මහින්ද මෙවරත් ඡන්දයට කුරුණෑගලින්


සති ගණනාවක් තිස්සේ දේශපාලන කරළිය ගිනියම් කළ රන්ජන් රාමනායකගේ හඬපට හුටපටය ගිය සතිය වනවිට යටගියේ අලුත් මාතෘකාවක් කරළියට පැමිණීමෙනි. ඒ චීනයේ හුවෙයි ප්‍රාන්තයේ ඇතිවූ කොරෝනා වෛරසයයි. රන්ජන් රාමනායකගේ හඬපට ගැන කතා කරමින් විවේචන කරමින් සිටි බොහෝ දෙනකුට එය අමතකව ගියේය. කොරෝනා වෛරසයෙන් ඇති කළ සමාජ භීතිය තවමත් පහව ගොස් නැත. බසයේත්, දුම්රියේත්, කාර්යාලයේත්, වැඩ පොළේත් හැම තැනම කතාබහ කොරෝනා වෛරසයෙන් බේරෙන හැටි ගැනය.


කොරෝනා වෛරසයට මුහුණ දෙන හැටි ගැන ආණ්ඩුවද වැඩි බරක් තැබුවේය. විවිධ කමිටු පත් කරමින් රැස්වීම් කැඳවමින් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ඒ සඳහා වැඩි අවධානයක් යොමු කරනු දකින්නට තිබිණි. මේ අතර පවිත්‍රා වන්නි ආරච්චි ඇමැතිවරියටද ගිය සතියේ දැඩි වෙහෙසක් දරන්නට සිදුවූයේ කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරන්නට සෞඛ්‍ය ඇමැතිවරිය ලෙස ඇයට වැඩි වගකීමක් පැවැරී තිබූ බැවිනි. පිටරටින් එන මගින් පරීක්ෂා කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපළේ සවිකර ඇති විශේෂිත උපකරණ ගැන සොයා බලන්නට ද පවිත්‍රා නිලධාරින් පිරිසක් ද සමඟ ගිය සතියේ එහි ගියාය.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගිය බදාදා සිංගප්පූරුව බලා හදිසියේම පිටත්ව ගියේය. ඒ පෞද්ගලික සංචාරයක් වෙනුවෙනි. එය පෞද්ගලික සංචාරයක් නිසා එහි සියලුම විය හියදම් ජනාධිපතිවරයා සිය පෞද්ගලික මුදලින් දරන බව වාර්තා විය. දැන ගන්නට ඇත්තේ ජනාධිපතිවරයා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුවට ගිය බවය. සිය සංචාරය නිමවා ජනාධිපතිවරයා පෙරේදා (31) යළි දිවයිනට පැමිණීමට නියමිතව සිටියේය. බදාදා හැන්දෑවේ සුපුරුදු පරිදි පැවැත්වෙන කැබිනට් රැස්වීමද මෙවර නොපැවැත්වූයේ ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටි බැවිනි.


පොදුජන පෙරමුණේ ප්‍රබලයකු මෙන්ම ආණ්ඩුවේද කැපී පෙනෙන ඇමැතිවරයකු වන ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාගේ දෙවන දියණියගේ විවාහ මංගල උත්සවයද ගිය සඳුදා දහවල් පැවැත්වූයේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුද ආණ්ඩුවේ මැති ඇමැතිවරු විශාල පිරිසක්ද ඊට සහභාගි වී සිටියහ. මනාලිය පවිත්‍රා රණතුංගය. මනාලයා ඉෂාන් ජයසේකරය. ඔහු කඳාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ පුතෙකි. මංගල උත්සවයට ප්‍රසන්නගේ බාල සොහොයුරා හැරෙන්නට රණතුංග පවුලේ සියලු දෙනාම පැමිණ සිටියහ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බිරිය අයෝමා රාජපක්ෂ මහත්මියද සමඟ පැමිණ සිටියේය. චමල් රාජපක්ෂ උදය ගම්මන්පිල සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු මැති ඇමැතිවරු කිහිප දෙනෙක්ද ජනාධිපතිවරයාගේ මේසයේ කතාබහ කරමින් සිටියහ. අගමැති මහින්ද ආවේ පිරිස කතාබහ කරමින් සිටින අතරවාරයේය.


හැම තැනම මෙන් මංගල උත්සවයේද වැඩි කතාබහ යොමුව තිබුණේ කොරෝනා වෛරසය ගැනය. කොරෝනා වෛරසයෙන් මේ රටේ ජනතාව බේරා ගැනීමට ගෙන ඇති ක්‍රියා මාර්ග ගැන ජනාධිපතිවරයා පිරිස හමුවේ පැහැදිලි කළේය. රෝගය විශාල ලෙස පැතිර ඇති වූහාන් ප්‍රදේශයේ ඉගෙන ගැනීමට ගොස් සිටින ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට රජය කටයුතු කර ඇති බව ජනාධිපතිවරයා කිවේ ඒ ගැන සොයාබලන්නැයි ඇමැති සුසිල්ට ද දැනුම් දෙමිනි. අනතුරුව සුසිල් ද ඒ ගැන පැහැදිලි කළේය. වුහාන් ප්‍රදේශයේ වගේම අනෙක් ප්‍රාන්තවලත් ඉන්න දරුවන් ගෙන්වා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගෙන ඇති පියවර ගැන ද සුසිල් කිවේය. ඔබතුමාගේ උපදෙස් මත ඒ අය පැය 48ක් ඇතුළත ගෙන්වා ගන්න කටයුතු කරන්න අපි සූදානමින් ඉන්නවා යැයි සුසිල් කීවේ ජනාධිපතිවරයා දෙසට හැරෙමිනි. රෝගය ව්‍යාප්තවීම වැළැක්වීමට කටුනායක ගුවන් තොටුපලේ අරගෙන ඇති පියවර ගැන ප්‍රසන්න රණතුංග පැහැදිළි කළේය. අගමැති මහින්ද කීවේ මෙය ජාතික ආපදාවක් ලෙස සළකා සියලු දෙනාම එක්වී කැපවී කටයුතු කළ යුතු බවය.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් ද පැමිණ අගමැති මහින්ද හමුවූහ. ‘සර් මේ පොඩි දෙයක් දැන ගන්න අහන්න ඕන’ යැයි කෝකිලා ගුණවර්ධන හිටපු පළාත් සභා මන්ත්‍රිවරිය මහින්දට කීවාය. ඕන දෙයක් අහන්න මහින්ද පිළිතුරු දුන්නේය. කෝකිලා ඇසුවේ මහින්ද ගම්පහින් ඡන්දයට එන බවට පැතිර යන ආරංචිය ඇත්ත දැයි විමසමිනි. ‘‘මම මොකටද ගම්පහට එන්නෙ මේ ඉන්නෙ ගම්පහ ලොක්කා මෙයා හිටපුවහම ඇති. මම මේ පාරත් කුරුණෑගලින්ම ඡන්දය ඉල්ලනවා’’ අගමැති මහින්ද කීවේ ප්‍රසන්න රණතුංග දෙසට හැරෙමිනි.


ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිදහස් දින පණිවිඩ කලින්ම නිකුත් කිරිම ජනාධිපතිවරුන්ගේ අගමැතිවරුන්ගේ මෙන්ම මැති ඇමැතිවරුන්ගේ සම්ප්‍රදාය විය. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් පැවැති ඒ සම්ප්‍රදායෙන් බැහැරවී ඇති බව වාර්තා වේ. නිදහස් දිනයට පෙර නිදහස් දින පණිවිඩ නිකුත් නොකර නිදහස් දින ජාතිය අමතමින් කරන ප්‍රකාශයම ජාතික නිදහස් දින පණිවිඩය බවට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තාවේ.


පොදුජන පෙරමුණත් ශ්‍රිලනිපයත් ආණ්ඩුව සමඟ සිටින සෙසු දේශපාලන පක්ෂත් ඊළඟ මහ මැතිවරණයට තරග කරන්නේ පොදු සන්ධානයකිනි. පොදුජන පෙරමුණ හා ශ්‍රීලනිපය ඇතිකරගෙන තිබෙන එකඟතාව අනුව එම සන්ධානය ගොඩනැගෙන්නෙ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යනුවෙනි. එය දැනට තිබෙන පොදුජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් කරමින් ගොඩ නැගීමට දෙපාර්ශ්වයම එකඟය. එහි දැනට ලකුණ පුටුව ලකුණය. එය ඉදිරියේදී වෙනස් වෙනවාද යන්න දැන්ම කිව නොහැකිය. කෙසේ හෝ නව සන්ධානය පිහිටුවීම සඳහා පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් කර මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය සඳහා යැවිය යුතුය. ගිය බ්‍රහස්පතින්ද‌ා හැන්දෑවේ පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභාව, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඩාර්ලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේදී රැස්වූවේ ඒ අවශ්‍ය සංශෝධනවලට විධායක සභා අනුමැතිය ලබා ගැනීම වෙනුවෙනි. ශ්‍රීලනිපයේ නිමල් සිරිපාල ද සිල්වා කොමියුනිස් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර, ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ ඇතුළු පොදුජන එක්සත් පෙරමුණේ හවුල්කාර පක්ෂවල විධායක සභිකයෝ ඊට සහභාගි වූහ.
පොදු පෙරමුණේ වැඩබලන මහලේකම් ලසන්ත අලගයවන්න පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථා සංශෝධනය සිදුකළ ආකාරය ගැන මුලින්ම පැහැදිලි කළේය. නිමල් සිරිපාල ඇමැතිවරයා ශ්‍රීලනිපයත්, පොදුජන පෙරමුණත්, ජනාධිපතිවරණයට පෙර පැවැති සාකච්ඡාවලදී සන්ධානයක් හැදීමට අද‌ාළව පැවැති සාකච්ඡාවලදී ඇති වූ එකඟතාවක් හා හදන්නට යන නව සන්ධානයේ කෙටුම්පත ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් ද කළේය. අපි මේ සන්ධානය කෙටුම්පතක් හැදුවා. ඒකේ විධායක සභාවේ සාමාජිකයන් පත් කිරීමේදී සියයට 51 ක් පොහොට්ටුවට. අපිට සියයට 31 යි. ඉතිරි ටික අනෙකුත් පක්ෂවලට බෙදෙනවා. නිමල් කීවේය. නිමල් කීවේ නව සන්ධානයේ සම නායකයන් දෙදෙනකු සිටින බවය. සන්ධානයේ ලේකම් හා භාණ්ඩාගාරික යන තනතුරු පොහොට්ටුවටත් නියෝජ්‍ය ලේකම් සහ ජාතික සංවිධායක යන තනතුරු ශ්‍රීලනිපයටත් ලබා දීමට එකඟතා ඇති වූ බව ඔහු කීවේය. උප සභාපති හා උප ලේකම් තනතුරු සන්ධානයේ සෙසු පක්ෂවලට ලබා දීමට තීරණය කර ඇතැයි නිමල් කීවේය. හිටපු ජනපති මෛත්‍රි කීවේ අලුතින් සන්ධාන ලියාපදිංචි කරන්නට වඩා තියෙන සන්ධානය සංශෝධනය කිරීම පහසු බවය. ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස සංශෝධනය කර මැතිවරණ කොමසාරිස් වරයා වෙත යැවීමටත්, පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටත් විධායක සභාවේ අනුමැතිය ලැබිණි. ඩිව් ගුණසේකර මහතා ද ශ්‍රීලනිපය පොහොට්ටුව සමග එක්ව සන්ධානයක් ගොඩ නැගීමට ගත් තීන්දුව අගය කරමින් කතා කළේය. ඔහු කීවේ ශ්‍රීලනිපය ලොකු කැපකිරීමක් කර ඇති බවය. ශ්‍රීලනිපයට එජාපයට හෝ මේ රටේ කිසිම ප්‍රධාන දේශපාලන පක්ෂයකට තනිව ඡන්දය ඉල්ලිය නොහැකි බව ඩිව් කීවේය. නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා කීවේ ශ්‍රීලනිපය ජවිපෙ සමඟ සන්ධානය හදද්දී සාකච්ඡා කළාටත් වැඩි සාකච්ඡාවක් පොහෝට්ටුව සමඟ කිරීමට සිදු වූ බවය. හවස 6.30 ට පමණ ආරම්භ වූ පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභාව රාත්‍රී 7.15 පමණ වන විට අවසන් විය.