විස්ස දිනවූ ආණ්ඩුවේ මෙහෙයුම


ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් ඉරිදා හැන්දෑවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණේ 20 වැනි සංශෝධනය සම්බන්ධ විවාදය ගැන සාකච්ඡා කිරීම වෙනුවෙනි. දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නිමල් සිරිපාල, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, ජනක තෙන්නකෝන්, බන්දුල ගුණවර්ධන ඇතුළු ඇමැතිවරු පිරිසක් ඊට සහභාගි වී සිටියහ. 20 වැනි සංශෝධනය පිළිබඳ විවාදයේ කථිකයන් පත්කිරීම ඇතුළු කාරණා ගැන සාකච්ඡා කරගෙන යද්දී පැයකට පමණ පසුව බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කළ කතාවකින් හැමෝම කලබලයට පත්වූහ.


මම මේ රැස්වීමට එන්න ටිකක් ප්‍රමාද වුණේ පීසීආර් පරීක්ෂණයක් කර ගන්න ගිය නිසා. මම හම්බ වෙන්න ආපු ආයෝජකයන් පිරිසකගේ කෙනෙකු කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයෙක්. ඒ හින්දා මාත් පීසීආර් පරීක්ෂණයක් කර ගත්තා යැයි බන්දුල කීවේය. එතකොට ඔබතුමාගේ ඒ පීසීආර් පරීක්ෂණයේ වාර්තාව ආවද? විමල් වීරවංශ ඇමැතිවරයා අසා සිටියේය. නැහැ. හෙට තමයි ලැබෙන්නෙ යැයි බන්දුල කියද්දී විමල් හිනාවෙමින් ඇසුවේ එහෙනම් මොකටද මෙතනට ආවේ යනුවෙනි. ඒත් සමගම හැමෝම කලබල වූයේ වාර්තාවේ ප්‍රතිඵලය කුමක්දැයි නොදැන සිටි බැවිනි. එහෙම නම් අපි සාකච්ඡාව නවත්වමු කියමින් සියලු දෙනා පිටව ගියේ බන්දුලගේ පීසීආර් වාර්තාව නෙගටිව් විය යුතු යැයි දෙවියන් සිහිපත් කරමිනි. කෙසේ හෝ පහුවදා වාර්තාව ලැබුණ අතර ඉන් කියැවුණේ බන්දුලගේ පීසීආර් පරීක්ෂණය නෙගටිව් බවය.


විස්සට එරෙහි මතවාද සමතයකට පත්කර ගනියි


විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත වීමත් සමග ඒ පිළිබඳ හාහූව අවසන්ව තිබේ. මෙරට පළමු විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධනට වඩා වගන්ති කිහිපයකින් බලය අඩු වුවද ශ්‍රී ලංකාවට යළිත් පූර්ණ විධායක බලැති ජනාධිපතිවරයකු පත්ව සිටියි.


20 වැනි සංශෝධනයේ ඇතැම් වගන්තිවලට එරෙහිව ආණ්ඩු පක්ෂයේ පාර්ශ්වයන් මුල පටන්ම විරෝධයක් මතු වුණේ ජාතික සංවිධාන සමග දේශපාලනය කරන මන්ත්‍රීවරුන් මගිනි. එමගින් විපක්ෂය නැගූ හඬ යම් තරමකට සමනය වූයේ ආණ්ඩු පක්ෂයෙන්ම නැගෙන විරෝධයක් නිසාය. ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා දායක වූ ගුණදාස අමරසේකර වැනි අයද දැරුවේ විස්සට එරෙහි ස්ථාවරයකි.


ඉකුත් සඳුදා මේ පිළිබඳව කතා කරන්නට ජාතික සංවිධාන නියෝජිතයන් අභයාරාමයට රැස්වූයේ මැති ඇමැතිවරුන් පිරිසක් ද සමගය.


ඇල්ලේ ගුණවංශ, මැදගොඩ අභයතිස්ස, බෙංගමුවේ නාලක සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද යන හිමිවරුන් බැහැ දැකීමට දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, වාසුදේව නානායක්කාර, විදුර වික්‍රමනායක යන මැති ඇමැතිවරු අභයාරාමයට ගියහ. එහිදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙහිදී කතාබහ වූයේ පනතට පක්ෂව ඡන්දය දෙන අතරතුර එයට ඵලදායී සංශෝධන කීපයක් ද ඇතුළත් කළ යුතු බවය. මෙම රැස්වීම පවත්වාගෙන යන අතරතුර අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද විමල් වීරවංශ මහතා ද එහි පැමිණියහ. එහිදී මහින්ද කීවේ කැබිනට් එක තියෙනවා. එතැනදි තවත් සංශෝධන එකතු කරන්න පුළුවන් කියාය. එයට එකඟ වූ පිරිස රැස්වීම අවසන් කළහ.


20ට වගන්ති තුනක් ඇතුළත් කළ බව ජනපති කැබිනට්ටුවට කියයි


සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි ඉකුත් සඳුදා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වූවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. විසි වැනි ආණ්ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ මත සිදු කරන සංශෝධන ඇතුළත් වාර්තාවක් ද අධිකරණ ඇමැති අලි සබ්‍රි විසින් එහිදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය. එය අනුමත කිරීමෙන් අනතුරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් සංශෝධන තුනක් ගැන කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේය. ඇමැති මණ්ඩලය 30කට සීමා කිරීම, විගණන පනත ක්‍රියාත්මක කිරීම සහ හදිසි පනත් ගෙන ඒමේදී දින 14කින් පසුව ගෙන ඒම යන වගන්ති ඒ ආකාරයෙන්ම 20 වැනි සංශෝධනයට ඇතුළත් කරන බව ජනාධිපතිවරයා කීවේය.
ඒ අනුව මෙම වගන්ති තුන 20 වැනි සංශෝධනයට ඇතුළත් කරන්නට ඇමැති මණ්ඩලය තීරණය කළේය. ඒ අතර හදිසි පනත් ලෙස ගෙනෙන ජාතික ආරක්ෂාවට හා ආපදා අවස්ථාවලට අදාළ පනත් කෙටුම්පත් දින 7ක් ඇතුළත දී ගෙන ඒමට හැකි වන සේ සංශෝධනයක් ඇතුළත් කිරීමට ද එහිදී තීරණය විය.


ආණ්ඩු පක්ෂ රැස්වීම


කැබිනට් රැස්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ රැස්වීම ආරම්භ විය. එහි මුලසුන ගත්තේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාය. පාර්ලිමේන්තුවේ සතියේ කටයුතු මෙන්ම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ විවාදය ගැන ද එහිදී සාකච්ඡා විය. පසුපෙළ මන්ත්‍රීවරුන් වැඩි දෙනකු කීවේ තමන්ට ද විවාදයේදී කතා කිරීමට අවශ්‍ය බවය.
20 ගැන මහාචාර්ය ජී.එල්. පීරිස් අැමැතිවරයාට පැහැදිලි කරන්නැයි අගමැතිවරයා ආරාධනය කළේය. ඒ අනුව ජී.එල්. විස්ස ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති තීන්දුව ගැනත් කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කරන සංශෝධන ගැනත් කැබිනට් මණ්ඩලය අලුතින් වගන්ති තුනක් ඇතුළත් කිරීමට ගත් තීරණය ගැනත් පැහැදිලි කළේය. මැති ඇමැතිවරුන් සියලු දෙනා කීවේ 20ට සම්පූර්ණ සහාය දෙන බවත් පක්ෂව ඡන්දය දෙන බවත්ය. ලසන්ත අලගියවන්න රාජ්‍ය ඇමැතිවරයාගේ උපන් දිනය එදින යෙදී තිබූ බැවින් අගමැතිවරයා ඇතුළු පිරිස උපන් දින කේක් කපා උපන් දිනය සැමරූහ.


මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අඟහරුවාදා උදේ පාර්ලිමේන්තුවේ කාමර අංක 1දී වෙනම රැස්වූහ. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. අගමැතිවරයා 20 වැනි සංශෝධනය ගැන පැහැදිලි කිරීමෙන් අනතුරුව මැති ඇමැතිවරුන්ට ද අදහස් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලැබිණි. අනතුරුව ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයා නැගී සිටියේය. කණ්ඩායම් රැස්වීම තියෙන්නේ අපේ අයට කතා කරන්න. නමුත් සමහර අය එළියේ ගිහිනුයි කතා කරන්නේ. මෙහෙ වචනයක්වත් කතා කරන්නේ නෑ. අපටත් පුළුවන් එළියේ ගිහින් කතා කරල වීරයො වෙන්න යැයි එල්ලාවල මන්ත්‍රීවරයා කීවේ 20ට එරෙහිව එළියේ හඬ නගන අයට පිළිතුරු දෙමිනි. පොදුජන පෙරමුණට සම්බන්ධ සෙසු පක්ෂ වන විමල්, උදය යන ඇමැතිවරුන්ගේ පක්ෂවල මන්ත්‍රීවරුත් එම රැස්වීමට සහභාගි නොවීම ද විශේෂත්වයකි. අනතුරුව කතා කළේ ජගත් කුමාර මන්ත්‍රීවරයාය. ඔහු කීවේ ආණ්ඩුවේ ඉඳන් ආණ්ඩුවට ගහන අයට එරෙහිව පියවරක් ගත යුතු බවය. ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා ද එහිදී කතා කළේය. මම කතා කළේ ආණ්ඩුවට විරුද්ධව නොවෙයි. ජනතාවගේ පැත්තෙනුයි මම කතා කළේ. ඔහු කීවේය.


අධිකරණ ඇමැති අලි සබ්‍රි ද අනතුරුව කතා කළේය. දැන් වෙලා තියෙන්නේ ව්‍යවස්ථාවේ තියෙන හොඳ දේවල් එයාලගේ. නරක දේවල් ම​ගේ. මේක මාර වැඩක්නේ. අලි සබ්‍රි කීවේ එළියේ විවේචනය කරන ආණ්ඩුවේම අයට උත්තර දෙමිනි. මම දැන් අවුරුදු 50ක් දේශපාලනය කරනවා. ඒ කාලෙ ඉඳලම ඔය දේවල් අත්විඳල තියෙනවා යැයි අගමැතිවරයා කීවේය. 20 වැනි සංශෝධනයට සියලු දෙනාම ඡන්දය දිය යුතුය යන යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා විසිනි. මේජර් ප්‍රදීප් උඳුගොඩ මන්ත්‍රීවරයා එය ස්ථිර කළේය.
පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී රිෂාද් බදියුදීන්ගේ ප්‍රශ්නයද කතාබහට ලක්විය. රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් දී තිබුණද ඔහු අත්අඩංගුවට ගැනීම දවස් කිහිපයක්ම කල් ගියේය. ඒ හේතුවෙන් ආණ්ඩුවටද චෝදනා එල්ල විය. පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ජගත් කුමාර මන්ත්‍රීවරයා ඒ ගැන අගමැතිවරයාගෙන් විමසීය. ‘අගමැතිතුමනි, රිෂාද් බදියුදීන් සඟවාගෙන ඉන්නෙ රාජපක්ෂවරුන් කියලා සමහරු කියනවා. අපිත් කවදාවත් ඒක විශ්වාස කරන්නෙ නෑ. යැයි ජගත් කුමාර කීවේය. ‘අපි කවුරුවත් හංගගෙන ඉන්නෙ නෑ. ඒ වගේම අපි නීතිය අතට අරන් කාටවත් දඬුවම් කරන්නෙත් නෑ. ඔය දැන් අගේට අල්ලගෙන තියෙන්නෙ. අගමැති මහින්ද පිළිතුරු දුන්නේය.
ඊළඟ ගැටලුව වූයේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නයයි. අවසානයේ මේ ප්‍රශ්නය ජනාධිපතිවරයා ළඟට ද ගියේ පනත් කෙටුම්පත සම්මත කිරීමට තිබූ දිනට කලින් දින හැන්දෑවේය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, වීරසුමන වීරසිංහ ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් බදාදා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයට ගොස් ජනාධිපතිවරයා හමුවූයේ ජනාධිපතිවරයාගෙන් ලැබුණු දැනුම් දීමකට අනුවය. එහිදී ඔවුන් කියා සිටියේ ද්විත්ව පුරවැසි වගන්තිය 20න් ඉවත් කළ යුතු බවකි. ඔයාලා දන්නවද මම ඕක ඇතුළත් කළේ ඇයි ද කියලා. ඕක 19ට ඇතුළත් කළේ මගෙන් පලිගන්න. ඒක මට නිවැරදි කරන්න ඕනෑ. එහෙම නැත්නම් මමත් එ්ක අනුමත කළා වෙනවා යැයි ජනාධිපතිවරයා කීවේය. ඒ සමගම ජනාධිපතිවරයා කීවේ ඔය වගන්තිය අලුත් ව්‍යවස්ථාව හදනවිට ඉවත් කරන බවය. ඒ අනුව මැති ඇමැතිවරුන් පිරිස ජනාධිපතිවරයාගේ අදහස පිළිගෙන පිටත් වූයේ 20ට සහාය දෙන බවට පොරොන්දු වෙමිනි. පසුවදා උදේ විමල්, ගම්මන්පිල, තිස්ස ඇතුළු පිරිස බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුවක්ද කැඳවමින් කීවේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලුවට ජනාධිපතිවරයා විසඳුමක් දුන් නිසා 20ට සහාය දෙන බවය.


විමල්-කැටගොඩ හබය


ජනාධිපතිවරයා හමුවන්නට පෙර විමල් වීරවංශ ඇමැතිවරයා සහ ඔහුගේ මන්ත්‍රී කණ්ඩායම සිටියේ 20 හි එන ද්විත්ව පුරවැසි භාවය පිළිබඳ වගන්තියට ඡන්දය නොදීමේ ස්ථාවරයකය. මේ තත්ත්වය තුළ ආණ්ඩුවට තුනෙන් දෙක සාදාගැනීම ගැටලුවක් නිසා ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා විමල්ගෙ කණ්ඩායමේ අයටද දිගින් දිගටම කියා තිබුණේ 20ට සහාය දෙන ලෙසය. කැටගොඩලාගෙන් එන බලපෑම ගැන විමල්ගේ කණ්ඩායම විමල් දැනුවත් කිරීම නිසා විමල් ඒ ගැන අගමැති මහින්දට ද පැමිණිලි කළේය. අගමැතිට පැමිණිලි කර එන අතරේ පාර්ලිමේන්තු ලොබියේදී විමල්ට කැටගොඩ හමුවිය. දෙදෙනා අතර බහින් බස්වීම සිදුවුණේ එහිදීය. බහින් බස්වීම දුරදිග ගොස් ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග යාම වැළකුණේ අසල සිටි මන්ත්‍රීවරුන් මැදිහත්ව දෙදෙනා ඉවතට රැගෙන යාම හේතුවෙනි.


20ට තුනෙන් දෙක ගන්න ගෙනගිය නෙළුම් මාවතේ මෙහෙයුම


ආණ්ඩුවට මන්ත්‍රීවරුන් 150ක් නොසිටීමත් ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය හේතුවෙන් ආණ්ඩුවේම පිරිසක් ඡන්දය නොදීමේ සූදානමක් පැවතීමත් යන කාරණා මත 20ට තුනෙන් දෙක සාදා ගැනීම මුලදී ගැටලුවක් වී තිබිණි. ඒ නිසා තුනෙන් දෙක සාදා ගැනීමට ආණ්ඩුව සති කිහිපයකට පෙර සිටම මෙහෙයුමක් ආරම්භ කළේය. නෙළුම් මාවත කේන්ද්‍ර කර ගනිමින් ආණ්ඩුව එම මෙහෙයුමට නායකත්වය දුන්නේ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාය. බැසිල් මෙවැනි වැඩවලට මෙන්ම සංවිධාන කටයුතුවලට අති දක්ෂයකු බව දේශපාලනය ගැන උනන්දුවන ඕනෑම අයකු දන්නා දෙයකි. ඒ අනුව මෙහෙයුම ආරම්භ වීය. සාගර කාරියවසම්, මහාචාර්ය චරිත හේරත්, ජයන්ත කැටගොඩ, ෆලීල් වර්පාන් අසමි, සංජීව එදිරිමාන්න, මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මන්ත්‍රීවරු ද එම මෙහෙයුමට දායක වූ සෙසු පිරිස අතර වූහ. විපක්ෂය මන්ත්‍රීවරුන් අට දෙනකු 20ට පක්ෂව ඡන්දය දී 20 තුනෙන් දෙකකටත් වැඩි ඡන්ද ගණනකින් සම්මත කර ගැනීම එම මෙහෙයුමේ ප්‍රතිඵලයකි.


ඡන්දය විමසූ බ්‍රහස්පතින්දා දිනය පාර්ලිමේන්තුව තුළ තිබුණේ කලබලකාරී තත්ත්වයකි. ඊට හේතුව විපක්ෂයෙන් කණ්ඩායමක් ආණ්ඩුවට සහාය දෙන බවට කසුකුසුවක් ඒ වනවිටත් පැතිර තිබීම ඊට හේතුවය. මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමැතිවරයා 20 ගැන දිගු පැහැදිලි කිරීමක් විවාදයෙදී කරද්දී විපක්ෂයෙන් ඊට දැඩි බාධා එල්ල වූයේ මේ ප්‍රවෘත්තියත් සමගය. ඔබතුමාලාගේ මොන මතය තිබුණත් මේ ජී.එල්. ඇමැතිතුමා කියන දේ අහගන්න යැයි අගමැති මහින්ද විපක්ෂයට කීවේය. ඉන් පසුව විපක්ෂය නිහඬ වූ අතර ජී.එල්. 20 ගැන පැහැදිලි කළේය. අධිකරණ ඇමැති අලි සබ්‍රි විවාදයේ පිළිතුරු කතාව කළේ හැමෝගෙම අවධානය දිනා ගනිමිනි. විවාදය අතරේ සභාවට ආ ඩයනා ගමගේ මන්ත්‍රීවරියට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. ඔවුන් ඇය පිළිගත්තේ මේසයට තට්ටු කරමිනි. ඩයනා ගමගේ 20ට පක්ෂව ඡන්දය දෙන බවට ඒ වනවිටත් ආරංචිය පැතිර ගිහින් තිබිණි. මේ අතර 20ට පක්ෂව ඡන්දය දුන් විපක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරයකුට විපක්ෂයේ මන්ත්‍රීවරයකු රුපියල් 20ක් දැමූ ලියුම් කවරයක් දුන්නේ ඔවුන් සල්ලිවලට ආණ්ඩුවට යන බව කියමිනි. ඊට කෝප වූ මන්ත්‍රීවරයා ඔය ගොල්ලො හැමදාම හිතුවේ ඔහොමයි. හැබැයි ඔයාලට වැඩපිළිවෙළක් නැහැ.’’ යැයි කියමින් බැණ වැදුණේය.


විවාදය අතර වාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට පැමිණ විවාදයට සවන්දුන්නේය. අගමැතිවරයාත් මැති ඇමැතිවරුන් වරින්වර ගොස් ජනාධිපතිවරයා හමුවූහ. ඒ අතර පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක්ද ජනාධිපතිවරයා හමුවී ඔවුන්ගේ ගැටලු ගැන ද සාකච්ඡා කළහ. ජනාධිපතිවරයා කීවේ තමා රාජ්‍ය ඇමැතිවරුන් හා තනතුරු නැති මන්ත්‍රීවරුන් ද මාසයකට වරක් හමුවී සාකච්ඡා කිරීමට සැලසුම්කර ඇති බවය.


ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට රුපියල් 5000 දීමනාව ගෙවන්නැයි ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා කලින් සතියේ කැබිනට් හමුවේදී ඉල්ලීමක් කළේය. ඒ අනුව ඉකුත් සති අන්තය වෙද්දී එම 5000 ගෙවීමට අවශ්‍ය රුපියල් කෝටි 40ක් වෙන් කරන්නට ආණ්ඩුව පියවර ගත්තේය. ඉකුත් සෙනසුරාදා ප්‍රසන්නට දුරකතනයෙන් කතා කළ බැසිල් කීවේ ඔන්න 5000ක් දෙන්න කෝටි 40ක් වෙන් කළා. දිසාපති එක්ක සාකච්ඡා කරල එ්ක ගෙවන්න ලෑස්ති කරන්න’’ යනුවෙනි.


මේ අතර ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා 20 විවාදයේදී හිටපු අගවිනිසුරු මොහොන් පීරිස් එවකට ආණ්ඩුව විසින් ඉවත් කරන ලද ආකාරය දැඩි විවේචනයට ලක් කළේය. ඔහු කීවේ පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න ඕන කියන අය එදා 14 වැනි අගවිනිසුරු ලෙස සිටි මොහාන් පීරිස් ඉවත් කළේ ජනාධිපති ලේකම්වරයාගේ ලියුම් කෑල්ලකින් බවය.


සමගි ජන බලවේගය විරෝධතා පටි පළඳියි

 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම සඳුදා රැස්වූයේ පාර්ලිමේන්තු කමිටු ශාලාවේ දීය. විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ දී විවාදයට ගන්නා අවස්ථාවේ දී එයට විරෝධය දක්වන්නේ ​ෙකසේද යන්න ගැන කණ්ඩායම් රැස්වීමේ මූලික අවධානය යොමු විය. සාම්ප්‍රද‌ායික විරෝධය දැක්වීමේ ක්‍රමවේදයන්ගෙන් එහා ගිය විරෝධතාවය දැක්වීම ගැන කාගේත් අවධානය යොමු විය.
ඒ අනුව රථ පෙළපාළියකින් පාර්ලිමේන්තුවට පැමිණ විරෝධතාවයක් දැක්වීමට සියලු‍ දෙනාම එකඟ වූහ. ඒ අතරම පාර්ලිමේන්තු සභා ගර්භය තුළදීත් විවිධ ආකාරයේ විරෝධතා දැක්වීම ගැන අවධානය යොමු කළේය. ඒ අතරම විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කමිටුවක් ද පත් කෙරිණි. මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පාඨලී චම්පික රණවක, කබීර් හෂීම් හා ඉරාන් වික්‍රමරත්න එම කමිටුවට පත් කිරීමට ද මෙහිදී කටයුතු කළේය.


“අපි කරන විරෝධතාව ගැන පිටට කිසිම දෙයක් දෙන්න නරකයි. රහසිගතව එකවර මේ විරෝධතා කළ යුතුයි”‍ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා යෝජනා කළේය. ඒ අනුව විරෝධතාවයන් සංවිධානය කිරීමේ වගකීම හරීන්ට පැවරිණි.


ඒ අනුව උදෑසනම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විපක්ෂ නායක කාර්යාලයට පැමිණියහ. ඒ රථ පෙළපාළිය එතැනින් ආරම්භ කිරීමටය.


“ඒකාධිපති 20 එපා”‍ යනුවෙන් සඳහන් අත් පළඳනා පැළඳ ගනිමින් පෙළපාළිය ආරම්භ විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අතේ මෙම අත් පළඳනාව ගැටගැසුවේ රංජිත් මද්දුමබණ්ඩාරය. සජිත්ගේ රථය පෙරටු කරගෙන සියලු‍ම මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණියහ.


පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පිවිසුමට පැමිණීමට පෙර විරෝධතා පා ගමනක් ආරම්භ කළ මන්ත්‍රීවරුන් පයින්ම පාර්ලිමේන්තු සංකීර්ණය දෙසට පෙළපාළියෙන් ගමන් කළේ “ඒකාධිපති විස්ස එපා”‍ “විනාශකාරී 20 එපා”‍ “ම්ලේච්ඡා 20 එපා”‍ ආදී ලෙස සටන් පාඨ කියමින් පිරිස පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසියහ. මේ සියල්ල මාධ්‍යයටත් රහසේ සංවිධානය කර තිබීම නිසා වීඩියෝ දර්ශන ගැනීමේ වගකීම මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාගේත්, මරික්කාර් මන්ත්‍රීවරයාගේත් කර පිටට පැටවී තිබුණි. ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර රූපවාහිනී මාධ්‍යවේදීන් ලෙස කටයුතු කර තිබීම නිසා වඩාත් හොඳින් එම දර්ශන ලබාගෙන තිබුණා පමණක් නොව මාධ්‍යයටත් නිකුත් කර තිබුණි.


පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි විපක්ෂ නායකවරයා විසි වැනි සංශෝධනය සම්මත කර ගැනීමේ උවමනාව නිසා නිරෝධායන නීතිවලට පටහැනිව යමින් සභා රැස්වීම් පැවැත්වීම ගැන දැඩි අවධානය යොමු කළේය. ආණ්ඩුව නිරෝධායන රෙගුලාසිවලට අනුව කටයුතු කරන්නේ නම් පාර්ලිමේන්තු සැසිවාර පැවැත්විය නොහැකි බව ද ඔහු පාර්ලිමේන්තුවට පැමිණ සිටි මාධ්‍යවේදීන්ට කීවේය. කොරෝනා මර්දන නීතිවලට අනුව මන්ත්‍රීවරුන්ට එක නීතියකුත්, ජනතාවට තවත් නීතියකුත් තිබිය යුතු නැති බව ඔහු තරයේ අවධාරණය කළේය.


රට පුරා කොරෝනා උවදුර ව්‍යාප්ත වීම හේතුවෙන් ආණ්ඩුව නව නීති රෙගුලාසි ගෙනවිත් ඇති බවත් ඒ රෙගුලාසිවලට අනුව කටයුතු කරන්නේ නම් පාර්ලිමේන්තු සැසිවාර පැවැත්විය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය. පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ කොරෝනා මඩින නීති රෙගුලාසිවලට අනුව ජනතාවට එක් නීතියකුත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තව නීතියකුත් තිබිය යුතු නැති බවයි.


“ජනතාව ජීවත් වීම උදෙසා බරපතළ අරගලයක් කරන අතරේ ආණ්ඩුව ඒකාධිපති ව්‍යවස්ථා සංශෝධනයක් උදෙසා සූදානම් වීම බරපතළ ඛේදවාචකයක්”‍ විපක්ෂ නායකවරයා කීවේය.


මේ අතර පාර්ලිමේන්තුවේ දී විසි වැනි සංශෝධනයට විරුද්ධව විශේෂ ප්‍රකාශ දෙකක්ම කරමින් ඔහු විපක්ෂයේ විරෝධයට නායකත්වය දුන්නේය.


තද තීන්දු


විසි වැනි සංශෝධනයට ඡන්දය ලබාගත් බ්‍රහස්පතින්දා උදෑසනත් පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්වූවේය. ඒ පාර්ලිමේන්තුවේ දී ඡන්දය ලබාගැනීමට පෙර දැක්විය යුතු විරෝධයන් ගැන සාකච්ඡා කිරීමටය.


“ආණ්ඩුව අද විසි වැනි සංශෝධනය සම්මත කරගන්න හදන්නේ ජනතාවට සවන් දෙන්නේ නැතිවයි. ආණ්ඩුව බලයට ගෙන එන්න මහා කාර්යභාරයක් කළ ඇල්ලේ ගුණවංශ හිමිපාණන් වහන්සේට සවන් දෙන්නේ නෑ. මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේට සවන් දෙන්නේ නෑ. ආණ්ඩුව මුල අමතක කරන බව දැන් හොදටම පැහැදිළියි” විපක්ෂ නායකවරයා කීවේය.


“විසි වැනි සංශෝධනයට පක්ෂව සමහර විපක්ෂයේ අය ඡන්දය දෙනවා කියලා කතාවක් යනවා” මන්ත්‍රීවරයෙක් විපක්ෂ නායකවරයාගේ අවධානය යොමු කළේය.


“අපේ කිසිම මන්ත්‍රීවරයෙක් මේකට සහාය ලබාදෙන්නේ නෑ. කවුරු හරි මේකට සහාය දුන්නොත් කඩිනම් විනය පරීක්ෂණයක් පවත්වලා පක්ෂයෙන් ඉවත් කරනවා”‍ රංජිත් මද්දුමබණ්ඩාර කීවේ පක්ෂ තීරණයට පටහැනිව කටයුතු කරන අයට කිසිදු සමාවක් ලබා නොදෙන බවය.

 

 

 

-ගජබා-