ලක්ෂ 6,000ක තෑග්ගක්


42 වැනි උදා ගම්මානය “සමුදිගම” ජනතා අයිතියට පැවැරීම සඳහා සූරියවැව, වැලිවැවට ගොස් සිටි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා නව ගම්මානයේ සමරු ඵලකය විවෘත කර වේදිකාව වෙත යාමට සැරැසෙන විටම කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් පැමිණි ජංගම දුරකථන පණිවුඩයෙන් ලැබුණේ සුබ ආරංචියකි. එනම්, නව උදා ගම්මාන 50ක් තැනීම සඳහා රුපියල් ලක්ෂ 6,000ක පරිත්‍යාගයක් කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇති බවයි. 


ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝඩි ශ්‍රී ලංකාවේදී හමුවුණු දෙතුන් වරකදීම සජිත් ඔහු වෙත දන්වා තිබුණේ මෙවැනි උපකාරයක් ඉන්දියාවෙන් ලැබේ නම් ඉතා අගය කරන බවයි. පවුල් 22 කට නිවාස අයිතිය පවරමින්, පවුල් 300 කට ‘විසිරි නිවාස ණය’ පිරිනමමින්, පුද්ගලයන් 42 දෙනෙකුට සාම විනිසුරු පත්වීම් ලබාදෙමින් හා රණවිරු පවුල් 35 කට ‘විරු සුමිතුරු’ වැඩසටහන යටතේ නිවාස ආධාර පිරිනමමින් වැඩ සටහන නිම වෙද්දී සජිත් වටා රොක්ව සිටියේ ‘විරු සුමිතුරු’ නිවාස ආධාර ලැබූ රණවිරුවන්ගේ දෙමාපියන් පිරිසකි. සජිත් ඔවුන්ට කීවේ “ඔන්න ඉන්දියාවෙනුත් අපට උදව්වක් කරන්න යනවා. එසේ මෙසේ නෙවෙයි, ලක්ෂ හය දාහක උදව්වක්” සජිත් කියද්දී මවක් කීවේ “අපේ දරුවෝ හමුදාවට බැඳිලා රට වෙනුවෙන් ජීවිතේ පූජා කළා. දුප්පත් අපට හරියට ඉන්න හිටින්න තැනක්වත් නෑ. අපට මෙච්චර කාලෙකට තඹ සත පහක් දෙන්ඩ කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ. දුප්පත් අයට සේවය කරන්න සර්ට යෝධ බල ශක්තිය ලැබෙන්න ඕනෑ. ගම්මාන 2,500ක් නෙවෙයි. 5,000ක් හදන්න ලැබෙන්න දෙවියන්ගෙ ආශිර්වාදය ලැබෙන්න ඕනෑ කියාය.   


අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ ඉහළ නිලධාරීන් පිරිසක් පසුගියදා හිටපු විදේශ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා හමුවන්නට පැමිණියහ. එහිදී පසුගියදා නිකුත් කළ පහේ ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව සංවේදීව හා විශ්ලේෂණාත්මක කරුණු රැසක් ඔවුනගේ අවධානයට යොමු කළහ. “දැන් බලන්න අර පුංචි ළමයින්ට ශිෂ්‍යත්ව විභාගයක් පවත්වලා ලකුණු 160න් පාස් කළේ. මෙම විභාගයට ප්‍රශ්න පත්‍ර දෙකයි තිබුණේ. එක ප්‍රශ්න පත්‍රයකට සාමාන්‍යයෙන් ලකුණු 80ක් වත් ගන්න ඕනැ. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයක විශිෂ්ට සම්මානයක ලකුණුවලට එය සමානයි. ඒක පොඩි දරුවන්ට අසීරු ඉලක්කයක්. එහෙත් අපේ සමහර පොඩි දරුවන් ඒ ඉලක්කය දක්ෂ විදියට හඹා ගියා. කොහොම වුණත් ශිෂ්‍යත්ව සමත්වීම කඩඉම් ලකුණු මට්ටම් අඩු කළ යුතුයි. අපි ඒ පොඩි හිත් රිදවන්න හොඳ නැහැ. අධ්‍යාපනය එපා කරවන්න හොඳ නැහැ. අපි කළ යුත්තේ අධ්‍යාපනයට උනන්දු කරවන එක මිසක් ඒක වදයක් කිරීම නොවේ යයි රවි කීය.  


ඊට එක්ව සිටි එක් නිලධාරියෙක් කට හඬ අවදි කරමින් කියා සිටියේ “ඇමැතිතුමා කියන එක ඇත්ත. සමහර දරුවන් පහේ ශිෂ්‍යත්ව විභාගය සමත් වුණායින් පසු අධි මානසිකත්වයක් ඇති කරගෙන ඊට පසු ඉදිරිපත් වන විභාගවලට දක්වන්නෙ අඩු සැලකිල්ලක්. අනික් පැත්තෙන් දෙමව්පියන් තුළද මුලදී තිබූ උනන්දුව අතර මගදී අත හැරෙනවා” යයි කීය. කොහොම වුණත් ඒකටයි පිළියම් යොදන්න ඕනැ. නැතිනම් ශිෂ්‍යත්ව විභාගයක් පවත්වලා වැඩක් නැහැ. පුංචි කාලේ පැලේට වතුර පොහොර දාලා හොඳට සලකලා ලොකු වුණාම ඒ සත්කාර නැතිව අතහරිනවා වගේ වැඩක්. සත්කාර නැතිවුණාම ඵලදාව නැතිවෙනවා රවී දිගු විග්‍රහයක් කළේය.