මාස තුනක් කල්ගිය මහ සටනට තව දින තුනයි


  • අගමැති-ජනපති එකම රැස්වීම්වලට යයි
  • බහුතරය පිළිබඳ ජනමත සමීක්ෂණයක්
  • එජාපය පිරිසිදු කරන්න හදයි

 

මහ මැතිවරණය පැවැත්වෙන දිනය කට ළඟටම ඇවිත්ය. දින වශයෙන් ගත්තොත් ඡන්දයට තවත් හරියට ඇත්තේ දින තුනක් පමණී. ඡන්දයේ ප්‍රචාරක කටයුතු ද අද (02) රාත්‍රී 12.00 න් අවසන් වේ. ඒ නිසාම අද වන විට දේශපාලන පොරපිටිය ගිනියම් වී හමාරය.


පාර්ලිමේන්තුව විසුරුවා හැර දින 10 ත් 14 ත් අතර කාලයකදී නාමයෝජනා බාර ගැනීම කළ යුතු වේ. නාම යෝජනා බාරගෙන සති 5 ක් සති 7 ක් ත් අතර දිනයක ඡන්දය පැවැත්විය යුතු බව 1981 මහ මැතිවරණ පනතේ සඳහන් වේ. එහෙත් මෙවර මහ මැතිවරණය පැවැත්වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයෙනි. ලංකා ඉතිහාසයේ මේ ආකාරයෙන් මහ මැතිවරණයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ. දිනවකවානු ගත්තොත් මෙවර ඡන්දය පැවැත්වෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස පහකට පමණ පසුවය. ඡන්දයට නියම කළ දින දෙකම නොසිතූ අන්දමින් කල් දමන්නට සිදුවූයේ කොවිඩ් 19 වයිරසය හේතුවෙනි. වෙනද‌ා මහ මැතිවරණය පැවැත්වෙන දිනම රාත්‍රියේ ඡන්ද ප්‍රතිඵලත් ඊට පසුදින වන විට මනාප ප්‍රතිඵලත් නිකුත් කිරීම සාමාන්‍යයෙන් සිදුවිය. මෙවර එය හාත්පසින්ම වෙනස්ය. ඡන්දය එක දිනයකය. ඡන්ද ප්‍රතිඵල ඊට පසුදිනය. මනාප ප්‍රතිඵල ඊටත් පසුදිනය. මේ සියල්ලටම මුල කොවිඩ් 19 ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් ඉකුත් සතිය පුරාම ඡන්ද ප්‍රචාරක කටයුතුවලට සහභාගි වූහ. මේ නිසාම ඔවුන් දෙදෙනාම සිටියේ අවිවේකයෙනි. ගිය සතියේ කැබිනට් රැස්වීම් ද නොතිබූ නිසා ඇමැතිවරුන් ද සිය දිස්ත්‍රික්කවලට ගොස් මනාප එකතු කරන සටනට එක්ව සිටියේ පක්ෂ අතර සටනටත් වඩා එකම පක්ෂයේ අපේක්ෂකයන් අතර පවතින මනාප පොරය හේතුවෙනි.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් සතියේ ද පොදුජන ​පෙරමුණේ අපේක්ෂකයන්ට සහාය පළකරමින් දිස්ත්‍රික්ක කිහිපයකටම ගියේය. කුරුණෑගල, ගම්පහ, කළුතර, කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකටම ජනාධිපතිවරයා ගිය අතර අපේක්ෂකයන්ගේ ජනහමුවලට ද සහභාගි විය. ජනහමුවලදී ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ප්‍රශ්න මොනවාදැයි විමසන ජනාධිපතිවරයා ඊට කඩිනම් විසඳුම් දිය හැකි නම් එවෙලේම අද‌ාළ නිලධාරීන්ට කතාකර විසඳුම් ලබා දීම ජනාධිපතිවරයාගේ සිරිතය. ගිය සතියේ සහභාගි වූ ජනහමුවලදී ද ජනාධිපතිවරයා ගැටලු රැසකට විසඳුම් දුන්නේ ඒ අන්දමිනි. ඒ කිසිදු ජනහමුවක් අමතන්නට ජනාධිපතිවරයා සම්බන්ද නොවුණු අතර සෑම අපේක්ෂකයකුගේම ජනහමුවලට ජනාධිපතිවරයා සහභාගි විය. කොළඹත්, ගම්පහත් ආසන ගණන වැඩි නිසා එම දිස්ත්‍රික්ක දෙකේ ජනහමුවලට ජනාධිපතිවරයා දවස් දෙක බැගින් වෙන් කළේය. කොළඹ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ සහායට මීට සතියකට පමණ ඉහතදී ගිය ජනාධිපතිවරයා කලින් නොගිය අපේක්ෂකයන්​ගේ ජනහමුවලට ඉකුත් අඟහරුවාද‌ා ගියේය. ඉකුත් සතියේ ගම්පහට ගිය ජනාධිපතිවරයා ඉකුත් බ්‍රහස්පතින්ද‌ා දිනයේ ද ගම්පහට ගියේ කලින් නොගිය අපේක්ෂකයන්ගේ ජනහමුවලට සහභාගි වීම සඳහාය.


මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද ගිය සතියේ දිස්ත්‍රික්ක ගණනාවකටම ගියේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ට සහාය පළකිරීම වෙනුවෙනි. ජනාධිපතිවරයා මෙන් නොව අගමැතිවරයා නම් ඒ යන සෑම රැස්වීමකම කතා කළේය. නුවරඑළිය, නුවර, ගම්පහ, කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට අගමැතිවරයා ගිය සතියේ ගියේ මැතිවරණ වේදිකාව උණුසුම් කරමිනි. මහින්ද ගිය අඟහරුවාද‌ා ගම්පහට ගියේය. මිනුවන්ගොඩ සතිපොළේ පැවැති ජනහමුවට අගමැතිවරයා සහභාගි වූයේ පොහොට්ටුවේ ප්‍රබලයකු වන ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාට හයියක් වෙමිනි. මහින්දගේ නායකත්වයෙන් හා බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් පොදුජන පෙරමුණ හදද්දී ළඟම සිටි කිහිප දෙනා අතර ප්‍රසන්න ප්‍රබලයෙකි. ප්‍රසන්න පොහොට්ටුවේ ගම්පහ දිස්ත්‍රික් නායකයාය. ඔහු දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ සෙසු අපේක්ෂකයන්ට ද මිනුවන්ගොඩ රැස්වීමට ආරාධනා කළේය. ඒ අනුව ගම්පහ සියලුම අපේක්ෂකයෝ ඊට සහභාගි වූහ. 2015 දී අපි පැරදුණාම හුඟ දෙනෙක් අපි ද‌ාලා යද්දී ප්‍රසන්නලා තමයි අපේ ළඟම හිටියේ. පොහොට්ටුව හදන්න බැසිල් එක්ක මහන්සි වුණෙත් ප්‍රසන්න යැයි මහින්ද සිය කතාවේදී කීවේ ප්‍රසන්න රණතුංග ගැන සහතිකයක් දෙමිනි.


අගමැති අයියාගේ සහායට
ජනපති මල්ලිත් කුරුණෑගල යයි


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගිය සති අන්තයේ කුරුණෑගල ගියේ ඉරිද‌ාත් සඳුද‌ාත් දින දෙකම කුරුණෑගල පොහොට්ටු අපේක්ෂකයන්ට සහාය පළකිරීමේ ජනහමුවලට සහභාගිවීමටය. ඉරිද‌ා කුරුණෑගල ගිය ජනාධිපතිවරයා ඇමැති ජොන්ස්ටන්ද සමග රැස්වීම් ගණනාවකටම ගියේය. නිකවැරටියේ රැස්වීමකට යන අතරේ සිසුන් පිරිසක් ජනාධිපතිවරයා හමුවී ඉල්ලීමක් කළේ ඔවුන්ට ක්‍රීඩාපිටියක් ලබාදෙන ලෙසය. ඔවුන් ඒ සඳහා පෙන්වූ ඉඩම පසුව සොයාබැලීමේදී පෞද්ගලික ඉඩමක් බව දැනගන්නට ලැබිණි. දරුවන්ට ක්‍රීඩාපිටියක් හද‌ාදෙන බවට පොරොන්දු වූ ජනාධිපතිවරයා ඒ සඳහා සුදුසු ඉඩමක් බලන ලෙස ජොන්ස්ටන්ට බාරදුන්නේය.


අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගියවර මෙන්ම මෙවර ද කුරුණෑගලින් තරගකරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගිය සඳුද‌ා මහින්ද සමග එක්ව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනහමු කීපයකටම ගියේය. එහි විශේෂත්වය වූයේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් දෙදෙනාම එක්ව එකට ජනහමුවකට ගිය පළමු අවස්ථාව එය වීමය.
මහින්ද බද‌ාද‌ා දිනයේද සිටියේ ගම්පහය. කඩවත, බියගම, මාවරමණ්ඩිය, මීරිගම ඇතුළු ප්‍රදේශ කිහිපයක එදින පැවැති රැස්වීම් කිහිපයකට ද මහින්ද සහභාගි විය. ඔහු සමග ප්‍රසන්න රණතුංග ද මෙම රැස්වීම්වලට සහභාගි වූ අතර බියගම රැස්වීමෙන් පසුව ප්‍රසන්න හදිසියේම අතුරුදන් විය. ඔහු හදිසියේම ගියේ ගම්පහට පොහොට්ටුවෙන් තරග කරන ලක්ෂ්මන් ගුණවර්ධනගේ නිවෙසටය. ලක්ෂ්මන් ගුණවර්ධනට ආශිර්වාද කිරීමට භික්ෂුන් වහන්සේ සියක් නමකගේ සහභාගිත්වයෙන් පිරිත් පින්කමක් සූද‌ානම් කර තිබිණි. පිරිත් පින්කම ආරම්භ වී ටික වේලාවකින් අගමැති මහින්ද ද ලක්ෂ්මන්ගේ නිවසට ආවේ අහම්බෙනි. එය ලක්ෂ්මන් ගුණවර්ධන ද දැන සිටියේ නැත. එය සම්බන්ධීකරණය කර තිබුණේ ප්‍රසන්නය. මාවරමණ්ඩියේ රැස්වීම අත​රේ මේ පින්කම ගැන ප්‍රසන්න, අගමැති මහින්දට කීවේය. මහින්ද කීවේ තමා විනාඩි 10 කට හෝ ලක්ෂ්මන්ගේ නිවෙසට එන බවය.


අනතුරුව මහින්ද මීරිගම රැස්වීමට ගියේය. රැස්වීම අවසානයේ මහින්ද කෝකිලා ගුණවර්ධනගේ නිවෙසට යාමට ද සූද‌ානමින් සිටි නමුත් හදිසියේ ආ දුරකථන ඇමතුමකින් එම ගමන වෙනස් විය. බන්දුල ගුණවර්ධනගේ පුතාගේ මංගල උත්සවයට යාමට ප්‍රමාද වී ඇති බවට ලැබුණු පණිවිඩයත් සමග මහින්ද වහා කොළඹ බලා ආවේය.


බන්දුලගේ අලුත්ම මස්සිනා


බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවය ගිය බද‌ාද‌ා රාත්‍රියේ පැවැත්වුණේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේය. අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේම ජයන්ත යන මහත්වරුද ඊට සහභාගිවූ ආරාධිත අමුත්තන් අතර වූහ. සුසිල් පැමිණ සිටියේ මනාලියගේ පාර්ශ්වය නියෝජනය කරමිනි. බන්දුලගේ පුත්‍රයාගේ අතගත් මනාලිය සුසිල්ගේත් බිරිඳගේ නැගණියගේ දියණියකි. මහින්ද පිළිගන්නට බන්දුල සමග සුසිල්ද ගියේය. සුසිල් දුටු අගමැති මහින්ද ‘ආ... සුසිල් දැන් බන්දුලගේ මස්සිනා නේදැයි කියමින් බන්දුලගේත් සුසිල්තේ කරට අත දා තබාගෙනම ශාලාව තුළට ගියේ හැමෝම හිනස්සමිනි.


අගමැතිවරයාත්, දිනේෂ්, සුසිල්, බන්දුල ඇතුළු පිරිසත් අසුන් ගෙන සිටියේ එකම මේසයේය. ඡන්දය ගැනත් දේශපාලන කටයුතු ගැනත් කතා කරමින් සිටින අතරේ ‘දැන් මේවා සජිත්ලා දැනගත්තාම පවුල් දේශපාලනය කියයි. දැන් මෙතනම දිනේෂ්, බන්දුල, සුසිල් නෑදෑයෝ නේදැයි මහින්ද කීවේය. බොහෝ වෙලාවක් පිරිස සමග විනෝදයෙන් ගතකළ අගමැතිවරයා පිටව ගියේ පිරිස එක්ක රාත්‍රී කෑම ගැනීමෙන් ද අනතුරුවය.


බැසිලුත් ඡන්ද වේදිකාවේ


බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා ද ගිය සතියේ රැස්වීම් කිහිපයකට ගියේය. ඉන් එක් රැස්වීමක් පැවැත්වුණේ මීගමුවේය. එය කාන්තාවන්ගේ රැස්වීමකි. නිමල් ලාන්සා එය සංවිධානය කළේය. බැසිල් සමග ප්‍රසන්න රණතුංග ද ඊට එක්ව සිටියේය. පොහොට්ටුවේ ඡන්ද ප්‍රචාරක වැඩපිළිවෙළේ සැලැස්ම බැසිල්ගේය. ඒ සඳහා ඔහුට හොඳ අවබෝධයක් මෙන්ම පළපුරුද්දක් ද ඇත.


මහාචාර්ය චරිත හේරත් ද මෙවර පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයකි. ඔහු ගිය සතියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රචාරක රැස්වීම්වලට සහභාගි විය. ජේ.ආර්., ප්‍රේමදාස 13 වන සංශෝධනය ගෙනත් පළාත් සභා ගෙනාවා. රනිලුයි සජිතුයි පළාත් සභා හිරකළා. දැන් අපි මේ දෙකේම හිරවෙලයි ඉන්නේ ඔහු කීවේය.


ජේ.ආර්. අනුකරණය කර
රනිල් කතාකරයි


එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පසුගිය සතියේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත මන්දිරයේදී පැවැති අතර එය බෙහෙවින් උද්‌යෝගිමත් වී තිබුණි. එහි විශේෂත්වය වූයේ සමගි ජනබලවේගයෙන් තරග කරන හිටපු ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් 54 කගේ හා පළාත් පාලන ආයතන නියෝජිතයන් 61 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කිරීමය.


සමගි ජනබලවේගය නමින් පක්ෂයක් හද‌ාගෙන ගිය සජිත් ප්‍රේමද‌ාස මහතා පක්ෂයෙන් නෙරපීමට ක්‍රියා නොකිරීම ගැන කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෝ ගණනාවක්ම නායකත්වයෙන් විමසා සිටියහ. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ඒ සම්බන්ධ විනය පරීක්ෂණ මෙතෙක් අවසන් වී නොමැති බවය. තරාතිරම නොබලා විනය ක්‍රියාමාර්ග ගන්නා බව මෙහිදී ප්‍රකාශ කළ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයෙන් ඉවත් කළ අයගේ පුරප්පාඩු වහාම පිරවීමට පියවර ගන්නා ලෙසට ද උපදෙස් දුන්නේය.


මීට අමතරව පක්ෂය හැර ගිය තවත් අය සම්බන්ධයෙන් වහාම පියවර ගෙන පක්ෂය පිරිසිදු කරන ලෙසට ද උපදෙස් දුන්නේය.


මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිත්වය බෙහෙවින්ම නිවැරදි බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයෙන් ඉවත් කළ අය අධිකරණයට ගොස් ඇති බවත් එහිදී ද පක්ෂයේ තීන්දුව නිවැරදි බව තීරණය කර ඇති බවත් කීවේය. මීට අමතරව ඔවුන්ට පක්ෂයට රුපියල් 25,000 බැගින් ගෙවන ලෙසට අධිකරණය නියම කර ඇති බව ද ප්‍රකාශ කළේය.
පසුගිය සතියේ ද කොළඹ දිස්ත්‍රික්කයේ රැස්වීම් ගණනාවකටම සහභාගි වූ රනිල් වික්‍රමසිංහ මහතා ඒ සෑම රැස්වීමකදීම එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ පැහැදිලි කළේය.


රුවන් විජයවර්ධන හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා සංවිධානය කර තිබූ මීගමුවේ ජන හමුවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි විය. මීගමුවේ හෝටලයක මෙම රැස්වීම පැවැත්වුණි. එහිදී ඔහු කියා සිටියේ පක්ෂයේ නායකත්වය තරුණ නායකයකුට පැවැරීමේදී සියලු ගැටලු නිරාකරණය කර භාර දෙන බවය. එසේ ප්‍රකාශ කරන විට රනිල් වික්‍රමසිංහ මහතා තමා පිටුපස වාඩි වී සිටි රුවන් විජයවර්ධන මහතා දෙසට හැරී අත දිගු කර ඔහු පෙන්වීය. ඒ අවස්ථාවේ රැස්ව සිටි ජනතාව අත්පොළොසන් දෙමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාවට ධෛර්යය ලබා දුන්හ. මේ රැස්වීමේදී තවත් විශේෂත්වයක් විය. එනම් රනිල් වික්‍රමසිංහ මහතා ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා අනුකරණය කරමින් කතා කිරීමයි. තවත් කිසිදු අවස්ථාවක පක්ෂයට හානිකර දෙයක් නොකරන බව මෙහිදී පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා අතීත සිදුවීමක් සිහිපත් කළේය. පක්ෂයට සම්බන්ධ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ තමන් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ බවත් ඒ පිළිබඳව ​ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා විමසා සිටි ආකාරයත් ඔහු අනුකරණය කරමින් කීවේය.


‘රනිල් එහෙම කොළේ මොකද?’ කියල ජේ.ආර්. මහත්තය මගෙන් ඇහුවා. මම කිව්වා පක්ෂය වෙනුවෙන් කළ යුතු දේ කළා කියලා. එවිට ජේ.ආර්. ජයවර්ධන මහත්තය ප්‍රකාශ කළේ,
එහෙම තමයි කොරන්න ඕනැ. රනිල් හරි දේ කොරල තියෙනවා. කියලා... තම කතාව අතරතුර රනිල් ජේ.ආර්. ජයවර්ධන මහතා අනුකරණය කරමින් කරන ලද කතාව අසා සිටි අයට බෙහෙවින් විනෝදජනක විය.


මැතිවරණයේ අවසාන සතිය එළැඹ ඇති හෙයින් එ.ජා.ප. මැතිවරණ මෙහෙයුම් ඉතා සංවිධානාත්මක ලෙස උච්චස්ථානයට ගෙන ඒමට එජාප නායක ඇතුළු පිරිස සමත්ව සිටිති. නායකයා තරග වදින කොළඹ දිස්ත්‍රික්කය මෙන්ම රට පුරා රැස්වීම් රැසකට ඔහු එක් වූයේ ඉහළ ජනතා ප්‍රතිචාර මැදය.


පසුගිය ජනපතිවරණයෙන් පසුව රට ආර්ථික ලෙස මුල් මාස තුනේදී කඩාවැටීමත් වත්මන් ආණ්ඩුවේ නොහැකියාව තුළ ඇදවැටීමත් කොරෝනා ව්‍යසනයෙන් පසු ඒ කඩාවැටීම වඩා තිව්‍ර වීමත් සිදුව තිබේ. එහෙයින් එජාප නායකයාගේ ඉලක්කය ඇදවැටුණු ආර්ථිකය යළි නඟාසිටුවා රටේ සංවර්ධනය හා ජනතා සහන උපරිමයෙන් යළි දීමට ක්‍රියා කළ යුතු ආකාරය ගැන ජනතාව දැනුවත් කිරීමක්ය.


‘රටේ රැකියා ලක්ෂ 10 ක් අනතුරට වැටිලා. දෛනික ආද‌ායම් ලබන අයගේ තත්ත්වය ඊටත් අනාථයි. වැඩකරන මිනිස්සුන්ට ලැබෙන්නෙත් පඩි භාගයයි. මේ තත්ත්වය නැති කරන්න ඩොලර් මිලියන 6000 ක් ලංකාවට ඕනෑ. ඒත් ඒක හොයන ක්‍රමවේද මේ ආණ්ඩුවට නැහැ. ණයට ගත්ත ද ආර්ථික හා මුදල් කළමනාකරණය පිළිබඳව හැකියාව නැති බව ඔවුන් ඔප්පු කර හමාරයි.’ එජාප නායක රට දැනුම්වත් කරන්​නේ ඒ අයුරිනි.


මධ්‍යම සංස්කෘතික අරමුදල යහපාලන යුගයේදී අවභාවිතාවකට ලක්ව ඇති බව සඳහන් විමර්ශන වාර්තාව එළිදුටුවේය. ඒ හරහා රුපියල් බිලියන 11 ක ගැටළු ඇති බවද ඉන් මිලියන 480 ක් පසුගිය ජනපතිවරණය සඳහා යොද‌ාගෙන ඇති බවට ද චෝදනා එල්ල විණ. ඒ අරමුදල භාරව සිටි සජිත් ප්‍රේමද‌ාස මෙන්ම අකිල විරාජ්ට ද ඒ හරහා චෝදනා එල්ල කර ඇත.
‘අරමුදලේ මුදල් පාලක මණ්ඩලයේ අනුමැතිය නැතිව වැය කිරීමයි, ගැටලුව වෙන්නේ. අනුමැතිය ගත් බවට ඉදිරිපත් කරන ලියකියවිලි ද අඩු පාඩු සහිත ඒවා බව කියනවා. ඩොලර් ගිණුම භාණ්ඩාගාරයට දී රුපියල් කර ගන්නෙත් නැතුවයි ඇතැම් අවස්ථාවල ක්‍රියා කර තිබෙන්නේ.’ එජාප නීති උපදේශකයෙක් නායකයා ඇතුළු පිරිසට විස්තර කළේය.


‘ජනාධිපතිවරණය ඉවර වෙලා දින 4 කින් මා ඔය අරමුදල ඇතුළු ආණ්ඩුවේ සියලු වගකීම් ජයගත් පිලට පැවරීමේ ක්‍රියාවලියක හිටියා. එ්ත් සජිත්ගේ ඉල්ලීම මත එවකට අගමැති ලේකම්වරයා පැමිණ විශේෂ රැස්වීමක් තියා අද‌ාළ ලියකියවිලි නීත්‍යනුකූලව සකස් කරන්න යෝජනා කළාම නීතිය හා සද‌ාචාරයට අනුව ඒක නුසුදුසු ක්‍රියාවක් බව මා පෙන්වා දුන්නා. කකුලෙන් ඇද්ද‌ායි සමහරුන් කියන්නේ ඔය කරුණ මිසක් ජනපතිවරණයේදී වූ වෙනත් දෙයක් නොවෙයි.’ එජාප නායක පැහැදිළි කළේය.


දහම් පාසල් ගොඩනැගිලි හදන්න ඉංජිනේරු සංස්ථාවයි භාරගෙන තිබෙන්නේ. ඒත් ඒ වැඩේ කර තිබෙන්නේ පිටස්තර කොන්ත්‍රාත්කරුවනුයි. විහාර ගණනාවකට මුදල් දීම ගැනත් යම් ගැටළු තිබෙන බව ආරංචියි. රැකියා සඳහා බඳවා ගැනීම ගැන සජිත් වගේම අකිලගේ කාලෙටත් අද‌ාළ චෝදනා තිබෙනවා.’ එජාප නායක තවදුරටත් කීය.


පසුගිය සතියේ ප්‍රදේශය පුරා රැස්වීම් ගණනාවකට සහභාගි වූ රුවන් විජයවර්ධන මහතා ගම්පහ මැදගම සිරි සුනන්ද‌ාරාම විහාරාධිපති කළුමෝදර සමිතසෝම හිමියන් බැහැදැකීමට ගියේය. එහිදී සමිතසෝම හිමියන් රුවන්ගේ අතේ පිරිත් නූල් ගැටගසමින් දේශනා කළේ අනාගතයේ පක්ෂයේ නායකත්වය ලැබේවා යනුවෙනි. කවුරු නායකයා වෙන්න හැදුවත් එයට සුදුසුම පුද්ගලයා රුවන් විජයවර්ධන බව උන්වහන්සේ කීහ.


පසුගිය සතියේදී හිටපු ඇමැති රවී කරුණානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් පිරිසක් හමු විය. පෞද්ගලික ස්ථානයකදී මෙම සාකච්ඡාව පැවත්වුණි. රවී සමග අකිල විරාජ් කාරියවසම්, නීතිඥවරුන් වන රොමෙල් පෙරේරා සහ විශ්ව යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ. රටවල් අසීරුවට පත්වන අවස්ථාවේ විශේෂ ඉල්ලීමක් මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ලබා ගන්නට හැකියාව තිබියදී එවැනි සහායක් නොදීම පිළිබඳව මෙහිදී රවී කරුණානායක මහතා විමසා සිටියේය. රජය ඉදිරිපත් කරන ලද කරුණුවලට එකඟ විය නොහැකි බව මෙහිදී අරමුදලේ සාමාජිකයන් පෙන්වා දී තිබුණි.
ශ්‍රී ජයවර්ධනපුර රෝහල, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කීපයකට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් ඉකුත්ද‌ා සිරිකොත මන්දිරයේදී රවී කරුණානායක මහතා හමු විය.


සංස්කෘතික අරමුදලේ මුදල් වංචාව ගැන පැහැදිලි කළ රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ අපට බොරු චෝදනා එල්ල කළ රජය දැන් ගලේ පහරන ලද බළලුන්ගේ තත්ත්වයට පත් වී සිටින බව ප්‍රකාශ කර සිටියේය.


ආචාරශීලී අපේක්ෂකයා සියඹලාපිටිය


කෑගල්ල දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක හිටපු ඇමැති රංජිත් සියඹලාපිටියට ඉකුත්ද‌ා තම සමීප සගයකුගෙන් දුරකථන ඇමැතුමක් ලැබුණේ ඡන්ද ව්‍යාපාරය අතරතුරය.


‘ආ කොහොමද ආචාරශීලී අපේක්ෂකයා...’ හිතවතා විමසූ විට රංජිත් විමතියට පත්විය.
‘ආ... ඒ මොකද? මම කොහොමත් එහෙමනේ......’ රංජිත් පිළිතුරු දුන්නේය.


‘ඒක ඇත්ත කියලා මහාචාර්ය අජන්තා හපුආරච්චි කරපු සමීක්ෂණයකත් කියවෙලා තියෙනවා. මම ඒක කියන්නයි කතා කළේ. සගයා කියද්දී රංජිත් තම හිතවතාට ස්තූති කර අද‌ාළ සමීක්ෂණය පිළිබඳ සොයා බැලූ විට එය සත්‍යයක් බව හෙළි විය. බහුතරය ලබා ගන්නා පක්ෂය ගැන ද අනෙකුත් පක්ෂ ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයන් ගැන ද කොළඹ විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය කළ ජනමත සමීක්ෂණයේ සඳහන් වේ.
එම වාර්තාව මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයින් සම්බන්ධයෙන් සිදුකරන ලද මත විමසීමේදී ආචාරශීලී අපේක්ෂකයින් කීප දෙනෙක් නම් කොට ඇත. එහි ප්‍රමුඛත්වය කෑගල්ල දිස්ත්‍රික් අපේක්ෂක රංජිත් සියඹලාපිටිය මහතාට හිමි වී ඇති අතර මීට අමතරව මහින්ද රාජපක්ෂ මහතා ද මහින්ද අමරවීර මහතා සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මත විමසුමට අනුව නම් කොට ඇත.


අන් අය විවේචනය නොකිරීම, පාර්ලිමේන්තුව තුළ විනීතව හැසිරීම, අධ්‍යාපන මට්ටම ආදී සුවිශේෂී කාරණා කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.


මනාප ඡන්ද වළක්වන වැඩපිළිවෙලක්


මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි නායකත්වයට සුදුසු බවට කතා බහක් පැතිරී ඇති අපේක්ෂකයකුගේ ජනප්‍රිය බව හා මනාප ඡන්ද වැළැක්වීමේ වැඩපිළිවෙළක යෙදී සිටින එම පක්ෂයේම තවත් අපේක්ෂකයකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.


තරුණ අපේක්ෂකයා සහභාගීවන රැස්වීම්වලදී ඔහු මීළඟ නායකත්වයට සුදුසු පුද්ගලයා බව කීමෙන් වැළකී සිටින ලෙස කීප දෙනකුටම බලපෑම්කර තිබෙන බව දැන ගන්නට ඇත.
පක්ෂයේ මීළඟ නායකත්වය සඳහා මෙම අපේක්ෂකයා තුළද කැමැත්තක් තිබෙන බැවින් මෙවැනි දෑ ක්‍රියාත්මක කරන බව පක්ෂයේ අනෙකුත් අයගේ මතය වී ඇතැයිද දැනගන්නට තිබේ.

 

-ගජබා-