මැතිවරණ මෙහෙයුම ගැන එජාපයේ මතය


 

රට පුරා රැලි 160 කට ආසන්න සංඛ්‍යාවක් ඇමතීමට එජාපෙ අපේක්ෂක සජිත් සැළසුම්කොට රට වටා දැඩි ජනතා ප්‍රතිචාර මැද යමින් සිටිය දී අගමැති රනිල් ඇතුළු එජාපෙ නායකයන් පිරිස කොළඹ සිට එය මෙහෙයවීම හා හැකි සෑම අවස්ථාවකදීම ඔවුන්ද එම රැළිවලට එක්වීම මෙවර එජාපෙ මැතිවරණ ව්‍යාපාරය තුළ දක්නට ලැබෙන විශේෂත්වයකි. හැකි සෑම අවස්ථාවකම අගමැති හා සජිත් ඇතුලු එජාපෙ නායකයන් කොළඹ දී හමුවීම තුළින් මෙන්ම නව තාක්ෂණය ඔස්සේ සබඳතා පැවැත්වීමද තවත් විශේෂත්වයකි. එවැනි බොහෝ හමුවලට සජිත් එක්වනුයේ වාහනයේ ගමන් කරමින් සිටියදීය.


බ්‍රහස්පතින්දා උදයේ අගමැති රනිල් ඇතුළු ප්‍රබලයන් විශේෂ සාකච්ඡාවක් පවත්වා මැතිවරණ ව්‍යාපාරයට අදාළ ජනමාධ්‍ය භූමිකාව ගැන විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී පැවැත් වූ අතර අපේක්ෂක සජිත්ද ඊට එක්වූයේ තාක්ෂණය හරහාය.


“අපේ සමාජ ජාලා කැම්පේන් එක ඉතා හොඳට යනවා. ඒව අපිටත් වඩා රාජපක්ෂවරුන් යළි ආවොත් අපි දිනාදුන් නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය නැතිවේවි කියන බයට සාමාන්‍ය මිනිස්සුයි අදහස් හා මතවාද පළකරන්නෙ. ඒ අය අතර 60% ක් විතර තරුණ පිරිසක් ඉදීම අපට ඉතා වාසි සහගත දෙයක්” රාජිත සේනාරත්න කීවේය.
“ඒක හරි. ඒත් වයස 60 න් එහා වගේම ඈත ගම්වල මිනිස්සුන්ගෙන් වැඩි පිරිසක් තාම ඉන්නෙ රූපවාහිනි, ගුවන්විදුලි, පත්තර හා පෝස්ටර් බැනර් වගේ සාම්ප්‍රදායික මාධ්‍ය එක්කයි. අපේ පණිවිඩ වගේම අනෙක් පැත්ත බලයට ආවොත් සිදුවන දේ ගැන මේ ජන ස්ථරයට ඇත්ත කියල දෙන්න සාම්ප්‍රදායික මාධ්‍ය අවශ්‍යයි.” අගමැතිවරයා පැහැදිලි කළේය.
“ඒක හරි. ඒත් ඒ ජනමාධ්‍යත් එක්ක අපි ඩීල් කරනව මදි. ඒ ගොල්ලන්ගෙන් වැඩි පිරිසක් රාජපක්ෂවරු හැමදාම බිලිබාගෙනයි හිටියේ. මේක ඡන්දෙ කාලෙටවත් වෙනස් වෙන්න ඕනෑ. නැත්තම් මේ රට යළිත් කෘරත්වයට ගියොත් ඒ අයට වග කියන්න වේවි.” රවී කරුණානායකගෙ මතය එය විය.
අවසානයේ අදාළ ජනමාධ්‍ය මෙහෙයුම් අධීක්ෂණයට ඇමති රාජිතගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මකවන වැඩපිළිවෙලක් දියත් කිරීමට තීන්දු කෙරිණ.
අනතුරුව අරලියගහ මැදුරට පැමිණ සිටි සෙසු මැති ඇමතිවරු සහ නිලධාරීන් සමඟ ද අගමැතිවරයා පිළිසඳරේ යෙදින.


“දෙමළ සංධානය ඉල්ලීම් 13ක් එළියට දාල තියනවා. ඒව අපිට ලැබුණ ද” ලක්ෂ්මන් කිරිඇල්ල අගමැතිගෙන් විමසුවේ තීරණාත්මක පැනයකි.
“නෑ. අපිට ලැබිල නෑ. ඒවා ඒ අයගේ ස්ථාවර පමණයි කියලා දෙමළ සංධානය පත්තරවලට කියල තිබුණා.” අගමැති සිය ස්ථාවරය පැහැදිලි කළේය.
“ඔය ඉල්ලීම් හදල තියෙන්නෙ දෙමළ සරසවි ආචාර්යවරුන් පිරිසක්. ඔවුන් තමයි ඕව දෙමළ සංධානයටත් ඉදිරිපත් කරල තියෙන්නෙ කියලයි මට ආරංචි” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.
“2005 ජනපතිවරණ දී ඡන්ද වර්ජනයකට ගිහින් එදා අගමැතිතුමා පරාද කෙරෙව්වා වගේ මෙවරත් විදෙස්ගත දෙමළ ඩයස්පෝරාව හරහා බලපෑම් කරලා ඡන්ද වර්ජනයකට යන්න උත්සාහ කරනවා. ඒක මහින්ද රාජපක්ෂගේ කටින්ම රැස්වීමක දී එළියට පැන්නා.” චමින්ද විජේසිරි කීවේය.


“එදා කොටින්ගෙ තුවක්කුවලට බයවෙලා දෙමළ මිනිස්සු ඡන්දෙ නොදැම්මට මේ පාර ඒව හරියන්නෙ නෑ. 2015 ඉඳලා සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජාතීන් භුක්ති විඳපු නිදහස අහිමි කරගෙන හමුදා පාලකයෙකුගෙ යකඩ සපත්තුවලට යටවෙන්න කිසිම ජාතියක, ආගමක, කුලයක, මිනිස්සු සූදානම් නෑ.” අගමැතිවරයා කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළවිය.
“මිනිස්සු බය කරන්නයි, නොමඟ යවන්නයි කටකතා 5000 ක් පොහොට්ටුවෙන් සූදානම් කරලලු. විශේෂයෙන් බෝම්බ බියක් තිබෙනවාය කියල පැතිරවීම මූලික ඉලක්කයක්ලු. මාතර පැත්තෙ පාසල් දරුවොයි දෙමව්පියොයි බය කරලා ඒක පටන් ගත්ත වගේ පේනවා. මේ වගේ පහත් වැඩවලට විරුද්ධව දැඩි පියවර ගන්න ඕනෑ.” මහාචාර්ය ආශු මාරසිංහ මෙන්ම හේෂා විතානගේ මතු කළේ එකම විදියේ කරුණුය.
“රාජ්‍ය ආයතන කිසිම දේක බර භාණ්ඩාගාරෙට දෙන්නෙ නෑ කියලා මෙයාල කියනවා. ලයිට් බිල හා වතුර බිල්වලට විතරක් ඒ අනුව ජනතාවට රුපියල් 25,000 කට වඩා මාසෙකට ගෙවන්න වේවි කියලයි ආර්ථික විශේෂඥයන් කියන්නෙ” අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි කීවේ එවැන්නකි.
“ඒ වගේම ප්‍රායෝගික නොවන තවත් මාර බොරුවක් මෙයාල කියනවා. උසස් පෙළ සමත් සියලු දෙනාටම විශ්වවිද්‍යාල වරම් දෙනවලු. අවුරුදු 70 ක් ගතවෙලත් මේ රටේ සරසවි වරම් ලැබුණේ 25,000කටයි. මේ ආණ්ඩුව පසුගිය වසර හතර හමාරට එය 31,000 ට වැඩි කළා. කටට එන බොරු කියලා මිනිස්සු රවට්ටන්න පුළුවන් කියලා මම හිතන්නෙ නෑ” මහාචාර්ය ආශු මාරසිංහ කීවේය.


“ඒත් සජිත් කියන දේවල් ඉතා ප්‍රායෝගිකයි. නැති බැරි මිනිස්සුන්ට සැලකීම, මධ්‍යම පාන්තිකයන්ගේ ජීවිතය වඩාත් සුවපත් කිරීම, ව්‍යාපාර ප්‍රජාවට අවශ්‍ය වටපිටාව සකසලා ඔවුන් ආර්ථිකයේ වැඩි පංගුකාරයන් බවට පත්කිරීම, පාතාලය හා කුඩ්ඩන් මර්දනය, කාන්තාවන්ට රැකවරණය දෙන ප්‍රඥප්තිය, තරුණ පරපුරේ උසස් අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපන හා සාධාරණ ලෙස රැකියා ලබා දෙනවා වගේ පළල් දැක්මක් සජිත් රටට කියන එක ජනතාව තේරුම් අරන් ඇති කියල මම හිතනවා.” අගමැතිවරයාගෙ විග්‍රහය එය විය.
“වැස්සත් එක්ක පාරවල් කැඩෙන එක හැමදාම වෙනවා. ඒත් පොහොට්ටුවට බලය තියන සභාවල ඔවුන් පාරවල් හදන්නෙත් නෑ. ආණ්ඩුවට ඒක කරන්න දෙන්නෙත් නෑ. ජනතාවගෙන් කරන මේ පලිගැනීම මිනිස්සු තේරුම් ගන්න ඕනෑ.” නවීන් දිසානායක කී දේට අගමැති ඇතුළු කාගේත් දැඩි එකඟත්වය පල විය.
“මැතිවරණ සමීක්ෂණවල තත්ත්වෙ කොහොම ද?” ලක්ෂ්මන් කිරිඇල්ල විමසීය.
“උතුරු නැගෙනහිර හැර සෙසු ප්‍රදේශවල තමයි සමීක්ෂණ කෙරෙන්නෙ. මුලින් පැහැදිලි ලෙස ඉදිරියෙන් හිටපු ගෝඨා සහ සජිත් අතර දැන් ඇත්තේ කෙස් ගස් කීපයක පරතරයක් කියලයි මට ආරංචි. උතුරු නැගෙනහිරින් සජිත් වගේම රටම බේරේවි කියලයි සමීක්ෂකයන් කියන්නෙ” නවීන් දිසානායක කී එම මතය ද අගමැති ඇතුළු කාගේත් එකඟත්වය පළවිය.
“ඉන්දියානු අගමැති මෝදි වගේ සජිත් කියන්නෙ ලංකාවෙ පීඩිත පන්තිය හා විශේෂ කුල ඒකකවල ඉතා ප්‍රචලිත චරිතයක් නිසා ඔහු වාර්තාගත ජයග්‍රහණයක් ලබාවි කියලා ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් කළ විග්‍රහය මුළු රටේම සියලු ස්ථරවල ජනතාවගේ දැඩි අවධානයට යොමු වීම අපට විශාල බෝනස් එකක්.” නවීන් දිසානායක කීවේ තම දුරකතනය හරහා එකී ප්‍රකාශයට අදාළ සමාජ ජාලා පුවත අගමැති ඇතුළු සෙසු අයට පෙන්නුම් කරමිනි.


ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමද‌ාස සිකුරාද‌ා රාත්‍රිය වනවිට මැතිවරණ කොට්ඨාස මට්ටමේ මහජන රැළි 49ක් අමතා අවසන් කර තිබිණි. මීට අමතරව විවිධ වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස් විසින් සංවිධානය කළ සාකච්ඡා, සම්මන්ත්‍රණ ගණනාවකට ද සහභාගි වීම සිදුවිය. මැණික් සහ ස්වර්ණාභරණ නිෂ්පාදකයන් විසින් බත්තරමුල්ල ‘වෝටර්ස් එඩ්ජ්’ හෝටලයේ සංවිධානය කර තිබූ සාකච්ඡා වාරයේදී පැමිණ සිටි පිරිසගේ විවිධ මැසිවිලි ද නොඅඩුව අසන්නට ලැබිණි. ඔවුන්ගෙන් අසන්නට ලැබුණු අපූරු පුවතක් වූයේ ඉකුත් වසර කීපයේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරුන් ලෙස පත්ව ආ කිසිවකු වැඩි කලක් එම ධුරයේ රැඳී නොසිට ඉවත්ව ගිය බවයි. සජිත් කීවේ තමන් ජනාධිපති ධුරයට පත් වූ පසුව අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කිරීමට විෂයය කරුණු දත් සුදුසු පුද්ගලයෙකුගේ නම තමන් වෙත යෝජනා කරන ලෙසයි. ‘මෙච්චර කලකට හිටපු කිසිම ජනාධිපතිතුමෙක් එහෙම දෙයක් කරලා නෑ. අපිට ආඩම්බරයි ඔබතුමාගේ ව්‍යවහාරික බුද්ධිය ගැන’ පිරිස සතුටින් සඳහන් කළහ.   
සුගතද‌‌ාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති කාන්තා ප්‍රඥ‌ප්තියක් සැකසීම සඳහා වන සම්මුති ගිවිසුමකට එළැඹීමේ උත්සවයට කාන්තාවෝ අති විශාල සංඛ්‍යාවක් පැමිණ සිටියහ. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති බිරිය හේමා ප්‍රේමද‌ාස, ජලනි ප්‍රේමද‌ාස මහත්මීන් ද, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකාවන් වන තලතා අතුකෝරළ, චන්ද්‍රාණි බණ්ඩාර, අනෝමා ගමගේ, කොළඹ පුරපතිනි රෝසි සේනානායක ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ. ‘කවද‌ාකවත් කාන්තාවන් වෙනුවෙන් මෙහෙම දෙයක් කරන්න ඉදිරිපත් වෙලා නෑ’. රෝසි කියද්දී සජිත් කීවේ ‘සමාජ ගිවිසුම පාර්ලිමේන්තුවේදී නීතිගත කරන්න මුළු රටේම කාන්තාවන්ගේ ශක්තිය ලබා ගන්නවා. ඒ අයගෙ සිතුවිලි ක්‍රියාවට නංවනවා’ කියාය. 
 සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ සංවිධාන හා පාර්ශවවල සහභාගිත්වයෙන් තවත් විශේෂ හමුවක් සංවිධානය කර තිබුණේ සංචාරක මණ්ඩල පරිශ්‍රයේදීය. ඉරාන් වික්‍රමරත්න මුදල් රාජ්‍ය ඇමැතිවරයා මෙම හමුව සංවිධානය කළේය. මෙම අවස්ථාවට ජෝන් අමරතුංග අමාත්‍යවරයා සහ රංජිත් අලුවිහාරේ රාජ්‍ය අමාත්‍යවරයා ද එක්වූහ. එහිදී සංචාරක ක්ෂේත්‍රයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව වැදගත් සංවාදයක් සිදුවිය. පැමිණ සිටි පිරිස ඇසූ සියලු ප්‍රශ්නවලට සජිත් පිළිතුරු ලබාදීම නිසා සියල්ලෝම සතුටට පත්ව සිටියහ. රංජිත් කීවේ ‘මේ ක්ෂේත්‍රය ගැනත් මෙච්චර දේවල් දන්නවා කියලා මම හිතුවේ නෑනේ’ කියාය. 


 පුත්තලම මහ රැළියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලකයන් වූ නියෝමාල් පෙරේරා සහ වික්ටර් ඇන්තනි සිය සහාය පළ කරමින් සජිත් සමඟ එක්වූහ.

එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය පිළිබඳ සමාලෝචන රැස්වීමක් ඉකුත් සතියේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.  
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමද‌ාස, මලික් සමරවික්‍රම, රවි කරුණානායක, රාජිත සේනාරත්න, අකිල විරාජ් කාරියවසම්, තිස්ස අත්තනායක යන මහත්වරු එම සාකච්ඡාවට සහභාගි වූහ.  


එහිදී සාකච්ඡා වූ මූලික කරුණු වූයේ මැතිවරණ ව්‍යාපාරයේ අඩුපාඩු පිළිබඳවය. දැනට පවතින ප්‍රචාරක කටයුතු වෙනස් මුහුණුවරකින් ඉදිරියට ගෙන යාමට මෙහිදී සාකච්ඡා වී ඇති අතර ඉදිරි කටයුතු සංවිධානය කරන ආකාරය පිළිබඳව ද සාකච්ඡා කර ඇත. මෙහිදී පිරිස සජිත් ප්‍රේමද‌ාස මහතාට උපදෙස් දෙමින් ප්‍රකාශ කර ඇත්තේ විපක්ෂය ඉදිරිපත් කරන පහර ගැසීම්වලට සෘජුව පිළිතුරු දිය යුතු බවයි.  
පසුගිය සතියේ නාලන්ද‌ාරාම විහාරයේ කඨින පූජා පිංකම පැවැත්විණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස එහිදී බොහෝ කාලයකට පසු මුහුණට මුහුණ හමු වී කතාබහ කිරීම එහිදී සිදු වූ අතර සජිත් ප්‍රේමද‌ාස මහතා ඒ සිදුවීම පිළිබඳව තිස්ස අත්තනායක මහතාට සිය සතුට පළ කළේය. මෙම හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමද‌ාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාව හමුවට ගෙන යාම පිළිබඳව උපදෙස් තිස්සට ලබා දුන්නේය.
ශ්‍රී ලංකා පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ 64 වැනි සංවත්සර උළෙල පසුගිය අඟහරුවාදා (2019.10.22) දින පැවැත්වූයේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීය. දෙස් විදෙස් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදීහු රැසක් එක්ව සිටි මෙම උළෙලෙහිදී තොරතුරු දැන ගැනීමේ පනත ගෙන ඒමේ පුරෝගාමියා ලෙස කථානායකවරයාට හිමි වූයේ උණුසුම් ප්‍රතිචාරයකි.


විශේෂයෙන්ම ඉන්දියාව, පකිස්තානය, නේපාලය ආදී රටවල මාධ්‍යවේදීහු පුද්ගලිකවම කථානායකවරයා සමීපයට විත් තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමට කළ කැපවීම මුළුමහත් ආසියානු කලාපයටම පූර්වාදර්ශයක් සපයා ඇති බව පවසමින් සිය ප්‍රසාදය පළ කළහ.
ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කළ පනත පිළිබඳව විදෙස් මාධ්‍යවේදීන්ට ඇති අවබෝධය පිළිබඳව සිය විමතිය පළකළ කථානායකවරයා පැවසුයේ ඇතැම් ශ්‍රී ලාංකිකයන්ටත් වඩා ඔවුන් ඒ පිළිබඳව දැනුවත්ව සිටීම සතුටට කරුණක් බවයි.
එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය සඳහා ආසන සංවිධායකයන් හමුවී ඔවුන් දිරිගන්වමින් කොළඹ දිස්ත්‍රික්ක ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට පැමිණියේ විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා දැඩි වෙහෙසකිනි. උතුරු කොළඹ මැතිවරණ කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ රැස්වීම ඔක්තෝබර් මස 30 වැනි දින පැවැත්වෙන බැවින් සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡාවේදී අපේ පක්ෂයෙන් ජනාධිපති අපෙක්ෂකත්වයට ඉදිරිපත්ව අද රට වටා යන සජිත් ප්‍රේමද‌ාස මහතාගේ 90 වැනි ජන රැලිය තමයි 30 වැනිද‌ා උතුරු කොළඹ පවත්වන්නෙ. අපි ඒක ඉතාමත් හොඳින් පවත්වන්න ඕනැ. අනිකුත් ආසනවලට වඩා වැඩිම ඡන්ද ප්‍රතිශතය අපි ලබා දෙන්න ඕනැ. ඒක තමයි අපි එතුමාට ලබාදෙන ලොකුම තෑග්ග රවී කීවේය.


අනික මම මුදල් ඇමැතිවෙලා සිටියදී සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රුපියල් ලක්ෂ 15 ක මුදලක් 15% වාර්ෂික පොලියට වාසියක් ලබා දුන්නා. ඒ වගේ සියලුම රජයේ සංස්ථා මණ්ඩලවල වැටුප රුපියල් 10,000 කින් පඩි වැඩි කළා. ඉන්ධන මිල අඩු කළා. ගෑස් මිල අඩු කළා. එකම දිනෙක අවශ්‍ය ආහාර ද්‍රව්‍ය භාණ්ඩ 21ක මිල අඩු කළා. විදුලි ගාස්තුව වැඩි කරන්න දුන්නේ නැහැ. අන්තිමට මේ සියල්ලෙම වාසිය ලැබුණේ පොකැට්ටුවටයි. රජයේ මේ කටයුතු අඩාළ කරන්න සමහර අය එක එක වංගු දැම්මා. එහෙත් අපි රජයක් විදියට ඒ බාධකවලට මුහුණ දුන්නා. රවි කරුණානායක ඇමැතිවරයා සඳහන් කළේය.