මීළඟ සටන මහ ඡන්දෙට


 

 

මේ වසර මැතිවරණ වසරක් බවට පත්වනු ඇතැයි වසර ආරම්භ වීමට මත්තෙන්ම දේශපාලන විචාරකයන් අනාවැකි පළකර තිබුණි. ඒ අනුව පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය මෙන්ම ඇතැම්විට පාර්ලිමේන්තු මහ මැතිවරණය පවා මේ වසර තුළ පැවැත්වෙනු ඇතැයි අනාවැකි පළව තිබුණි.   


ජනතාවගේ පරමාධිපත්‍ය බලය තහවුරු කිරීම සඳහා මූලික වශයෙන් කරුණු තුනක් අඩංගු වේ. ඒ අනුව රාජ්‍ය පාලන බලතල, ජනතාවගේ මූලික අයිතිවාසිකම්, ඡන්දය පාවිච්චි කිරීමේ බලය මෙහි මුලික කරුණු වේ. ඒ අනුව ඡන්ද බලය ජනතාවගේ පරමාධිපත්‍යයේ මූලික අංගයක් බවට පත්වේ. 


නිසි කලට වරින් වර ක්‍රමවත්ව පවත්වන මැතිවරණ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යවල ප්‍රජාතන්ත්‍රවාදය ඇති බවට වන හොඳම සාක්ෂිය බවට පත්වේ. නිසි වේලාවට මැතිවරණ නොපැවැත්වේ නම් හෝ පිළිගත නොහැකි ආකාරයට මැතිවරණ කල් යන්නේ නම් එහිදී ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ ඔවුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වේ. 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මූලික වශයෙන්ම ලංකාවේ මැතිවරණ කිහිපයක් හඳුනා ගත හැකි වේ. ඒ අනුව ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණ, අපේ රටේ පවතින මැතිවරණ ක්‍රමයන්ය. 
ඇතැම් රාජ්‍යයන්වල ප්‍රධාන මැතිවරණ කිහිපයක් එකම අවස්ථාවක පවත්වන ස්වභාවයක් පවතී. නමුත් ලංකාවේ මැතිවරණ ක්‍රමය තුළ ඒ විදියට මැතිවරණ එකවර පැවැත්වීමේ හැකියාවක් නොමැත. 

 

  • 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වසර හතරහමාරක් යනතෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් හිමි නොවේ. ඒ අනුව පෙබරවාරි මාසය අවසන් වෙනතෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට නීතිමය හැකියාවක් නොමැත.


හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් පැවති ජනාධිපතිවරණය පසුගිය නොවැම්බර් 26 වැනි දා අවසන් විය. මේ වසර අවසන්වීමට තවත් ඇත්තේ හරියටම සති දෙකක කාලයකි. ඒ අනුව පළාත් සභා මැතිවරණය හෝ මහමැතිවරණය හෝ මේ වසර තුළදී පැවැත්වීමට නොහැකි බව සක්සුදක්සේ පැහැදිලිය. 
සියලුම පළාත් සභාවල කාලය මේ වනවිට ඉක්මවා ගොස් ඇත. මේ නිසා පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරණයට පෙර සිටම සමාජයේ කතිකාවක් ආරම්භවී තිබුණි. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිල වශයෙන් දැනුම් දීම සඳහා රාජගිරිය පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාව සඳහන් කළේය. 


පළාත් සභා මැතිවරණය කඩිනම්න් පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිට ජනතාව අධිකරණයට පවා ගොස් ඇත. කෙසේ වෙතත් ජනාධිපතිවරණයෙන් පසුව පළාත් සභා මැතිවරණයට වඩා මහමැතිවරණයක් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල මෙන්ම මහජනතාවගේද වැඩි අවධානයක් යොමුවී තිබේ. 
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වසර හතරහමාරක් යනතෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් හිමි නොවේ. ඒ අනුව පෙබරවාරි මාසය අවසන් වනතෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට නීතිමය හැකියාවක් නොමැත. 


පෙබරවාරි මාසය අවසන්වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍යනම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් හිමිවිය යුතුය. එම තුනෙන් දෙකක බලය ලබාගැනීම සම්බන්ධයෙන්ද මේ වනවිට කතිකාවක් ආරම්භවී තිබේ. 


ජනාධිපතිවරණයෙන් පසුව පැවති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අවසන් වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තුනෙන් දෙකක් සඳහා එක්සත් ජාතික පක්ෂය සහයෝගය පළ කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂය කඩිනමින් මහමැතිවරණයකට සූදානම් විය යුතු බවත් හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය. 


පසුවදාම කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් එයට ප්‍රතිචාර දැක්වූ නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසකි. 
“ඉදිරි මාස තුන හතර යන්න කලින් පාර්ලිමේන්තුව විසුරවන්න අපේ අයට අවශ්‍යවෙලා තියෙනවා. නියමිත කාලයට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා රාජපක්ෂලාට ශක්තියක් වෙන්නේ ඇයි කියලා අපි ඒ අයගෙන් අහනවා. 

 

 


ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුව පිහිටුවීමත් සමඟ අර්බුදයක් හටගන්නා බව දන්න නිසා ඒ අර්බුදය බයිපාස් කරලා කෙළින්ම මහමැතිවරණයකට යන්න අපේ කීප දෙනෙක් කොන්ත්‍රාත් එකක් කරන්න හදනවා. මේ දේශපාලන කොන්ත්‍රාත්තුවේ ඉන්න අය තමයි රාජපක්ෂලාට තියෙන මේ මාස තුනේ කඩුල්ල පනින්න සහයෝගය දෙන්නේ. 
ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු මහින්ද පිලට මේ උගුලෙන් ගැලවිලා කඩිනමින් මහමැතිවරණයක් සඳහා යන්න ඒ ඓතිහාසික පාවාදීම කරන්න අපේ අයම උත්සාහ කරනවා. ඒ නිසා මේ ඓතිහාසික පාවාදීමට විරුද්ධව තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ යැයිද ඔහු පැවැසීය. 


පාර්ලිමේන්තුවේ සැලකිය යුතු මන්ත්‍රීධුර සංඛ්‍යාවක් හිමි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බවට පත්ව ඇත්තේද කඩිනමින් මහමැතිවරණයක් කැඳවීමට සහයෝගය දැක්වීමය. ඒ වෙනුවෙන් තුනෙන් දෙකේ බලයක් අවශ්‍යනම් එයටද සහයෝගය ලබාදෙන බවත් තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පැවැසීය. 
ඒ පිළිබඳ අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා මෙසේද කීය. 


“පසුගිය ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. ජනාධිපතිවරණයේදී ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමට හැකිවීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි සතුටු වෙනවා. 


මේ ලැබුවා වූ ජයග්‍රහණය ඉදිරියට ගෙනයමින් ශක්තිමත් රජයක් බිහිකරගැනීම අපේ ඊළඟ අරමුණයි. හැකි ඉක්මනින් මැතිවරණයකට යන්න පුළුවන්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සඳහා පූර්ණ සහයෝගය ලබාදෙනවා. ඒ වෙනුවෙන් අපේ සියලු මන්ත්‍රීවරුන් ක්‍රියාත්මක වෙන්න කැමතියි. 
ජනවාරි 03 වැනිදා පාර්ලිමේන්තුව කැඳවා තිබෙනවා. මැතිවරණයක් සඳහා තුනෙන් දෙකේ බලයක් අවශ්‍යනම් අපි ඒ වෙනුවෙන් සහයෝගය ලබාදෙනවා. මොකද මේ පාර්ලිමේන්තුවට තවදුරටත් ජනතාවගේ සිතුම් පැතුම් ක්‍රියාත්මක කරන්න බැහැ. 
මේ පාර්ලිමේන්තුවට ජනවරමක් නැහැ. 2018 පෙබරවාරි 10 වැනිදා මහමැතිවරණයේදීත් 2019 නොවැම්බර් 16 වැනිදා පැවති ජනාධිපතිවරණයේදීත් ඒ බව මේ වනවිට ජනතාව දෙවතාවක් ප්‍රකාශ කර තිබෙනවා. 


ඒ අවස්ථාව ජනතාවට ලබාදීම සඳහා හැකි ඉක්මනට මහමැතිවරණයකට යා යුතුයි කියා අපි විශ්වාස කරනවා. මේ මගින් තමයි ස්ථාවර රජයක් ස්ථාපිත කරන්න පුළුවන් වෙන්නේ” යැයිද ඔහු පැවැසීය. 
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා යෝජනාවක් ගෙන එන්නේ නම්, ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු‍ මන්ත්‍රීවරුන් ඊට සහය දැක්විය යුතු බව ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන්ගේද අදහසවී තිබේ. 
ගෝඨාභය රාජපක්ෂ මහතා ලැබූ ජනවරමට ගැළපෙන පාර්ලිමේන්තුවක් තෝරා පත්කරගැනීම ඔවුන්ගේ අදහසවී තිබේ. කඩිනමින් මහමැතිවරණයක් පවත්වා දැනට පාර්ලිමේන්තුවේ සුළුතරයක් වන ඔවුන්ගේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව ඉහළ නංවා ගැනීම ඔවුන්ගේ අරමුණවී තිබේ. 


කෙසේ වෙතත් මේ වනවිට ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ සියලුම දේශපාලන පක්ෂ සහ සංවිධාන මහමැතිවරණයක් වෙනුවෙන් සූදානම් වන අයුරු දක්නට ලැබේ. 
ඉදිරි මහමැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණින් තරග කිරීමට ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිට තීරණය කර තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ හා එක්ව කටයුතු කළ සියලුම බලවේග ඒකරාශී කරගනිමින් මෙවර මහමැතිවරණයේදී මාලිමාව ලකුණින් තරග කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවැසීය. 

 

  • වර්තමාන පාර්ලිමේන්තුව 2015 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කළ අතර ඊට වසර හතර හමාර සම්පූර්ණ ​ෙවන්නේ 2020 පෙබරවාරි මාසය අගදීය. ශක්තිමත් රජයක් බිහිකර ගැනීම වෙනුවෙන් තමන්ට අවස්ථාව හිමිවෙන පළමු අවස්ථාවේදීම ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇතැයි අපට අනුමාන කළ හැකිය.


මේ අතර ඉදිරි මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය පොදු සන්ධානයක් ලෙස තරග කිරීමට සැලසුම් කර තිබේ. ඡන්ද ලකුණ සහ අනෙකුත් කාරණා පිළිබඳ සන්ධානගතවන පක්ෂ සමඟ සාකච්ඡා කර තීන්දු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය. 
මෙම පොදු සන්ධානය සඳහා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවෙන සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වලට විවෘත ආරාධනාවක් කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ එහි තීරණාත්මක සාධකයක් වනු ඇති බවත් ඔහු සඳහන් කළේය. 


ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය, දෙමළ ජාතික සන්ධානය ආදී පක්ෂ ද ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් වැඩි අවධානය යොමුකර ඇත. පක්ෂ ලෙස තනි තනිව හෝ ප්‍රධාන පක්ෂ සමඟ සන්ධානගතව ඔවුන්ද ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් තරග කිරීමට නියමිතව ඇත. 
දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු වෙනත් පක්ෂද පොදු සන්ධානයකින් මහමැතිවරණයට ඉදිරිපත් වන බවට ප්‍රකාශ කර ඇත. තරග කරන ලකුණ ආදී කරුණු සම්බන්ධයෙන් එම පක්ෂ මේ වනවිට සාකච්ඡා කරමින් පවතී. 


මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේත් ඉන් පිටතත් සාකච්ඡා පැවැත්වෙද්දී ජනාධිපතිවරයාට ඇති බලතල අනුව පාර්ලිමේන්තුව ලබන මාර්තු මස පළමු වැනිදා විසුරුවා හැරියහොත් ඡන්ද විමසීම පැවැත්විය හැකි දින වකවානු පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ප්‍රකාශ කරනු ලැබීය. 
ඒ අනුව පාර්ලිමේන්තුව මාර්තු මස මුල් සතියේ විසුරුවා හැරියහොත් අප්‍රේල් 25, 27 හෝ 28 දිනවලින් එක දිනයකදී මහමැතිවරණය පැවැත්විය හැකි බව මහින්ද දේශප්‍රිය මහතා පක්ෂ ලේකම්වරුන්ට පසුගියදා දැනුම් දුන්නේය. 


පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමඟ ඉකුත්දා පැවති සාකච්ඡාවකදී දේශප්‍රිය මහතා මේ බව සඳහන් කළේය. 
කෙසේවෙතත් පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන දිනය තීරණය කළ හැක්කේ ජනාධිපතිවරයාට බැවින් ඒ අනුව මහ මැතිවරණයට දින තීන්දුවන බවත් සභාපතිවරයා පැවැසීය. 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව ලබන මාර්තු මස පළමුවැනිදා විසුරුවා හැරියහොත් ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට දින 66ක් අවශ්‍ය වේ. 


ඒ අනුව ඡන්ද විමසීම පැවැත්විය හැක්කේ මැයි මස 6 වැනිදා බව පවසා ඇති මහින්ද දේශප්‍රිය මහතා ජාත්‍යන්තර කම්කරු දිනය මැයි මස 1 වැනි දිනට යෙදීම සහ වෙසක් පුන් පොහෝ දිනය මැයි මස 7 දිනට යෙදීම ආදී කරුණු නිසා ඒ දිනවල ඡන්ද විමසීම පැවැත්වීම සුදුසු නොවන බවද ඔහු එහිදී සඳහන් කරනු ලැබීය. ඒ අනුව අප්‍රේල් මස අග සතියේදී බොහෝවිට 25, 27 හෝ 28 දින ඡන්ද විමසීම පැවැත්විය හැකි බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. 


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5ක් වන අතර ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය හිමිවන්නේ වසර හතර හමාරකට පසුවය. 


වර්තමාන පාර්ලිමේන්තුව 2015 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කළ අතර ඊට වසර හතර හමාර සම්පූර්ණ වන්නේ 2020 පෙබරවාරි මාසය අගදීය. ශක්තිමත් රජයක් බිහිකර ගැනීම වෙනුවෙන් තමන්ට අවස්ථාව හිමිවන පළමු අවස්ථාවේදීම ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇතැයි අපට අනුමාන කළ හැකිය. 
ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළ පරිදි අප්‍රේල් මාසයේ අවසන් සතිය වනවිට නිශ්චිතවම මහමැතිවරණය පැවැත්වෙනු ඇත.

 

සටහන :
නිමල කොඩිතුවක්කු