංග්‍රස් සභිකයන් වෙනුවෙන් ශ්‍රී ලාංකීය භෝජන සංග්‍රහයක් ද පිරිනැමූ හෙතෙම ගෙවී ගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ දේශපාලන ගමන් මඟ පිළිබඳ පුළුල් විග්‍රහයක් කළේ ආසියාවේ පැරැණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ශ්‍රී ලංකාව ස්වකීය පාර්ලිමේන්තු ක්‍රමයේ 70 වැනි සංවත්සරය සැමරීමට සූදානම් වනුයේ සුවිශේෂ ප්‍රජාතාන්ත්‍රික පාර්ලිමේන්තු  ප්‍රතිසංස්කරණ රැසක් ද සහිතව බව පළකරමිනි.


 ස්වාධීන කොමිසන් සභා ක්‍රියාකාරිත්වය ආංශික කාරක සභාවන් හි පක්ෂ විපක්ෂ සමබර දායකත්වය ආදී කරුණු ගැන කතානායකවරයාගේ පැහැදිලි කිරීමට ඇමෙරිකානු කොංග්‍රස් සභිකයෝ සුවිශේෂ උනන්දුවක් දැක්වූහ.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පැවරුණු 19 වැනි උදා ගම්මානය වන “ජයවිජයගම” පිහිටා ඇත්තේ ලග්ගල මැතිවරණ කොට්ඨාසයේ විල්ගමුවට නුදුරුවය. මෙම අවස්ථාවට විශේෂ ඇරයුම් ලැබ සහභාගි වූයේ විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළය. රංජිත් අලුවිහාරේ මන්ත්‍රීවරයා දිස්ත්‍රික්කයේ ප්‍රධාන ආරාධිතයකු විය. සජිත්ගේ සමීප හිතවතකු වූ මියගිය සංජීව කවිරත්න මන්ත්‍රීවරයාගේ බිරිඳ වන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මේ ගම්මානය පිහිටුවීම  පසුපස විශාල වැඩ කොටසක් ඉටුකර තිබිණි. සජිත් කීවේ රෝහිණී දක්වන විශාල උනන්දුව නිසාම ඉදිරියේදී තවත් ගම්මාන කීපයක්ම තැනීමට ඇයට උපකාර කරන බවයි. මේ අතර මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස සජිත් වෙත කැඳවාගෙන ආවේ උපතින්ම දෑස් නොමැති කුඩා දැරියක් සමග පැමිණ සිටි මවකි. ඉතා අඩු ආදායම්ලාභී පවුලක ඒ සිඟිත්තිය වහාම අගනුවර අක්ෂි වෛද්‍යවරයෙකු වෙත යොමු කළ සජිත් ඊළඟට නිවාස අධිකාරියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන්නේ විල්ගමුව, බුලත්අත්තාඔය, හෙට්ටිපොල පිහිටි මෙම අසරණ පවුලට අයත් දැනට වැඩ නිමකර ගත නොහැකිව ඇති නිවසේ වැඩ සම්පූර්ණයෙන්ම නිමකර දෙන ලෙසය. උත්සවය ඉතා අලංකාර ලෙස සංවිධානය කර තිබුණත් ඊට දින දෙකකට පසු සජිත් ඇමැතූ රෝහිණී කවිරත්න කීවේ “ගම්මානය විවෘත කරන කොට ගහපු අර ලස්සන පුවරුව කවුදෝ කඩාදාල,” කියාය. සජිත් කීවේ “අපි කරන වැඩ බෝඞ් ලෑලි කඩල බිඳලා මකන්න බෑ. ඒව මිනිස්සුන්ගේ හදවත්වල පතුලෙම තැන්පත්වෙලා තියෙනවා. ඔය වගේ බොළඳ වැඩවලට සැලෙන්න එපා,” කියායි.


පසුගිය දා දකුණු අප්‍රිකාවේ පැවැති ශ්‍රී  ලංකාව, දකුණු අප්‍රිකාව හා සිම්බාබ්වේ රටවල් අතර අවුරුදු 19 න් පහළ තුන් කොන් ක්‍රිකට් තරගාවලියේදී අවසන් තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා ලෙස කිරුළුපළන් අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයේ ශිෂ්‍ය ඩබ්ලිව්.ඒ. නිපුන් රන්ෂික 17 හැවිරිදි යෞවනයාට ඔහුගේ පුහුණුවීම් කටයුතු පහසුකර ගැනීම සඳහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට අයත් අගනුවරට නුදුරු මහල් නිවාස සංකීර්ණයකින් රුපියල් ලක්ෂ 45ක් වටිනා නිවසක් ලබාදීම සජිත් අතින් සිදුවූයේ අඟහරුවාදා අමාත්‍යාංශයේදීය. මෙහිදී ඇන්ඩි රොබට්ස්, මිචෙල් ජොන්සන්, මයිකල් හෝල්ඩින්, ඬේල් ස්ටේන්, ජෙෆ්රි තොම්සන් වැනි ලෝකයේ ප්‍රකට වේග පන්දු යවන්නන් රැසකගේම නම් සිහිපත් කළ සජිත් කීවේ “මමත් ක්‍රිකට් ගහපු ක්‍රීඩකයෙක්. නිපුන් රන්ෂික සොහොයුරාත් ලෝකයේ අති සාර්ථක ක්‍රීඩකයෙක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය උපකාර ලබාදෙමින් ඔහු ශක්තිමත් කරනවා” කියාය. නිපුන් රන්ෂික ශිෂ්‍යා දැනට පදිංචි වී සිටින නිවස එහි හිමිකරුවන්ගෙන් මුදල් ගෙවා නිදහස් කර ගැනීම සඳහා පී. ද එස්. කුලරත්න විද්‍යාලයේ විදුහල්පති ජගත් සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරමුදලක් පිහිටුවා ඇත. නිවසේ ඉතිරි මුදල ගෙවා අවසන් වීමෙන් පසුව රුපියල් ලක්ෂ 5ක වියදමින් එය අංග සම්පූර්ණ නිවසක් බවට පත් කරන ලෙසද සජිත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

අන්තර්ජාතික ආරක්ෂක සමුළුව :ෂෘෑං - 2017* එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී එරට ජනාධිපති ෂෙයික් කලීෆා බින් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 19 වැනි දින සිට දින තුනක් මුළුල්ලේ පැවැති අතර එම සමුළුව සඳහා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කරමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහභාගි විය. එම සමුළුවට රටවල් රැසක් නියෝජනය කරමින් ආරක්ෂක අමාත්‍යවරුන් පැමිණ සිටි අතර ඇමැති රුවන් ඔවුන් සමග සාකච්ඡා පවත්වමින් එම රටවල් සමග වන ආරක්ෂක සබඳතා වර්ධනය කර ගැනීමට කටයුතු කළේය.


රාජ්‍ය ඇමැති රුවන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන බියගම ආසනය ආවරණය වන පරිදි පවත්වන ජංගම සේවා සායන වැඩපිළිවෙළෙහි පස් වැනි අදියර ඊයේ දින රුවන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ කඩවත ඉහළ බියන්විල පේමානන්ද විද්‍යාලයේදීය.

පුරා විද්‍යාත්මක වටිනාකම්වලින් යුත් ස්ථාන සංරක්ෂණය කිරීමේ කටයුතුවල ප්‍රගතිය පිළිබඳ ගෙවී ගිය සතියේදී අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ විශේෂ අවධානය යොමු වූ අතර ඒ අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයාත් අවස්ථා කීපයකදී අමාත්‍යංශයට කැඳවා එම කටයුතුවල වර්තමාන තත්ත්වය ගැන කරුණු විමසා සිටීමට ද අකිල කටයුතු කළේය.


මේ අතර දකුණු කොරියානු රජයේ ආධාර (කොයිකා) මත කුලියාපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත විද්‍යා පීඨයට අදාළ අවබෝධතා ගිවිසුමට ගිය බදාදා දින අස්සන් තැබුණු අතර එම කටයුතුවලට සහභාගිවීමෙන් පසු අකිලගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණේ රජයට එරෙහිව විපක්ෂ කණ්ඩායම් නැගූ චෝදනාවලට පිළිතුරු සැපයීම සඳහාය. මෙම මාධ්‍ය සාකච්ඡාව අතරතුරදී ඇතැම් මාධ්‍යවේදීන් යහපාලන රජයේ අමාත්‍යවරුන් ඉලක්ක කොටගෙන කීප අවස්ථාවකදීම අකිලගෙන් ප්‍රශ්න කර සිටි අතර ඒ හැම අවස්ථාවකදීම අමාත්‍යවරයා පිළිතුරු දීමේදී උපායශීලී විය. “සමහර මාධ්‍ය ආයතනවල න්‍යාය පත්‍රවලට අනුව උත්තර දෙන්න මම ලෑස්ති නෑ. අපි කියන්නෙ ඇත්ත.” ඇමැතිවරයා කීවේය.


සෙලින්කෝ ආයතනය මගින් මව හෝ පියා අහිමි පාසල් දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා සංවිධානය කර ඇති “දිරි දරු” ශිෂ්‍යත්ව වැඩසටහනේ තවත් එක් අදියරක් පසුගිය දිනෙක මොනරාගල රාජකීය විද්‍යාලයේදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ අකිලය. එහිදී පාසල් දරුවන් 650 දෙනකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සිදුවිය. මේ අතර ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මාලිගාතැන්න මධ්‍ය මහා විදුහලේ ඉදි කෙරුණු ප්‍රථම දෙමහල් ප්‍රාථමික සම්පත් මධ්‍යස්ථානය පසුගිය දිනෙක විවෘත කෙරුණු අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවූයේ ද අධ්‍යාපන ඇමැතිවරයාය.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ඉකුත්දා මෙරටට පැමිණි අතර එහිදී ඔවුහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් මුණගැසී සාකච්ඡා පැවැත්වූහ. රටේ මූල්‍ය විනය හොඳ මට්ටමක පවත්වා ගැනීමත් නාස්තිකාර වියදම් අඩු කිරීමත් නිසා රටේ ආර්ථිකය යහපත් දිශාවකට ගමන් ගනිමින් තිබෙන බව දක්නට ලැබෙන බව ඔවුහු අගමැතිටත් මුදල් ඇමැතිටත් පෙන්වා දුන්හ. ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීමට අදාළව රජය ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තුවන ක්‍රියාමාර්ග ගැන අගමැතිත් මුදල් ඇමැතිත් මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළහ.


මේ අතර පසුගිය දිනෙක ජර්මන් තානාපතිවරයා සහ රවී අතර සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේදී පැවැති අතර එහිදී ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ජර්මානු ආයෝජන පිළිබඳ කරුණු සාකච්ඡා විය.

තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක උත්සවය පසුගිය දිනෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ අරලියගහ මැදුරේදීය. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලැබූ මේ උත්සවයට අමාත්‍යංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළුව රජයේ නිලධාරිහු දෙදහසකට අධික පිරිසක් සහභාගි වූහ. මෙතරම් රාජ්‍ය නිලධාරින් සංඛ්‍යාවක් කැඳවීම පිළිබඳව උත්සව සභාව අතරතුර ජනපති මෛත්‍රී ඇමැති ගයන්තට සිය සතුට පළ කර සිටීම විශේෂ සිදුවීමක් විය. මේ අවස්ථාවට වජිර අබේවර්ධන, එරාන් වික්‍රමරත්න, චන්ද්‍රාණි බණ්ඩාර, නිමල් සිරිපාල ද සිල්වා, රංජන් රාමනායක යන මැති ඇමැතිවරු ද එක්ව සිටියහ. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ ඕනෑම රාජ්‍ය ආයතනයක තොරතුරු (ආරක්ෂක හා වෙනත් සංවේදී කරුණු කාරණාවලදී හැර) ඉල්ලා සිටීමේ අයිතිය පුරවැසියන්ට හිමි වන අතර, ඒ අනුව අදාළ ආයතන දින 14ක් ඇතුළත එම තොරතුරු ලබාදීමට බැඳී සිටින බව පනතෙහි සඳහන් වේ. ඒ අනුව මේ පනත යටතේ මුලින්ම තොරතුරු ඉල්ලූ පුද්ගලයා වූයේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක වන අතර, දින හතරක් ඇතුළත රජයෙන් ඉල්ලූ එම තොරතුරු ලබාදීම ද සිදු විය.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් සඳහා ඉකුත් සති අන්තයේ මීගමුව, හෙරිටන්ස් හෝටලයේ විශේෂ වැඩමුළුවක් සංවිධානය කර තිබිණි. එම සමුළුව සංවිධානය කරන්නට මූලිකත්වය ගෙන තිබුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියයි. හිටපු ජනාධිපතිනිය වෙනුවෙන් එහි සංවිධාන කටයුතු සිදු කළේ එතුමියගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන රත්නසේන කැටවලගේ මහතාය. ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ට අමතරව ශ්‍රීලනිපයේ පළාත් මහ ඇමැතිවරුන් 7 දෙනාටද සමුළුවට ආරාධනය කර තිබිණි. සෙනසුරාදා පැවැති සමුළුවට සහභාගිවන මැති ඇමැතිවරුන්ට සිකුරාදා හැන්දෑවේ මීගමුව හෙරිටන්ස් හෝටලයට එන ලෙස දැනුම් දී තිබිණි. ඔවුන් සඳහා එදින රාත්‍රියේ එම හෝටලයේම නවාතැන් සූදානම් කර තිබිණි.


එහෙත් එදින රාත්‍රියේ නවාතැන් ගන්නට මැති ඇමැතිවරුන් වැඩි දෙනකු පැමිණ සිටියේ නැත. මහ ඇමැතිවරුන්ගෙන් කලින් දිනයේ පැමිණ සිටියේ සරත් ඒකනායක, චාමර සම්පත් දිසානායක හා ෂාන් විජය ලාල් ද සිල්වා යන මහ ඇමැතිවරුන් තිදෙනා පමණි. අනෙක් මැති ඇමැතිවරුන් පැමිණියේ සෙනසුරාදා උදේය. මහ ඇමැතිවරුන්ගෙන් සබරගමුව මහ ඇමැති මහිපාල හේරත් හැරෙන්නට අනෙක් මහ ඇමැතිවරු පැමිණ සිටියහ. හිටපු ජනාධිපතිනියද සෙනසුරාදා උදේ පාන්දරින්ම හෝටලයට පැමිණියාය. එතුමිය උදේ කෑම ගත්තේද මැති ඇමැතිවරුන් සමඟ එක්ව එම හෝටලයෙන්මය. එතුමිය උදේ කෑම ගන්නා ගමන් මැති ඇමැතිවරුන් සමඟ කතාකරන අතරේද කීවේ බලය බෙදාහැරීම සඳහා අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට හොඳම කාලය මෙය බවය.

වැඩමුළුව පැවැති හෝටලය සහ අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබිණි. මේ වැඩමුළුව මාධ්‍යවලටද විවෘත කර නොතිබිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උදේ 8.15 පමණ වනවිට හෝටලයට පැමිණියේය. වැඩමුළුව පැවැත්වූවේ ආර්ථිකය ගැනය. මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ යන මහත්වරු දේශකයෝ වශයෙන් සහභාගි වූහ. මේ වැඩමුළුවේදී ව්‍යවස්ථා සංශෝධනය ගැන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට ද මුලින් සැලසුම්කර තිබිණි. ඒ සඳහා දේශකයකු ලෙස සහභාගිවීමට නියමිතව සිටියේ එජාපයේ පත්කළ මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්නය. එහෙත් ආණ්ඩුවේ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් ඔහු ගෙන්වනවාට මුලසිටම දැක්වූ විරෝධය නිසා එම දේශනය අවලංගු කර තිබිණි. ඒ නිසා ජයම්පති වික්‍රමරත්න නොපැමිණි අතර ව්‍යවස්ථා සංශෝධන මාතෘකාවද එහි සාකච්ඡාවට ලක්වූවේ නැත.


මහ බැංකු අධිපති හා නියෝජ්‍ය අධිපතිවරයා මෙරට ආර්ථිකයේ වත්මන් තත්ත්වය, අනාගත අභියෝග ගැන පුළුල් විග්‍රහයක යෙදෙමින් මන්ත්‍රීවරුන් දැනුවත් කළහ. ආණ්ඩුවේ ණය අර්බුදය, ඉන් ගොඩ ඒමට ඇති විකල්ප ක්‍රියාමාර්ග, වෙනත් රටවල් ණය අර්බුදයෙන් ගොඩඒමට අනුගමනය කළ ක්‍රියාමාර්ග ගැන ඔවුහු පැහැදිලි කළහ. 


එම දේශන දෙකෙන් අනතුරුව මැති ඇමැතිවරුන්ටද අදහස් ඉදිරිපත් කරන්නට අවස්ථාව වෙන්විය. නිමල් සිරිපාල කීවේ විදේශ ආයෝජකයන්ට මේ රටේ ආයෝජනය කිරීම සඳහා ඒමට ඉඩදිය යුතු බවය. අපේ රටේ ආර්ථික තත්ත්වය තුළ මීට වඩා හොඳ ආර්ථික තත්ත්වයක් තියෙන රටවලට විදේශ ආයෝජකයන් යන බව අනුර යාපා කීවේය. චන්ද්‍රිකා කුමාරණතුංග හිටපු ජනාධිපතිනිය ද මේ කතාවට එක්වූවාය. අපේ රටේ ආර්ථිකය අර්බුදයට ගිහින්. සමහරු ඒක ගැන කතා කරන්න එපා කියනවා. නමුත් අපි ඇත්ත තත්ත්වය රටට කියන්න ඕනෑ යැයි ඇය කීවාය. ඩිලාන් පෙරේරා කිවේ “අපිට එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික වැඩපිළිවෙළට එකඟ වෙන්න බැහැ කියාය. එජාපය හදන්නෙ හැම දෙයක්ම පෞද්ගලීකරණය කරන්න. අපි එකඟවෙන්නෙ කොහොමද?” යැයි ඩිලාන් කීවේය. ලසන්ත අලගියවන්නද ඩිලාන්ගේ අදහස අනුමත කළේය. “අපේ අය යූඑන්පී එකට, අගමැතිට බැණ බැණ කොහොමද ආණ්ඩුව ගෙනියන්නෙ” යැයි හිටපු ජනාධිපතිනිය තරමක කේන්තියෙන් මෙන් කීවාය. “එහෙනම් යූඑන්පී එකත් අපිට බනින්නෙ. අපි ඒවට උත්තර දෙන්න ඕනනේ” ඩිලාන් කීවේය. ඩිලාන් හා හිටපු ජනාධිපතිනිය අතර වාදය ටික වේලාවක් පැවැති අතර ඔයාලා ආණ්ඩුව පත්වුණු දා ඉඳල යූඑන්පී එකට බනිනවා. යූඑන්පී එක බනින්න පටන් ගත්තෙ අවුරුදු එක හමාරක් ගියාට පස්සෙයි. යැයි හිටපු ජනාධිපතිනිය ඩිලාන්ට කීවාය. ජනාධිපතිවරයා මෙම වැඩමුළුවට සහභාගි වුවද අදහස් දැක්වීමෙන් වැළකී සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සති අන්තයෙ වැලිගමදී පැවති දකුණු පළාත් රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනකටද සහභාගිවිය. එය සංවිධානය කර තිබුණේ මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ උපදෙස් මත දකුණු පළාත් සභාව මගිනි. ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාද පළාත් සභාවේ ඇමැතිවරු සිවුදෙනා සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුද ඊට සහභාගිවී සිටියහ. වැඩමුළුව අතරවාරයෙ දකුණු පළාත් රාජ්‍ය නැටුම් කණ්ඩායමේ නර්තන අංගයක් ඉදිරිපත් කෙරිණි. එය බලා සිටින අතරේ හේමකුමාර නානායක්කාර ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයා දෙසට හැරී ඇසුවේ, “සර් අපේ රාජ්‍ය නැටුම් කණ්ඩායමේ නැටුම් දැක්ක නේද?” කියාය. “ඔව්, ඔව්, මේ දවස්වල මට වැඩියෙන්ම නැටුම් පෙන්නන්නෙ ෂාන්නේ” යැයි ජනාධිපතිවරයා හිනාවෙමින් කීවේය.

මෙවර කැබිනට් රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේය. පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන සතියක් වීම ඊට හේතුවය. මුලසුන ගත්තේ ජනපති මෛත්‍රීය. මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ තිබෙන අධිවේගී මාර්ග අලුතින් යටිතල පහසුකම් සමාගමක් යනුවෙන් සමාගමක් හදා ඒ යටතට පත් කිරීමට මුදල් අමාත්‍යාංශය යෝජනාවක් ඉදිරිපත්කර තිබිණි. එම මාර්ගවල නඩත්තුව, ආදායම සහ ණය ගෙවීම බාර ගැනීමද එම සමාගම යටතට ගන්නා බවට යෝජනා කර තිබිණි. මේ ගැන ඇමැතිවරු නොයෙක් ප්‍රශ්න ඉදිරිපත් කළහ. මෙමගින් අධිවේගී මාර්ගවල ගාස්තු වැඩි කරන්නේද අනෙකුත් මාර්ගද මේ සමඟම යටතට පැවරෙන්නේද යන්න ඔවුහු විමසා සිටියහ. මේ අතර තවත් යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ මහ බැංකුව යටතේ ඇති ජාතික ණය දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශය යටතට ගැනීමට යෝජනා කරමිනි. ඇමැතිවරු කිහිප දෙනෙක්ම ඊට විරෝධය පළ කළහ.


මේ අතර මෙවර කැබිනට් රැස්වීම තරමක් ගිනියම් වූයේ කබීර් හෂීම් ඇමැතිවරයා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක් හේතුවෙනි. පසුගිය ආණ්ඩුව සමයෙ එයාර් බස් 4 ක් මිලදී ගැනීමට එයාර් කෝප් සමාගම සමඟ අත්සන් කර තිබූ ගිවිසුම අවලංගු කර ඒ වෙනුවට ඩොලර් මිලියන 154 ක වන්දියක් ගෙවීමට මුදල් අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට එරෙහිව කබීර් මෙම යෝජනාව ඉදිරිපත්කර තිබිණි. රවි කරුණානායක ඇමැතිවරයා මෙම වන්දිය ගෙවීමට තීරණය කර තිබීම නීති විරෝධී බවද කබීර් චෝදනා කර තිබිණි. අදාළ සමාගමට ඩොලර් මිලියන 75ක 80ක වන්දියක් ගෙවීමට තීරණය කර තිබියිදී ඩොලර් මිලියන 154ක මුදලක් වන්දි ගෙවීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර ඇත්තේ අදාළ අමාත්‍යංශය හෝ දැනුවත් නොකර බවට කබීර් චෝදනා කර තිබිණි. කබීර්ගේ පත්‍රිකාවට පක්ෂව සරත් අමුණුගම, චම්පික රණවක ඇතුළු ඇමැතිවරු කිහිප දෙනෙක්ම අදහස් දැක්වූහ. මේ අතරෙ රවි කරුණානායක චෝදනාවක් කරමින් කීවේ, “මේ ඔක්කොටම වගකියන්න ඕනැ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයේ හිටපු අය” බවය. රවිගේ චෝදනාවට දයාසිරි ජයසේකරට යකා නැග්ගේය. ඔහු රවිට පෙරළා උත්තර දුන්නේ ඒ කේන්තියත් සමගය. “ඔතන ඉන්න ජනාධිපතිතුමාත් ඒ කැබිනට් එකේ හිටියා. එතුමා නැත්නම් ඔයාලට බලය ගන්න හම්බ වෙන්නෙත් නැහැ. අපි අකමැත්තෙන් හරි මහින්ද රාජපක්ෂගෙන් අයින්වුණා. දැන් එතුමා රකින්නෙ කවුද කියල කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බලාගන්න” යැයි දයාසිරි කීවේය. 


තවත් කැබිනට් පත්‍රිකාවක් මුදල් අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කර තිබුණේ වාහන කොටස් ගෙන්වා සම්පූර්ණ වාහනයක් ලෙස එකලස් කරන සමාගමක් සඳහා බදු සහන ලබාදීමටය. මෙම කැබිනට් පත්‍රිකාව මෙයට පෙරද ඉදිරිපත් කර කල් දැමූ එකකි. බොහෝ ඇමැතිවරුන් කීවේ මෙමගින් එක් සමාගමකට පමණක් වාසිවන පරිදි කටයුතු කර ඇති බවයි. දෙනවා නම් හැමෝටම සහන දිය යුතු බව ඔවුහු කීහ.


“ආර්ථික තීන්දුවලදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියන එක සිංහල භාෂාවෙන් අපි වෙනත් විදිහකට ජනතාවට තේරුම් කරල දෙන්න ඕනෑ.” දයාසිරි ජයසේකර ඇමැතිවරයා කීවේය. ඒ කතාවට රවි කරුණානායක ඇමැතිවරයාට තරහ ගියේය.


“අපි ඕනෑ තරම් අවස්ථාව දීල තියෙනවා. මෙයාට කියවන්න බැරිවුණාට මට කරන්න දෙයක් නෑ ...” රවි කීවේය.


“මගේ කට අවුස්සගන්න එපා. මෙයාට බෑ ජනතාවට තේරුම් ගන්න පුළුවන් විදියට කියල දෙන්න. ඒකයි මේ ගැටුම් ඇති වෙන්නෙ.” දයාසිරි කීවේය. දෙදෙනාගේ මත ගැටුම සමථයකට පත් කිරීමට ජනපති හා අගමැති මැදිහත්වූහ.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයන් ඉකුත් බදාදා හමුවිය. මේ හමුව පැවැත්වූවේ කොටුව ජනාධිපති මන්දිරයේය. මෙම හමුව මුලදී කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්වන්නට තීරණය කර තිබුණද පසුව එය කොටුව මන්දිරයේ පවත්වන්නට තීරණය විය. හිටපු අගමැති දි.මු. ජයරත්න, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝද, ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක, සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර යන මහත්වරුද ඊට සහභාගි වූහ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප ආසන සංවිධායකයන් මේ හමුවට පැමිණ සිටියේ නැත. පිළිගැනීම හා අරමුණ පැහැදිලි කළේ දුමින්ද දිසානායක මහ ලේකම්වරයාය. ආසන බල මණ්ඩල, තරුණ සංවිධාන, කාන්තා සංවිධාන පිහිටුවීමේ ප්‍රගතිය ගැන ඔහු විස්තර කළේය. ජනපති මෛත්‍රී කීවේ ආසන බලමණ්ඩල පිහිටුවීම එක් එක් දිස්ත්‍රික්කවල නම් විදියට කියන ලෙසය. ඔහු කීවේ ආසන බලමණ්ඩල පිහිටුවීමත්, කාන්තා හා තරුණ සංවිධාන පිහිටුවීමත් හොඳ මට්ටමක තිබෙන බවය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආසන සංවිධායකයන් ලෙස සිටින ආසනවල බලමණ්ඩල පිහිටුවීමේ ගැටලු තිබෙන බව ඔහු කීවේය. පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම, බලමණ්ඩල පිහිටුවීම ආදී කටයුතු මාර්තු 31ට පෙර අවසන් කරන්නැයි මහ ලේකම්වරයා කීවේය. මැයි දිනය ඉහළින් පවත්වන බවත් තවම තැනක් තීරණය කර නැති බවත් කී දුමින්ද පක්ෂයේ විධායක සභාව හා සමස්ත ලංකා කාරක සභාව මාර්තු 2 වැනිදා රැස්වන බව සඳහන් කළේය.


ආසන බලමණ්ඩල ලියාපදිංචි කිරීමේ සහතික දිස්ත්‍රික්කයකින් එක බැගින් ජනාධිපතිවරයා අතින් පිරිනැමිණි. අනතුරුව ජනාධිපතිවරයා සංවිධායකවරුන් ඇමතුවේය. “අපේ පක්ෂය ඉතිහාසයෙ අභාග්‍යම සම්පන්න තත්ත්වයට වැටිල තිබුණෙ 80 දශකයෙයි. අද තත්ත්වය ඒකට සමාන කරන්න බැහැ. එහෙම කවුරු හරි හිතනව නම් ඒක වැරැදියි. අද අපි හොඳ තැනකට ඇවිත් තියෙනවා. අපේ පක්ෂයේ සැබෑ තත්ත්වය ගමට ගිහින් කියන්න. අලුතින් සාමාජිකයන් බඳවගන්න. අපි එකට එකතුවෙලා ජයග්‍රාහී ගමනක් යමු. ඒකාබද්ධ විපක්ෂයෙ ඉන්න අයටත් පක්ෂය සමඟ එකට එකතුවෙලා ගමනක් යන්න කිසිදු බාධාවක් නැහැ. ඒකට කාටවත් තහංචි දාලත් නැහැ. කිසිම බාධාවකුත් නැහැ. මට කාත් එක්කවත් වෛරයක් නැහැ. තරහකුත් නැහැ. පක්ෂය එකතු කරගෙන ඉදිරියට යන්න ඕන” යැයි ජනාධිපතිවරයා කීවේය.


“නුගේගොඩ රැස්වීම ගැන සමහරු කියනවා. අපටත් රැස්වීම් තියල සෙනඟ ගෙන්නන්න පුළුවන්. සෙනඟ ගෙන්නන හැටි මම දන්නවා. පළාත් පාලන ඡන්දය කල්යන්නෙ අපේ වරදකින් නෙමෙයි. සීමානිර්ණ ගැටලු නිසයි. දැන් ඒවා නිරාකරණය කරගෙන යනවා. ආණ්ඩුවේ ඡන්දය පවත්වන දින දර්ශන ගැන මම දන්නවා. ඒ නිසා මේ වෙලාවෙ මැතිවරණ පවත්වන එක ගැන මම කලබල වෙන්නෙ නැහැ. මැයි දිනේ පවත්වන තැන ගැන තීන්දු කරල නැහැ. නමුත් අපි ගිය සැරේටත් වඩා හොඳට කරනවා. ඔබතුමාලා ඔක්කොම ඒකට සහාය දෙන්න” යැයි ජනාධිපතිවරයා කීවේය.


එහිදී ජනාධිපතිවරයා දූෂණ හොරකම් ආදීය ගැනද කීවේය. “හොරකම් කරන අය, වැරැදි කරන අය ගිය පාලන තන්ත්‍රයේ හිටියා. ඒ වගේ මේ පාලන තන්ත්‍රයෙත් හොරකම් කරන අය, වැරැදි කරන අය ඉන්නවා. අපි ඒක අවබෝධ කරගෙන මේ ගමන යන්නෙ. මේවට ඉඩ දෙන්න බැහැ. අපි ඒවට එරෙහිව පියවරක් ගත යුතුයි” යැයිද ජනාධිපතිවරයා කියා සිටියේය.


ජනාධිපතිවරයාගේ කතාවෙන් අනතුරුව  සංවිධායකවරුන්ටද අදහස් දක්වන්නට අවස්ථාව ලැබිණි. එහිදී සංවිධායකවරුන් කිහිප දෙනකුම කීවේ ගම්වල සංවර්ධන කටයුතු සඳහා ග්‍රාමසේවක වසමකට රුපියල් ලක්ෂ 5 බැගින් ලබාදීමේදී එජාප සංවිධායකවරුන් ශ්‍රීලනිප සංවිධායකයන්ගේ යෝජනා සැළකිල්ලට නොගන්නා බවය. මහින්ද අමරවීර කීවේ ග්‍රාම නිලධාරී වසම් ගණන බලා එය දෙකට බෙදාගෙන කටයුතු කළ හැකි බවය.


ජනපති මෛත්‍රී ගිය සතියේ මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ 75 වන සංවත්සර උළෙලට සහභාගි විය. මහින්ද සමරසිංහ, රාජිත සේනාරත්න, පාලිත තෙවරප්පෙරුම වගේම, ඒකාබද්ධ විපක්ෂයේ කුමාර වෙල්ගමද ඊට පැමිණ සිටියේය. උත්සවය ආරම්භයේදී පැමිණි වෙල්ගම ජනාධිපතිවරයා ළඟට ගොස් කීවේ සර් මට වැඩක් තියෙන නිසා ටික වේලාවකින් මම යනවා” කියාය. මේ අතර ජනාධිපතිවරයා පානදුරේ පන්සලක පැවැති උත්සවයකට ගිය අතරේ මංගල සමරවීර ඇමැතිවරයාගේ පානදුරේ බොල්ගොඩ ගඟ අසළ පිහිටි නිවෙසට ගොස් තේ එකක් බී එන්නට ද අමතක නොකළේය. ආ ගිය තොරතුරු ගැන කතාබහ කරමින් සිටියදී මංග