මැති ඇමැතින්ට සාද වරුසාවක්


කැබිනට් රැස්වීම මෙවරත් ඔන්ලයින් ක්‍රමයට


ඉකුත් සතියේ මෙන්ම පසුගිය සතියේද කැබිනට් රැස්වීම ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. ඔන්ලයින් කැබිනට් රැස්වීම වෙනදා වෙලාවටම සඳුදා හැන්දෑවේ පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපතිවරයා කොටුව ජනාධිපති කාර්යාලයේ සිට ද ඇමැතිවරු සිය අමාත්‍යාංශ කාර්යාලවල සිට ද ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ වූහ. කලින් සතියේ පැවති තාක්ෂණ දෝෂ ද මෙවර අවම මට්ටමක පැවැතුණේ ඇමැතිවරුන් පූර්ව සූදානමක සිටි බැවිනි.


මෙවර කැබිනට් රැස්වීමේ වැඩි අවධානයක් යොමු වුණේ ජීවන වියදම ගැනය. ඊට හේතුව ආණ්ඩුවේම ඇමැතිවරුන් පිරිසක් බඩුමිල වැඩි බව කියමින් කතාවට මුල පිරීමය. ජීවන වියදම් කමිටුවේදී ගනු ලැබූ තීරණ 5ක් ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබුවේ වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන විසිනි. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සම්බන්ධයෙන් රජය ගැසට් නිවේදන කිහිපයක් ද මීට පෙර නිකුත් කළේ ය. බන්දුල කතාවට මුල පිරුවේ එම ගැසට් නිවේදන ගැන ද කියමිනි.


‘‘අපි මේ කියන මිල ගණන් වෙළෙඳ පොළේ ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ඒ හින්දා මිනිස්සුත් අපට බණිනවා. ඒකට විසඳුමක් කඩිනමින් අවශ්‍යයි. ඒ නිසා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි හැම මාසෙකම මුල් සතියෙ සඳුදා ජීවන වියදම් කමිටුව රැස්කරමු යැයි බන්දුල යෝජනා කළේ දීර්ඝ විග්‍රහයක්ද කරමිනි. වාසුදේව නානායක්කාර ඇමැතිවරයාද අදහස් දක්වන්නට වූයේ බන්දුලගේ අදහස් අනුමත කරමිනි. පොල් කර්මාන්තය දියුණු කිරීමට විමල් වීරවංශ ඇමැතිවරයා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක්ද වාසු සිය කතාවට පාදක කරගත්තේය. ඔහු පටන් ගත්තේ පොල් මිල ගැන කියමිනි. පොල් මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බව වාසු කීවේය. මේ රටේ මිනිස්සුන්ට සාධාරණ මිලකට පොල් දෙන්නනම් පොල් හිඟ කාලෙට අපනයනය නවත්වන්න ඕන වාසු යෝජනා කළේය. වාසුගේ පොල් කතාවට බන්දුල එකඟ වූයේ නැත. ඔහු කීවේ අපේ අය ඉතාම අමාරුවෙන් ඔය ව්‍යාපාරේ රැඳිලා ඉන්නෙ එතකොට අපට ඒ වෙළෙඳ පොළත් නැතිවෙන එකයි වෙන්නෙ යනුවෙනි. අනතුරුව ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාද පොල් කතාවට මැදිහත්විය. රමේෂ් පතිරණ ඒකට වැඩපිළිවෙළක් හදාගෙන යන බව ප්‍රසන්න කීවේය. වාසු කීවේ පොල් මිල අහස උසට නැග ඇති බවය. දැන් බලන්න පොල් ගෙඩිය රුපියල් 80 යි 90යි. දුප්පත් මිනිසුන්ට පොල් ගෙඩියක් ගන්න අමාරුයි. වාසු කියද්දී රමේෂ් පතිරණ පොල් මිල ඉහළ යාමට හේතු පැහැදිලි කළේය.


රමේෂ් කීවේ පොල් වගාකරුවොයි, පාරිභෝගිකයොයි, අපනයනකරුවොයි යන මේ තුන් ගොල්ලන්ම ආරක්ෂා කරගත යුතු බවය. මේ අතර ඔහු කීවේ පොල් ගස කැපීම නවත්වන්න යෝජනාවක් ගෙන එන බවය. ජනාධිපතිවරයා රමේෂ්ගේ අදහස අනුමත කළේය. ඒක හොඳ යෝජනාවක්. පොල් නැවත වගාව දියුණු කරන්න අවශ්‍ය බවද ජනාධිපතිවරයා කීවේය.


කැබිනට් පත්‍රිකා ගණනාවක්ම සාකච්ඡාවට ලක්විය. රැස්වීම අවසන් කරන්නට තිබියදී බඩු මිල ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවමින් වාසු නැවතත් කතාව පටන් ගත්තේය. සීනි 132 යි. හාල්වල කවරේ ගහල තියෙන්නෙ 96 යි. හැබැයි විකුණන්නේ 110ට. පරිප්පුත් එහෙමයි. ලොකු ලූනුත් එහෙමයි. අපි මේ අවුරුද්දේ ප්‍රශ්න ගොඩක් තිබුණත් ආණ්ඩුව විදියට හොඳ වැඩ ගොඩක් කළා. හැබැයි කඩේට ගියාම ආණ්ඩුව ගැන තියෙන හොඳ නැතිවෙනවා. ඒ නිසා අපි මේ බඩු මිල ප්‍රශ්නය බලන්නට ඕනෑ වාසු කීවේය. වාසුට සහාය පළ කරමින් බන්දුලද සිය කතාව පටන් ගත්තේ වාසුගේ කතාව හරි බව කියමිනි. සතොස අයිතියද බන්දුලගේ වෙළෙඳ අමාත්‍යාංශයටය. ඔහු සතොස බඩු මිල ගණන්ද ඉදිරිපත් කළේ ලැයිස්තුවක් කියවමිනි. සතොසත් දැන් ලොකු ලූනු 165 යි. අල 185 යි. පරිප්පු 175 යි. මුං ඇට 338 යි. වියළි මිරිස් 550 යි. බන්දුල කීවේය. ඔහු කීවේ මොන සූත්තර දැම්මත් පාරිභෝගික අධිකාරියට මේවා අල්ලාවත්, නඩු දමාවත් ඉවර කළ නොහැකි බවය. වාසුගෙත් බන්දුලගෙත් පැහැදිලි කිරීම් අසා සිටි ජනාධිපතිවරයා කීවේ රජය මේ ගැන විශේෂ අවධානය යොමුකර ඇති බවය. ජීවන වියදම් කමිටුවේදී ඒ පිළිබඳව ඉක්මනින් තීරණයක් ගන්නා බවද ඔහු කීවේය.


සංචාරකයන් ගෙන්වා ගැනීම සහ ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීමට පැවැති සාකච්ඡාවල ප්‍රගතිය ගැන ප්‍රසන්න රණතුංග කැබිනට් රැස්වීමේදී පැහැදිලි කළේය. තමා මේ ගැන සෞඛ්‍ය ඇමැති පවිත්‍රා සමගත් සෞඛ්‍ය බලධාරීන් සමගත් සාකච්ඡා කළ බව කී ප්‍රසන්න ගුවන් තොටුපොළ විවෘත කිරීම ගැන සාකච්ඡා සියයට 90ක්ම සාර්ථකවී ඇති බව කීවේය. කැබිනට් රැස්වීම් අවසන් කරන්න යද්දී විමල් වීරවංශ මතු කළේ වෙනම ප්‍රශ්නයකි. ලබන කැබිනට් රැස්වීමත් ඔන්ලයින්දැයි ඔහු විමසීය. කැබිනට් ලේකම්වරයා උත්තර දෙමින් කීවේ අපි එදාටත් ඔන්ලයින් එකෙන්ම කරමු කියාය. මහින්දානන්ද කීවේ මේක නිකං කම්මැලි වගේ නේදැයි යනුවෙනි. ඔන්ලයින් එක නිසා ජනාධිපති කාර්යාලයෙන් ලැබෙන තේ එකත් නැති බව විමල් කියද්දී වාසු කීවේ වෙන කතාවකි. ‘ජනාධිපතිතුමා ජීවමානව දකිනව වගේ මට නම් මේකෙ කිසි ගතියක් නෑ’’ වාසු කියද්දී හැමෝටම හිනාය.


ඇමැතින්ට පුළන්නන් ලෙස සලකන නිලධාරීන් කවුද?


වෙළෙඳ අමාත්‍යාංශයේ හා කර්මාන්ත අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදය පැවැති ඉකුත් සති අන්තයේ පිළිතුරු කතාව කළේ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාය. ඔහුගේ කතාව බෝම්බයක් පුපුරුවා හැරියා මෙන් විය. ඔහු නම නොකියා ආණ්ඩුවේ ඉහළම නිලධාරීන් කිහිප දෙනකු දැඩි විවේචනයට ලක් කළේ ඇමැතිවරුන්ද විමතියට පත් කරමිනි. ඔහු කීවේ සමහර ඉහළ නිලධාරීන්, කැබිනට් ඇමතිවරුන් පුලන්නන් බවට පත්කර ඇති බවය. ඔහු නම් නොකීවද ආර්ථික වාද වචන හරඹද පාමින් කළ ගිනියම් කතාවෙන් චෝදනා එල්ල කළේ කිනම් නිලධාරීන්ටද යන්න මැති ඇමැතිවරුන්ට රහසක් නොවීය. බන්දුලගේ කතාව කරද්දී අගමැති මහින්ද සභාවේ නොසිටියේය. කතාව අවසන් වෙනවාත් සමගම ඔහුට පළමු දුරකථන ඇමතුම ලැබුණේ අගමැති මහින්දගෙනි. ‘‘මොකද මල්ලි මේ සද්දයදක් දැම්ම කියන්නෙ’’ යැයි අගමැතිවරයා බන්දුලගෙන් විමසුවේ සුපුරුදු ලෙන්ගතු ආමන්ත්‍රණයෙනි. බන්දුල තමාගේ කතාවට නිමිත්ත වූ කාරණා ගැන අගමැතිවරයා දැනුවත් කළේය. අනතුරුව බන්දුලට ජනාධිපතිවරයාද දුරකතන ඇමතුමක් දුන්නේය. ඒ වනවිට ජනාධිපතිවරයා සිටියේ අනුරාධපුරයේය. අනුරාධපුර පූජා නගර සැලැස්ම ක්‍රියාත්මක කිරීම ගැන සොයා බැලීමට එදින ජනාධිපතිවරයා අනුරාධපුරයට ගොස් සිටියේය. ජනාධිපතිවරයා බන්දුලට කීවේ තමා කොළඹ පැමිණි පසුව අඟහරුවාදා අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්චාවක් කැඳවන බවය. ඒ අනුව එම සාකච්ඡාව සඳහා අඟහරුවාදා ජනාධිපති කාර්යාලයට එන්නැයි ජනාධිපතිවරයා බන්දුලට දැනුම් දුන්නේය.


ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සඳහා අගමැතිවරයා ගිය අඟහරුවාදා රාත්‍රි භෝජන සංග්‍රහයක් පිරිනැමීය. එය පැවැත්වූයේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේය. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් 150කට අධික පිරිසක් සහභාගි වූ එම භෝජන සංග්‍රහය සෞඛ්‍ය නිර්දේශ අනුව සූදානම් කර තිබිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඊට සහභාගි විය. මේ අතර අගමැති මහින්ද ගිය සති අන්තයේ සිටියේ හම්බන්තොටය. සති කිහිපයක් උත්සවවලට සහභාගි නොවූ අගමැතිවරයා ගිය සති අන්තයේ ගාල්ල හා මාතර ප්‍රදේශවල උත්සව කිහිපයකටද සහභාගි වූයේ අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්ද සමගිනි. ගන්දර හා රැකව ප්‍රදේශවල ධීවර වරාය හා නැංගුරම් පොළවල් ඉදිකිරීම් හා විවෘත කිරීම්වලට අගමැතිවරයා සහභාගි විය. ඩග්ලස් දේවානන්ද කාංචන විජේසේකර යන ඇමැතිවරුන්ට අමතරව පළාතේ මැති ඇමැතිවරු පිරිසක්ද ඊට සහභාගි වූහ. රැකව ධීවර නැංගුරම් පොළ ආරම්භ කිරීමේ උත්සවයට තවත් අමුත්තෙන් පැමිණ සිටියේය. ඒ සමගි ජනබලවේගයේ මන්ත්‍රී දිලිප් වෙදආරච්චිය.


පළාත් සභා ඡන්දයට ආණ්ඩුවේ සූදානමක්


වසර ගණනාවක් තිස්සේ කල් දමා ඇති පළාත් සභා මැතිවරණය නැවත පැවැත්වීමේ සුදානමක් ගැන කතාබහක් මේ වනවිට ආරම්භ වී ඇත. මේ පිළිබඳ සාකච්ඡාවක් ගිය අඟහරුවාදා අරලියගහ මන්දිරයේදී පැවැත්වූයේ ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. ඊට පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරු පිරිසක්ද සහභාගි වූහ. එය සම්බන්ධීකරණය කරනු ලැබුවේ පළාත් සභා මන්ත්‍රී සංසදයේ සභාපති සහ සබරගමුව පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න විසිනි. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති නීතිමය බාධාවන් ඉවත් කිරීම ආදිය ගැනද එහිදී සාකච්ඡාවට ලක්විය. ඊට සහභාගි වූ හිටපු පළාත් සභා මැති ඇමැතිවරුන් සියලු‍ දෙනාම පාහේ කීවේ පළාත් සභා ඡන්දය නොපැවැත්වුවද ඒවාට අදාළ වෙන් කිරීම් ආදිය දිගටම සිදුවන බවය. නිලධාරීන්ද සියලු‍ වරප්‍රසාද භුක්ති විඳිමින්, පළාත් සභාවල කටයුතු කරගෙන යන බව ඔවුහු කියා සිටියහ. මේ තත්ත්වය තුළ පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි ඔවුහු ඉල්ලීමක් කළහ. ඉකුත් සතියේ පැවැති ආණ්ඩුවේ පක්ෂනායකයන්ගේ රැස්වීමේදීද පක්ෂ නායකයන් කිහිප දෙනකුද මෙම ඉල්ලීම කර තිබිණි.


 

සතොසේ බඩු මිල වැඩි බව ඇමැති බන්දුලත් කියයි

 

 



කොවිඩ් මළසිරුරු භූමිදානයට සාකච්ඡාවක්


අය වැය අවසන් දිනයේ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ තම කාර්යාලයේ කාලය ගත කළේ කාර්ය බහුල ස්වභාවයකිනි. විවාදය පැවැත්වෙද්දී විවිධ අමාත්‍යාංශ නිලධාරීන් කැඳවා සාකච්ඡා සිදු කළේය.
කොවිඞ් පැතිරීමත් සමග උද්ගතව ඇති ගැටලු‍ අගමැතිවරයාගේ අවධානයට යොමු විය. විශේෂයෙන් කොවිඞ් වයිරසය ආසාදනය නිසා මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහ මිහිදන් කිරීමට ඉඩ දීම සිදු කළ හැකිද? යන්න ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් කැඳවා අගමැතිවරයා විමසා බැලීය. මෙම අවස්ථාවට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් ඇතුළු එම අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීහුද සහභාගී වූහ. රැස්වීම ආරම්භ වීමට පෙර අගමැතිවරයා කොවිඩ් ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මරණ ගැන කෙසේ ක්‍රියා කළ යුතුද යන්න පිළිබඳව පෞද්ගලිකව ද කරුණු සොයා බැලීය.’’ කාටවත් ප්‍රශ්නයක් ඇති නොවෙන්න අපි මේක විසඳ ගන්න ඕනෑ. ‘‘අගමැතිවරයා කියද්දී’’ සර්! මේ ප්‍රශ්නය මුස්ලිම් රටවල් දක්වා ගෙනියන්නත් සමහරු දැන් උත්සාහ කරනවා. ‘‘මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා කීවේය.


‘‘කොවිඩ් මරණ මිහිදන් කිරීමට ඉඩ දුන්නොත් ජනතාවගේ සෞඛ්‍යට බලපෑමක් වෙනවා කියන කාරණය අපට බැහැර කරන්න බෑ.’’ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සංජීව මුණසිංහ කීවේය. ‘‘මුස්ලිම් මන්ත්‍රීවරුන් අපට හැම වෙලාවෙම මේ ගැන කතා කරනවා. මේක දැන් අපටත් ප්‍රශ්නයක්. ‘‘අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පැවසීය.


‘‘සර්! මේක දේශපාලන වගේම ජාතිවාදී ප්‍රශ්නයක් කර ගන්නත් තව පිරිසක් උත්සාහ කරනවා. ඒක රටට ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ‘‘අගමැතිවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ පෙන්වා දුන්නේය.


‘‘මට මේ ගැන තනි තීරණයක් ගන්න බැහැනේ. විද්‍යාත්මකව වගේම මානුෂිකවත් මේ ගැන බලා විසඳුමක් දෙන්න පුළුවන් නම් හොඳයි කියන තැන මම ඉන්නෙ.’’ අගමැතිවරයා කීවේය. කෙසේ වුවද සාකච්ඡාව අවසානයේ තීරණය වූයේ තවදුරටත් මේ පිළිබඳව කරුණු සොයා බලා සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනීමටය.


අයවැයෙන් පසු කතානායකගේ භෝජන සංග්‍රහයක්


පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් සඳහා රාත්‍රි භෝජන සංග්‍රහයක් කතානායකවරයාගේ නිල නිවසේ ඉකුත් බ්‍රහස්පතින්දා පැවැත්වුණේ අයවැය අවසන්වීමත් සමගය. අයවැය විවාදය අවසානයේ පාර්ලි​මේන්තුවේ සියලු මැති ඇමැතිවරුන් සඳහා රාත්‍රිභෝජන සංග්‍රහයක් කතානායකවරයා විසින් පිරිනමනු ලැබීම සාමාන්‍ය සම්ප්‍රදායකි. ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලු මැති ඇමැතිවරුන්ට භෝජන සංග්‍රහයට ආරාධනා කළ නමුත් සමගි බලවේගයේ සහ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු එය වර්ජනය කළහ. අගමැතිවරයාත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු සහ දෙමළ ජාතික සන්ධානය මන්ත්‍රීවරු පිරිසක් ඊට සහභාගි වූහ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භෝජන සංග්‍රහයට සහභාගි වූයේ නැත. සාදය මහ රෑවන තෙක් පැවැත්වුණද මැති ඇමැතිවරුන් වැඩි දෙනකු රෑ වන තෙක් රැඳී සිටියේ නැත. රැඳී සිටි පිරිස සින්දු කියමින් කාලය ගත කළේ දේශපාලන කරළියේ රසකතාද සිහිපත් කරමිනි. මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, දසාසිරි ජයසේකර, චාමර සම්පත් දසනායක සනත් ප්‍රදීප්, සම්පත් අතුකෝරළ මෙන්ම මෑතකදී ආණ්ඩුවට එක්වූ ඩයනා ගමගේ ද ගී ගයමින් සාදය රසවත් කළේ මන්ත්‍රී සගයන්ගෙන් ලැබුණ අත්පුඩි හඬ මැදය.


ආණ්ඩුව මර්දනය පටන් අරන් විපක්ෂයෙන් චෝදනා


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ අය වැය විවාදයටන් එක්වෙමින් මේ සතියත් කාර්යබහුලවී තිබුණි. පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කරන ආන්දෝලනාත්මක ප්‍රකාශ සඳහා සමහර මාධ්‍ය තුළ ඉඩක් නොලැබීම ගැන මන්ත්‍රීවරුන් සිටියේ නොසතුටිනි.


‘‘අපි කතා කළාට සමහර කතා ටී.වී. චැනල් වලින් අරගන්නේ නෑ. අපි ඇත්ත කියනවිට ඒවා පළ කරන්න සමහර මාධ්‍ය ආයතන බය වෙලා”‍සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.
”‍ඉහළින් මාධ්‍ය ආයතනවලට නියෝග එනවා. මේ කතා දාන්න එපා කියලා බලපෑම් වෙනවා. ඒ නිසා තමයි අපේ කතා කැපෙන්නේ”‍ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තමන්ට මාධ්‍ය ආයතනයක් තුළින්ම ලැබුණ තොරතුරක් හෙළිදරව් කළේය.


මේ අතර පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් මැනිං වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමර නොමිලේම ව්‍යාපාරිකයින්ට ලබා දෙන්නැයි බල කරමින් පැවති විරෝධතාවයකට පැමිණි පුද්ගලයකු තර්ජනාත්මකව හැසිරීම ගැනත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුවිය.


‘‘ආණ්ඩුව මර්දනය පටන් අරගෙන තියනවා. මේක භයානක තත්ත්වයක්”‍ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පවතින අවදානම ගැන අදහස් දැක්වූවේය. ඒ අනුව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු එක්ව විරෝධතාවයක් සංවිධානය කළේය. එහි සංවිධාන කටයුතු සුපුරුදු පරිදි පැවරුනේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාටය. ජනාධිපති‌ ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවය පැවැත්වීමට යෝජනාවූ අතර සියල්ල රහසිගතව සංවිධානය කෙරිණි.


‘‘මේක ගැන තොරතුරු එළියට ගියොත් මේක කරන්න දෙන්නේ නෑ”‍ජේ.සී.අලවතුවල කීය.
ඒ අනුව විරෝධතාව පැවැති සඳුදා සවස් වන තුරුම මෙය රහසක් සේ තබාගැනීමට සියල්ලෝම වගබලාගත්හ. සඳුදා සවස් වන විට පාර්ලිමේන්තුවේ සිටි සියලු‍ම මන්ත්‍රීවරුන්ට විපක්ෂ නායක කාර්යාලයට පැමිණෙන්නැයි දැනුම්දීමක් විය. ඇතැම් මන්ත්‍රීවරු විරෝධතාවය ගැන දැනගත්තේ විපක්ෂ නායක කාර්යාලයට පැමිණි විටය. විපක්ෂ නායක කාර්යාලයේදී විරෝධතාව ගැන සාකච්ඡා කළ මන්ත්‍රීවරු ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට යාමට සූදානම් වූහ.


‘‘හැමෝටම යන්න එක බස් එකක් සූදානම් කරලා තියෙනවා”‍ හරින් කීවේ විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට නවතා තිබූ බස් රථය පෙන්වමිනි. විපක්ෂ නායකවරයා ඇතුළු සියලු‍ම මන්ත්‍රීවරු බස් රථයට ගොඩවූහ. බස් රථයේ ගමන් කරන මන්ත්‍රීවරුන්ගේ ඡායාරූප හා සෙල්ෆි ගත්තේ මනුෂය. එහෙත් කිසිදු ඡායාරූපයක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට යන තෙක් ප්‍රසිද්ධ නොකිරීමට වගබලාගෙන තිබුණි.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතා පුවරු මෙන්ම පන්දම් දල්වාගෙන විරෝධතාවයේ‌ යෙදුණේ කොවිඩ් නිරෝධායන නීතිවලට ද අනුගත වෙමිනි.


”‍ආණ්ඩුව මාධ්‍ය මර්දනය කරනවා. රාජ්‍ය ත්‍රස්තවාදය දියත් කරමින් සිටිනවා. මහර බන්ධනාගාරයේ රැඳවියන් මිය ගියත් ඒ අය ගැන ආණ්ඩුව හෙළි කර නැහැ. මේ කිසිවක් නොදන්නා ඔවුන්ගේ ඥාතීන් බරපතල සිත් වේදනාවෙන් සිටිනවා. මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන ආණ්ඩුවේ මර්දනයට එරෙහිව විපක්ෂයක් ලෙසත්, සමගි ජන බලවේගය ලෙසත් අපි සටන් කරනවා”‍විපක්ෂනායකවරයා කීවේය.


විද්වතුන් පිරිසක් සමගි ජන බලවේගයට


මේ වන විට විශ්ව විද්‍යාල තුළ සක්‍රීයව තම දැනුම විද්‍යාර්ථීන්ට බෙදා දෙන ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම විශ්‍රාම ගිය ආචාර්ය මහාචාර්යවරුද, විද්වතුන්ද සමගි ජන බලවේගයට එක්වෙමින් සිටී. සමගි ජන බලවේගය සමග එක්වන ආචාර්ය මහාචාර්යවරුන්ට විවිධ වගකීම් ලබාදීමටද විපක්ෂ නායකවරයා අමතක කරන්නේ නැත. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ඩී. ගුණවර්ධන පසුගිය සතියේදී සමගි ජන බලවේගය කාර්යාලයට පැමිණියේ පක්ෂයේ ව්‍යාපෘති හා පර්‌යේෂණ ක්ෂේත්‍රයේ වගකීමක් ලබාගනිමිනි.
මේ අතර රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ කා අතරත් ප්‍රසාදයට ලක්ව සිටින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජිනසිරි දඩල්ලගේ විපක්ෂ නායකවරයා හමුවූයේ රංජිත් මද්දුමබණ්ඩාර සමගය. රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයට අදාළ වගකීම් ඔහුට පැවරෙන්නේය.


හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවකද සමගි ජන බලවේගය කාර්යාලයට පැමිණ සාමාජිකත්වය ලබාගත්තේය.


ට්විටර් ප්‍රශ්නයක්


පාර්ලිමේන්තුවේ ට්විටර් ගිණුම පවත්වාගෙන යන ආකාරය ගැන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී අවධානයට යොමුවිය. ඒ හරින්ගේ වරප්‍රසාද කඩවන ආකාරයේ ප්‍රකාශයක් නිල ට්විටර් ගිණුමේ පළවී තිබීම නිසාය. ඔහු මේ ගැන පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමෙන් පසුව උණුසුම් තත්ත්වයක් ඇතිවිය. ඒ වාද විවාදවලින් පසුව මන්ත්‍රීවරු විපක්ෂ නායක කාර්යාලයට පැමිණියහ.


”‍මේ ට්විටර් ගිණුම පාර්ලිමේන්තුවේ ලාංඡනය භාවිතා කරමින් පවත්වාගෙන යනවා නම් ඒක මෙහෙයවන්නේ කවුද කියලා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා හා කතානායකවරයා දැනගත යුතුයි. ඒත් මේක කරන්නේ කවුද කියලා විපක්ෂනායකතුමා ඇහුවම හොයලා බලන්නම් කියලා කතානායකතුමා කියනවා. ඒ කියන්නේ මේවා කරන්නේ කවුද කියලවත් දන්නේ නෑ‌. මේක බරපතල තත්ත්වයක්”‍ හේෂා විතානගේ මන්ත්‍රීවරයා කීවේය.


”‍ආණ්ඩුවට ඕන පණිවුඩ යවලා පාර්ලිමේන්තුව හෑල්ලු‍වට ලක් කරන්නයි මේ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ”‍ගයන්ත කරුණාතිලක කීවේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැනත් අවධානය යොමු කරමින්ය.
”‍මේ ගැන පරීක්ෂණ කරලා අදම දැනුම් දෙන්න කියලා විපක්ෂනායකතුමා කියපු එක හොදයි. එතකොට මේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා හොයාගන්න පුළුවන්”‍ අශෝක අබේසිංහ මන්ත්‍රීවරයා කීය.
එජාප ප්‍රවර්ධනයට


නියෝජ්‍ය නායක රුවන් පුත්තලමේ


එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඉකුත් සතියේ පුත්තලමේ සංචාරයක යෙදුණු අවස්ථාවේ එකවර දේදුනු දෙකක් පායා තිබෙනු දැකීම පාක්ෂිකයන්ගේ ප්‍රමෝදයට හේතුවක් වී තිබුණි. එහි සිටි සියලු දෙනාම පාහේ ප්‍රකාශ කර සිටියේ එය ඉතා සුභ ලකුණක් බවයි.


පුත්තලම දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ හමුව තබ්බෝව ලේක් රිසෝට් හෝටලයේ දී පැවැත්වුණි. එය සංවිධානය කර තිබුණේ හිටපු ඇමැති පාලිත රංගෙ බණ්ඩාර මහතාය.


කරුවලගස්වැව දේවස්ථානයේ ෂෙහාන් ප්‍රනාන්දු පියතුමා හමු වී කතාබස් කිරීමෙන් පසු රුවන් විජයවර්ධන මහතා දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ හමුවට සහභාගි විය. එහිදී පක්ෂයේ ලේකම් තනතුරට පාලිත රංගෙබණ්ඩාර මහතාගේ නම යෝජනා විය. එහිදී රුවන් විජයවර්ධන මහතා ක්‍රියාකාරීන් සමග පවත්නා ගැටලු පිළිබඳව සාකච්ඡා කළේය.


ආශු මාරසිංහ, අනෝමා ගමගේ, ශාන්තිනී කෝංගහගේ, කස්තුරි අනුරාධ යාපා, ඇන්ටන් පෙරේරා, සමන් රත්නායක යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.


එම සාකච්ඡාවෙන් පසු පුලියන්කුලම වෙහෙරගල රජමහා විහාරයේ තම්මැන්නාවේ රතන​ජෝති හිමියන් හා සාලියවැව සුමනාරාමාධිපති අධිකරණ සංඝනායක වැල්ලගිරියේ සුමනතිස්ස හිමියන් බැහැ දැකීමට එම විහාරස්ථානවලට ගිය විජයවර්ධන මහතා උන්වහන්සේලා සමග කතාබහක යෙදුණේය.


වයස අවුරුදු 95 ක් වන කලාඔය විජයබෝධි ආරාමවාසී මාදම්පේ සරණතිස්ස හිමියන් බැහැදැකීමට ගිය විජයවර්ධන මහතා උන්වහන්සේ බැහැදැක රටේ පවත්නා තත්ත්වය සාකච්ඡා කළේය.


ඉන්පසු මුන්නේශ්වරම් දේවාලයට පැමිණි විජයවර්ධන මහතා ප්‍රමුඛ පිරිස රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇතිවේවායි ප්‍රාර්ථනා කරමින් දේව පූජාවක් ද පැවැත්වූහ.


පසුගිය අඟහරුවාද‌ා රත්නපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීහු පිරිසක් සිරිකොතට පැමිණ රුවන් විජයවර්ධන මහතා හමුවූහ. ලබන වසරේ ප්‍රථම වරට පක්ෂ ක්‍රියාකාරීන් හමුවීම රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන ලෙසට කරන ලද ඉල්ලීමට විජයවර්ධන මහතා එහිදී එකඟ වී ඇත.

 

 

-ගජබා-