මෛත්‍රී-මහින්ද මුහුණට මුහුණ හමුව


ආණ්ඩුව


බ්‍රහස්පතින්දා උදයේම අගමැතිවරයා හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ එකම පුතු වූ රවි ජයවර්ධන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කොළඹ 07 ධර්මපාල මාවතේ ජයවර්ධන කේන්ද්‍රයට ගියේය.


“රවි කියන්නේ විශාල ආත්ම ශක්තියක් තිබුණු කෙනෙක්. ආසියාවේ හොඳම වෙඩික්කාරයා ලෙසත් රටට ගෞරව ගෙනාවා. විශේෂ කාර්ය බළකාය (එස්.ටී.එෆ්) එක හදන්නත් ඔහු මූලික වුණා. පරිසරයටත් ආදරේ කළා” අගමැතිවරයා එහි සිටි පිරිසට කීවේය.
අනතුරුව අරලියගහ මැදුරට පැමිණි අගමැතිවරයා ඇමැති මලික් සංවිධානය කොට තිබූ උත්සවයකටද එක් වී සිය කාර්යාලයට පැමිණියේය. සුපුරුදු ලෙස මැති ඇමතිවරුන් රැසක්ද එහි රැඳී සිටියේ අගමැතිවරයාගේ පැමිණීම අපේක්ෂාවෙනි. 


“වීරවංශගේ නාට්‍ය තාම ඉවර නෑ. එයාට ඇප නොදෙන්නෙ හිතාමතාම කියල ඒකාබද්ධ අය රටට වැරදි චිත්‍රයක් දෙනවා” රන්ජන් රාමනායක කීවේය.


“අප්‍රේල් 07 දා උසාවිය ඇප සලකා බලාවි. එයා එළියට එන එක අපට ප්‍රශ්නයක් නෙවෙයි. හිර ගෙදර ඉඳන් එතුමා ආණ්ඩුවට නෙවෙයි උසාවි තීන්දුවට අභියෝග කරලා උපවාස පටන් ගත්තා. එහෙම රිමාන්ඞ් හිරකරුවෝ 406ක් එතන ඉන්නවාලු” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල රන්ජන්ට පිළිතුරු දුන්නේය.


සිංහල අවුරුද්දට පෙර වීරවංශ මහතාගේ චෝදනාවලට අදාළ නිල ලියකියවිලි එළිදැකීමට නියමිත බවද එහිදී එළිවිය.


“බදාදා හම්බන්තොට වරාය ගැන අගමැතිතුමාගෙන් ප්‍රශ්න අහල ඩලස් අනාථ වුණා. 2012 හා 2014දී චීනය හා ලංකාවේ ආණ්ඩු දෙක අතර හම්බන්තොට වරාය ගැන ගිවිසුම ගහද්දී ඒවා කැබිනට් එකේදී අනුමත කරපු වාසු දැන් මේ ආණ්ඩුවට විරුද්ධව උසාවි යාම ගැන බුලත් දීලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සමාව ගන්න වේවි කිව්වාම වාසු පරුෂ වචන කීම පුදුමයි. විදේශ නියෝජිතයොත් එදා සභාවේ ගැලරියේ හිටියා.” දයා ගමගේ කීවේය.


“ජේ.ආර්. මැතිතුමාගේ පුතා රවි අන්තිම දිනවල මරණයට සූදානම් වෙලා ආහාර ගැනීම පවා ප්‍රතික්ෂේප කරලා දැඩි ආත්ම ශක්තියෙන් ඉඳපු බව ආරංචියි. එහෙම ගත්තාම ටික දවසකට හිරේ ගිය වීරවංශලාට ආත්ම ශක්තියක් තියා ආත්මයක්ම නෑ” රන්ජන් රාමනායක කී විට සෙසු අය සිනාසුනද අගමැතිවරයා කළේ නළල රැළි ගැන්වීම පමණකි.


“වෙසක් පෝය දෙකෙන් ආණ්ඩුව පෙරළන මහින්දගේ කතාවට ඔබතුමා එයාගෙන් අහපු ප්‍රශ්නවලට තාම උත්තර දුන්නේ නෑ. චීන ණය ගෙවන්න වසර 20ක් කල් නොගැනීම, හම්බන්තොට වරායේ හොඳ කොටස් චීනයට දීලා ණය ගෙවීම ලංකාව බාර ගැනීම, වරාය නගරයේ විශාල කොටස සින්නක්කර චීනයට දීම කියන ඒ ප්‍රශ්න ඉතා බලවත් ඒවා” නවීන් දිසානායක කීය.


“අපේ මන්ත්‍රීවරුන් කීප දෙනෙක් මේ ප්‍රශ්න දිගටම මතුකරන බව මට කිව්වා. දැන් උත්තර නොදුන්නොත් මහින්දට මැයි දිනයේදී හරි ඒවාට උත්තර දෙන්න වෙනවා” අගමැතිවරයා කීවේ සිනාසෙමිනි.


“ජනාධිපතිතුමාගේ රුසියානු සංචාරය රටට ඉතා වටිනවා. 1974දී මැතිනියගෙන් පස්සේ රුසියානු ලෝක බලවතාගෙන් නිල ආරාධනා ලැබුණේ යහපාලන රජයේ ජනාධිපතිටයි. 1974 මැතිනියගේ සංචාරය සංවිධානය කරලා තියෙන්නේ එවකට අපේ තානාපති මහාචාර්ය ගුණපාල මලලසේකර මහතායි. මෙවර සංචාරය සංවිධානය කරල තියෙන්නේ අපේ තානාපති වෛද්‍ය සමන් වීරසිංහයි. එතුමාගෙයි පුටින් ජනාධිපතිතුමාගෙයි පවතින මිත්‍රකමයි, අපේ රජයේ ප්‍රතිපත්තියි නිසා මේ සංචාරයට මග පෑදිලා තියෙනවා. රුසියානු සංචාරයට එක්වූ ජෝන් අමරතුංග අගමැතිවරයා පැහැදිලි කළේය.


“රුසියාවෙන් අපට නිල ආරාධනාවක් ආවේ අවුරුදු 43කින්. ඕස්ටේ්‍රලියාවට නවසීලන්තයට නිළ ආරාධනා මත මම ගියේ වසර 63කට පස්සෙයි. මහින්දට ආරාධනා ලැබුණේ නෑ. එයා පත් කරපු තානාපතිලගේ දුර්වලතා අනිත් හේතුවයි” අගමැතිවරයාද සිය මතය එළි දැක්වීය.


“දැන් දොස්තරලයි, වෛද්‍ය සේවයයි, විදුලියේ අයයි වර්ජන තර්ජන කරනවා. ජනතාවටත් මේ අයගේ පටු දේශපාලන සෙල්ලම දැන් තේරිලා තියෙන්නේ. මේ වෘත්තීය සමිතිවලත් ලොකු බෙදීම් තියෙන්නේ ඒකයි. ජවිපෙත් උඩක් බිමක් නැතිව ජනතාව උගස් කරන වර්ජනවලට සහය දීල ජනතාව අතර තවත් පිරිහෙනවා. ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


“අවුරුදු ගණනකට පස්සේ 6000ක් ආපු ත්‍රිකුණාමලේ යොවුන් පුරය ඉතා සාර්ථකයි. මුල්වරට උතුරු නැගෙනහිරට මේක ගෙන යාමත් වටිනවා” දයා ගමගේ කීය.


“සමහරුන් හිතුවේ තරුණ පරපුර අපි එක්ක නෑ කියලයි. හම්බන්තොටින්, වෙනත් ව්‍යාපෘතිවලින් වගේම පොක්ස්වාගන්වලින් ඔවුන් කෑ ගහලා රැකියා ඉල්ලුවා. තවත් රැකියා ඇති කරන කම්හල් හදන්නයි කියලා කෑගැහුවා.” අගමැතිවරයා කීවේ දැඩි සතුටකිනි.
“එදා ඔබතුමාගේ ප්‍රශ්න අහල ඩලස් පාර්ලිමේනතුවේදී ඉල්ලං කන කොට එයාගේ උදව්වට කවුරුත් නැගිට්ටේ නෑ. හම්බන්තොට වරාය වෙනුවෙන් කෝටි 07ක් ණය නොගෙවන්නේ ඇයි කියලා ඩලස් ඇහුවාම ඩොලර් කෝටි 3600ක් වන අනිත් ණය ගෙවන්නේ කොහොමදැයි ඔබතුමා ඇහුවාම එයාට තරු පේන්න ඇති” දයා ගමගේ කීවේය.


“සිංහල දෙමළ ඇලුත් අවුරුද්දට ජනතාව සහන බලාපොරොත්තු වෙනවා” වජිර අබේවර්ධන කීවේ වැදගත් කතාවක් බව අගමැතිවරයා පිළිගත්තේය.


“බඩු හිඟයක් නැතිව දෙනවා. උත්සව කාලේ මිල වැඩි කළොත් වෙළෙන්දෝ අමාරුවේ වැටේවි. ලබන මාසවල ජී.එස්.පී. ලැබුණාම ජනතාවට ඒකේ වාසියක් ලබා දෙනවා” අගමැතිවරයා කීය.


“ඉන්දීය අගමැති ලංකාවේ වෙසක් උත්සවයට ඒම වටිනවා. ඉන්දියාවේ බෞද්ධ අයත් මෝදිගේ මේ සංචාරය අගය කරනවාලු” පී. හැරිසන් කීවේය.


අගමැති රනිල්ගේ දේශපාලන හා පෞද්ගලික චරිතාපදානය ඇතුළත් ඉංග්‍රීසි ග්‍රන්ථයක් අඟහරුවාදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්වූයේ ජනපති, ඇමැතිවරුන්, තානාපතිවරු හා දෙස් විදෙස් ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙනි. ආර්ථික විශේෂඥයෙකු වන දිනේෂ් වීරක්කොඩි එහි කර්තෘවරයාය. ඉන්දියාවේ හිටපු ඇමැති ආචාර්ය ශශී තරු එහි ප්‍රධාන දේශනය පැවැත්වීය. ඔහු සමඟ අගමැතිවරයා හා ඇමැති රාජිත උත්සවයට පෙර එහි සිටින විට විශේෂ ආරාධිතයෙක්ද එහි පැමිණියේය. ඒ හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගමය.


“අගමැතිතුමා ගැන මුලින්ම පොත 1997 දී ලියල එළිදැක්වූවේ බෝගොල්ලාගම ඇමැතිතුමායි. කළුතරදී පැවැති එ.ජා.ප. වාර්ෂික මහා සමුළුවේදී ඒක එළැදැක්වූවේ.” ඇමැති රාජිත කීවේය.


“මොකද මතක නැත්තේ මම විපක්ෂ නායක වෙලා ඉන්නකොට රෝහිත ඒ පොත ලියපු එකයි වටින්නේ.” අගමැති කීය.
රොහිත බෝගොල්ලාගම ලංකාවේ විදේශ ඇමැතිව සිටියදී ඉන්දියාවේ නියෝජ්‍ය විදේශ ඇමැති ධුරය දැරුවේ ආචාර්ය ශශී තරූය.  ඒ තුළ ඔහුගේද පැරණි මතක රැසක් අගමැති හා බෝගොල්ලාගම ඉදිරියේ එළිදැක්විණි. ලබන 10 දා අගමැතිවරයා ජපානය හා වියට්නාමය බලා නිල සංචාරයකට පිටත්ව යාමට නියමිතය. ඒ ගැන අගමැතිගෙන් විමසූ දයා ගමගේට කදිම පළිතුරක් ලැබිණ.
“මම සිංහල අවුරුද්දට ලංකාවට තෑගි ගේන්නයි යන්නේ” අගමැති කීවේය.


“ගෝල්පේස් එක මහින්දලාට මැයි රැළියට දීපු එක හොඳයි. දැන් ඒක පුරවලා පෙන්වන්න ඕනෑ. ඒත් ගෝල්පේස් එකේ කොටසක් විතරක් කොටු කරලා සෙනග ඒකට දාන්න හදනවා කියලත් ආරංචියි. එහෙම බෑ. ඒකාබද්ධය එක්ක ජනතාව ඉන්නවා නම් මුළු පිට්ටනියම පුරවලා පෙන්වන්න ඕනෑ.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


“තිස්ස අත්තනායකගේ නඩුවට ඔබතුමාටයි, ජනාධිපතිතුමාටයි උසාවි එන්න නොතීසි එව්වා නේද? උසාවි යනවද” දයා ගමගේ ඇසුවේය.


“එන විදියක් බලමු. එදාට තියන රටට ජනතාවට අදාළ වැදගත්ම වැඬේයි මට තෝරගන්න වෙන්නේ” අගමැති කීවේය.

 

යොවුන් පුරයයි - එකමුතු ගමයි

අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පය මත ක්‍රියාත්මක වූ ත්‍රීකුණාමලයේ ‘2017 යොවුන් පුර’ වැඩසටහනට සමගාමීව නිවාස 24කින් සමන්විතව ත්‍රීකුණාමල කල්පත්තුරෙයි හි ඉදිවන “එකමුතුගම” උදා ගම්මානයට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතින් මුල්ගල් තැබුණේ අප්‍රේල් 01 වැනිදාය. මේ ගම්මානය සඳහා ප්‍රතිලාභීන් තේරීමේදී සිංහල, දෙමළ හා මුස්ලිම් පවුල් 8 බැගින් සමසේ තෝරා ගෙන තිබූ අතර සජිත් ඒ බව “යොවුන් පුර” උත්සවයේදී අගමැතිවරයා සමඟ කී විට ඔහුද ඒ පිළිබඳව සිය සතුට පළ කර සිටීම විශේෂ සිද්ධියක් විය. මුල්ගල් තැබීමේ උත්සවයට ආ විශේෂ ආරාධිතයා වූයේ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතායි. “බොහොම හොඳයි - මේ 369 වැනි උදාගම නේදැයි” සම්බන්ධන් මහතා අසද්දී සජිත් විමතියට පත්වූයේ ඔහු එපමණ නිවැරදි විස්තර දැන සිටීම පිළිබඳවය.

අනතුරුව විපක්ෂ නායකවරයා කීවේ “ඔබේ පියා වගේම ඔබත් මේ නිවාස වැඩපිළිවෙල ඉදිරියට රැගෙන යාම ගැන මා ඔබට සුභ පතනවා. ඔබේ තාත්තා එදා ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්කයට පැමිණ උදා ගම්මාන හදද්දී මම උපරිම සහයෝගය ලබා දුන්නා. අදත්, ඉදිරියටත් මම මගේ සහයෝගය නොඅඩුව ලබා දෙනවා” කියාය. නැගෙනහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය හාෆීස් නසීර් අහමඞ් සමඟ පිළිසඳරේ යෙදෙමින් සිටියදී “රට පාලනය කරන්න අපට ජිනීවා උපදෙස් අවශ්‍ය නෑ. යහපාලන රජයට වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඒක නිවැරදිව කරන්න පුළුවන්” යයි සජිත් කියද්දී මහ ඇමතිවරයා කීවේ “ඔබ හරියටම හරි” කියාය.

 

23 වැනි උදාගම්මානය - ‘ප්‍රතිභාගම’

23 වැනිදා උදා ගම්මානය සජිත් අතින් ජනතා අයිතියට පැවරුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ, දෙමටෑගමදිය. තිරප්පනේ ඈත ඉතිහාසයක් ඇති ගම් ප්‍රදේශයකි. ගිලන්ව සිටි දුටුගැමුණු මහ රජතුමන්ට රුවන්වැලි සෑයේ වැඩ අවසන් කර පෙන්විය හැකි නොවන බව වටහා ගත් රාජ්‍ය නිලධාරීන් චෛත්‍යයේ සැබෑ උසින් සැකිල්ලක් ඉදිකර එය සුදු තිරවලින් අවාරණය කර රජුට පෙන්වීමට කටයුතු කළ බවත්, රජු දුර සිට චෛත්‍යයේ අකෘතිය දැකගත් ප්‍රදේශය ‘තිර පෙනේ’ - ‘තිරප්පනේ’ වූ බවත් කියැවේ. 02 වැනිදා පැවති “ප්‍රතිභාගම” ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වූ පී. හැරිසන් ඇමැතිවරයාට සජිත් කීවේ “අනුරාධපුර දිස්ත්‍රික්කයේ තවත් උදා ගම්මාන හදමු” කියාය. “දැනටමත් 40ක් හදාගෙන යනවා. තව හදමු... දිසාපතිතුමාගෙන් තව ඉඩම් ටිකක් නිදහස් කර ගන්නම්” හැරිසන් පිළිතුරු දෙමින් කීවේය.

 

වවුනියාවට ‘ශිල්ප සවිය’

“ශිල්ප සවිය” වැඩසටහන යටතේ ඉදිකිරීම් පුහුණුව සඳහා තෝරා ගත් තරුණ තරුණියන් 664 දෙනෙකුට රුපියල් ලක්ෂ 252ක මුදලින් වෘත්තීය උපකරණ, නිල ඇඳුම් හා විෂයානුබද්ධ පෙළ පොත් ලබාදීම සඳහා වවුනියාව නගරයේ පැවති විශේෂ උත්සවය අමතා සජිත් කළ ප්‍රකාශය ඉකුත් සතියේ ආන්දෝලනාත්මක එකක් විය. “මේ රටේ බෞද්ධයන්ට ඕනෑම පළාතක තිබෙන බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කරන්න අයිතිය තිබෙනවා. උතුරේ පන්සල් හදන්නත් අයිතිය තිබෙනවා. ඒ වගේම උතුරේ සිටින ඔබට රටේ සෙසු ප්‍රදේශවලට ගිහින් වන්දනාමාන කටයුතු කිරීමට වගේම දකුණේ කෝවිල් හදන්නටත් අයිතිය තිබෙනවා. මුස්ලිම් පල්ලි, ක්‍රිස්තියානි, කතෝලික දේවස්ථාන හදන්නත් ඒ ඒ ආගම් අදහන අයට අයිතිය තිබෙනවා. කවුරු හරි කියනවා නම්, උතුරේ පන්සල් හදන්න බෑ - දකුණේ කෝවිල් හදන්න බෑ කියලා අන්න ඒ පුද්ගලයන්ගෙන් පරිස්සම් වෙන්න” යයි සජිත් කියන විට නැඟුණේ විශාල අත්පොළොසන් හඬකි. උත්සවය අවසානයේදී සජිත් වවුනියා දිස්ත්‍රික් කළමනාකාරවරයාට උපදෙස් දුන්නේ ප්‍රදේශයේ “බෝගස්වැව” ඇතුළු මහා පරිමාණ නිවාස ව්‍යාපෘති සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී කිසිදු භේදයකින් තොරව එය සිදුකළ යුතු බවයි.

 

ඇමැති අකිල

මහනුවර සිරිමල්වත්ත ප්‍රාථමික විද්‍යාලයේ එක් ගොඩනැගිල්ලක වහළය කඩාවැටීමේ සිද්ධිය පිළිබඳ මාධ්‍ය වාර්තා පළවීමත් සමග අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කළේ අමාත්‍යාංශ නිලධාරීන් කැඳවා ඒ ගැන කරුණු විමසීමය.


එහිදී අමාත්‍යවරයා පළාත් අධ්‍යාපන බලධාරීන් දෝෂදර්ශනයට ලක්කරමින් කීවේ, “වහළය කඩා වැටීමෙන් ළමයින්ට අනතුරක්වූයේ නම් එහි වගකීම දරන්නට සිදුවන්නේ රටේ අධ්‍යාපන ඇමැති වන තමාට බවය. අපි ළඟම පාසල හොඳම පාසල වැඩසටහන කරන්නේ පළාත් සභා පාසලුත් සම්බන්ධ කරගෙනයි. මේ පාසලේ අඩුපාඩු ගැනත් අපි තොරතුරු අහලා තිබුණා. එතනදී ඒගොල්ලො මේ වහල ගැන මොකුත් කියලා තිබුණේ නෑ. වෙන වෙන දේවල් ගැනයි කියලා තිබුණේ. මේවට වගකියන්න ඕන පළාත් අධ්‍යාපන බලධාරීන්. ඒ කොහොම වුණත් අන්තිමට වගකීම දරන්න වෙන්නේ අධ්‍යාපන ඇමැති හැටියට මටයි.” අකිල මේ ආකාරයේ බරපතළ අඩුපාඩු තිබෙන පාසල්වල තොරතුරු ඇතුළත් වාර්තාවක් සකස් කර තමාට ලබාදෙන ලෙස නිලධාරීන්ට එහිදී උපදෙස් දුන්නේය.


ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සංවිධානය කළ විශේෂ සම්මේලනයක් පසුගියදාක පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ සම්මේලනයට මුදල් ඇමැති රවි කරුණානායක මහතා ද ජනපති සමග එක් විය.


ගිය සෙනසුරාදා ද, ඇමැති රවී මල්වතු - අස්ගිරි උභය පාර්ශ්වීය මහානායක හිමිවරුන් බැහැදැකීමට ගියේ අසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස තමාට ලැබුණු ඇගයීම ගැන උන්වහන්සේලා දැනුවත් කරන්නටය. එහිදී උන්වහන්සේලා රවීට සුබපතමින් ප්‍රකාශ කළේ, මුදල් ඇමැතිතුමාගේ අගය ලංකාවේ අයට නොතේරුණාට ලෝකෙට තේරෙන බවය.

 

ඇමැති ගයන්ත

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් වසර අටකට පසු සංවිධානය කළ ජනාධිපති සිනමා සම්මාන උළෙල පසුගිය දිනෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, එම අවස්ථාවට අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ද සහභාගි විය. එහිදී ජනාධිපතිවරයාත් එම අවස්ථාවට සහභාගි වී සිටි කලාකරුවනුත් ගයන්තට ස්තුති කළේ වසර අටක් තිස්සේ නොපැවැත්වුණු ජනාධිපති සිනමා සම්මාන උළෙල වඩාත් විචිත්‍රවත්ව පැවැත්වීමට කටයුතු පිළියෙල කර තිබූ නිසාය.


අධිරාජ්‍ය විරෝධී අරගලවලදී බි්‍රතාන්‍යයන් විසින් දේශද්‍රෝහීන් හැටියට නම් කරනු ලැබ තිබූ දේශීය විරුවන් දේශප්‍රේමීන් ලෙස නම් කිරීමේ ගැසට් පත්‍රයට අස්සන් තැබීමේ උත්සවය මීට දින ගණනාවකට ඉහතදී මහනුවරදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී එම විරුවන්ගේ ක්‍රියාකාරකම් අලලා සකස් කළ නාට්‍යයක් රඟදැක්වීම ද සිදුවිය. මේ නාට්‍ය නැරැඹීමට එදින මෛත්‍රීට නොහැකි වූයේ කල්වේලා ඇතුව එම ස්ථානයෙන් පිටත් වූ බැවිනි. ඒ අනුව ජනාධිපතිවරයා ගයන්තගෙන් පසු දිනෙක ඉල්ලා සිටියේ, හැකි නම් එම නාට්‍ය කොළඹදී හා පොලොන්නරුවේදී රඟදැක්වීමට ඉඩ සලසන ලෙසය. ඒ අනුව පසුගිය දිනෙකදී එම නාට්‍යය කොළඹදී රඟ දැක් වූ අතර ජනපති මෛත්‍රී සිය පවුලේ උදවිය සමග පැමිණ එය නැරඹීය.


වාර්ෂිකව පැවැත්වෙන නුවරඑළිය වසන්ත උද්‍යානයේ තුරඟ තරග ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය පසුගිය දිනෙක පැවැත්වුණු අතර, ඊට ප්‍රධාන ආරාධිතයා හැටියට සහභාගි වූයේ ද ගයන්තය.

 

ඇමැති මද්දුමබණ්ඩාර

පසුගිය සතියම මොනරාගල දිස්ත්‍රික්කයේ ගත කළ අමාත්‍ය මද්දුම බණ්ඩාර උත්සව ගණනාවකට සහභාගි වූ අතර, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් විශාල පිරිසක් ද හමුවිය. මෙහිදී සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමග සුහද කතාබහක නිරත වුණ අතර, අමාත්‍යවරයා ඔවුන්ට සඳහන් කළේ, “ඔයගොල්ලො තමයි මේ රජය බිහි කරන්න විශාලම කාර්යභාරය කළේ. ඒ ගොඩනගපු මතවාදය නිසා තමයි රටේ ජනතාව පැවතුණ රජය බලයෙන් ඉවත් කරන්න තීරණය කළේ. එහෙම මතවාදී සටනක් කරපු ඔයාලව අපේ ආණ්ඩුව කවදාවත් අමතක කරන්නේ නෑ. අද මමත් මේ රජයේ වගකිවයුතු ඇමැතිකෙනෙක් වෙලා ඉන්නේ ඒ ඇති කරපු විප්ලවය හින්ද. එහෙව් මට කොහොමවත් ඔයාලව අමතක වෙන්නෙ නෑ” යනුවෙන් පැවසීය.


මේ අතර බිබිල ප්‍රදේශයේ පැවැති උත්සවයකදී රංජිත් එවකට තමන්ගේ දේශපාලන පසමිතුරා වූ සොයිසා අමාත්‍යවරයා මුණගැසුණි. දෙදෙනා අතර විවිධ දේශපාලන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා යන අතරතුර මුල්ගල් පෙරළන පිරිසක් සම්බන්ධයෙන් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා සොයිසා ඇමැතිවරයාගෙන් විමසීය. “සොයිසා ඇමැතිතුමා දැන් අලුත් විදියේ සෙල්ලමක් කට්ටියක් පටන් අරන් තියෙනවා. තමුන්නාන්සේ දන්නවද ඒක” යැයි අසන විට සොයිසා අමාත්‍යවරයා පෙරළා සඳහන් කළේ “අනේ අපේ ඇමැතිතුමා ඔය කියනකං මම දන්නෙ නෑ එහෙම අලුත් සෙල්ලමක් ගැන. ඇත්තටම මොකක්ද ඔය අලුත් සෙල්ලම. කියන්නකො අපිටත් කරන්න පුළුවන් විදියේ එකක්ද?”. “ඔබතුමාට කරන්න පුළුවන්ද? බැරිද? මම දන්නෙ නෑ. කොහොම වුණත් ඒකාබද්දෙ ද මොකක්ද කියන එකේ පිරිසක් ඉන්නව අපි තියන මුල් ගල් පෙරළලා දානව. මේ සෙල්ලම එච්චර හොඳ සෙල්ලමක් නම් නොවෙයි” යැයි කියන විට “අනේ ඇමැතිතුමා මුල් ගල් පෙරළන සෙල්ලම නම් එදා කළෙත් නෑ. අද කරන්නෙත් නෑ. ඇමැතිතුමා දන්නවනෙ මම කවුද කියලා” යැයි සොයිසා අමාත්‍යවරයා සඳහන් කරන විට රංජිත් සඳහන් කළේ “මොකෑ මම නොදන්නේ” යනුවෙනි.

 

ජනපති

දේශපාලන පක්ෂ මේ වනවිට සූදානම් වන්නේ ළඟ එන මැයි දිනය ඉහළින් පවත්වන්නටය. ඒ සඳහා සංවිධාන කටයුතු කල්තියාම ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මැයි දිනය පවත්වන්නේ මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේය. 


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැයි දින කටයුතු සඳහා වෙනම කමිටුවක්ද නිමල් සිරිපාල ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කර තිබේ.


මැයි දින රැලිය පවත්වන ගැටඹේ ක්‍රීඩාංගණය බලන්නට සහ මේ පිළිබඳ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් දැනුවත් කරන්නට සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක යන ඇමැතිවරුන් ඇතුළු පිරිසක් ගිය සතියේ මහනුවර බලා පිටත්ව ගියහ. අනුර යාපා, ලසන්ත අලගියවන්න හා මධ්‍යම මහ ඇමැති සරත් ඒකනායකද මේ අවස්ථාවට එක්ව සිටියහ. පිරිස මුලින්ම ගියේ අස්ගිරි මහ නාහිමියන් බැහැ දකින්නටය. අනෙක් ඇමැතිවරුන් ඒමට තරමක් ප්‍රමාද වූ නිසා අස්ගිරි මහනාහිමියන් බැහැ දකින්නට මුලින්ම ගියේ මහින්ද අමරවීර හා සරත් ඒකනායක යන දෙදෙනාය. අනතුරුව පිරිස මල්වතු මහ නාහිමියන් බැහැ දකින්නට ගියහ.



මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන්ද සාකච්ඡාවකට කැඳවා තිබිණි. එයද මැයි දිනය ගැන දැනුවත් කරන්නටය. මහනුවර හෝටලයක පැවැති මේ සාකච්ඡාවටද අමරවීර, දුමින්ද, අනුර යාපා, සහ ලසන්ත අලගියවන්න සහභාගි වූහ. එය සූදානම් කර තිබුණේ සරත් ඒකනායක මහ ඇමැතිවරයාය. පිරිසට එම හෝටලයේම දවල් කෑමද සූදානම් කර තිබිණි. ඉන් අනතුරුව ඇමැතිවරු පිරිස ගැටඹේ ක්‍රීඩාංගණය බලන්නට පැමිණියහ. එහි වේදිකා ඉදිකිරීම, සැරැසිලි මෙන්ම වාහන නතර කරන තැන් ආදිය ගැනද එහිදී සාකච්ඡා කෙරිණි.


මේ අතර මැයි දිනය ගැන සාකච්ඡා කරන්නට මහින්ද අමරවීර ඇමැතිවරයා ගිය අඟහරුවාදා සන්ධානයේ සෙසු පක්ෂ නායකයින්ද ශ්‍රීලනිප මූලස්ථානයට කැඳවීය. මේ සාකච්ඡාවට ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායකද සහභාගි විය. ඉන් අනතුරුව පක්ෂයට අනුබද්ධ වෘත්තිය සමිති නායකයින්ගේද විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදීද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වුනේ මෙවර මැයි රැලිය ඉහළින් පැවැත්වීම හා ඊට වැඩි පිරිසක් සහභාගි කරවා ගැනීම සඳහාය. මේ හමුවට චන්දිම වීරක්කොඩිද පැමිණ සිටියේය.

මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරු ගිය සඳුදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූහ. හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, නගර සභා මන්ත්‍රීවරු හා මැතිවරණයට තරග කළ 67 දෙනෙක් මේ හමුවට පැමිණ සිටියහ. ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 10 දෙනෙක් පමණද ඊට සහභාගිවූහ. මේ හමුව සංවිධානය කර තිබුණේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයාය. ජනාධිපතිවරයා හිටපු මන්ත්‍රීවරුන් පිරිස සමඟ ඉතා සුහදව කතාබහ කළේය. ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රීවරුන්ට අමතරව විජය දහනායක, මනෝජ් සිරිසේන, රාසපුත්‍ර ඇතුළු ආසන සංවිධායකයෝද ඊට එක්ව සිටියහ. ජනාධිපතිවරයා මේ හමුවේදී කීවේ කුමන හේතුවක් නිසාවත් පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයෙන් පිට නොපවත්වන බවය. සමහර අය ඔළුවේ තියාගෙන ඉන්නවා මනාප ක්‍රමයටම ඡන්දය එයි කියලා. නමුත් මොන හේතුවක් නිසාවත් පළාත් පාලන ඡන්දය කොට්ඨාස ක්‍රමයෙන් පිට තියන්නෙ නැහැ. ඔයාල බය නැතිව ලෑස්ති වෙන්න යැයි ජනාධිපතිවරයා කීවේය. ඒ සමඟම ජනාධිපතිවරයා ආසන සංවිධායකවරුන්ට කීවේ ඡන්ද ගන්න පුළුවන් අය ලෑස්ති කරගන්න කියාය. මේ හමුව සංවිධානය කිරීම ගැන ජනාධිපතිවරයා ලක්ෂ්මන් යාපාට ස්තුති කළේය.


අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහනාහිමියන් අපවත් වූයේ අඟහරුවාදා උදේය. එය ආරංචි වූ වහාම ජනාධිපතිවරයා තීරණය කළේ නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන උත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කරන්නටය. ජනාධිපතිවරයා විජයදාස රාජපක්ෂටත්, වජිර අබේවර්ධන හා ලක්ෂ්මන් යාපා අබේවර්ධනටත් දුරකතනයෙන් කතා කර, මේ සඳහා අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කරන්නැයි උපදෙස් දුන්නේය. වජිර අබේවර්ධන, ලක්ෂ්මන් යාපා, විජයදාස රාජපක්ෂ ඇතුළු ඇමැතිවරු ද ජනාධිපති ලේකම්වරයා ඇතුළු නිලධාරීහු ද උදේ 10.00ට පාගොඩ ශ්‍රී විද්‍යා විජය විහාරස්ථානයට පැමිණ ආදාහන කමිටුව රැස් කළහ. එහි සභාපති ලෙස කටයුතු කළේ ලක්ෂ්මන් යාපාය. ආදාහන උත්සවය පවත්වන ආකාරය හා රාජ්‍ය ගෞරව ලබාදීම ඇතුළු අවශ්‍ය කටයුතු පිළිබඳ එහිදී තීරණය කළේය. බන්දුල ගුණවර්ධන ද මේ සාකච්ඡාවලට එක් විය. දවුල්දෙණ නාහිමියන්ගේ දේහය එදින රාත්‍රි 7.00ට ජයරත්න මල් ශාලාවේ සිට පාගොඩ පන්සලට රැගෙන ඒමට නියමිතව තිබිණි. ලක්ෂ්මන් යාපා, බන්දුල ගුණවර්ධන ඇතුළු කිහිප දෙනෙක් ද එවෙලේ ජයරත්න මල් ශාලාව අසලට ගොස් සිටියහ.


රෑ 7.00ට දේහය මල් ශාලාවෙන් රැගෙන යන්නට සූදානම් වෙද්දී, බන්දුල ගුණවර්ධන කීවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එතනට එන නිසා දේහය රැගෙන යාම විනාඩි 10ක් ප්‍රමාද කරන්න කියාය. එහෙත් පොලිස්පතිවරයා ඊට එකඟ නොවීය. ඔහු කීවේ දැන් පාරවලුත් වහල තියෙන්නේ. ඒ නිසා දේහය ගෙනයෑම ප්‍රමාද කළ නොහැකි බව පොලිස්පතිවරයා කීවේය. ඒ අනුව දේහය රැගෙන හරියටම රෑ 7.00ට පිටත් විය. මහින්ද ඒ බව දැන කෙළින්ම පාගොඩ පන්සලට ගියේය. ඒ යන විට ලක්ෂ්මන් යාපා ද පන්සලට පැමිණ සිටියේය. දෙදෙනා කතාබහ කරමින් සිටින අතරේ දේහය පන්සලට රැගෙන ආවේය. දේහය වාහනයෙන් රැගෙන, පන්සල ඇතුළට ගෙනයාමට සූදානම් වෙද්දී මහින්ද පෙට්ටියේ එක පැත්තකට කර ගැසූ අතර, ලක්ෂ්මන් යාපා පෙට්ටියේ අනිත් පැත්තට කර ගැසුවේය. මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද ආදාහන කමිටුවට වරින්වර කතාකර අවශ්‍ය උපදෙස් ලබාදුන්නේය.

 

මෛත්‍රී-මහින්ද මුහුණට මුහුණ හමුවීම

ආදාහන උත්සවය පැවැත්වුණේ බ්‍රහස්පතින්දා හවස කොළඹ නිදහස් චතුරශ්‍රයේය. ජනපති මෛත්‍රීත් හිටපු ජනපති මහින්දත් කාලෙකට පසුව මුහුණට මුහුණ හමුවුණේ මේ ආදාහන උත්සවයේදීය. වැඩි කතාබහක් නොමැතිව දෙදෙනාට දෙදෙනා ආචාර කරගෙන උත්සව සභාවේ අසුන්ගෙන සිටියහ. අගමැතිවරයාත්, කතානායකවරයාත් අසුන්ගෙන සිටියේ ඔවුන් සමගය. ආදාහන උත්සවයට 3000කට වැඩි භික්ෂූන් වහන්සේලා පිරිසක් වැඩම කර සිටියහ. උත්සවය හමාර වූ සැණින් කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියෝ ලක්ෂ්මන් යාපා ද ජනාධිපතිවරයා ළඟට කැඳවාගෙන ගොස් කීවේ, මෙතුමා ආදාහන කමිටුවේ සභාපති විදියට මේ වැඬේට හරියට මහන්සි වුණා” කියාය. “මටත් පේනවා මෙතුමා මහණ වෙලා වනගත වෙන්න හදනව වගෙයි කියලා” යැයි ජනාධිපතිවරයා ද හිනාවෙමින් කීවේය.


මෙවර කැබිනට් මණ්ඩලය ද සුපුරුදු පරිදි අඟහරුවාදා උදේ රැස්වූයේ ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. මෙවර ද ප්‍රධාන කාරණා දෙකක් නිසා කැබිනට් රැස්වීම තරමක් උණුසුම් විය. එකක් යෝජිත බලශක්ති සැපයුම් කමිටුවක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත පිළිබඳ කැබිනට් පත්‍රිකාවකි. විදුලිය හා ඉන්ධන සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන්නට එමඟින් යෝජනා කර තිබිණි. මේ යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු විරෝධය පළ කළහ. අනුර යාපා, රංජිත් සියඹලාපිටිය හා චන්දිම වීරක්කොඩි ඉන් ප්‍රධානය. ඇමැතිවරුන්ගේ බලතල නිලධාරීන් අතට ගැනීමක් මෙමඟින් සිදුවන බව අනුර යාපා කීවේය. අගමැතිවරයා මේ ගැන පැහැදිලි කරමින් කීවේ, 2018 මුල වන විට බලශක්ති අර්බුදයක් එනවා. ඒකට මුහුණ දෙන්නයි මේක හදන්නේ කියාය. එහෙත් ශ්‍රීලනිප ඇමැතිවරු එයට එකඟ නොවූහ. චන්දිමත්, සියඹලාපිටියත් කීවේ, තමන්ට මේ ගැන නිරීක්ෂණ දීමට කල් අවශ්‍ය බවය.


අගමැතිවරයා මේ මස 25 වැනිදා ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිතය. එහිදී ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට ද නියමිතව ඇත. ලංකාවේ ව්‍යාපෘති කිහිපයක් ඉන්දියාවට බදුදීමට එමඟින් යෝජිතය. එසේ ඉන්දියාවට බාදු දෙන ව්‍යාපෘතිවල ලැයිස්තුවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි,  කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, දඹුල්ල-ත්‍රිකුණාමලය අධිවේගී මාර්ගය ඉදිකිරීම, ත්‍රිකුණාමලය කාර්මික කලාපය ආදී ලැයිස්තුවක් එහි විය. චම්පික රණවක කීවේ, “මේ ව්‍යාපෘති පිළිබඳ අවබෝධතා ගිවිසුම් අත්සන් කරන්නේ නම් ව්‍යාපෘතීන් ඒ විදියට කෙරෙන්න ඕන.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි දෙනවට ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති විරුද්ධයි. කෙරවළපිටියේ එල්.එන්.ජී. බලාගාරය ඉන්දියාවට කරන්න පළුවන් ද කියා මා හිතන්නෙ නෑ. මේවාට හිමිකම් අත්සන් කරලා, නොකෙරෙනකොට දේශපාලන ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා මුලින්ම අපි එකඟතාවක් ඇති කර ගන්න ඕන” කියාය.


“අපි මේවා කරනකොට සමාජීය වශයෙන් ඉදිරිපත් වන අදහසුත් අහන්න ඕනෑ . තනි මතයට යන්න බෑ” දයාසිරි කීවේය.
අගමැතිවරයා මේ සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.


“අපේ රට ඉන්නෙ නොබැඳි පිළිවෙතක. අපට චීනෙත් ඕනෑ. ඉන්දියාවත් ඕනෑ. බටහිර රටවලුත් ඕනෑ. චීනයට පමණක් බොහෝ ව්‍යාපෘති ලැබෙනකොට අනික් රටවල් අසතුටට පත්වෙන්න පුළුවන්. අපි හැමදෙනා එක්කම හොඳින් ඉන්න රටක්. නොබැඳි පිළිවෙත රැකගෙන අපි මේ ගමන යන්න ඕනෑ....” අගමැතිවරයා ඉන්දියාවත් සමග ගනුදෙනු කළ යුතු ආකාරය ගැන දීර්ඝ විස්තරයක් කරමින් කියද්දී එයට විටින්විට දයාසිරි ජයසේකර ඇමැතිවරයාගෙන් බාධා එල්ල විය.


මෙහිදී ඇමැති දයාසිරි තම කතාවට බාධා වීම සම්බන්ධයෙන් අගමැතිවරයා දෙතුන් වරක් හිස ඔසවා බලන අයුරු ද පෙනිණි. එහෙත් බාධාව නැති වුණේ නැත. 


“මේ අයිෂෙ.... ඒවා අපි බලා ගන්නම්.... අපිට මහින්ද රාජපක්ෂගෙ කොන්ත්‍රාත් කරන අයගෙ යෝජනා අවශ්‍ය නෑ” අගමැතිවරයා අනතුරුව කියද්දී දයාසිරිගේ කතාව නතර විය.


රාජිත සේනාරත්න කීවේ “අපි මේ විවේචනවලට මුහුණ දෙන්න ඕනෑ කියාය. එදා ඉන්දියාව එක්ක ගිවිසුම් ගහලා පළාත් සභා පිහිටුවද්දිත් විරෝධතා ආවා. එහෙම විරුද්ධ වෙච්ච අය ඔය අද පළාත් සභාවලට ගිහින් අගේට කන්නේ” යැයි රාජිත කීවේය.

ජනාධිපතිවරයා කීවේ අදාළ විෂය භාර ඇමැතිවරුන් රැස් වී සාකච්ඡා කර මේ ගැන 25 වැනිදාට කලින් එකඟතාවක් ඇති කරගන්න කියාය. “අපි එක්සත්ව සාකච්ඡා කරලා, තීන්දුවලට එමු” යැයි ජනාධිපතිවරයා කීවේය.


දුම්කොළ හා මධ්‍යසාර පනත සම්බන්ධ කැබිනට් පත්‍රිකා සංශෝධනයක් ද ඉදිරිපත් කර තිබිණ. එමඟින් පෙන්වාදී තිබුණේ දැනට මත්පැන් ශාලා පවත්වාගෙන යාමට දී ඇති දුර ප්‍රමාණය සංශෝධනය විය යුතු බවය. මේ සඳහා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වූයේ පාසල් ළඟ මීටර් 500ක් මෑතින් මත්පැන් ශාලා නොතිබිය යුතු බවය. එහෙත් එයට පෙර ඉදිරිපත් කර ඇති කෙටුම්පත් යෝජනාවේ ඇත්තේ මීටර් 100ක දුරක් ලෙසය. මෙයට ඇමැතිවරුන්ගේ තදබල විරෝධය මතුවිය. මෙමඟින් පාසල් අසල මත්පැන් ශාලා ඇරැඹීමට දිරිදෙන බවට ජනතාව චෝදනා කරනු ඇතැයි ඇමැතිවරු කීහ. එම පත්‍රිකාව ද ඉවතට දැමිණි.


චම්පික රණවක ඇමැතිවරයා මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් ගැන කියන්නට ගිය සතියේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් හමුවිය. මේ හමුව සිදුවූයේ ඉකුත් අඟහරුවාදා රාත්‍රියෙ බත්තරමුල්ල වෝටර්ස්එජ් හෝටලයේය. එහිදී චම්පික කොළඹ හා බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් ගණනාවක සැලසුම් ගැන මාධ්‍ය ප්‍රධානීන්ට පැහැදිලි කළේය.

 

ඒකාබද්ධ විපක්‍ෂය

ඒකාබද්ධ විපක්ෂය මෙවර මැයි රැළිය පවත්වන්නේ කොළඹ ගාලුමුවදොර පිටියේය. ඔවුන් ද මේ දිනවල වැඩි වෙහෙසක් ගන්නෙ මැයි දිනේ සංවිධාන කටයුතු වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂයෙ මන්ත්‍රී කණ්ඩායම ගිය සතියෙ පාර්ලිමේන්තු සංකීර්ණයෙ කාමර අංක හතරෙදී රැස්විය. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ හමුවේදී වැඩි අවධානය යොමුවූයේ මැයි දිනය හා විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නය ගැනය. “අපි විමල්ගෙ ප්‍රශ්නය ගැන ජනපති, අගමැති හා කතානායක සමඟ සාකච්ඡා කළා. ඒ හැමෝම කිව්වෙ බලමු කියලයි. නමුත් මේ වනතුරු ඒකට කිසිදු ප්‍රතිචාරයක් නැහැ. විමල්ට ඇප ගන්න අපි කතා කළා කියල සමහරු කියනවා. නමුත් අපි ඉල්ලන්නෙ ඇප නෙවෙයි. මෙතැන තියෙන දේශපාලන දඩයම නවත්වන්න කියලයි” යැයි දිනේෂ් කීවේ දීර්ඝ පැහැදිලි කිරීමක් ද කරමිනි.


අනතුරුව සාකච්ඡාවට ලක්වූයේ ගාලුමුවදොර පවත්වන්නට යන ඒකාබද්ධ විපක්ෂයෙ මැයි රැළිය ගැන ආණ්ඩුව ජනතාවට එල්ල කර තිබෙන පීඩනය මෙම හෙළිදරව් කරන වේදිකාව බවට මේ මැයි රැළිය පත්කර ගත යුතු බව දිනේෂ් කීවේය. ඒ සඳහා වැඩිම පිරිසක් කොළඹට ගෙන්වන්නට ද තීරණය විය. මේ අතර ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා වෙනත් කරුණක් මතු කළේය. “මහ බැංකුවේ බැඳුම්කර වංචාවෙන් උපයා ගත් සල්ලිවලින් මාධ්‍ය ආයතන ආරම්භ කරලා අපි මේ කොල්ලයට විරුද්ධ වුණු අය. ඒ නිසා මේ මාධ්‍යවලට අපි සම්මුඛ සාකච්ඡා නොදිය යුතුයි. ඒ ගැන අපි අද තීරණයක් ගන්න ඕන” යැයි ඩලස් කීවේය. එම යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනාගේ එකඟතාව පළ විය.


පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් මඟින් සංවිධානය කළ අවුරුදු උත්සවයක් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ඉකුත්දා පැවැති අතර ඊට ආණ්ඩුවෙත් ඒකාබද්ධ විපක්ෂයෙත් මැති ඇමැතිවරු පිරිසක් එක්ව සිටියහ. අලියාගේ ඇස තැබීමට ගයන්ත කරුණාතිලක, හේෂා විතානගේ, මනුෂ නානායක්කාර ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ඉදිරිපත්වූහ. ගයන්තගේ ඇස් බැන්දේ හේෂා විතානගේය. ඒකාබද්ධ විපක්ෂයෙ පියල් නිශාන්ත හා ඉන්දික අනුරුද්ධ විහිළු කරමින් කීවේ ගයන්තගේ ඇස් බැඳ ඇත්තේ හොරට කියාය. අවසානයෙ අලියාට ඇස තැබීමෙන් දිනුවේ ගයන්තය. “ඕක තමයි අපි කිව්වෙ හේෂා ගයන්තගේ ඇස් බැන්දෙ පේන විදියට” යැයි පියල් නිශාන්ත, ඉන්දික අනුරුද්ධ ඇතුළු මන්ත්‍රීවරු කීහ. අලියාට ඇස් තැබීමට මනුෂ නානායක්කාර ද ඉදිරිපත් වූ අතර ඔහුගේ ඇස් බඳින්නට ඉදිරිපත්වූයේ ගාල්ලේ බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයාය. මනුෂත් බන්දුලාල් බණ්ඩාරිගොඩත් කලක් එක