ලංකාවට වාසි ගෙනා ෆින්ලන්ත සංචාරය


ජර්මනියේ හා පින්ලන්තයේ සති එකහමාරක නිල සංචාරයකට එක්වූ අගමැතිවරයා යළි දිවයිනට පැමිණියේ බ්‍රහස්පතින්දා පාන්දර දෙකටය. හෙල්සින්කි සිට ලන්ඩන් හා එතැන් සිට කටුනායක කරා පැමිණීමට පැය 22ක් ගතව තිබිණ.  


අධික වෙහෙස තිබුණද පැය තුනක නින්දකින් පසුව අගමැතිවරයා අරලිය ගහ මැදුරට පෙරවරු 10ට පැමිණියේ සතියේ ආර්ථික කමිටු රැස්වීමටය. ඊට පෙර ශ්‍රී ලාංකික සම්භවය සහිත නවසීලන්ත ආයෝජකයකු වන බ්‍රයන් ස්ටෙප්ලර්ස්ද අගමැති හමුවිය.   


“මගේ පියාගේ පරම්පරා හතක් ලංකාවේ හිටපු අයයි. පියා ඉපදුණෙත් ලංකාවේයි. මා ඉපදුණේ ඕස්ට්‍රේලියාවේයි. දැන් පදිංචිය නවසීලන්තයේයි.   


ලංකාවේ බැරැක් ඔබාමා ඔබතුමා බව මගේ පියා නිතර කියනවා. ඔබ ගැන පොතපත හා වෙනත් දේ පරිශීලනය කරනවා. ඔබ හමුවීම විශාල සතුටක්” බ්‍රයන් ස්ටෙප්ලර්ස් අගමැතිවරයාට කීය.  


“ලංකාවේ ව්‍යාපාර පටන් ගන්න අප උදව් කරන්නම්. ඔබ ඉදිකරන ත්‍රිමලේ හෝටලය ගැන නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම හා සංචාරක මණ්ඩල ප්‍රධානී කාවන් රත්නායක එක්ක කතා කරන්න.” අගමැතිවරයා කීය.  


අගමැති රනිල් ගැන ලියවුණු ග්‍රන්ථ දෙකක් රැගෙනවිත් අගමැතිවරයාගේ අත්සන් ගැනීමටද බ්‍රයන් ස්ටෙප්ලර්ස් ක්‍රියා කළේය. අනතුරුව සුභ පැතීමට පැමිණ සිටි මැති ඇමැතිවරුන් සමඟද අගමැතිවරයා පිළිසඳරක යෙදිණ.  


“පින්ලන්ත සංචාරය ලංකාවට ඉතා වාසි බව පෙණුනා.” සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.  


“පින්ලන්තය නිදහස ලබා වසර 100 පිරෙන අවස්ථාවටයි අගමැතිතුමාට ආරාධනා කර තිබුණේ. එරට අගමැති හා කතානායිකාවත් ආරක්ෂක, සෞඛ්‍ය හා ආර්ථික ඇමැතිවරුත් හමුවුණා. ලංකාවට උදව් කරන්න පොරොන්දු වුණා. කසළ ප්‍රතිචක්‍රීය කිරීම, මුහුදු රළෙන් විදුලිය නිපදවීම ගැනත් ඔවුන් ලංකාවට උදවු කරාවි” අකිල විරාජ් කීය.   


“පින්ලන්ත ව්‍යවස්ථාවෙන් අපට බොහෝ දේ උගත හැකියි. මේ සංචාරයේදී ලංකාවට ලැබුණු ලොකුම වාසිය වෘත්තීය පුහුණුව හා විභාග පාස් වුණත්, නැතත් දරුවකු වසර 13ක් අධ්‍යාපනයට යොමු කිරීමේ පින්ලන්ත ක්‍රමය ලංකාවට දීමට එකඟ වීමයි.   


එහි නියමු ව්‍යාපෘතිය ලබන වසරේම පටන් ගන්නවා. ඔවුන් ලංකාවට ඇවිත් අපේ අයට පුහුණුව දේවි” කවදත් අධ්‍යාපනය කෙරෙහි නැඹුරුව ඇති අගමැතිවරයා කීවේ මහත් සතුටිනි.  


“ඊයේ කැබිනට් එකේදී මහනුවර අධිවේගයට දයාසිරි, අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, චම්පික රණවක ඇමැතිවරුන් විරුද්ධ වීම පුදුමයි. අගමැතිතුමා නැති වෙලාව බලලයි ඔවුන් මේ බාල්දිය පෙරලුවේ.” රන්ජන් රාමනායක සඳහන් කළේය.   


“මහනුවර අධිවේගය ජනාධිපතිවරණයේදී අප දීපු පොරොන්දුවයි. ඒක නවත්තන්න බැහැ. ජපාන්‍ය, චීනය, ඉන්දියාව මුදල් දෙන්නේ ඔය පාරටයි. පාර නැවැත්තුවොත් සල්ලිත් නවතීවි. සියලු දෙනා හිටපු කැබිනට් එකකදී සම්මත වූ දෙයක් නවත්තන්න කියන්නේ කොහාමද?” අගමැතිවරයා කීවේද මද නොසන්සුන් බවකිනි.   


“මා කට්ටියට ලුණු-දෙහිවලින් හොඳට දුන්නා. මේ අධිවේගයට විරුද්ධ අය ඔක්කොම ජනාධිපතිවරණයේදී ඔබතුමා පරදවන්න දඟලපු අය බව මා ජනාධිපතිතුමාට කෙළින්ම කිව්වා. ජනපතිතුමා අන්තිමට කිව්වා පාර හදනවා කියලා.   


2001 දී අගමැතිතුමා මැලේසියානු උදව් මත පාර හදන්න ගියා. 2005 දී අප පැරදුණු නිසා ඒක යට ගියා. මහින්ද 2005 දී ජනපතිවරණය මහනුවර ඡන්ද 71,000කින් පැරදුණු නිසා අධිවේගය හැදුවේ නැහැ. අධිවේග ඕනෑ දකුණට විතරද කියා විරුද්ධ වූ ඇමැතිවරුන්ට මා හොඳට දුන්නා. මේකේ වංචා නැහැ. අගමැතිතුමාට පාර්ලිමේන්තුවේදී සත්‍ය පැහැදිලි කළා.” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.  


“දයාසිරි විරුද්ධ වුණත් නාවින්න-අනුර යාපා විරුද්ධ නොවුණේ අධිවේගය කුරුණෑගල හරහා යන නිසයි. මේ විරුද්ධ වීම දයාසිරිට පාඩුයි කියා හුඟ දෙනකු මට කිව්වා” පී. හැරිසන් කීය.  


“නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය බව හා බුදු දහම රකිනවා කියද්දී දිනේෂ් මල්වතු නාහිමි හමුවුණාම උන්වහන්සේ කී දේට ඒකාබද්ධ අය පහර ගැසීම ගැන මිනිස්සු විරුද්ධයි” දයා ගමගේ කීවේ අගමැති දෙස බලාය.  


“ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාවේ තිබෙන්නේ යෝජනා විතරයි. එජාප යෝජනා නැත්තේ ඇයි කියා සමහරුන් අහනවා. මේ පිටු 12 තුළ තිබෙන බොහෝ දේට එජාපය එකඟයි. ඒ පක්ෂවල නියෝජිතයන්ගේ මතය මිසක් පක්ෂවල මහ ලේකම්ගේ නිල මතය නෙවෙයි, ඕකෙ තිබෙන්නේ.  


මල්වතු-අස්ගිරි හා රාමඤ්ඤ නිකායේ මහනාහිමිවරුන්ට මා පිටපත් පිළිගන්වා සත්‍ය පැහැදිලි කළා. උන්වහන්සේලාගේ ප්‍රශ්නයක් නැහැ. ඒකාබද්ධය බලයට කෑදරව මේකෙ නැති බිල්ලෙක් මවලා රටේ අනාගතය එක්කත් පහත් දේශපාලනය කරන්නේ” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.  


“මහින්ද අණදීල යුද කාළේ හමුදාවේ ඇතැම් අය අපරාධ කළා, ඒ මිනිසුන්ගේ ඉඩම් ආපහු දිය යුතුය කියා බැසිල් කී කතාව ගැන ඒකාබද්ධය සද්ද නැහැ. ඔය කතාව එජාප කෙනෙකු කිව්වා නම් සද්දේ බලන්න තිබුණා” දයා ගමගේ කී විට අගමැති ඇතුලු පිරිස සිනාසුනහ.  


“ආරක්ෂක අමාත්‍යංශය මිලට ගන්නවා කියපු රුසියානු නැව ගන්නවද දන්නෙ නෑ නේද? රන්ජන් රාමනායක විමසිය.  


“අප එපා කියන්නෙ නැහැ. රටේ අවශ්‍යතාව මත තීන්දු ගන්න වගකිව යුත්තන්ට පුළුවනි” අගමැති කීවේ සැහැල්ලුවෙනි.  


“මත්තල විකුණා අප ඒ සල්ලිවලින් නැව ගන්නවා කියා නාමල්ලා මාර කැම්පේන් ගෙනි යනවා” නවීන් දිසානායක මෙන්ම දයා ගමගේද කීවේ එවැන්නකි.  


“ඒවා පටු දේශපාලන කතානේ” අගමැති කීය.   


“මත්තල බදු දී ඒක ගොඩගන්න හදන විට විකුණන්න හදනවා කියා ඒකාබද්ධය තියපු උද්ඝෝෂණය ප්‍රචණ්ඩයි. දැන් ඔක්කොම ඇතුළේ” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.  


“උසාවි නියෝග කඩ කිරීම, කලහකාරී වීම, රාජ්‍ය දේපොළ විනාශ කිරීම, පොලිසියට ප්‍රහාර එල්ල කිරීම ඒ කාලේ කළා නම් වෙඩි තියා මරනවා. දැන් ඇතුළට ගියා විතරනේ?” අගමැති කීවේ කාගේත් සිනා මැදය.  


“ලිට්රෝ ගෑස් හිටපු සභාපතිවරයා මාර ගේමක් දීලා තිබෙන්නේ. මේ චෝදනා ඇත්ත නම් දැඩි දඬුවම් දෙන්න ඕනෑ. මොකද, ඒකාබද්ධය මේවාත් ආණ්ඩුවේ එකවුන්ට් එකට දාන්න හදාවි” රන්ජන් රාමනායක දැඩි ලෙස කීවේය.   


“කබීර්-මලික් බැඳුම්කර කොමිසමට කැඳවීම හොඳයි. රාජපක්ෂ යුගයේ එහෙම වුණාද? බදුල්ලේ මන්ත්‍රී වි​ෙජ්සිරි මාර කතාවක් කළා. බැඳුම්කර කොමිසම බැඳුම්කර ගැන හෙවීමට වඩා එජාපයට පහර ගහන්න හදපු එකක් බව එයා කිව්වා. එහෙම ආවොත් අපටත් එජාප පසුපෙළ ලෙස සංවිධානය වෙලා කියන්න ඕනෑ තරම් දේ තියනවා කියා එයා මාර අභියෝගයක් කළා” දයා ගමගේ කීය.