ශ්‍රීලනිප - ඒකාබද්ධ ​සමගි කතා බිඳවැටේ


 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධ විපක්ෂයත් එකට එකතු කිරීම සඳහා සති ගණනාවක් තිස්සේ පැවැති සාකච්ඡා ගිය සති අන්තයේ නිමාවට පත්වූයේ බලාපොරොත්තු සුන් කරමිනි. දෙපාර්ශ්වය අතර සාකච්ඡා පොදු එකඟතාවකට ගෙන ඒම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද දැඩි නම්‍යශීලීත්වයකින් යුතුව කටයුතු කළේ පක්ෂය සමගි කරවීමේ වුවමනාවෙනි. මේ සාකච්ඡා වටයේ අවසන් සාකච්ඡාව ඉකුත් සතියේ සිකුරාදා රාත්‍රියේ කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි. රාත්‍රී 9.00ට පමණ ආරම්භ වූ සාකච්ඡාව මැදියම් රැය ද ඉක්මවා පැය දෙක තුනක් පැවැත්වුණු බව වාර්තා විය.  


දෙපාර්ශ්වයේ සාකච්ඡාවල මැදිහත්කරු වූයේ අතුරලියේ රතන හිමියන්ය. රතන හිමියන්ගේ මූලිකත්වයෙන් පැවැත් වූ මේ සාකච්ඡාවට ශ්‍රීලනිපය වෙනුවෙන් නිමල් සිරිපාල, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර සහ ඩිලාන් පෙරේරා යන ඇමැතිවරු සිවුදෙනා සහභාගි වූහ. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් සහභාගි වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල භූමිකාවක් නිරූපණය කරන බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා පමණි. දෙපාර්ශ්වය අතර පවතින අවිශ්වාසය දුරුකර ගැනීම සඳහා ශ්‍රීලනිපය පාර්ශ්වයෙන් අලුත් යෝජනාවක් ද ඉදිරිපත් කර තිබිණ. ශ්‍රීලනිපයත් ඒකාබද්ධයත් එක්ව පළාත් පාලන මැතිවරණයට අලුත් සන්ධානයක් යටතේ තරග කරන්නේ නම්, ඒ සන්ධානයේ සභාපතිකම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටත් එහි ලේකම්ධුරය, ඩලස් අලහප්පෙරුම හිටපු ඇමැතිවරයාටත් දෙන්නටය. එහෙත්, ඒකාබද්ධයෙන් ආ නියෝජිතයෝ දෙදෙනා ඊට ද එකඟ නොවූහ.  


ඔවුන් දිගින් දිගටම සිටියේ එක්වීමට නම්, ශ්‍රීලනිපය - එජාපය සමග කරගෙන යන හවුල් ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවය. ශ්‍රීලනිපයේ නියෝජිතයින්ගේ අදහස වූයේ ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත්, එජාපය තනිව ආණ්‍ඩුව කරගෙන යනු ඇති බවත්, එහිදී ජනාධිපතිවරයා තනිවන බවත්ය. ඒ නිසා ශ්‍රීලනිපය මේ මොහොතේ ආණ්ඩුවෙන් ඉවත්වීම ප්‍රායෝගික නොවන බව ඔවුන්ගේ තර්කය විය. මේ සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙනයාම ප්‍රයෝජනවත් නොවන බවට තීරණය කිරීමත් සමග සාකච්ඡාවද අතරමග නතර විය.


දින 6ක් තිස්සේ පැවැති දුම්රිය වර්ජනය ගිය සතියේ ජනජීවිතය අඩපණ කළේය. ගිය අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ද වැඩි අවධානයක් දුම්රිය වර්ජනය ගැන යොමු වූයේ මේ හේතුවෙනි. කැබිනට් රැස්වීම පැවැත්වුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. කැබිනට් රැස්වීමේ පළමුව සාකච්ඡාවට ගැනුණේද දුම්රිය වර්ජනයයි.   


‘‘වැඩ වර්ජනය ගැන සොයා බැලීමට ඇමැති අනුකමිටුවක් පත්කළ යුතු යැයි නිමල් සිරිපාල යෝජනා කළේය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ආචාර්ය සරත් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් සිවු පුද්ගල ඇමැති අනුකමිටුවක් පත්කරනු ලැබීය. රාජිත සේනාරත්නත්, අකිල විරාජ් හා රංජිත් මද්දුම බණ්ඩාරත්, ඊට පත් කරනු ලැබුවේද ජනාධිපතිවරයා විසිනි.  


‘‘දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරන්න එපා කියලා මම ඉල්ලුවා. වර්ජිත සේවකයින් අත්‍යවශ්‍ය සේවා නියෝග කඩකළොත් වෙනත් විකල්පයක් නැති නිසා, ගැසට් නිවේදනය විහිළුවක් බවට පත් වෙනවා කියල මම කිව්වා. එවැනි ගැසට් නිවේදනයක් නිකුත් කළ යුත්තේ විකල්ප ක්‍රියාමාර්ග ගැනත් අවධානය යොමු කරලා’’ යැයි රාජිත සේනාරත්න කීවේය.  
රාජිත කීවේ ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා 1980 නිකුත් කළ අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනයක් ද උදාහරණයට ගනිමිනි. ‘දුම්රිය අත්‍යවශ්‍ය සේවා ගැසට් එක නිකුත් කරලා ජනාධිපති ලේකම්, අගමැති ලේකම්, වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීම විහිළුවක්. ඒවායෙන් ජනතාව තේරුම් ගන්නවා රජය දුර්වලයි කියලා” යැයි රාජිත කියද්දී, නිමල් සිරිපාල කීවේ සාකච්ඡා පැවැත්වූවේ වෘත්තීය සමිතිවල අවශ්‍යතා මත බවය.  


ගිය සතිය වනවිට රට තුළ පොහොර හිඟයක් ද මතුව තිබිණි. මේ සම්බන්ධයෙන් විවිධ ප්‍රදේශවලින් ද වාර්තා ලැබිණි. කැබිනට් රැස්වීමේ දී පොහොර හිඟය ද මාතෘකාවක් බවට පත්වූයේ ඒ නිසාය. ජනාධිපතිවරයා කීවේ ‘පොහොර හිඟයට පිළියමක් ලෙස පොහොර පාකිස්තානයෙන් ගෙන්වීමට කටයුතු කර ඇති බවය. තමා පාකිස්තාන අගමැතිවරයාට ද කතා කර මේ ප්‍රශ්නය ගැන දැන් වූ බව ජනපති මෛත්‍රී කීවේය. ඒ අනුව අපනයන සීමා ඉවත් කර පොහොර ලබාදෙන්න පාකිස්ථානය එකඟ වූ බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ‘‘පසුගිය රජය ලබාදුන් පොහොර සහනාධාරය අපි නැති කළා. රජය එ් ගැන ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු යැයිද” සජිත් ප්‍රේමදාස කියද්දී, සරත් අමුණුගම කීවේ පොහොර සහනාධාරය යළි ලබාදිය යුතුයි කියාය. ලෝකයේ පොහොර හිඟයක් ඇති බව අගමැති රනිල් ද කීවේය.  


ක්ෂේත්‍ර නිලධාරීන්ට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකිවීම ගැන ද ඇමැතිවරු කතා කළහ. ක්ෂේත්‍ර නිලධාරින්ට මැතිවරණයට ඉදිරිපත් වීම නීතිය මගින් තහනම් කර ඇති බව සජිත් ප්‍රේමදාස කීවේය. ක්ෂේත්‍ර නිලධාරීන් මැතිවරණයට ඉදිරිපත් වුණත් නීතියට අනුව රාජ්‍ය සේවා තනතුර අහිමි වන බව දයාසිරි ජයසේකර කීවේය. නාම යෝජනා ලබාදීමේ දී එම ක්ෂේත්‍ර නිලධාරීන්ගේ නම් නාම යෝජනා ලැයිස්තුවේ තිබේ නම් එය ප්‍රතිකේෂ්ප කළ හැකි දැයි සජිත් ඇසුවේය. සුසිල් ප්‍රේමජයන්ත කීවේ එය එසේ කළ නොහැකි බවය.  


ජනාධිපතිවරයා තවත් යෝජනාවක් කළේය. ‘අපි පළාත් පාලන මැතිවරණ පනතට සංශෝධන ගෙන්න ඕන. 4000ක් පමණ වූ මන්ත්‍රී සංඛ්‍යාව 8000 දක්වා වැඩි කිරීම නිසා ජනතාව අපට ශාප කරයි. මන්ත්‍රීධුර සංඛ්‍යාව සියයට 50කින් වත් අඩු කළ යුතු යැයි ජනාධිපතිවරයා කීවේය.


සහල් ප්‍රශ්නය ද කැබිනට් මණ්ඩලයේ කතාබහට ලක්විය. ජනතාව ආනයනික සහල් පරිභෝජනය නොකරන බව කීවේ සජිත් ප්‍රේමදාස ය. ජනාධිපතිවරයා කීවේ දැන් දේශීය විදේශීය කියල දෙයක් නෑ. විදේශීය රටවලින් ගෙන්වන හාල් ද පැකට් කර දේශීය හාල් ලෙස අලෙවි කරන බවය. මහින්ද අමරවීර ද ජනාධිපතිවරයාගේ අදහස් අනුමත කළේය.  


පළාත් පාලන මැතිවරණ සූදානම ගැන සාකච්ඡා කරන්නට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ගිය සති අන්තයේ විශේෂ හමුවක් ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ හමුවට නිමල් සිරිපාල ද සිල්වා ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, අනුර යාපා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, තිලංග සුමතිපාල යන පිරිසද සහභාගිවූහ. පුංචි ඡන්දයට ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයෙන්ද ලකුණ ගැන සාකච්ඡාවට ලක්විය. කිහිප දෙනකු බුලත් කොළය යටතේ තරග කිරීම සුදුසු බව කියද්දි තවත් කිහිප දෙනකු කීවේ අත ලකුණ වඩාත් සුදුසු බවය. ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානය අත ලකුණින් තරග කිරීම සුදුසු බව තිලංග සුමතිපාල ද කීවේය. “ඔබතුමා ජනාධිපතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත් වෙද්දි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා තරග කළේ සන්ධානයේ බුලත් කොළය ලකුණින් එහිදී බුලත් කොළය ලකුණ ගැන සුළු ජාතීන්ගේ විශ්වාසය බිඳ වැටුණා. අපි අත ලකුණින් තරග කිරීම වඩාත් සුදුසුයි යැයි තිලංග අදහස් දැක්වීය. නිමල් සිරිපාල කීවේ තොණ්ඩමන්ගේ ලංකා කම්කරු කොංග්‍රසයත් සන්ධානය සමග එක්ව තරග කරන නිසා අත ලකුණින් ඉල්ලනවට ඔහු කැමැති වෙන එකක් නැහැ කියාය. ඡන්දය පැවැත්වෙන පළාත් පාලන ආයතන 93න් 60කට බුලත් කොළය ලකුණින්ද 30 කට අත ලකුණින්ද ඉතිරි තුනට ස්වාධීනවද තරග කිරීම ගැන එහිදී එකඟතාවකට පැමිණියේය.   


ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය එකතු කිරීමේ සාකච්ඡා ගැනද ජනාධිපතිවරයා පැහැදිලි කළේය. ඒකාබද්ධ විපක්ෂය සමඟ පැවැති සාකච්ඡාවලදී ඉදිරිපත් වුණ අදහස වුණේ පොදුජන එක්සත් පෙරමුණ යටතේ පුටුව ලකුණින් තරග කරන්න. ඒකේ සභාපති මහින්ද රාජපක්ෂ මහලේකම් දි. මු. ජයරත්න මට ඕන වුණේ පක්ෂය සමගි කරන්න නිසයි මම කොන්දේසි විරහිතව එකතු වෙන්න කැමති වුණේ යැයි ජනාධිපතිවරයා කීය. ඒකාබද්ධ විපක්ෂයේ වැඩි දෙනෙක් එකතු වෙන්න කැමතියි. සාකච්ඡා අසාර්ථක වුණේ ජී.එල්. පීරිස් සහ බැසිල් රාජපක්ෂ නිසා යැයි තිලංග කීවේය. ජනාධිපතිවරයා කීවේ පක්ෂය එකතු වෙනවා නම් ලකුණ මොකක් වුණත් කමක් නෑ කියාය.