මෝදිගේ දිවුරුම්දීමේ උත්සවයට මෛත්‍රීත් යයි


 

ගෙවී ගිය සතියේ ද දේශපාලන කරළිය ගිනියම් වී තිබිණි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මසකට අධික කාලයක් ගතවී තිබුණ ද ආණ්ඩුවත් විපක්ෂයත් එකිනෙකාට බැණ අඬ ගසා ගැනීම්වලින් නම් අඩුවක් පෙනෙන්නට නැත. මේ දිනවල දේශපාලන කරළියෙ වැඩි දෙනාගේ කතාබහ ද විශ්වාසභංග ගැනය. ඒකාබද්ධ විපක්ෂය රිෂාද් බදියුදින් ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර එය විවාදයට ගැනෙන්නේ ලබන 18 සහ 19 යන දින දෙකේදීය. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනයක් ද තවම නැත.   


සතියේ කැබිනට් මණ්ඩලය රැස්වීම අඟහරුවාදා උදේ ජනාධිපති කාර්යාලයේදී සුපුරුදු පරිදි පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලිසෑය වටා අධි ආරක්ෂිත වැටක් ඉදිකිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ ජයවික්‍රම පෙරේරා ඇමැතිවරයා විසිනි. ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.   


මේ අතර මලික් සමරවික්‍රම ඇමැතිවරයා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක් හේතුවෙන් කැබිනට් රැස්වීම තරමක් උණුසුම් විය. ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස වානේ කම්හලක් ත්‍රිකුණාමලයෙ ඉදිකිරීමට වරාය අධිකාරිය සතු ඉඩමක් ඉල්ලා මලික් යෝජනාව ඉදිරිපත් කර තිබිණි. ඔහු කීවේ එමඟින් රැකියා හාරදහසක් පමණ බිහිවන බවය. එහෙත් වරාය ඇමැති සාගල රත්නායක මහතා මලික්ගේ යෝජනාවට විරුද්ධ විය. ඔහු කීවේ වරාය අධිකාරිය සතු ඉඩම ලබාදිය නොහැකි බවය. මංගල සමරවීර ඇමැතිවරයා ද කතා කළේ මලික්ගේ යෝජනාවට සහාය පළ කරමිනි. ඔහු කීවේ මෙය හොඳ ආයෝජනයක් බවය. අනතුරුව කතා කළේ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාය. සජිත් ද කීවේ පසුගිය කාලය පුරාම ආයෝජන නොපැමිණි නිසා එන්න හදන ආයෝජනය හෝ ලබාගත යුතු බවය. ඒ නිසා වරාය ඉඩම දිය යුතු බව සජිත් කීවේය.   


මෙම ආයෝජනයෙන් ලැබෙන වාසි ගැන මලික් දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් ද කළේය. මලික්-සාගල වාදය යද්දි ජනාධිපතිවරයා හිනාවෙමින් කීවේ මේක මේ අරලියගහ මන්දිරයෙ කචල් එකක් යනුවෙනි. මේ අතර චම්පික රණවක ඇමැතිවරයා ද මේ සාකච්ඡාවට මැදිහත් විය. ඔහු කීවේ ත්‍රිකුණාමලයේ කුමන ඉඩම ගත්තත් එය නාගරික සංවර්ධන අධිකාරිය මිනුම් කටයුතු කර ඇති සීමාව තුළ විය යුතු බවය. කෙසේ හෝ මලික්ගේ යෝජනාව සම්මත නොවුණ අතර සාගලගේ විරෝධයෙන් පසුවට කල් තැබිණි.   
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින වාහනයක් මිලදී ගැනීමට අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මුදල් ඇමැති මංගල ඊට එතරම් කැමැත්තක් නොදැක්විය. ඔහු සිය නිර්දේශ ඉදිරිපත් කරමින් කියා තිබුණේ මේ අවස්ථාවේ රටේ පවතින තත්ත්වය අනුව වෙඩි නොවදින රථ ගෙන්වන්නට ගියහොත් ජනතාවගෙන් දැඩි දෝෂාරෝපණයක් එල්ල වන බවය. විපක්ෂ නායකවරයාට දැනට වෙඩි නොවදින රථ කීයක් තිබේ දැයි ඇමැතිවරු විමසා සිටියහ. එහිදී දැන ගන්නට ලැබුණේ වෙඩි නොවදින රථ 3ක් තිබෙන බවය. ජනාධිපතිවරයා ද එය තහවුරු කළේය. ඒ අනුව වෙඩි නොවදින වාහන ගෙන්වීමේ යෝජනාව පසුවට කල් දැමිණි. මේ අතර රාවුෆ් හකීම්, කබීර් හෂීම් යන ඇමැතිවරුන් කියා සිටියේ අැතැම් ප්‍රදේශවල කෙරෙන ආරක්ෂක මෙහෙයුම්වලදී සිද්ධිවලට සම්බන්ධ නැති පුද්ගලයින් ද අත්අඩංගුවට ගැනෙන බවය. එය ගැටලුවක් බව රාවුෆ් හකීම් ඇමැතිවරයා කීවේ මීගමුව ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් කිහිප දෙනකුගේ ඡායාරූප ද පෙන්වමිනි.   


ජනාධිපතිවරයා කීවේ ඒ ගැන සොයා බලන බවකි. 


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගිය සතියේ ඉන්දියාවේ අගමැතිවරයා ලෙස දෙවන වරටත් පත්වූයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබමිනි. ඔහුගේ දෙවන ධුර කාලයෙ දිවුරුම් දීමේ උත්සවය නවදිල්ලි නුවර පිහිටි රාෂ්ට්‍රපති භවාන්හිදී පැවැත්වුණේ ගිය බ්‍රහස්පතින්දා හැන්දෑවේය. අසල්වැසි රටවල රාජ්‍ය නායකයින්ට ද මෝදි සිය දිවුරුම් දීමේ උත්සවයට එන්නැයි ආරාධනා කර තිබුණේ කලාපයේ නායකයා ලෙස සිය මිත්‍රත්වය තහවුරු කරමිනි. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද එම උත්සවයට විශේෂ ආරාධිත අමුත්තකු ලෙස සහභාගි වන්නැයි මෝදි ආරාධනා කර තිබිණි. ජනපති මෛත්‍රී ද එම ආරාධනය පිළිගනිමින් ගිය බ්‍රහස්පතින්දා උදේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය. දිවුරුම් දීමේ උත්සවයට ගිය මෛත්‍රීට ඉහළ පිළිගැනීමක් ද ලැබුණ අතර දිවුරුම් දීමෙන් අනතුරුව මෛත්‍රී මෝදි හමුවී සුභ පැතුවේ දෙරට අතර මිත්‍රත්වය තවත් තහවුරු කරමිනි. මෝදි දැනුම් දී තිබුණේ ලබන මුල් මාසයේදී පමණ ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා තමා නොවරදවාම පැමිණෙන බවය. මෛත්‍රී ජනපති වීමෙන් පසුව මෝදි දෙවතාවක් ශ්‍රී ලංකාවේ සංචාරය කළේය.  
රිෂාද් බදියුදින් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දෙන්න ශ්‍රීලනිප මේ වනවිටත් තීරණයකට පැමිණ ඇත. එහෙත් ඔවුන් තවමත් ඒ ගැන නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර ජනතාව අපේක්ෂා කරන තීන්දුවක් ගන්නා බව පමණක් කියනු අසන්නට ලැබේ. දැන ගන්නට ඇති පරිදි ශ්‍රීලනිපය දැනටමත් විශ්වාසභංගයට සහාය දෙන්නට තීරණය කර හමාරය. ගිය සතියෙ පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී මේ ගැන සාකච්ඡා කර ඇති අතර එහිදී එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා පවසා ඇත්තේ රිෂාද්ට එරෙහි විශ්වාසභංගය ගෙන එන්නට මුලින්ම යෝජනා කළේ තමා බවය.  
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ද විශ්වාසභංගයට සහාය දීමට තීරණය කර හමාරය. රිෂාද්ගේ විශ්වාසභංගය සම්බන්ධයෙන් ආණ්ඩුව තුළත් දෙමළ ජාතික සන්ධානය තුළත් බෙදීමක් තිබෙන බව පැහැදිලිය. නිරෝෂන් පෙරේරා මන්ත්‍රීවරයා දිගින් දිගටම ප්‍රකාශ කළේ රිෂාද්ට එරෙහි විශ්වාසභංගයට සිය සහාය දෙන බවය. චම්පික රණවක ඇමැතිවරයා ද ගිය සතියේ මාධ්‍ය හමුවක් කැඳවමින් කීවේ රිෂාද් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවය. චම්පික මේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙකි. මේ අතර දෙමළ ජාතික සන්ධානයෙ මන්ත්‍රීවරුන් 5 දෙනකුම දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ විශ්වාසභංගයට සහාය දෙන බවය. තවත් පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටීමේ ප්‍රතිපත්තියක සිටින බවට ද වාර්තා විය. මේ තත්ත්වය තුළ රිෂාද්ට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් දෙමළ සන්ධානයෙ බෙදීමක් පැහැදිලිව දක්නට ලැබේ.


පසුගිය ඉරිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මහනුවරට ගියේ රටේ අනාගත අභිවෘද්ධිය සඳහා සකස් කරන ලද විශේෂ ලියවිල්ල අස්ගිරි සහ මල්වතු පාර්ශ්ව මහානායක හිමිවරුන්ට බාර දීම සඳහාය.   


අස්ගිරියට ගිය කණ්ඩායම අතරේ දයාසිරි ජයසේකර, රංජිත් සියඹලාපිටිය, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ශ්‍රියානි විජේවික්‍රම, ලසන්ත අලගියවන්න ද වූහ.   
වැඩ සටහන අතරතුරේ සියඹලාපිටිය මන්ත්‍රීවරයා හදිසි කටයුත්තකට එළියට ගියේය. එහිදී තරුණ භික්ෂූන් වහන්සේලා කිහිපනමක් මන්ත්‍රීවරයා වට කර ගත්හ.   
 “ඇමැති රිෂාඩ්ගේ විශ්වාසභංගයට මොකද කරන්නේ?’’ උන්වහන්සේලා විමසූහ.   


“අපේ හාමුදුරුවනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවදත් රටට ආදරය කරන පක්ෂයක් අපි රටට අවශ්‍ය හොඳම තීරණය ගන්නවා.” රංජිත් කීවේය.