මහින්ද පිළිගන්න දඹුල්ලේ රථ පෙරහරක්


 

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගිය සති අන්තය ගත කළේ නුවර පළාතේය. සිකුරාදා දවල් නුවර යන ගමන් මහින්ද දිවුලපිටියේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංවිධානයේ සිංහ දිස්ත්‍රික් ශාඛාව පිහිටුවීමේ රැස්වීමටද සහභාගිවිය. එය සංවිධානය කර තිබුණේ ප‍්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාය. 


රැස්වීම අවසානයේ මහින්ද වෙනුවෙන් දවල් කෑම සූදානම් කර තිබුණේද රැස්වීම පැවැති හෝටලයේය. කෑම ගන්නා අතරේ ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා කීවේ දැන් ‘‘විජයදාස රාජපක්ෂ මහත්තයටත් විශ්වාසභංගයක් ගේන්න එජාපයෙම මන්ත්‍රීවරුන් සූදානම් වෙනවා නේදැයි’’ කියාය. ‘‘විජයදාසට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනාවොත් අපි ඒකට සහාය දෙන්නෙ නැහැ. විජයදාස කියන්නෙ මගේ ගමේ කෙනා. වරදක් කරල නැති කෙනෙකුට දඬුවම් කරන්න දෙන්න බැහැ” යැයි මහින්ද කීවේය. ප‍්‍රසන්න රණතුංග කීවේ ‘‘රවි කරුණානායක හින්ද වෙච්ච ලැජ්ජාව වහගන්න ආණ්ඩුව මේක කරන්නෙ. අපි ඒවට අහුවෙන්න හොඳ නැහැ’’ යැයි ප‍්‍රසන්න කියා සිටියේය.  


රැස්වීම හමාරවී මහින්ද කෙළින්ම මහනුවර බලා පිටත්ව ගියේය. එදින රාත්‍රි ලොහාන් රත්වත්තේගේ නිවසේ ගත කළ මහින්ද පහුවදා උදේ උඩුදුම්බර පන්සලක උත්සවයකට ගියේය. උත්සවය පැවැත්වුණේ උඩුදුම්බර කුඹුරාදෙණිය පන්සලේය. හිටපු අගමැති දි.මු. ජයරත්න මහතාද කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිසක්ද ඊට එක්ව සිටියහ. දි.මු. ජයරත්න හිටපු අගමැතිවරයා උත්සව සභාව ඇමතීමට අවසර ගනිද්දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් මෙන්ම ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමාගෙන්ද අවසරයි කීවේය. දි.මු. කෙහෙළිය දෙස බලමින් කිරි ඇල්ලගෙන් අවසරයි කීවේ වැරැදීමකින් බව එහි සිටි පිරිසට වැටහිණි. දි.මු. මේ දවස්වල කිරිඇල්ලත් එක්ක කතාබහ කරන නිසා පැටළෙන්න ඇති යැයි මහින්ද කීවේය.  


දි.මු. ජයරත්න හිටපු අගමැතිවරයා තරමක වේගවත් කතාවක් කළේය. ත‍්‍රස්තවාදය පරාජය කිරීම ගැන මහින්දට ප‍්‍රශංසා කරමින් කතා කළ දි.මු. ”මහින්ද නැත්නම් කිසි දවසක යුද්ධය අවසන් කිරීමට ඉඩ නොලැබෙන බව’’ කීවේය.  


මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මහනුවර පැවැති තවත් උත්සව කීපයකටම සහභාගිවී හැන්දෑවේ දඹුල්ල බලා පිටත්ව ගියේ ජනක බණ්ඩාර තෙන්නකෝන් හිටපු ඇමැතිවරයාගේ දඹුල්ල නිවසේ පැවැත්වෙන දානමය පින්කමට සහභාගි වන්නටය. මේ දානය සූදානම් කර තිබුණේ ජනකගේ පියාවන ටී.බී. තෙන්නකෝන් හිටපු ඇමැතිවරයා සහ ජනකගේ මව වෙනුවෙනි. මහින්ද දඹුල්ලේ යන ගමන් හිටපු නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායකගේ මාතලේ නිවසටද ගොඩ වැදී තේ එකක් බී යන්නට අමතක නොකළේය. රෝහණගේ නිවසින් පිටත්වූ මහින්ද ලොහාන් රත්වත්තේ සමග රෑ 7.30ට පමණ ජනකගේ දඹුල්ලේ නිවසට ගියේය. ජනකත් බිරිඳ හා ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැමිණ හිටපු ජනාධිපතිවරයා පිළිගත්හ. මහින්ද පැයක් එක හමාරක් පමණ එහි රැඳී සිටිමින් ආගිය තොරතුරු දේශපාලන කාරණා ගැන සාකච්ඡා කළේය. මහින්දගේ පැමිණීම ආරංචි වූ බොහෝ දෙනෙක්ද ඔහු දැක ගන්නට ජනකගේ නිවසට රොක්වූහ. දැන් මේ සතියෙ ශිරන්තිත්, රෝහිත සහ යෝෂිතත්, එෆ්.සී.අයි.ඩී. සී.අයි.ඩී. එකට කැඳවලා තියෙනවා. මේ ආණ්ඩුවෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ශිරන්ති යනකොටත්, රෝහිත සහ යෝෂිත යනකොටත් මම එතනට යනවා. හැබැයි නාමල් යද්දී යන්නෙ නෑ. එයා දේශපාලනඥයෙක් නිසා. ඒවට මුහුණ දෙන්න ඕන, යැයි මහින්ද කීවේය. අනතුරුව රෑ 9.30 ට පමණ මහින්ද දඹුල්ලේ පිහිටි හෝටලයකට රෑ නැවතීමට ගියේය.   


පහුවදා උදේ ජනකගේ නිවසේ දානයෙ කටයුතු සුදානම්වන අතරේ, මහින්දද පැමිණියේය. මහින්ද ඉනාමළුව හන්දියේ සිට යතුරු පැදි පෙරහරකින් කැඳවාගෙන එන්නට ජනකගේ පුත් ප‍්‍රමිත කටයුතු සූදානම් කර තිබිණි. මහින්ද ඉනාමළුව හන්දියේදී පිළිගනු ලැබුවේ ප‍්‍රමිත විසිනි. ලොහාන් රත්වත්තේද පැමිණ සිටි අතර, ටික වේලාවකින් පොළොන්නරුවේ රොෂාන් රණසිංහද පැමිණියේය. මහින්ද කැඳවාගෙන එන්නට ප‍්‍රමිත සූදානම් කර තිබුණ යතුරු පැදි දහසක පමණ ප‍්‍රමාණයකි. එහෙත් අවසානයේ යතුරු පැදි දෙතුන් දාහක් එකතු වී තිබිණි.   


රැස්ව සිටි පිරිස හා පොලිසිය අතරද පොඩි ගෝරියක් ගියේ රතිඤ්ඤා පත්තු කිරීම සම්බන්ධ ප‍්‍රශ්නයක් හේතුවෙනි. මහින්ද එද්දී දෙපස රතිඤ්ඤා පත්තු කළ අයට එය නතර කරන්නැයි පොලිසිය දැනුම් දී තිබිණි. එහෙත් එම විරෝධය නොතකා රතිඤ්ඤා පත්තු කරන්නට පිරිස් කටයුතු කළහ. මහින්දට ඉනාමළුව හන්දියේ සිට ජනකගේ ගෙදරට එන්නට පැය දෙකක් පමණ ගතවී තිබිණි. ඒ එනවිට දානයේ කටයුතුද අවසන් වෙමින් තිබිණි. දානයට මහා සංඝරත්නය 120 නමක් පමණ වැඩමකර සිටි අතර, උන්වහන්සේලා ජය පිරිත් සජ්ඣායනා කරමින් මහින්දට ආශිර්වාද කළහ.  


ඒ වනවිට විශාල පිරිසක්ද ජනකගේ නිවසට එක්රොක් වෙමින් සිටියහ. ‘‘මේ රැස්වෙලා ඉන්න සෙනඟට සර් වචනයක් හරි කතා කරන්න ඕන” යැයි ජනක මහින්දට කීවේය. අවශ්‍ය වුවහොත් කතා කරන්නට පොඩි හට් එකක් සූදානම් කර තිබිණි. සී.බී. රත්නායක, එස්.එම්. චන්ද්‍රසේන, එස්.එම්. රංජිත්, ජී.එල්. පීරිස් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. පිළිගැනීමේ කතාව කළේ ප‍්‍රමිතය. අවුරුදු 25 කට කලින් සිරිමාවෝ මැතිනිය එන්න කියලා අපේ අප්පච්චිට දඹුල්ලේ සංවිධායකකම දුන්නෙ. ඒක මේ ආණ්ඩුව ආපු ගමන් උදුර ගත්තා. තනතුරු උදුර ගත්තට තෙන්නකෝන්ලට දඹුල්ල එක්ක තියෙන බැඳීම උදුර ගන්න බැහැ” ප‍්‍රමිත සංවේදී කතාවක් කරමින් කීවේය.   


“පුතා හරි ලස්සන කතාවක්නෙ කළේ” මහින්ද කීවේ ප‍්‍රමිත කතාව නිමකර එන අතරේය. අනතුරුව කතා කළේ මහින්දය. “ජනකගෙ පුතා කතාවෙන් අද ජනක පැරැද්දුවා. ඒ ගැන ජනක ඇමැතිතුමත් ආඩම්බරයෙන් ඉන්නෙ” යැයි මහින්ද කීවේය. මහින්ද ඇතුළු පිරිස දවල් කෑම ගත්තේද ජනකගෙ නිවසිනි. රැස්ව සිටි පිරිසගේ තදබදය නිසා ජනකගෙ නිවසේ ඉදිරි පස දොරද කැඩී තිබිණි. මහින්ද යන්න සූදානම් වී ජනකගේ බිරිඳට කීවේ “නංගි ගෙදර දොරනම් හදාගන්න වෙනවා” කියාය.   


විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්කාර ගිය සතියේ ඕමානයෙ සංචාරයක නිතර විය. එහිදී ඔහුට දැනගන්නට ලැබුණේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕමානයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ලාංකික කාන්තාවක් ප‍්‍රතිකාර ලබන බවය. ආරංචිය ලැබුණු වහාම මනුෂ ඒ ගැන සොයා බැලුවේය. විදේශ රැකියා නියුක්ති කාර්යාංශයටද කතා කළ මනුෂ, එම කාන්තාව ගුවන් මගින් කොළඹට ගෙන්වා ගැනීමට පියවර ගත්තේය. එම කාන්තාව කොළඹ ජාතික රෝහලට මේවනවිට ඇතුළත් කර ඇත.   

-ගජබා-