විස්සට එරෙහිව ආණ්ඩුවේ ‘‘ගිනි පුපුරු’’ විපක්ෂයත් අලුත් පොටකට එයි


  • ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීන්ගේ සමිතියක් 
  • ආණ්ඩුවට සජිත්ගෙන්  දෝස්මුරයක්

 

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලන කරළියේ ඇතිව තිබූ උණුසුම් කතාබහ ගිය සතිය වනවිට තරමක් යටපත් වූයේ හදිසියේම ඇතිවූ කොවිඩ් දෙවැනි රැල්ලක් හේතුවෙනි. කොවිඩ් 19 පළමු රැල්ල ලොව අන් රටවලටත් කලින් මේ රට තුළ මැඩපැවැත්වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවේත්, ත්‍රිවිධ හමුදාවේ පොලිසියෙ හා සෞඛ්‍ය අංශවල කැපවීම හේතුවෙන් බව අවිවාදිතය. කොරෝනා පාලනය කළ ලොව රටවල් අතර දෙවැනි තැනට ශ්‍රී ලංකාව පත්වූයේ එහෙයිනි. එසේ වුවද ගිය සතියේ දී දෙවැනි කොවිඩ් රැල්ලක් මතුවූයේ රටටත්, ආර්ථිකයටත් දරුණු පහරක් එල්ල කරමිනි. ඒ නිසාම ආණ්ඩුව ද දෙවැනි කොවිඩ් රැල්ල මැඩපැවැත්වීමට දැඩි වෙහෙසක් දරමින් සිටී. 20 ගැන කතා බහ ද තරමක් යටපත්වී ඇත්තේ රටේම අවධානය කොවිඩ්වලට යොමුව ඇති බැවිනි. එසේ නමුත් 20 වැනි සංශෝධනය ද මීළඟ පාර්ලිමේන්තු සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ගිය සඳුද‌ා හැන්දෑවේ රැස්වූවේ සතියේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවෙනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂ රැස්වීම කැඳවනු ලැබුව ද ජනාධිපතිවරයාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් ඊට සහභාගි නොවූහ. 


ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් කොරෝනා රෝගීන් වාර්තා වීමත් සමග හදිසි අවශ්‍ය කටයුතු සිදුකළ යුතුව තිබූ බැවින් ඔවුහු දෙදෙනාම ආණ්ඩු පක්ෂ රැස්වීමට සහභාගි නොවූහ. ඒ නිසා ආණ්ඩු පක්ෂ රැස්වීම සවස 6.30 ට පමණ ආරම්භ වූයේ දිනේෂ් ගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙනි. සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු සහ කථික ලැයිස්තුව ගැන කතාබහ කිරීමෙන් අනතුරුව සරත් වීරසේකර රාජ්‍ය ඇමැතිවරයා විසිවැනි සංශෝධනය ගැන විමසීමක් කළේය. ‘මොකක්ද මේ 20 වැනි සංශෝධනය? අපෙන් 20 ගැන බොහෝ අය අහනවා. මම නම් ඒ ගැන දන්නේ නැහැ. අපව 20 වැනි සංශෝධනය ගැන දැනුවත් කරන්න. 19 වැනි සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන්නු එකම එක්කෙනා මම. සමහර සංවිධාන අපට 20 ට විරුද්ධ වෙන්න කියලත් කියනවා.’ යැයි සරත් වීරසේකර කීවේය. දිනේෂ් සහ ජොන්ස්ටන් කීවේ මේ ගැන අගමැතිවරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවය.


විස්සට ඡන්දය නොදෙන බව විජයද‌ාස කියයි.


ආචාර්ය විජයද‌ාස රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ සිටිය ද 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් සිටින්නේ ආණ්ඩුවේ මතයට පරස්පර මතයකය. ඔහු ගිය සතියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට 20 ගැන සඳහන් කරමින් දීර්ඝ ලිපියක් යැව්වේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ද පිටපතක් යොමු කරමිනි. ඔහු කියා තිබුණේ 20 වැනි සංශෝධනයේ සඳහන් කරුණුවලට හෘදය සාක්ෂියට එකඟව ඡන්දය දිය හැකි ද යන්න ගැන ගැටලුවක් පවතින බවය. විජයද‌ාස මන්ත්‍රීවරයා ගිය සතියේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ද සහභාගි නොවීය. ගිය සතියේ පමණක් නොව ආණ්ඩු පක්ෂයේ කිසිදු රැස්වීමකට ඔහු පසුගිය කාලයේ සහභාගි නොවූ බව ද වාර්තා විය.


විස්ස ගැන මන්ත්‍රීන් දැනුවත් කරයි.


විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කරන්නැයි ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම ඉල්ලීමක් කළහ. ආණ්ඩු පක්ෂ රැස්වීම්වල පමණක් නොව ඉන් පරිබාහිරවද මෙම ඉල්ලීම ඉදිරිපත් විය. ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගිය සිකුරාද‌ා (09) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අරලියගහ මන්දිරයට කැඳවීය. ඒ 20 වැනි සංශෝධනය ගැන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම වෙනුවෙනි. මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ජනාධිපති නීතිඥ අලි සබ්‍රි යන ඇමැතිවරුන් දෙදෙනාට ඒ ගැන පැහැදිලි කිරීමේ වගකීම පවරා තිබිණි.


 ගමින් ගම වැඩසටහන යටතේ ඉකුත් සතියේ සිකුරාදා ජනාධිපතිවරයා විල්ගමුව හිඹිලියාකඩ ගමට ගියේය. ජනාධිපතිවරයා සමග ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රෝහණ දිසානායක, නාලක කෝට්ටේගොඩ යන මැති ඇමතිවරු ද ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ප්‍රමුඛ නිලධාරීහු පිරිසක් ද ඊට එක්ව සිටියහ. ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු ගණනාවකට එවෙලේම විසඳුම් දුන් ජනාධිපතිවරයා තවත් ගැටලු ගණනාවක් කඩිනමින් විසඳන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


මේ අතර කොවිඩ් වයිරසය මර්දනය කිරීමේ වැඩපිළිවෙළ ගැන සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගිය සඳුදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු ද ඊට සහභාගි වූහ. කොවිඩ් වයිරසය හමුවේ රටේ සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර රට පුරා ඇඳිරි නීතිය නොදමා අවශ්‍ය ප්‍රදේශවල පමණක් ඇඳිරි නීතිය දැමීමට එහි දී තීරණය විය.


කොවිඩ් 19 වයිරසය පැතිර යාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඇතැමුන්ගේ නොසැලකිලිමත් හැසිරීම් රටාවය. පසුගිය කාලයේ ඇතැමුන් සෞඛ්‍ය නිර්දේශ පවා නොතකා කටයුතු කරන බවක් දක්නට ලැබිණි. කොවිඩ් දෙවැනි රැල්ල එන්නට පෙර වනජීවී ඇමැති සී.බී. රත්නායක උතුරේ සංචාරය කළේය. රාජ්‍ය නිලධාරින් මෙන්ම සාමාන්‍ය ජනතාව ද බොහෝදෙනකු මුඛ ආවරණ ද නොපැළඳ සිටිනු දැක ඇමැතිවරයා කීවේ ඔයාලා මේක සැහැල්ලුවට ගන්න එපා. කොරෝනා යළි ආවොත් මොකද කරන්නේ යනුවෙනි.


පසුපෙළ මන්ත්‍රීහු අසරණ සරණ සුබසාධක සමිතියක් හදති


ආණ්ඩු පක්ෂයේ තනතුරු නොමැති පසුපෙළ මන්ත්‍රීවරු විශාල පිරිසක් සිටිති. මේ අයට ඇතැම් වගකීම් හෝ නොපැවරීම ගැන ඔවුන් සිටින්නේ අසතුටිනි. ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සභාපති ධුර හෝ ඔවුන්ට දෙන්නැයි ඔවුන්ගේ එක ඉල්ලීමකි. ගිය සතියේ මේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු විවේකාගාරයේ දී අවස්ථා දෙක තුනකදීම හමුවූහ. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, යූ.කේ. සුමිත්, බදුල්ලේ තිස්සකුට්ටිආරච්චි, ජගත් කුමාර, නලින් ප්‍රනාන්දු, අජිත් රාජපක්ෂ ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ඒ සඳහා මූලිකත්වය ගෙන සිටියහ. මේ පිරිස ගිය බදාදා පාර්ලිමේන්තු මන්ත්‍රී විවේකාගාරයේ දී හමුවී ඔවුන්ට ඇති ප්‍රශ්න ගැන ද සාකච්ඡා කළහ. සමහරුන් කියා සිටියේ තමන්ගේ කාර්යමණ්ඩලය පවා තවම හරියට පත්කර ගැනීමට නොහැකි වී ඇති බවය. ඒ අතර තවත් මන්ත්‍රීවරයකු කීවේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් දිස්ත්‍රික්කයේ කටයුතු සියල්ල අතට ගෙන ඇති බැවින්, පසුපෙළ මන්ත්‍රීවරුන්ට කරන්න දෙයක් නැති බවය. බදුල්ලේ චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා කීවේ අපිට මොන ප්‍රශ්න තිබුණත් අපි ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිනවා. මම ශ්‍රී ලංකා එකේ මන්ත්‍රීවරයෙක්. හැබැයි අපි ආණ්ඩුව වෙනුවෙන් හැමවිටම පෙනී ඉන්නවා යනුවෙනි. විපක්ෂයෙන් එන අභියෝගවලට කණ්ඩායමක් ලෙස එකට මුහුණ දෙන බව ප්‍රමිත කීවේය. තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කීවේ පසුපෙළ මන්ත්‍රීවරුන් එකතුවී සිටින්නේ ආණ්ඩුව ආරක්ෂා කිරීමට වගේම ජනතාවගේ ප්‍රශ්නත් කතා කරන්නයි යනුවෙනි. පසුපෙළ මන්ත්‍රීවරුන් කතාබහ කරන අතරේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද එතැනින් යන්නට ආවේය. ‘‘මොකද කට්ටිය එකතුවෙලා’’ අගමැතිවරයා පැවසීය. සර් අපි මේ අසරණ සරණ සුබසාධක සමිතියක් හැදුවා යැයි තිස්සකුට්ටිආරච්චි කියද්දී අගමැතිවරයා ද කීවේ ‘‘බොහොම හොඳයි මොනව හරි තිබ්බොත් මටත් කියන්නකෝ’’ යනුවෙනි.


පසුපෙළ මන්ත්‍රීවරු සභානායක දිනේෂ් ගුණවර්ධනත් ආණ්ඩු පක්ෂ සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දුත් හමුවී සිය ගැටලු ගැන සාකච්ඡා කළෝය. මේ අතර බැසිල් රාජපක්ෂ හිටපු අැමැතිවරයා ද හමුවී තම ගැටලු ගැන සාකච්ඡා කරන්නට පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇති අතර ජගත් කුමාර මන්ත්‍රීවරයා බැසිල්ට ද එවෙලේම දුරකථන ඇමතුමක් ගෙන වෙලාවක් ලබාගත්තේය.


මන්ත්‍රීවරුන්ට බන්දුලගෙන් මුහුණු ආවරණ


කොවිඩ් 19 වයිරසය යළි ව්‍යාප්තවීම හේතුවෙන් මුහුණු ආවරණ මිල ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. ඊට පිළියමක් ලෙස දේශීය ආයතනයක් ලවා මුහුණු ආවරණ නිෂ්පාදනය කර වෙළෙඳපොළට අඩු මිලට ලබාදීමේ වැඩපිළිවෙළක් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ආරම්භ කර ඇත. ඒ සඳහා රාජ්‍ය වානිජ සංස්ථාව ද මැදිහත්වී සිටී. වෙළෙඳ පොළේ රුපියල් 50 ක් 60 ක් වැනි මිලකට අලෙවි වන මුහුණු ආවරණයක් රුපියල් 20 ක සිල්ලර මිලට ලබාදීම එමගින් සිදුවේ. මේ වැඩපිළිවෙළ හඳුන්වාදෙමින් බන්දුල ගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ගියේ සිය වාහනයේ මුහුණු ආවරණ පෙට්ටියක් ද පටවා ගෙනය. එය ගෙනගොස් පාර්ලිමේන්තු සේවකයකුට දුන්නේ සෑම මන්ත්‍රීවරයෙකුටම මුඛ ආවරණ 5 බැගින් නොමිලේ බෙදාදෙන ලෙස දන්වමිනි.


ජී.එල්. ගමට යයි


අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනයට දිවයිනේ නොයෙක් පළාත්වලින් විවිධ ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලා එන පිරිස තුන්දහසක් පමණ වේ. මෙය නිලධාරීන්ට පමණක් නොව සේවය අපේක්ෂාවෙන් එන මහජනතාවට ද බරපතළ ගැටලුවකි. මේ නිසා අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඒ සඳහා විසඳුමක් ලෙස තීරණය කළේ නිලධාරීන් ද රැගෙන දිස්ත්‍රික්කවලට ගොස් ඒ පළාත්වල විසඳිය හැකි ප්‍රශ්න එවෙලේම විසඳන්නටය. ඒ අනුව එහි පළමු වැඩපිළිවෙළ ගිය සතියේ හම්බන්තොටින් ආරම්භ කළේය. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති මහජන හමුවට නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක යන මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් ද සහභාගි වූහ. සෙනසුරාදා හම්බන්තොටට ගිය ජී.එල්. ඉරිදා ගාල්ලේදී ද ඒ ආකාරයේ මහජන දිනයක් පැවැත්වීය. ලබන සතියේ ඔහු පොලොන්නරුවට යන්නට සැලසුම් කර ඇත.


සමගි ජන බලවේගයේ ‘‘දිනමු’’ කොරෝනාවෙන් පසුබසී


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම මේ සතියේත් පැවැත්වුනේ පාර්ලිමේන්තු කමිටු ශාලාවකදීය. එහිදී ආණ්ඩුවේ ක්‍රියා කලාපය පිළිබඳ මෙන්ම කොරෝනා යළි මතුවීම පිළිබද දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය.


‘දැන් රට යළිත් අවදානමකට ලක්වෙලා තියෙන්නේ. මේ ගැන අවධානය යොමු කළ යුතුයි”‍ විපක්ෂ නායක සජිත් ප්‍රේමද‌ාස කරුණු දැක්වූවේය.


ඔබතුමා කොරෝනා පළමු රැල්ල ඇතිවෙන්න කලින්ම පාර්ලිමේන්තුවේදී මේ ගැන අවධානය යොමු කළා. ඒත් ආණ්ඩුව ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් යොමු කළේ නෑ, ඒ නිසා රට මාස ගණනාවක් වසා දැමීමට සිදුවුණා. දැන් දෙවැනි රැල්ලත් එන්න පටන් අරගෙන තියෙනවා. මෙවරත් ආණ්ඩුව මේ ගැන අවධානයක් යොමු කරන්නේ නෑ”‍ ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයා කීවේය.


හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙහි පැමිණියේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වෙමින් තිබෙන අතරවාරයේදීය. ඔහු පැමිණීමත් සමග ‘‘දිනමු’’ රැස්වීම් මාලාව ගැන අවධානය යොමු කළේය. සති අන්ත තුනක දී දිස්ත්‍රික්ක හයක් ආවරණය කරමින් ‘‘දිනමු’’ කමිටු රැස්වීම් පවත්වා තිබීම නිසා මෙය ඉදිරියට ගෙන යන ආකාරය ගැන අවධානය යොමු විය.


‘මන්ත්‍රීවරු සති අන්ත තුනක දී රැස්වීම සිය ගණනක් කරලා තරමක් තෙහෙට්ටුවෙන් ඉන්නේ. ඒත් මේක සාර්ථක නිසා හැමෝගෙම මහන්සිය නැතිවෙලා තියෙන්නේ ”‍හරීන් කීවේය.


‘මේක සාර්ථක නිසා හැම මන්ත්‍රීවරයෙක්ම, පාක්ෂිකයෙක්ම හරිම උනන්දුවෙන් මේකට සහභාගී වෙනවා. හදිසියේවත් මේක නතර කළොත් අපේ අයගේ උනන්දුව නැති වෙන්න පුලු‍වන්”‍ මන්ත්‍රීවරයෙක් කීවේය.
‘අපි මුලින්ම මිනිස්සුන්ගේ ජීවිත ගැන අවධානය යොමු කරන්න ඕනැ. ඒ නිසා දිනමු කමිටු රැස්වීම් කල් දාලා මීට වඩා වැඩි ජවයකින් ඉදිරියට යමු ”‍සජිත් කීවේය. මේ හා සමගාමීව විපක්ෂ නායකවරයා විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන පවත්වන රැස්වීම් මාලාව ද සති කිහිපයකට කල් දැමීමට තීරණය විය.


විගණනය ගැන සජිත්ගේ අවධානය


කොරෝනා අවදානම අතරවාරයේදී විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන යාමට ආණ්ඩුව ගන්නා උත්සාහය ගැනත් සියලු‍ දෙනාගේම අවධානය යොමුවී තිබුණේය. විසි වැනි සංශෝධනය නිසා විගණනයට කිසිදු බලපෑමක් නොවන බවට අගමැතිවරයා ඉදිරිපත් කර තිබූ නිවේදනය ගැනත් මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුව තිබුණේය


‘විමල් විරවංශ මන්ත්‍රීවරයා විගණනය අවශ්‍යයයි, විගණන කොමිසම අවශ්‍යයයි කියලා කියනවා. ඒක කියලා ලියුමකුත් දාලා තියෙනවා. හැබැයි ඒ ලියුමට හැරෙන තැපෑලෙන් අගමැතිවරයා නිවේදනයක් නිකුත් කරලා විගණන කොමිසම අවශ්‍ය නැති බව කියලා තියෙනවා. ආණ්ඩුවේ බෙදීමක් තියෙන බව මේවාගෙන් හොඳටම පැහැදිළි වෙනවා. ඒ වගේම ආණ්ඩුවේ ඉන්න ව්‍යවස්ථා විශාරදයෙක් වන විජයදාස රාජපක්ෂත් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් විසි වැනි සංශෝධනයට විරෝධය දක්වලා. ඒ විතරක් නෙමෙයි, මේක මහා භයානක සංශෝධනයක් බවත් කියලා තියෙනවා”‍මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා කීවේය.
විගණනය ගැන සමගි ජන බලවේගයේ අවධානය අඛණ්ඩව යොමු කරමින් විපක්ෂ නායකවරයාද මහින්ද රාජපක්ෂගේ නිවේදනයට පසුව නිවේදනයක් නිකුත් කළේය


‘සත්‍යවසන් කරමින් මහජනතාව නොමග යැවීමට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රාජ්‍ය විගණනය සම්බන්ධයෙන් කරුණු ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනය නොකරන ලෙසට අගමැතිවරයාටත්, රජයටත් අවධාරණය කරනවා. සැබෑ අනතුර නිවේදනයක් තුළින් වසන් කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය ගැන කනගාටු වෙනවා. රාජ්‍ය විගණනය දුර්වල කිරීම තුළින් පාර්ලිමේන්තු මූල්‍ය පාලනය අඩපණ කිරීමට ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරාජය කිරීමට සියලු‍ම බලවේගවලට ආරාධනා කරනවා”‍ විපක්ෂ නායකවරයා සිය නිවේදනය මගින් සඳහන් කළේය.


කොරෝනා පොකුර හිස එසවීමත් සමග සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඇඳන්, වෛද්‍ය උපකරණ, ඖෂධ හිඟය මෙන්ම මානව සම්පත් සම්බන්ධයෙන් සහ කළමනාකරණය සම්බන්ධයෙන් ද ගැටලු රැසක් පවතින බව සජිත්ට වාර්තා විය. විශේෂයෙන්ම ඔහු පාර්ලිමේන්තුවේ දී (07) මේ ගැන අවධානය යොමු කළේය.
‘විශේෂයෙන්ම මිනුවන්ගොඩ, දිවුලපිටිය ප්‍රදේශයේ කෝවිඩ් පොකුර අද පෙරවරුව වෙනකොට 850 පැනලා තිබෙනවා. එය එන්න එන්නම වැඩි වෙනවා. අපේ බලාපොරොත්තුව මේක එක පොකුරකින් (ක්ලස්ටර් එකකින්) සමාජ ව්‍යාප්තියකට යෑම නතර කිරීම. ඒ නිසා මම විශේෂයෙන්ම මතක් කරන්නට කැමතියි මේ වෙනකොට බරපතළ ප්‍රශ්න ගණනාවක් උද්ගත වෙලා තිබෙනවා.


‘‘හොඳට මතක තබාගන්න ඕනෑ මේ අටසිය ගාණ පළමු ස්පර්ශකයන්ගේ පමණයි. එතකොට දෙවැනි, තෙවැනි ස්පර්ශකයන් තවම හඳූනා ගැනීම සහ පරීක්ෂා කිරීම ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ වගේම යටිතල පහසුකම් වලත් පිරිස් කළමනාකරණයේත් මානව සම්පතේත් අඩුපාඩුකම් තිබෙනවා. ඒ වගේම පරීක්ෂණ කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල හිඟයකුත් තිබෙනවා.”‍


සජිත් සිය අවධානය යොමු කළේ එසේය.


ඒ එක්කම ඔහු කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ විශේෂ කාරණාවක් සිහිපත් කළේය.


මේ පළවෙනි රෝගියාව හඳුනාගත්තේ බෝධික සමරසේකර කියන ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු කණ්ඩායමක්. දැන් ඒ සෞඛ්‍ය අංශයේ සියලු‍ දෙනාම හඳුන්වන්නේ සුව විරුවන් හැටියට. දැන් මේ සුව විරුවන්වත් නිරෝධායනය කරනකොට ඒ අයට වෙනමම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙලා නෑ. ඒ අයවත් මේ ඔක්කොම එකට දාලා තමයි නිරෝධායනය කරන්නෙ. ඒ සුව විරුවන්ගේ ඉල්ලීමක් තියෙනවා එහෙම කරන්න එපා, ඒ අයගේ නිරෝධායනය වෙනමම ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්නය කියලා. ඒ වගේම මේ සුව විරුවන්ට ලබා දෙනවයි කියපු දීමනා ටික ලබා නොදීම තුළ ඒ අය මානසික වශයෙන් යම් පසුබෑමකට ලක්වෙලා තිබෙනවා.’ සජිත් කීවේය.

 

 

-ගජබා-