මත ගැටුම් මතුවුණු ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීම


  • අපේ අය සතුරෝ හැටියට සලකන එක හොඳ නෑ - අමරවීර 
  • පළාත් සභා - ප්‍රාදේශීය සභා එක ඡන්ද ක්‍රමයකට
  • ගජ මිතුරන්ට සලකන ක්‍රමයක්

 

ඉකුත් වසරින් මාස 9ක්ම ගත වූයේ කොරෝනාවලිනි. රටේ ආර්ථිකයටත් ජනජීවිතයටත් එමගින් එල්ල වූ බලපෑම සුළුපටු නොවේ. එහි අවසානයක්ද තවමත් නැත. නව වසරට ද පියනගන්නට සිදුව ඇත්තේ කොරෝනා අවදානමක් සහිතව වීම අවාසනාවක් වුවද යථාර්ථය එය වේ.


ගෙවීගිය සතියේ දේශපාලන කරළියේ ද පැවතු​ණේ තරමක නිහැඬියාවකි. වසර අවසානය නිසා ඇතැම් මැති ඇමැතිවරුන් සිටියේ ගම්බිම් බලා ගොසිනි. තවත් සමහරුන් සිය නිවෙස්වලම නිරෝධායනය වී සිටින බවද වාර්තා විය. කැබිනට් රැස්වීමද ගිය සතියේ නොපැවැත්වුණු අතර නව වසරේ කැබිනට් මණ්ඩලය යළි රැස්වන්නේ හෙට (04) දිනයේය. කොවිඩ් නිසා විදෙස් ගමන් සීමාවීමෙන් වර්ෂාවසානයේ විදෙස්ගත වීමට මෙවර දේශපාලකයන්ට හැකිවූයේ නැත.


දින නැති පළාත් සභා ඡන්දය


ආණ්ඩුවේ පක්ෂනායකයන්ගේ රැස්වීමක් ඉකුත් සඳුදා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගි වූ එම රැස්වීමට ආණ්ඩුව නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයෝ පැමිණ සිටියහ. රැස්වීම ආරම්භ වූයේ සවස 6.00ට පමණය. පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමු වූ ප්‍රධාන කරුණු තුනකි. පළමුවැන්න කොරෝනා ගැනය. දෙවැන්න දවසින් දවස කල් යන පළාත් සභා ඡන්දය ගැනය. තුන්වැන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට ආණ්ඩුව නොසලකන බවට එල්ල වන චෝදනාය. මුලින්ම සාකච්ඡාවට ගැනුණේ කොරෝනා ගැනය. ජනාධිපතිවරයාගේ අවසරය මත මුලින්ම ඒ ගැන පැහැදිලි කළේ සෞඛ්‍ය ඇමැති පවිත්‍රාය. කොරෝනා පළමු රැල්ල සාර්ථකව මර්දනය කළ බවත් දෙවැනි රැල්ලත් පාලනය කරමින් පවතින බවත් කී පවිත්‍රා ඇමැතිවරිය මිනුවන්ගොඩ පොකුරත්, පෑලියගොඩ පොකුරත් පාලනය කර ඇති බව කීවාය. අනෙකුත් ප්‍රදේශවල පැතිර යන කොවිඩ් වයිරසය පාලනය කිරීමටද රජය කටයුතු කරගෙන යන බව අැය කීවාය. මේ අතර කොරෝනා එන්නත ගැන ද ඇමැතිවරිය සඳහන් කළේ එන්නත ගැනද රටේ ලොකු කතාබහක් ඇතිව තිබෙන හෙයිනි. අපි එන්නත ගැනත් හොයා බලනවා. එන්නත මේකට තියෙන අවසාන විසඳුමක් නෙවෙයි. නමුත් ඒ ගැනත් අපි වැඩි අවධානයක් යොමුකර තිබෙනවා යැයි පවිත්‍රා කීවාය.


කොවිඩ් වයිරසය වැලඳී මිය යන මුස්ලිම් වැසියන්ගේ මෘත දේහ ආදාහනය සම්බන්ධයෙන්ද රටේ ලොකු මතයක් ඇතිව තිබේ. පවිත්‍රා ඒ ගැනද පැහැදිලි කළාය. ‘‘මුල්වතාවේදී මේක ප්‍රශ්නයක් වුණේ නැහැ. දෙවැනි රැල්ලේදී තමයි ප්‍රශ්නයක් බවට පත්වුණේ. මේ ගැන අධ්‍යයනය කරන්න කමිටුවක් පත් කළා. ඒ වාර්තාව අනුවයි තීන්දුවක් ගන්න වෙන්නෙ. ඒත් සෞඛ්‍ය අංශ දැනට සිටින ස්ථාවරය නම් කොරෝනා මරණ ආදාහනය කළ යුතුයි කියලයි’’ පවිත්‍රා කීවාය. අනතුරුව කතා කළේ ජනාධිපතිවරයාය. ජනාධිපතිවරයාද කීවේ පළමු අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු නොවුණු බවය. හැබැයි විරෝධතා කරන අය කියන්නෙත් සෞඛ්‍ය උපදෙස් අනුව කරන්න කියලයි. මේ ගැන වාර්තාව ලැබුණහම අපට තීන්දුවක් ගන්න පුළුවන් යැයි ජනාධිපතිවරයා කීවේය. අතාවුල්ලා මන්ත්‍රීවරයා දැරුවේ ඊට වෙනස් අදහසකි. ඔහු සිය කතාව පටන් ගත්තේ තරමක ආවේගශීලී අන්දමිනි. ‘දේශපාලන වශයෙනුත් සමාජමය වශයෙනුත් අපි දැඩි අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. මේක අපට ලොකු ප්‍රශ්නයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියලා තියෙන්නෙ කොවිඩ් මරණ භූමිදානය කළාට ප්‍රශ්නයක් නැතැයි කියලයි යැයි අතාවුල්ලා කීවේ දීර්ඝ පැහැදිලි කිරීමක් කරමිනි. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය පී. වීරසිංහ අනතුරුව කතා කළේය. ඔහු කාරණා දෙකක් ගැන පැහැදිලි කළේය. එකක් කොරෝනා එන්නත ගැනය. අනෙක කොවිඩ් මරණ ගැනය. ‘‘කොරෝනා එන්නත ගත්තත් අපට ප්‍රශ්නය දිගටම තියෙනවා කියලා මෙතැන කියවුණා. මේකෙන් කියන්නෙ කොවිඩ් එක්ක අපට ජීවත්වෙන්න වෙනවා කියලයි. එහෙම නම් අපි මේ වැඩපිළිවෙළට ප්‍රජා සහභාගිත්වයක් ඇති කරගන්න ඕනෑ. නමුත් එහෙම වැඩපිළිවෙළක් දැන් පේන්න නැහැ. කොරෝනා පාලනය කරපු රටවල් එහෙම කරල තියෙන්නෙ ප්‍රජා සහභාගිත්වය ඇතිවයි. අපේ ර​ටේ එහෙම සහභාගිත්වයක් පේන්න නැහැ. ඒ නිසා අපි මේක මර්දනය කරනවා නම් ප්‍රජා සහභාගිත්වය අනිවාර්‌‌යෙන්ම ගන්න ඕනෑ’’ යැයි වීරසිංහ කීවේය. ඔහු කීවේ මේකට තියෙන අවසාන විසඳුම කොවිඩ් එන්නත කඩිනමින් ලබාගැනීම බවය.


මේ අතර කොරෝනා මරණ භූමදානය ද ආදාහනය යන ප්‍රශ්නයටද ඔහු පිළිතුරු දුන්නේ වෛද්‍යවරයකු වශයෙනි. මමත් විශේෂඥ වෛද්‍යවරයෙක්. කොවිඩ් මෘතදේහයක් භූමිදානය කළාට පස්සේ එකෙන් වයිරසය වතුරට එකතුවෙන්න පුළුවන් කියන එක අවිද්‍යාත්මකයි යැයි ඔහු කීවේ කොවිඩ් මරණ සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක්ද කරමිනි. කොවිඩ් මෘතදේහ භූමිදානයද ආදාහනයද යන්න සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නය දිගින් දිගටම ඇදී යද්දී තවත් මාතෘකාවක් කරළියට පැමිණියේය. ඒ පළාත් සභා මැතිවරණයය.
පළාත් සභා ඡන්දය උණුසුම් මාතෘකාවක් බවට පත්වූයේ පක්ෂව හා විපක්ෂව අදහස් මතුවීම හේතුවෙනි. ඒ ගැන කතාබහ ආරම්භයේදීම ජනාධිපතිවරයා කීවේ පළාත් සභා ඡන්දය පවත්වනවාට එරෙහිව සමාජයේ ලොකු මතයක් ඇතිව තිබෙන බවය. භික්ෂූන් වහන්සේලාද පළාත් සභා ඡන්දය පවත්වනවාට විරුද්ධව අදහස් පළකර ඇති බව ජනාධිපතිවරයා කීවේය. පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීම සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයා විසින් මීට සති කිහිපයකට ඉහතදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේද තීරණය වූයේ පක්ෂනායක රැස්වීමේදී ඒ ගැන තීරණයක් ගැනීමටය. ගිය සඳුදා පක්ෂ නායක රැස්වීමේදී ද එය මාතෘකාවක් වූයේ එහෙයිනි.


පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාද සිටියේ ජනාධිපතිවරයාගේ අදහසේමය. ඔහු කීවේද කොරෝනා ප්‍රශ්නයත් භික්ෂුන් වහන්සේලාගේ ඇතිව තිබෙන විරෝධයත් සැලකිල්ලට ගෙන මේ අවස්ථාවේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවය. එස්.එම්. චන්ද්‍රසේන, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, වීරසුමන වීරසිංහ ඇතුළු කිහිප දෙනකු කීවේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වා මහජන නියෝජිතයන් පළාත් සභාවලට පත්කර ගැනීමට අවස්ථාව දිය යුතු බවය. “මම මේ කතා කරන්නෙ මල්ලි මහ ඇමැති කරන්න ඕන නිසා කියලා කවුරුහරි හිතන්න පුළුවන්. ඒත් මම කියන්නෙ පළාත් සභා ඡන්දය තියන්න ඕන කියලයි. මම පළාත් සභාවේ හිටපු කෙනෙක්. ඒකෙන් වෙන සේවය මම දන්නවා’ එස්.එම්. චන්ද්‍රසේන කීවේය. පවිත්‍රාත් රෝහිතත් කීවේ එවැනි අදහසකි. රෝහිත කීවේ පොදුජන පෙරමුණට විශාල ශක්තියක් වූ පළාත් සභාවල මන්ත්‍රීවරුන්ට එළියට වී සිටින්නට සිදුව ඇති බවය.
දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, මහින්ද අමරවීර ඇතුළු පිරිසක් කියා සිටියේ පළාත් සභා ඡන්දය තැබීමේ අවශ්‍යතාවක් මේ මොහොතේ නැති බවය.
‘මේ වෙලාවේ පළාත් සභා ඡන්දය තියනවට මහා සංඝරත්නය දැඩි විරුද්ධයි. රටේ කොරෝනා ප්‍රශ්නයකුත් තියෙද්දි ඡන්දය තියනවට උන්වහන්සේලා දැඩි අප්‍රසාදය පළ කරනවා යැයි දිනේෂ් කියද්දි උදය ගම්මන්පිලද දිනේෂ්ගේ අදහස අනුමත කරමින් කතා කළේය. ‘අපි අලුත් ව්‍යවස්ථාවකුත් හදනව නම් පළාත් සභාවල බලතල සම්බන්ධයෙන් නැවත සිතා බලන එකයි හොඳ. ඒ නිසා පළාත් සභා දැන් තියන එක එතරම් සුදුසු දෙයක් නෙවෙයි. විමල් වීරවංශ ද කීවේ එවැනි අදහසකි. මේ වෙලාවේ පළාත් සභා ඡන්දයක් තියන එක සුදුසු නැහැ. මොකද අපි මේ කොරෝනා ප්‍රශ්නය විසඳගන්න අවශ්‍යයි. අනෙක ව්‍යවස්ථාවකුත් අලුතින් ගේන්න කමිටුවකුත් පත් කරල තියෙනවා. එහෙම තියෙද්දි දැන් මොකටද පළාත් සභා තියන්නේ යැයි විමල් කීවේය.


ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම පැහැදිලි කළේය. පාර්ලිමේන්තුවට එක ඡන්ද ක්‍රමයක් පළාත් සභාවලට තව ඡන්ද ක්‍රමයක්. පළාත් පාලන ආයතනවලට තව ඡන්ද ක්‍රමයක්. ලෝකෙ කිසිම රටක මේ විදියට එක එක මැතිවරණයට වෙන වෙන ඡන්ද ක්‍රම නැහැ. ඒ නිසා කොට්ඨාස හා අනුපාත මිශ්‍ර එක කොටසක් හදන්න. කොට්ඨාස ක්‍රමයට සියයට 70කුත් අනුපාත ක්‍රමයට සියයට 30කුත් පත් කරගන්න විදියට පොදු ඡන්ද ක්‍රමයක් හදාගත යුතුයි. ඒක අපට අලුත් ව්‍යවස්ථාව හදනකොට ගේන්න පුළුවන් යැයි ඩලස් කීවේය.


පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂව හා විපක්ෂව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා අවසානයේ කීවේ මේ වෙලාවේ රටේ තියෙන කොරෝනා ප්‍රශ්නයත් මහා සංඝරත්නය දක්වන විරෝධයත් සැලකිල්ලට ගෙන ඡන්දය දැන්ම නොපැවැත්වීම සුදුසු බවය.


දයාසිරිගෙන් දුක් ගැනවිල්ලක්


මේ අතර දයාසිරි ජයසේකර නොක්කාඩුවක් කීවේය. ඔහු කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ මන්ත්‍රීවරුන්ට හා පළාත් පාලන ආයතන නියෝජිතයන්ට ආණ්‍ඩුවෙන් අසාධාරණකම් සිදුවන බවය. ආණ්‍ඩුව ප්‍රාදේශීය මට්ටමින් කරන වැඩවලදී ශ්‍රීලනිපයේ අය නොසලකා හරිමින් කටයුතු කරන බව දයාසිරි කීවේ දීර්ඝ විස්තරයක්ද ඉදිරිපත් කරමිනි.
දයාසිරි එසේ කියද්දී මහින්ද අමරවීරද ඊට හවුල් විය. දයාසිරිගේ ප්‍රශ්නයට උත්තර දුන්නේ කුරුණෑගල ඇමැතිවරයෙකි. ඒ ජොන්ස්ටන් ප්‍රනාන්දුය. ‘මේ කියන දේ වැරදියි. අපි කුරුණෑගල වුණත් වැඩ කරන කොට හැමෝම එකතු කරගෙන වැඩ කරන්නෙ. අපේ අයටත් අසාධාරණකම් වෙන අවස්ථා තියෙනවා.’ ජොනී කීවේය. බැසිල් රාජපක්ෂද ඒ කතාබහට සම්බන්ධ වෙමින් කීවේ අපි හැමවෙලාවෙම සියලු දෙනා එකතු කරගෙනයි වැඩ කරන්නෙ. ‘වැඩ සමග යළි ගමට’ වැඩසටහනේදී වුණත් අපි ඒ පළාත්වල සියලු දෙනා සම්බන්ධ කර ගන්නවා යැයි බැසිල් කීවේය. අනතුරුව අමරවීර කතා කළේය. බොහෝ තැන්වල අපේ අය ගියාට ගණන් ගන්නෙ නෑ. අපිත් එකතුවෙලයි මේ ආණ්‍ඩුව හැදුවෙ. ​අපේ අය සතුරො විදියට සලකන එක හොඳ නැහැ යැයි අමරවීර කීවේය.


රෝහිත අබේගුණවර්ධන කීවේ දයාසිරිලා කියන ආකාරයේ වෙනස්කම් ශ්‍රීලනිපයට සිදුනොවන බවය. අනතුරුව කතා කළේ ජනාධිපතිවරයාය. ජනාධිපතිවරයා කීවේ එවැනි තත්ත්වයක් තියෙනවා නම් එය වහා වෙනස් කළ යුතු බවය. ඒ ගැන සොයා බලා පියවරක් ගන්නැයි ජනාධිපතිවරයා බැසිල්ටද කීවේය.


ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයත් මධ්‍යම කාරක සභාවත් ගිය බදාදා හැන්දෑවේ රැස්වූයේ මේ අතරවාරයේය. මුලින්ම දේශපාලන මණ්‍ඩලය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 මහගම සේකර මාවතේ නිල නිවසේදී රැස්විය. කොරෝනා ප්‍රශ්නය වගේම රටේ වර්තමාන තත්ත්වයත් පක්ෂය විනය කඩ කළ ආසන සංවිධායකයන් හා පළාත් පාලන ආයතන නියෝජිතයන් සම්බන්ධයෙන් ගතයුතු පියවරත් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය. ශ්‍රීලනිප සංවිධායකවරුන් හා පළාත් පාලන ආයතන නියෝජිතයන් ආණ්ඩුව නොසලකා හැරීම සම්බන්ධයෙන්ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. මේ කතාබහ පැය දෙකක් පමණ තිස්සේ ඇදී ගියේය. අනතුරුව පිරිස ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයට ගියේ මධ්‍යම කාරක සභාව එහිදී රැස්වීමට සූදානම් කර තිබූ බැවිනි. විනය පරීක්ෂණ කඩිනම් කිරීම ගැනත් රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටු කිහිපයක් පත්කිරීමටත් මධ්‍යම කාරක සභාව තීරණය කළේ එහි සභිකයන්ගෙන් ඉදිරිපත්වූ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමිනි. අලුත් ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ආණ්‍ඩුව පත්කර ඇති විද්වත් කමිටුවට පක්ෂයෙ යෝජනා අදහස් ඉදිරිපත් කිරීම වෙනුවෙන්ද කමිටුවක් පත්කෙරිණි. එය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කිරීමට තීරණය වූ අතර එහි ඉතිරි සාමාජිකයන් හිටපු ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී පත්කරනු ලැබීමට නියමිතය.


විපක්ෂ නායක ජංගම සේවය


අය වැය විවාදය අවසන්වීමෙන් පසුව සාමාන්‍යයෙන් කොළඹ දේශපාලන කටයුතු සිදුවන්නේ ඉතා සීමිතවය. පක්ෂ නායකයින් මෙන්ම මන්ත‍්‍රීවරුද තමන්ගේ ගම්බිම් බලා ගොස් තරමක විවේකයෙන් පසුවන්නේ මේ දිනවලදීය. එහෙත් සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන්ට මේ වසර අවසානයේ එවැනි විවේකයක් ලබාගැනීමට අවස්ථාවක් ලැබුණේ නැත. ඒ අවුරුද්ද අවසානයේදීත් දේශපාලන වැඩ කටයුතුවලට සම්බන්ධවීමට ඔවුන්ට සිදුවූ නිසාය.


සමගි ජන බලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පසුගිය දිනවල හම්බන්තොට හා කතරගම ආශ‍්‍රිතව විපක්ෂනායක ජංගම සේවය ට එක් විය. පක්ෂයේ සංවිධාන කටයුතු ශක්තිමත් කරන පාක්ෂිකයින් හමුවන අතරම ජනතාව අතරට ගොස් ඔවුන්ගේ සුව දුක් සොයා බැලීමටද විපක්ෂ නායකවරයා අමතක කළේ නැත.


කතරගම ප්‍රදේශයේ කඳසුරිඳුගම, වල්ලිමාතාගම, මයිලගම ද ලු‍ණුගම්වෙහෙර බෙරලිහෙල ද ඔහු ජංගම සේවය සිදු කළේය.


විවිධ අයට තිබුණේ විවිධාකාරයේ ගැටලු‍ය. එහෙත් බොහෝ දෙනාට පොදු වූ ප‍්‍රශ්නයක් විය. ඒ ජීවන වියදම පිළිබඳ ප‍්‍රශ්නයයි. විටෙක කුඩා දරුවන් රැගෙන පැමිණි මවක් ඇයගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරන්න වූවාය. තවත් විටෙක තරුණයෝ තමන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කළහ.


‘‘ඉස්සර අපේ ගෙදර කන්න දෙයක් නැතිවුණොත් අහල පහල ගෙදරකින් මොනවා හරි ඉල්ලගෙන කන්න පුලු‍වන්කම තිබුණා. ඒත් දැන් ඒකත් නෑ. හැමෝම බොහෝම අමාරුවෙන් ඉන්නේ’’ වයසක කාන්තාවක් කීවාය.


‘‘ඉස්සර සමහරු දැන් අල ලාබද ලූනු ලාබද පොල් කීයද කියලා කෑ ගහලා ඇහුවානේ. ඒ අයට ඒ කතා දැන් අමතක වෙලාද කොහෙද. සර් දැන් අල ලූනු පෙන්නලා මේවායේ මිල කීයද කියලා අහන්න’’ ජනතාව විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියහ.


‘‘මම කවුරුවත් කරපු දේවල් කරන්නේ නෑ. ජනතාවගේ ප‍්‍රශ්න විහිළුවකට ගන්නේ නෑ. අපි මේ ජනතා ප‍්‍රශ්න විසඳීමට සක්‍රීය මැදිහත්වීමක් කරනවා’’ විපක්ෂ නායකවරයා සහතිකයක් දුන්නේය.


විපක්ෂනායකවරයා පසුගිය සතියේදී පක්ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් විපක්ෂනායක කාර්යාලයට කැඳවූවේය. ඒ පසුගිය අවුරුද්දේ දේශපාලන කටයුතු ගැන විවෘතව කතා කිරීමටත් ඉදිරි වසරේදී කළ යුතු දේශපාලන වැඩ කටයුතු ගැන අවධානය යොමු කිරීමටත්ය.


‘‘අපිට පාර්ලිමේන්තුවේ ආසන පනස් ගාණයි තිබුණේ. අය වැය වෙලාවේදී එතැනින් සමහර අය ආණ්ඩුවට මුක්කු ගහන්න ගත්තා. ඒත් මේ අපිට තියෙන මන්ත‍්‍රී සංඛ්‍යාවෙන් පාර්ලිමේන්තුව ඇතුළේ ලොකු වැඩක් කළා. අය වැය කාලයේදි පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ හඬක් නෙමෙයි තිබුණේ. විපක්ෂයේ අපේ හඬ තමයි තිබුණේ. ඒකට නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් අපි ඔබතුමාට ස්තුතිවන්ත විය යුතුයි.’’ මන්ත‍්‍රීවරු කීහ.


‘‘මේක මම තනියම කරපු දෙයක් නෙමෙයි. අපේ මන්ත‍්‍රී කණ්ඩායමම එකතුවෙලා කරපු දෙයක්. දක්ෂතා තියෙන තරුණ මන්ත‍්‍රීවරු මෙතැනදී කැපී පෙනුනා’’ විපක්ෂ නායකවරයා කීවේය.


‘‘ගතවුණ අවුරුද්දේ ව්‍යාපාර කඩාගෙන වැටුණා. රැකියා අහිමි වුණා. මේ දේවල් එක්ක ජනතාවගේ ප‍්‍රශ්න තවත් වැඩිවෙන්න පුලු‍වන්’’හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා කීවේය.
‘‘දැන් පිටරට සංචාරකයන්ට ලංකාවේ දොරවල් ඇරලා. ලංකාවට එන්න බැරිව ඉන්න ලක්ෂ ගණනක ශ‍්‍රමිකයෝ ගැන කිසිම උනන්දුවක් නැතත් මේ අය ගැන නම් ආණ්ඩුව ලොකු උනන්දුවකින් කටයුතු කරන බව පේනවා. මෙතැන යට තියෙන්නේ මොකක්ද කියලා බලන්න ඕන’’ ජේ.සී. අලවතුවල කීවේය.


‘‘මේ ගෙනාපු යුක්රේන සංචාරක කණ්ඩායමේ කීප දෙනෙක්ට මේ වෙනකොට කොරෝනා හැදිලා. කොරෝනා අවදානම වැඩි රටක් තමයි යුක්රේනය. මේ ආපු සංචාරකයින් සම්බන්ධ සියලු‍ම දේවල් කරන්නේ ආණ්ඩුවට හිතවත් කණ්ඩායමක්. මේකත් ඉතිං ගජ මිතුරන්ට සලකන්න කරපු වැඩක් තමයි’’ නලින් බණ්ඩාර කීය.


‘‘විදේශ ගත ශ‍්‍රමිකයින් ගැන කොරෝනා අවදානම වැඩ කරන වැඩ ගැන කතා කරන්න’’ විපක්ෂ නායකවරයා උපදෙස් දුන්නේය.


‘‘ආණ්ඩුව දැනටමත් පළාත් සභා මැතිවරණ සටන ආරම්භ කරලා තියෙන්නේ. මාවනැල්ලේ බුදු පිළිමයකට ගහලා මේ අය ජාතිවාදය වපුරලා පළාත් සභාව ගොඩදාගන්න හදනවා. පාස්කු ප‍්‍රහාරයෙන් පස්සේ තනි සිංහල ආණ්ඩුවක් හදන්න ඕන කියලා කියපු අයගේ වැඩ ගැන මිනිස්සුන්ට මතක් කරලා දෙන්න ඕනෑ’’ මනුෂ නානායක්කාර පැවසුවේ අතීත සිදුවීම් ගැනද සිහිපත් කරමිනි.


‘‘එක පැත්තකින් සීනි වංචාව. අනෙක් පැත්තෙන් නැගෙනහිර ජැටිය විකුණනවා. ආණ්ඩුව දවසෙන් දවස ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වෙනවා. ඒ අතරේ ගජ මිතුරන්ට සලකන්නත් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා’’පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.


‘‘අපේ පක්ෂ ව්‍යවස්ථාව ගැන මට ගොඩක් අය කතා කළා. මේ තරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථාවක් පක්ෂ ඇතුළේ නෑ කියලා තමයි ඒ අය කියන්නේ. පක්ෂ නායකයාට ලොකු බලයක් තියාගන්නේ නැති ව්‍යවස්ථාවක් හදන්න දුන්න එක ගැන බයක් නැද්ද’’ හරින් විමසුවේය.


‘‘අලු‍ත් මල් පිපෙනකොට පරණ මල් පරවෙන්න ඕනෑ. ඒ නිසා තමයි මම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයක් ඇතුළේ ක්‍රියාත්මක වෙන ව්‍යවස්ථාවක් හදන්න උදව් කළේ’’ විපක්ෂනායකවරයා කීවේය.


මේ අතර ලබන වසරේ දිනමු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ගැනද මන්ත‍්‍රීවරු දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගත්හ.


“ඔබතුමාට විවාදෙකට එන්න කියලා බන්දුල ඇමතිතුමා අභියෝග කළා නේද?”‍


ගයන්ත කරුණාතිලක ඇසුවේ ය.


“අද තියෙන්නෙ අයාලේ ගිය ආණ්ඩුවක්. එහෙව් ආණ්ඩුවක මේ අයාලේ යන ඇමතිවරයෙක් එක්ක මට විවාද කරන්න දෙයක් නෑ. මොකද ඊට වඩා ඒ රත්තරන් කාලය මට වටිනවා මේ රටේ තැලී පොඩිවෙන දුගී දුප්පත් ජනතාවගේ ප්‍රශ්නවලට, ගැටලු‍වලට විසඳුම් හොයන විපක්ෂනායක ජංගම සේවය”‍සජිත් උත්තර දුන්නේය.


“ඒක ඇත්ත. රුපියල් දෙදාස් පන්සීයකින් පවුලකට ජීවත් වෙන්න පුලු‍වන් කියලා කියපු මනුස්සයනෙ”‍ එහෙම කීවේ නලින් ය.


“හැබැයි මම ඕනමනම් එතුමට විවාදෙට ආරාධනා කරනවා. ඒත් ඒ සීත කාමරේක නෙවේ, මේ රටේ ජනතාව ගාවට ගිහින් අපි කරන විපක්ෂනායක ජංගම සේවයට ඇවිත් ඒ විවාදය කරමු කියලා මම එතුමට අභියෝග කරනවා.”‍සජිත් කීවේය.


විපක්ෂනායකයා මෙවර අලු‍ත් අවුරුද්දට ජනතාවට සුබපැතුම් එක් කළේ වෙනස් ක්‍රමයකටය.


ඔහු හම්බන්තොට විපක්ෂනායක ජංගම සේවය පවත්වන අතරේ එළිමහනක හිඳිමින් අලු‍ත් අවුරුද්ද ට සුභපැතුම් එක් කළේය.


“මුලු‍ ලෝකයම ව්‍යසනයක ඉන්න වෙලාවක්. වෙනදාටත් වඩා සොබාදහමට සමීප වීමේ වටිනාකම මේ යුගයේ දැනෙමින් තියෙනවා. ඒ නිසා දෙදහස් විසිඑක වසරේ සාමය, සංහිඳියාව වගේම ලෝකයට ආදරය කිරීමේ වැදගත්කමත් විශේෂයි”‍ සජිත් කීවේය.


නියාමන අායතන කිහිපයක්
හීලෑ කරන්න හදනවා
 - චම්පික රණවක


මහජන උපයෝගිතා කොමිසම, පාරිභෝගික අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, විදුලි සංදේශ නියාමන කොමිසම වැනි යම් තරමකට හෝ ස්වාධීන බලයක් ඇති රාජ්‍ය ආයතනවල එම බලතල ඉවත් කිරීම සඳහා රජය කටයුතු කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක ඉකුත්දා චෝදනා කළේය. ඔහු පවසන්නේ මෙම ආයතන රැක ගැනීම සඳහා බලවේගයක් එකතු කරන බවය.

 

 

-ගජබා-