මිලේනියම් ගිවිසුම කැබිනට් රැස්වීමට


ජනාධිපතිවරණයට තවත් ඇත්තේ හරියටම දින 6කි. ඒ නිසාම දේශපාලන පොරපිටිය ද ගිනියම් වී තිබේ. ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකයන් දෙදෙනා ගල උඩ සටනක යෙදී සිටින බව පෙනෙන්නට තිබේ. දෙදෙනාගේම මැතිවරණ ව්‍යාපාරය ද කලින් තිබුණාට වඩා වේගවත් කර ඇත.


සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි ගිය අඟහරුවාදා උදේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. එහි මුලසුන ගත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඔහු ජනාධිපති ධුරයේ සිටිය දී පවත්වන අවසන් කැබිනට් රැස්වීමට කලින් රැස්වීම ලෙස එය පැවැත්විණි. කලින් සතියේ ද කැබිනට් රැස්වීමක් නොපැවැත්වුණ නිසා මෙවර කැබිනට් පත්‍රිකා සියයකට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත්කර තිබිණි.


එහිදී කතාබහට ලක්වූයේ ප්‍රධාන කාරණා තුනකි. එකක් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමය. දෙවැන්න ඇතැම් විද්‍යුත් මාධ්‍ය පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට එල්ල​ෙවන චෝදනාය. තුන්වැන්න මේ දිනවල ඇතිව තිබෙන ගෑස් ප්‍රශ්නයයි. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම දැන් සති ගණනාවක් තිස්සේ දේශපාලන කරළිය ගිනියම් කර තිබෙන මාතෘකාවකි. එම ගිවිසුමට කලින් සතියේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණි. ආණ්ඩුව පාර්ශ්වයෙන් මුලින් කියා තිබුණේ එය ජනාධිපතිවරණයට පෙර අත්සන් කරන බවකි. එහෙත් ජනපති මෛත්‍රී කියා තිබුණේ ජනාධිපතිවරණයට පෙර එය අත්සන් නොකරන ලෙසය. ගිය සතිය පුරා ද දේශපාලන කරළිය ගිනියම් කරන්නට මිලේනියම් චැලේන්ජ් ගිවිසුම හේතුවිය. ගිය අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේ දී මංගල සමරවීර ඇමැතිවරයා ද කියා තිබුණේ එම ගිවිසුමට ඡන්දයට පෙර අත්සන් නොකරන බවය.
කැබිනට් රැස්වීමේ ඊළඟට කතාබහට ලක්වූ මාතෘකාව වූයේ ඇතැම් රූපවාහිනි නාළිකාවල ක්‍රියාකාරිත්වය ගැන. සමහර පෞද්ගලික රූපවාහිනි නාළිකා ජනාධිපතිවරණයේ දී පක්ෂග්‍රාහීව කටයුතු කරන බව මුදල් ඇමැති මංගල කීවේය. ඔහු රූපවාහිනි නාළිකා කිහිපයක නම් ද සඳහන් කරමින් එම චෝදනාව එල්ල කළේය. මංගලගේ අදහස අනුමත කරමින් පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ද කතා කළේය. විදුලි සංදේශ නියාමන කොමිසම මේ සඳහා මැදිහත්විය යුතු බවත් එමගින් රූපවාහිනි නාළිකාවල දේශපාලන වැඩසටහන් හා ප්‍රවෘත්ති විකාශ සමබර කළ යුතු බවත් ඔහු කීවේය. ඒ සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරන්නට තීරණය විය.
ගෑස් ප්‍රශ්නය ද ගිය සතියේ ජනතාවට දැඩිව බලපෑ ප්‍රශ්නයකි. ගෑස් හිඟයකින් පාරිභෝගිකයෝ දැඩි සේ අපහසුතාවට පත්වූහ. මේ මාතෘකාව දේශපාලන වේදිකාවේ ද මාතෘකාවක් බවට පත්වූයේ එය රටටම බලපාන ප්‍රශ්නයක් වූ බැවිනි. ගෑස් ප්‍රශ්නය ගැන මංගල පැහැදිලි කිරීමක් ද කළේ මේ සතියේ එය විසඳෙන බව ප්‍රකාශ කරමිනි. සෞදියේ ගෑස් ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් එරට ගෑස් අපනයනය සීමා කිරීමට සිදුව ඇතැයි මංගල කීවේය. ඔහු කීවේ ගෑස් නැව් කීපයක් ඉදිරි දින කිහිපයේ මෙරටට පැමිණෙන බැවින් ප්‍රශ්නය නිරාකරණය වනු ඇති බව ඔහු කීවේය.


මීළඟ කැබිනට් රැස්වීම පවත්වන්නට නියමිතව ඇත්තේ ලබන අඟහරුවාදාය. එහෙත් එදිනට පසළොස්වක පොහොය යෙදී ඇති බැවින් හෙට (11) දිනයේ කැබිනට් රැස්වීම කැඳවන බව ජනපති මෛත්‍රී කීවේය. හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමේ විශේෂත්වයක් තිබේ. ඒ ජනපති මෛත්‍රී ජනාධිපතිවරයා ලෙස කැඳවන අවසන් කැබිනට් රැස්වීම එය වන බැවිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ මධ්‍යම කාරක සභාව පසුගිය අඟහරුවාදා රාත්‍රියේ පක්ෂ මූලස්ථානයේදී රැස්විය. ඒ වැඩ බලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඊට සහභාගිවී සිටි අතර මෛත්‍රී ජනාධිපති ලෙස සහභාගි වන අවසන් මධ්‍යම කාරක සභා රැස්වීමද එය විය. ආගම සිහිකිරීමෙන් හා පක්ෂයෙ ආදි කර්තෘවරුන් සිහිපත් කිරීමෙන් අනතුරුව ලිපි ලේඛනාදිය ඉදිරිපත් කෙරිණි. පක්ෂයෙ මහලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය විසින් ඉදිරිපත් කරන ලද ලිපියක් මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළේය. ඒ ලිපියෙන් ශ්‍රීලනිපය දැඩි විවේචනයකට ලක් කර තිබුණේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට ගත් තීරණය හේතුවෙනි. එතුමියට මධ්‍යම කාරක සභා රැස්වීම්වලට ආරාධනා නොකළ බව හා ගෝඨාභයට සහායදීමට මධ්‍යම කාරක සභාව තීරණයක් ගෙන නැති බව ද ඇය ලිපියේ සඳහන් කර තිබිණි. එහෙත් එහි සිටි අය කීවේ ලිපියෙ එන කාරණා බොහොමයක් සත්‍යයෙන් තොර බවය. හිටපු ජනාධිපතිනියගෙ ලිපිය ගැන මධ්‍යම කාරක සභාවේ වැඩි කතාබහක් නොවීය. අපි ඕක ගැන දිගට කතා කරල අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගන්න එක අවශ්‍ය නැහැ. දිගින් දිගට කතා කළොත් ප්‍රශ්නය දුරදිග යනවා. ඒ නිසා අපි ලියුම සභාගත කළා කියල විතරක් වාර්තාවේ සඳහන් කරමු යැයි දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා කීවේය. ජනපති මෛත්‍රීද ඒ අදහස අනුමත කළේය. ඒ අනුව ලිපිය සභාවට ඉදිරිපත් කළ බව පමණක් එතුමියට ලිඛිතව දැනුම් දීමට තීරණය විය.   
චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය හා සංවිධායකයන් කිහිප දෙනකු සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීම සඳහා සුගතදාස ක්‍රීඩාංගණයේදී සමුළුවක් පැවැත්වීම නිසා ඔවුන් පක්ෂයෙන් ඉවත් කරන බවට ආරංචි පැතිර යමින් තිබිණි. බොහෝ දෙනා සිතුවේ එම තීන්දුව එදින මධ්‍යම කාරක සභාවෙන් ගනු ඇතැයි කියාය. එහෙත් ඒ ගැන කිසිවක් එහිදී සාකච්ඡා නොවීය.   


ඒ වෙනුවට තීන්දු වූයේ සමුළුවට ගිය සංවිධායකයන්ගේ ආසනවලට ඡන්දය අවසන් වනතෙක් වැඩ බලන සංවිධායකවරුන් පත් කිරීමටය. ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින කිහිපයක් නිසා පක්ෂයෙ ප්‍රචාරක වැඩපිළිවෙළ බාධාවකින් තොරව කරගෙන යාම අවශ්‍ය බව එහි සිටි වැඩි දෙනාගේ අදහස විය. ඒ අනුව වැඩ බලන ආසන සංවිධායකයන් පත්කර ඡන්ද ව්‍යාපාරය කරගෙන යාමට තීරණය විය.   


මේ අතර කතාබහට ලක් වූ කාරණයක් වූයේ ඇතැම් දිස්ත්‍රික්කවල ඡන්ද ව්‍යාපාරය අතරේ මනාප ප්‍රශ්න ද පැන නැගී ඇති බවය. මෙය ජනාධිපතිවරණයක් වුවද පොදුජන පෙරමුණේ ඇතැමුන් එය මනාප පොරයක් කරගෙන ඇති බව කිහිප දෙනෙක් කීහ. ජනාධිපතිවරයා කීවේ ගැටුම්වලට නොගොස් විනයක් ඇතිව මැතිවරණ කටයුතු කරගෙන යා යුතු බවය. මනාප ප්‍රශ්න ඇති තැන්වල ශ්‍රීලනිපය විදිහට ගැටුම්වලට නොයා වෙනම රැස්වීම් පවත්වා ඡන්ද ව්‍යාපාරයට සහාය දිය හැකි බව දයාසිරි කීවේය.   
අනතුරුව පක්ෂයෙ වැඩ බලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ස්තුති කතාවක් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය කාලය පුරා ගෙන ගිය මෙහෙවර අගය කරමිනි. ජනාධිපතිතුමා පසුගිය කාලයේ අසීරු තත්ත්වයන් රැසකට මුහුණ දුන්නා. ඒත් එතුමා රට වෙනුවෙන් පක්ෂය වෙනුවෙන් කැපවුණා. එතුමා විපක්ෂයත් එක්ක එකතුවෙලා විකල්ප ආණ්ඩුවක් හැදුවා. නමුත් එය ව්‍යවස්ථාමය කාරණා මත අසාර්ථක වුණා. ඒ හැම වෙලාවෙදිම ජනාධිපතිතුමා අධිෂ්ඨානශීලීව කටයුතු කළා යැයි රෝහණ ලක්ෂ්මන් කීවේ දීර්ග පැහැදිලි කිරීමක්ද කරමිනි. 

 
මේ අතර තීන්දුවක් ගත්තේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ පක්ෂයෙ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් කැඳවීමටය. එය ප්‍රතිඵල නිකුත් කෙරෙන දිනය අනුව පැවැත්වීමට තීරණය විය. සාමාන්‍ය පරිදි ප්‍රතිඵල නිකුත් වුවහොත් 18 වැනිදා වනවිට මධ්‍යම කාරක සභාව කැඳවන බව වැඩ බලන සභාපතිවරයා කීවේය. ප්‍රතිඵල නිකුත්වීම තරමක් ප්‍රමාද වුවහොත් 19 හෝ 20 යන දිනවලින් එකක මධ්‍යම කාරක සභාව රැස් කරන්නට තීරණය විය.   
ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම සඳහා සෑම සහායක්ම දීමට මධ්‍යම කාරක සභාව සාකච්ඡා කළේ මැතිවරණ ව්‍යාපාරයෙ ප්‍රගතිය දිස්ත්‍රික් මට්ටමින් සමාලෝචනය කරමිනි. ඒ ඒ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් නායකයන් මෙන්ම මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර යන ලේකම්වරු දෙදෙනාද මැතිවරණ ව්‍යාපාරයෙ ප්‍රගතිය සමාලෝචනය කරමින් කීවේ ගෝඨාභය ජයග්‍රහණය කරවීමේ වැඩපිළිවෙළ සාර්ථක බවය.   


මේ අතර හිටපු ජනාධිපතිනියගේ රැස්වීමට ගිය සංවිධායකයන්ගේ ආසනවල කටයුතු සොයා බලන ලෙස ගිය බ්‍රහස්පතින්දා ඒ ඒ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් නායකයන්ට පවරා තිබිණි. ඒ අනුව හිටපු ජනාධිපතිනියගේ අත්තනගල්ල ආසනයෙ කටයුතු බැලීමට ලසන්ත අලගියවන්නත් ගාල්ල අක්මීමන යූ.ජී.ඩී. ආරියතිලකගේ ආසනයේ කටයුතු සොයා බැලීමට ෂාන් විජයලාල් ද සිල්වාත් රත්නපුරේ කලවාන සහ කොළොන්න ආසන දෙකේ කටයුතු සොයා බැලීමට අතුල කුමාර රාහුබද්දත් පක්ෂයෙන් පත් කරනු ලැබූහ. පක්ෂයෙ වැඩ බලන සභාපති රෝහණ ලක්ෂ්මන් ඔවුන්ට දැනුම් දී තිබුණේ ඒ ඒ ආසනවලට දිස්ත්‍රික් නායකයන්ට අවශ්‍ය පරිදි සුදුසු අය පත් කරන ලෙසය.   
මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති ධුරය දැරීමට තවත් ඇත්තේ හරියටම සතියකි. ජනාධිපතිවරයා ගිය සතිය පුරා ද ප්‍රධාන පෙළේ විවෘත කිරීම් රැසකට එක්වූයේ තම නිල කාලය තුළ වැඩ අවසන් කරන ලද ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙනි. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ ඉදි වූ කළුගඟ ජලාශය හා එහි තවත් ඉදිකිරීම් කිහිපයක් විවෘත කිරීමය. මොරගහකන්ද ව්‍යාපෘතියට කලින් ආණ්ඩු යටතේ මුල්ගල් තැබුණද එය ඉදිවූයේ මෛත්‍රි ජනාධිපති වී ලබාදුන් නායකත්වය හේතුවෙනි. එය ඔහුගේ සිහිනයක් සැබෑවීමකි.   

 

 


ජනාධිපතිවරණයට ප්‍රධාන අපේක්ෂකයෝ දෙදෙනාම විවිධ පොරොන්දු දෙමින් සිටිති. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ ගොවියාට පොහොර නොමිලේ ලබාදීමය. ජනපති මෛත්‍රි පොහොර නොමිලේ දීමේ ඡන්ද පොරොන්දුව විවේචනය කළේ ඊට තමන් දැඩි සේ විරුද්ධ බව කියමිනි.


කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමේ සටනට රංජිත් සියඹලාපිටිය ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයන් සමග ක්‍රියාකාරීන් ගමින් ගමට ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.   


මෙම අලුත් තත්ත්වය පිළිබඳ වපරැසින් බලන සමහරෙක් 07 වන බ්‍රහස්පතින්ද‌ා කෑගල්ලේ පැවැති මහ රැස්වීමේදී ගැටළුවක් ඇති කිරීමට කුමන්ත්‍රණය කරන බවට පැතිර තිබූ ප්‍රබල ආරංචි නිසා මහින්ද රාජපක්ෂ මහතා එදින රත්නපුරේ පැවැති රැළිය අමතා ගුවන් මගින් කෑගල්ල රැළියට එන අතරමග හෙලිකොප්ටර් යානය රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයීය ක්‍රීඩාංගනයට ගොඩ බස්වා සියඹලාපිටියගේ රුවන්වැල්ල නිවසට පැමිණියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් හමුවීමටය. මහින්ද රාජපක්ෂ මහතා සියඹලාපිටියගේ නිවසට පැමිණෙන ආරංචිය අසා එක්රොක්ව සිටි ජනතාවගේ ඔල්වරසන් මැද පැවසූයේ, ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ නිවුන් සහෝදරයන් වගේ... අපි දෙගොල්ල එකතු වෙලා මේ සටන නව වාර්තාවක් පිහිටුවා ජයගනිමු.’ යනුවෙනි.