ශ්‍රීලනිප-පොහොට්ටු පුළුල් සංධානයක්


නත්තල් නිවාඩුවත් වසර අවසානයත් නිසා ගෙවී ගිය සතියේ දේශපාලන කරළියේ පිටතට පෙනෙන්නට තිබුණේ ඇල්මැරුණු ස්වභාවයකි. පිටතට එසේ වුවද දේශපාලන කරළියේ අභ්‍යන්තර අර්බුදය අළුයට ගිනි මෙන් තවමත් තිබෙන බව නම් පැහැදිලිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද දිගු වෙහෙසකින් අනතුරුව පෞද්ගලික සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් සිටියේ තරමක විවේකයක් ගැනීමේ අපේක්ෂාවෙනි. නත්තල් නිවාඩුව හා වසර අවසානයේ නිවාඩුව ගත කරන්නට මැති ඇමැතිවරුන් වැඩි දෙනකු පිටරට ගොස් සිටි අතර තවත් පිරිසක් සිය ගම්බිම්වලට ගොස් සිටියහ. මේ නිසා කොළඹ දේශපාලනයේ පැවැතියේ තරමක නිහැඬියාවකි.


අැමැති මණ්ඩලය දිවුරුම් දුන් ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා විනාඩි 20ක් පමණ පැවැති කැබිනට් රැස්වීමෙන් පසුව මීළඟ කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත්තේද ලබන 2 වැනිදා පෙරවරුවේය. ජනාධිපතිවරයා ගිය සතියේ දිවයිනෙන් බැහැරව සිටීමත් ඇමැති විෂය පථයන් ගැසට් නොකිරීමත් මත ගිය සතියේ කැබිනට් රැස්වීමක් නොපැවැත්විණි. ඒ අනුව නව වසරේ පළමු කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ ලබන බදාදාය.


නව ඇමැතිවරුන්ගේ විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් ගිය සඳුදා නිකුත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කළද එය එදින සිදු නොවූයේ ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගිය බැවිනි. තමන්ට අයත් ආයතන කුමක්දැයි ඇමැතිවරුන් තවමත් නොදන්නා නිසාත් විෂය පථයත් ගැසට් කර නොමැති නිසාත් රජයේ සංස්ථා මණ්ඩලවල ප්‍රධාන පුටු බොහොමයක් තවමත් හිස්ව පවතී. රූපවාහිනි සංස්ථාවේ හා ස්වාධීන රූපවාහිනියේ ඔක්තෝබර් 26 වැනිදාට පෙර සිටි සභාපතිනියන් දෙදෙනාට ගොස් වැඩ බාර ගන්නැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා දැනුම් දී තිබුණද ඔවුන්ට දැන්ම වැඩ භාර නොගන්නැයි ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දැනුම්දී තිබුණේ ගිය සතියේය. රජයේ ජනමාධ්‍ය ආයතන තුනෙන් දෙකක් ජනාධිපතිවරයා යටතට ගැනෙන බවට ආරංචි පැතිර ගියේද මේ අතර වාරයේය.


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව ගිය සඳුදා උදේ මහගමසේකර මාවතේ ජනාධිපති නිල නිවසේදී රැස්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. උදේ 8.30ට ආරම්භවීමට නියමිතව තිබූ රැස්වීම ආරම්භ වූයේ 8.45ට පමණය. දිනේෂ් ගුණවර්ධන, ආරුමුගම් තොණ්ඩමන්, අතාවුල්ල, මුත්තු ශිවලිංගම්, ගීතාංජන ගුණවර්ධන, අසංක නවරත්න, හේමකුමාර නානායක්කාර, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, අනුර යාපා, සිසිර ජයකොඩි, ෂාන් විජයලාල් ද සිල්වා, එස්.බී. දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ. ශක්තිමත් විපක්ෂයක් ලෙස කටයුතු කිරීම සඳහා පුළුල් පෙරමුණක් එකතු කරගැනීමේ යෝජනාව විධායක සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ ජනපති මෛත්‍රී විසිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ මෙන්ම වෘත්තීය සමිති ඇතුළු ප්‍රගතිශීලී බලවේග සියල්ල එකතු කරගනිමින් මෙම නව පෙරමුණ සකස් කළ යුතු බව ජනාධිපතිවරයා කීවේ ඉදිරියේදී එන අභියෝගවලටද මුහුණ දිය යුතු ආකාරයද පැහැදිලි කරමිනි. දිනේෂ් ගුණවර්ධනද ජනාධිපතිවරයාගේ අදහස අනුමත කරමින් කතා කළේය. දිනේෂ් කීවේ මෙය රට ආරක්ෂා කිරීමේ පුළුල් පෙරමුණක් ලෙස ගොඩනැගිය යුතු බවය. මෙම නව පෙරමුණ ගොඩනැගීම පිළිබඳව සාකච්ඡා කිරීමට කමිටුවක්ද පත් කෙරිණි. නිමල් සිරිපාල, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්, මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, දිනේෂ්, ඇතුළු පිරිසක් කමිටුවට පත් කරනු ලැබූ අතර එහි කැඳවුම්කරු ලෙස මහින්ද අමරවීර පත් කරගනු ලැබීය.
“මේකට තවත් ප්‍රගතිශීලී පෙරමුණක් වන පොදුජන පෙරමුණේ ස්ථාවරය අපි තවම දන්නෙ නෑ. එයාලත් එකතු කරගෙන අපි මේක හදන්න ඕන.” නිමල් සිරිපාල මන්ත්‍රීවරයා කියද්දි දිනේෂ් ද එය අනුමත කරමින් කීවේ අපි සම සමාජ කොමියුනිස්ට් පක්ෂවල අයත් මේකට සම්බන්ධ කරගමු කියාය.


අපි වැඩි කල් අදින්නෙ නැතිව ඉක්මනින් කාල රාමුවක් දාලා සාකච්ඡා කරමු” යැයි සුසිල් යෝජනා කළේය. එහෙත් දිනේෂ් ඊට එකඟ නොවීය. සුසිල් තරහ වෙන්න එපා මේක කිව්වට. හැමදාම ඔය හදිසියි කියලා අනවශ්‍ය විදියට ඉක්මන් කරල තමයි අපි වැඩ වරද්ද ගත්තෙ. දිනේෂ් කීවේය. අනතුරුව කතා කළේ ෂාන් විජයලාල් මහ ඇමැතිවරයාය. ජනාධිපතිතුමාගේ මේ අදහස ඉතා හොඳයි. අපි හැම දෙයක්ම අශුභවාදීව බලන්නෙත් නැහැ. සුභවාදීවම බලන්නෙත් නැහැ. කොළඹ නායක මට්ටමින් මොන තීන්දු ගත්තත් පැහැදිලිවම ගමට යනකොට එහෙම වෙන්නෙ නැහැ. ඒ නිසා ඒකටත් වැඩ පිළිවෙළක් අවශ්‍යයි. ෂාන් කීවේය. ජනාධිපතිවරයා කීවේ ඒකටත් වැඩ පිළිවෙළක් ඔය කමිටුවෙන්ම යෝජනා කරන්න කියාය. විධායක සභාවෙන් අනතුරුව ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම පැවත්වෙන නිසාත් ජනාධිපතිවරයාට පිටරට යාමට තිබෙන නිසාත් රැස්වීම කෙටි වේලාවකින් අවසන් කරන්නට තීරණය විය.


 සන්ධාන විධායක සභාව අවසන් වූ වහාම සඳුද‌ා උදේ ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් ද කොටුව ජනාධිපති මන්දිරයේ පැවැත්විණි. එදින දහවල් පෞද්ගලික සංචාරයක් සඳහා තායිලන්තය බලා පිටත්ව යාමට තිබියදී ජනාධිපතිවරයා හදිසියේම රැස්වීමට සහභාගි විය. සියලු දෙනා පිළිගනිමින් පක්ෂයේ මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියද‌ාස මහතා කෙටියෙන් කතාවක් කළේ අරමුණ ද පැහැදිලි කරමිනි. අනතුරුව පිරිස අමතන්නට ජනාධිපතිවරයාට ආරාධනා කළේ ජනාධිපතිවරයාට ඉක්මනින් පිටත්ව යාමට ද නියමිතව තිබූ බැවිනි. ‘මට තව පැය එකහමාරකින් පිටරට යන්න තියෙනවා. ඒ නිසා මම අවශ්‍යම ටික කියන්නම්. මම ගියාට පස්සේ අවශ්‍ය දේවල් ටික මේ ඉන්න අයත් එක්ක කතා කරගන්න.’ ජනාධිපතිවරයා කතාව ආරම්භ කළේ ආන්දෝලනාත්මක කරුණු කාරණා කිහිපයකට ද ප්‍රවේශය හද‌ා ගනිමිනි. දිස්ත්‍රික් සංවිධායකවරුන්, ආසන සංවිධායකවරුන් කියලා ගොඩක් අය ද‌ාලා ඉන්නවා අපි එය ප්‍රතිසංවිධානය කරන්න තීරණය කළා. මීට පස්සෙ දිස්ත්‍රික් සංවිධායකවරුන් නැහැ. එයින් ක්‍රියාකාරීව කටයුතු කරපු අයට දේශපාලනය කරන්න පුළුවන් තනතුරු දෙනවා. එක ආසනයකට එක් සංවිධායකවරයෙක් පමණයි. සියලුම සංවිධායකවරුන් අපි අලුතින් පත් කරනවා. දිස්ත්‍රික් සංවිධායකවරුන් පත්කිරීම ගැන සෑහීමට පත්වෙන්න බැහැ. යැයි ජනාධිපතිවරයා කීවේ සංවිධායකවරුන්ගේ ක්‍රියා කලාපය ගැන ද සඳහන් කරමිනි.  


 ඒ අතරම ජනාධිපතිවරයා අලුතින් ගොඩනැගෙන සන්ධානයක් ගැන ද කීවේය. පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ සංවිධාන එකතුව ශක්තිමත් සන්ධානයක් ගොඩනගන බව කී ජනාධිපතිවරයා කීවේ ඊට විරුද්ධ වන අයට පක්ෂයෙන් ඉවත්ව යා හැකි බවය. සමහර අය මේකට විරුද්ධව එක එක තැන්වල සාකච්ඡා තියල කියල ආරංචියි. උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහත්තයාගේ ගෙදරත් 15 ක් විතර එකතුවෙලා සාකච්ඡා කරල තියෙනවා. එහෙම තැන් තැන්වල කතා කරන්න අවශ්‍ය නැහැ. කියන දෙයක් මෙතන කතා කරන්න. බැරි අයට යන්න පුළුවන්. ජනාධිපතිවරයා දැඩිව කියා සිටියේය.  


මට හැමද‌ාම කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යූඑන්පී ආණ්ඩුවෙන් අයින් කරන්න කියලයි. සන්ධාන ආණ්ඩුවක් හදන්න කීවා මම ඒක කළා. මම සන්ධාන ආණ්ඩුවක් හැදුවා. 113 හදන්න මම බාරගත්තෙ නැහැ. ඒක බාරගත්ත අයට ඒක කරන්න බැරිවුණා. ඒකට මට කරන්න දෙයක් නෑ. දැන් සමහරු කියනවනේ දූෂණ චෝදනා තියෙන මහින්ද රාජපක්ෂ එක්ක එකතු වුණු එක වැරදියි කියලා. හැබැයි මහින්ද රාජපක්ෂ පාලනයෙ අවුරුදු 12 ට වෙච්ච වැරදි රනිල්ගෙ අවුරුදු තුනේ වෙච්ච වැරදියි තරාදියකට ද‌ාල බැලුවොත් තරාදිය වැඩි බර යන්නෙ රනිල්ගෙ පැත්තට. ඒ සියල්ල සලකා බලලයි මම මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක එකතු වෙන්න තීන්දුව ගත්තෙ. ඒකෙ සම්පූර්ණ වගකීම මම බාර ගන්නවා. ඒකට විරුද්ධ වෙන ඕනම කෙනෙකුට යන්න පුළුවන්. යැයි ජනාධිපතිවරයා කීවේ හැඟීම්බර කතාවක් ද කරමිනි. ඒ සමඟම ජනාධිපතිවරයා දේශපාලන සන්ධානවල ඉතිහාසය, ඒවා මුහුණ දුන් අර්බුද ආදිය ගැන ද විග්‍රහ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැම විටම ආණ්ඩු බලය ගත්තේ සන්ධානවලින් බව කී ජනාධිපතිවරයා පොදුජන පෙරමුණ ඇතුළු ප්‍රගතිශීලි බලවේග එකතු කරමින් පුළුල්ව දේශපාලන සන්ධානයක් ගොඩනගන බව ද කීය.  


 පිටරට යාම සඳහා ජනාධිපතිවරයා පිටත්ව ගිය පසුව සංවිධායකවරුන්ගේ රැස්වීම උණුසුම් වූයේ රෝහණ ලක්ෂ්මන් පියද‌ාස මහලේකම්වරයා පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළේ දින වකවානු ගැන පැහැදිලි කිරීමත් සමඟය. පිටුපස සිටි දිස්ත්‍රික් සංවිධායකවරුන් හා ආසන සංවිධායකවරුන් කිහිප දෙනෙකු මහලේකම්වරයාගේ කතාවට විරෝ්ධය පළකරමින් කෑකෝ ගසන්නට වූයේ ශ්‍රීලනිපය පොහොට්ටුව සමග එකතුවීමට විරුද්ධ බව ද ප්‍රකාශ කරමිනි. එම පිරිස චෝදනා කරමින් කීවේ ශ්‍රීලනිපය වළපල්ලට යැවීමේ උත්සාහය පරාජය කළ යුතු බවය. එහිදී එස්.බී. දිසානායක, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරුන් ද අදහස් දැක්වීමට උත්සාහ කළ ද ඊට ද ඔවුන්ගෙන් විරෝධය එල්ල විය. අවසානයේ නිමාවකින් තොරව රැස්වීම අවසන් වූයේ සංවිධායකයින් ගෝරිය අතරේ පිටව යාම හේතුවෙනි.  


 මේ අතර ශ්‍රීලනිප මූලස්ථානය ගිය සතියේ යතුරුදමා වසා තිබූ බවට ද වාර්තා පළවිය. ජනාධිපතිවරයා විදේශ සංචාරය නිමා කර එනතෙක් පක්ෂ මූලස්ථානය වසා තබන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබූ බවට ද ආරංචි පැතිර ගියේය. එහෙත් පක්ෂයේ මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියද‌ාස මහතා පැවැසුවේ වසර අවසානය නිසා එහි කාර්ය මණ්ඩලයට දින කිහිපයක් නිවාඩු දී ඇති බවය. මේ අතර තවත් දේශපාලන ආරංචියකින් කියැවුණේ පක්ෂයේ කිහිප දෙනකු පක්ෂ මූලස්ථානය අල්ලා ගන්නට එන බවට ලැබුණු තොරතුරු මත පක්ෂ කාර්යාලය වසා දමා ඇති බවය.


චීනයේ ශ්‍රී ලංකා තානාපති ෂෙන් ෂ්ඩොන් ගිය බදාදා උදේ විජේරාම මාවතේ නිල නිවසට ගොස් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. චීන තානාපතිවරයා පැමිණ සිටියේ චීන ජනාධිපති ෂී ජින් පින් ගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයක්ද රැගෙනය. සුබ පැතුම් පණිවිඩය මහින්දට පිළිගැන්වූ චීන තානාපතිවරයා සුබ පැතුම් පණිවිඩය පෙන්වමින් ඒ ගැන විස්තරයක් ද කළේය.   


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගිය සතියේ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාගේ උඩුගම්පොල නිවසට රැස්වූයේ ඉදිරි දේශපාලන සැලසුම් ගැන සාකච්ඡා කිරීම වෙනුවෙනි. නිමල් ලන්සා, ඩුලිප් විජේසේකර, සිසිර ජයකොඩි, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර මෙන්ම සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය ද ඊට සහභාගි වූවාය. ලබන අවුරුද්ද මැතිවරණ වසරක්. අවුරුද්ද අවසාන වීමට පෙර ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙනවා. මුල් මාස හය ඇතුළත මහමැතිවරණයකුත් එයි. පළාත් සභා මැතිවරණයත් තියන්න ඕන. එහෙම බලනකොට 2019 කියන්නෙ අපට වැඩ වැඩිම වසරක්. අපි එකමුතුව හිටියොත් මේ ඕනම මැතිවරණයක් දිනන්න පුළුවන් යැයි ප්‍රසන්න රණතුංග කතාවට මුලපුරමින් කීවේය. කඩිමුඩියේ ආණ්ඩුව ගත්තට එජාපයටත් එ්ක කොච්චර දුරට කරගෙන යන්න පුළුවන් වේවිද දන්නේ නැහැ. ජනාධිපතිතුමා ඉන්නෙත් එජාපයෙ ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන තත්ත්වයක යැයි සිසිර ජයකොඩි කීවේය.   


මේ අතර ජාතික හෙළ උරුමයේ නියෝජිත මහසමුළුව ද ගිය සති අන්තයේ කොළඹදී පැවැත්විණි. එහිදී ගත් ප්‍රධාන තීරණයක් වූයේ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ එක්ව පිහිටුවන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික හෙළ උරුමය ද එක්වීමටය. එහිදී අදහස් දක්වමින් ජාතික හෙළ උරුමයේ මහ ලේකම් චම්පික රණවක ඇමැතිවරයා කීවේ මේ රටේ පවුල් දේශපාලනයට එරෙහි ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බවය.