මෛත්‍රී පිළිගන්නට සොල්නුවර විහාරස්ථානයට හදිසියේ ආ අමුත්තා


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දකුණු කොරියාවේ තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා පිටත්ව ගියේ ඉකුත් සඳුදා පස්වරුවේය. ඒ දකුණු කොරියා​ෙව් ජනාධිපති මූන් ජෙයින් මහතාගෙන් ලැබුණු නිල ආරාධනයකට අනුවය. ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා  ආරම්භ වී වසර 40ක් ද සම්පූර්ණ වේ. ජනාධිපතිවරයාගේ තෙදින රාජ්‍ය සංචාරය ඒ සමගම සිදුවීම අතිශයින් වැදගත්ය. ආචාර්ය සරත් අමුණුගම, මලික් සමරවික්‍රම, රංජිත් සියඹලාපිටිය, තිලක් මාරපන, දයා ගමගේ යන ඇමැතිවරු සහ තලතා අතුකෝරල ඇමැතිවරිය ද මේ සංචාරයට එක්ව සිටියහ.   


ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස සෝල් නුවර ඉන්චෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත අඟහරුවාදා උදේ ළගා වූ අතර ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ එරට විදේශ කටයුතු උප ඇමැති චෝ හසුන් විසිනි. ජනාධිපතිවරයාගේ කොරියානු රාජ්‍ය සංචාරයේ පළමු කටයුත්ත වූයේ සෝල් නුවර පෞරාණික බෞද්ධ මධ්‍යස්ථානයක් වන ජොග්යේ විහාරස්ථානය වැඳ පුදා ගැනීමය. ජනාධිපතිවරයා අඟහරුවාදා උ​ෙද් ජොග්යේ විහාරස්ථානය වෙත යද්දී සියලු දෙනාම පුදුමයට පත්කරමින් අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ අන්කවරකුත් නොව දකුණු කොරියානු ජනාධිපති මූන් ​ෙජයින් මහතාය. ජනපති මෛත්‍රී හා දකුණු කොරියානු ජනපති අතර නිල හමුව නියමිතව තිබුණේ පසුවදාටය. එසේ තිබියදී මූන් ​ෙජයින් ජනාධිපතිවරයා මෛත්‍රී පිළිගන්නට විහාරස්ථානයට පැමිණ සිටියේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කෙරෙහි ඔහු තුළ පැවති මිත්‍රශීලීත්වය හේතුවෙති. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගනිමින් මූන් ​ෙජයින් ජනාධිපතිවරයා කීවේද තමා එහි පැමිණියේ මිත්‍රශීලී පිළිගැනීමක් ලබාදීමට බවය. එය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ විශේෂ ඇගයුමට ද ලක්විය.   


ජනපති මෛත්‍රී හා දකුණු කොරියානු ජනාධිපතිවරයා අතර නිල හමුව බදාදා (29) උදේ පැවැත්වුණේ සෝල් නුවර බ්ලු හවුස් ජනපති නිලනිවසේදීය. ජනාධිපතිවරයා වෙනුවෙන් ඉහළ පිළිගැනීමක් ලැබුණ අතර එහිදී දෙරට අතර ගිවිසුම් 5කට ද අත්සන් තැබිණි. ආර්ථික සහයෝගිතාව, රැකියා බලපත්‍ර ක්‍රමය, ආර්ථික සහයෝගිතාවය, ආයෝජන සහයෝගිතාව, සංස්කෘතික, කලා කටයුතු, අධ්‍යාපන තරුණ හා ක්‍රීඩා කටයුතු ආදිය සම්බන්ධයෙන් එම ගිවිසුම් අත්සන් කෙරිණි.   


ජනපති මෛත්‍රීට මෙම සංචාරයේදී සෝල් මෙට්‍රෝපොලිටන් නගරයේ ගෞරවණීය පුරවැසිභාවය හිමි වීමද විශේෂත්වයකි. එය පිරිනැමුණේ සෝල් මෙට්‍රෝපොලිටන් නගරාධිපතිවරයාගේ නිල නිවසේදීය. නගරාධිපති පාර්ක් වොන් සුන් ජනපති මෛත්‍රීට ගෞරවණීය පුරවැසිභාවය පිරිනමමින් කීවේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා මෙන්ම ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ජනපති මෛත්‍රී තුළ පවත්නා නොපසුබස්නා උත්සාහය අගය කරමින් මෙම ගෞරවණීය පුරවැසිභාවය පිරිනමන බවය.   


අධික වැසි හා දැඩි සුළං හේතුවෙන් ලංකාවේ ප්‍රදේශ ගණනාවක ජනජීවිතය අඩාළ වී තිබුණේ ජනපති මෛත්‍රී දකුණු කොරියාවේ සිටියදීය. ජනපතිවරයා එහි සිටම අදාළ බලධාරීන්ට වරින් වර දුරකතනයෙන් කතා කරමින් කීවේ පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සියලුම සහන හැකි ඉක්මනින් ලබාදී ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය. ජනාධිපතිවරයා දකුණු කොරියානු සංචාරය නිමවා බ්‍රහස්පතින්දා පස්වරුවේ යළි දිවයිනට පැමිණියේය.