මහ ඡන්දයට මුහුණ දෙන හැටි ජනපති හෙළි කරයි


 

 

සිදුවීම් බහුල සතියක් ගෙවී ගියේය. තරමක් නිවී තිබූ දේශපාලන කරළිය මාතෘකා කිහිපයක් හේතුවෙන් ගිය සතියේ යළිත් ගිනියම් විය. පාඨලී චම්පික රණවක ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීම, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය අත්අඩංගුවට ගැනීම, රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ මාධ්‍ය හමුවේ සුදුවෑන් කතාව, ගිය සතියේ දේශපාලන කරළිය ගිනියම් කළ ප්‍රධාන මාතෘකා විය.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් සඳුදා දහවල් පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් ජනාධිපති කාර්යාලයේදී හමුවිය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව, පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් හමු වූ පළමු අවස්ථාව ද එය විය. ඔහු කලින් සතියේ සිකුරාදා දහවල් මාධ්‍ය ආයතනවල හිමිකරුවන්ද හමුවී තම රජයේ වැඩපිළිවෙළ පිළිබඳව සුහද කතාබහක නිරත විය. පසුගිය සඳුදා ජනාධිපතිවරයා සහ පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවට ජනාධිපතිවරයා හැරුණුවිට කිසිදු මැති ඇමැතිවරයකු සහභාගි නොවීම ද විශේෂත්වයකි.


ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා අංශයේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට තර්ජනය කර ඇය පැහැරගෙන ගොස් ඇති බවට ඇය විසින් කරන ලද චෝදනාව බොරුවක් බව ජනාධිපතිවරයා කීවේ එතෙක් කරන ලද පරීක්ෂණවල ප්‍රගතිය ද පැහැදිලි කරමිනි. මෙය රජය අපහසුතාවට පත්කිරීම සඳහා ගොතන ලද බොරුවක් බවද ජනාධිපතිවරයා කීවේය. ඒ සමගම ජනාධිපතිවරයා කීවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයා එදින උදේ පැමිණ තමා හමුවූ බවත්, ඔහුට ද තමා මේ ගැන පැහැදිලි කළ බවත්ය.
මේ අතර ජනාධිපතිවරයා කීවේ පසුගිය ආණ්ඩුව විසින් ගෙනෙන ලද 19 වන ව්‍යවස්ථා සංශෝධනය අවුලක් බවත්, එය අහෝසි කළ යුතු බවත්ය. වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ අගෝස්තු මාසයේය. එහෙත්, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව, ලබන මාර්තු මස 3 වැනිදායින් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලතල හිමිවේ. ජනාධිපතිවරයා පුවත්පත් කතුවරුන්ගේ හමුවේදී කීවේ ස්ථිර වශයෙන්ම ලබන මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හරින බවය. දැනට තිබෙන පාර්ලිමේන්තුව මගින් තම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ නොහැකි බව ජනාධිපතිවරයා කීවේය.


මේ අතර ජනාධිපතිවරයා කීවේ පළාත් සභා ඡන්දයට පෙර, පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බවය. ඉදිරි මහ මැතිවරණයට ජනාධිපතිවරයා සහභාගිවන ආකාරය ගැන ද මාධ්‍ය ප්‍රධානියෙක් විමසා සිටියේය. අගමැතිතුමා මැතිවරණය මෙහෙය වනවා, බැසිල් රාජපක්ෂ මහත්තයා යාන්ත්‍රණය හදනවා. මමත් ඒකට සහාය දෙනවා’ යැයි ජනාධිපතිවරයා හිනාවෙමින් කීවේ මාධ්‍ය ප්‍රධානියාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.
අනතුරුව ජනාධිපතිවරයා පිරිසට දිවා භෝජනයට ආරාධනා කළේය. එය පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේ පහත මාලයේය. ජනාධිපතිවරයාත්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරුත්, ඊට එක්ව සිටියහ. කෑම ගන්නා අතරේද ජනාධිපතිවරයා පුවත්පත් කතුවරුන් සමග සුහද පිළිසඳරක යෙදී සිටියේය. එහිදී ජනාධිපතිවරයා කියා තිබුණේ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය සමග රජයේ මාධ්‍ය ආයතනයක හිටපු සභාපතිවරයකු හා මාධ්‍යවේදිනියක දිගට හරහට දුරකථන සංවාදවල යෙදී ඇති බවය. මේ අතර, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා කීවේ, ජනාධිපති කාර්යාලයේ 1800ක්ව සිටි සේවක සංඛ්‍යාව 280කට අඩු කරන්නට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවය.


අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හදිසි හමුවක් ගිය අඟහරුවාදා හැන්දෑවේ පැවැත්වුණේ අරලියගහ මන්දිරයේය. අරලියගහ මන්දිරයට යාබද රැස්වීම් ශාලාවේ පැවැති උත්සව රැස්වීම් ආදියට ජනාධිපතිවරයා වශයෙන් සහභාගි වූවද, මෛත්‍රී අරලියගහ මන්දිරයට ගියේ හරියටම වසර පහකට පසුවය. ඔහු මීට පෙර අරලියගහ මන්දිරයට ගියේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වීමට කලින් දවසේය. බොහෝදෙනා ඒ දිනය හැඳින් වූයේ මෛත්‍රී ආප්ප කෑ දිනය ලෙසය.
අගමැති මහින්ද සහ හිටපු ජනපති මෛත්‍රී අතර හමුව අඟහරුවාදා හැන්දෑවේ 6.30ට පමණ ආරම්භ විය. වත්මන් දේශපාලන තත්ත්වය රජයේ ඉදිරි කටයුතු මෙන්ම, ඉදිරි මහ ඡන්දය ගැන ද එහිදී සාකච්ඡාවී ඇත. රජයේ කටයුතු වෙනුවෙන් උපරිම සහාය දෙන්නට මෙන්ම ඉදිරි මහමැතිවරණයට එක්ව තරග කරන්නට ශ්‍රීලනිපය තීරණය කර ඇති බව හිටපු ජනාධිපතිවරයා දන්වා ඇත. දෙදෙනා අතර හමුව ඉතා සුහද මට්ටමින් පැවති අතර එය පැයක් පමණ පැවති බවද වාර්තා විය.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ද හමුවක් ගිය බදාදා දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ඊට ද සහභාගි වූයේ ඔවුන් දෙදෙනා පමණි. ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙනයන වැඩපිළිවෙළ අගය කරමින් අදහස් දක්වා ඇති මෛත්‍රී, එම වැඩපිළිවෙළට තමන්ගෙත් පක්ෂයේත් උපරිම සහාය දෙන බවද පවසා ඇත. වත්මන් දේශපාලන තත්ත්වය, ඉදිරි මහමැතිවරණයට තරග කිරීම ආදිය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. දහවල් 12.30ට පමණ ආරම්භ වූ, දෙදෙනාගේ සාකච්ඡාව හවස 1.30ත් පසුවන තෙක් පැවැති බව වාර්තා වේ. එය ඉතා සුහද හා මිත්‍රශිලීව පැවැති හමුවක් බවද දැනගන්නට ඇත.
සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයත් පවතින්නේ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා යටතේය. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල කටයුතු කරයි. එහි කැබිනට් අමාත්‍යාංශය පිහිටියේ කොටුව ලෝක වෙළෙඳපොළ මධ්‍යස්ථානයේ 25 වැනි මහලේය. ප්‍රසන්න මාසයක් තිස්සේම කටයුතු කළේ එහි පිහිටි අමාත්‍ය කාර්යාලයේය. මේ අතර අමාත්‍ය කාර්යාලය තමන්ට ලබාදෙන ලෙස කෙහෙළිය ද ඉල්ලීමක් කර තිබිණි. ඔහු ජනාධිපතිවරයාගෙන් අගමැතිවරයාගෙන් හා ජනාධිපති ලේකම්වරයාගෙන්ද එම ඉල්ලීම කර තිබූ බව ප්‍රසන්නට දැන ගන්නට ලැබිණි.  


මේ අතර ප්‍රසන්න මේ දිනවල ඇමරිකාවේ සිටින බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාටද මේ ගැන දැන්වීය. තමාට ද එවැන්නක් දැන ගන්නට ලැබුණු බව කී බැසිල් කල්පනා කර සුදුසු දෙයක් කරන්නැයි ප්‍රසන්නට කියා තිබිණි. මේ අතර ගිය බදාදා කැබිනට් රැස්වීමට ගිය ප්‍රසන්න ජනාධිපතිවරයාගෙන්ද මේ ගැන විමසා තිබිණි. ඕක අගමැතිතුමා සමග කතා කරන එක තමයි වඩා හොඳ ජනාධිපතිවරයා කී​වේය. ප්‍රසන්න අගමැති මහින්දගෙන්ද මේ ගැන විමසුවේ ඒ අනුවය. එහෙම ඉල්ලීමක් මගෙනුත් කළා.   


ප්‍රසන්නත් එක්ක කතා කරල ඕන දෙයක් කරගන්න කියලා මම කිව්වා. අගමැතිවරයා කීවේය. ඒ අනුව කෙහෙළියට සිය කාර්යාලය ලබාදෙන්නට එකඟවූ ප්‍රසන්න කීවේ කාර්යාලය ගන්න කියල මම කෙහෙළියට කියන්නම් යනුවෙනි. එවෙලේම අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේ තමාගේ අමාත්‍ය කාර්යාලය කෙහෙලියට බාරදෙන බැවින් තමාට රාජ්‍ය අමාත්‍ය කාර්යාලය සූදානම් කරන ලෙසය. ඒ අනුව සිය කාර්යාලය කෙහෙලියට දී ප්‍රසන්න ගිය බ්‍රහස්පතින්දා රාජ්‍ය අමාත්‍ය කාර්යාලයට ගියේය.   


ගිය බදාදා කැබිනට් රස්වීම අවසන් වී අගමැති මහින්දත් උසස් අධ්‍යාපන අමැති බන්දුලත් ගාලුමුවදොර ඉදිරිපිට පිහිටි ‘‘ගෝල් ​ෆේස්’’ හෝටලය වෙත ගියේ ඉන්දීය චත්‍රපටයක් බැලීමටය. ඒ සඳහා ආරාධනා කර තිබුණේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙනි. මේ අතර, ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ නිෂ්පාදනයක් වන ද නිව්ස් පේපර් චිත්‍රපටයද ගිය සතියේ චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී තිරගතවූයේ විශේෂ දර්ශනයක් ලෙසිනි. බන්දුල චිත්‍රපට ගණානාවක් නිෂ්පාදනය කර ඇති සම්මානනීය නිෂ්පාදකයකු වන අතර මෙය ඔහුගේ නවතම චිත්‍රපටයයි. මෙම විශේෂ දර්ශනයට විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, කලාකරුවන්, පුවත්පත් කතුවරුන්, මාධ්‍යවේදීන් සහ බන්දුලගේ හිතවතුන් ඇතුළු විශාල පිරිසකට ආරාධනා කර තිබූ අතර. විමල් වීරවංශ ඇමැතිවරයාටද ආරාධනා කර තිබිණි.   


විමල් වෙනත් කටයුත්තකට ගොස් එද්දී රථවාහන තදබදයකට හසුවීම නිසා පැමිණෙන විට ටිකක් ප්‍රමාදවී තිබිණි. ද නිව්ස් පේපර් චිත්‍රපටය බන්දුලගේ ගෝලයකු වන සරත් කොතලාවලගේ හා කුමාර තිරිමාදුරගේ අධ්‍යක්ෂණයකි.