බැඳුම්කර වාර්තාව භාරගෙන ​​​ජනපති කතරගම ගියේ ඇයි?


මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව ගිය සති අන්තයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බාර දුන්නේ රටේම අවධානය ඒ කෙරෙහි යොමු කරවමිනි. බැඳුම්කර ගනුදෙනුව ගැන සෙවීමට ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාවක් පත්කරනු ලැබුවේ මෙයට මාස 10 කට පමණ ඉහතදී ය. එහි වාර්තාව කුමක්වේ දැයි රටම බලා සිටියේ නොඉවසිල්ලෙනි. ඒ අනුව බැඳුම්කර කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයෝ සෙනසුරාදා දහවල් 12.00 ට පමණ ජනාධිපති නිල නිවසට ගොස් ජනාධිපතිවරයා වෙත වාර්තාව බාර දුන්හ. වාර්තාව පිළිබඳ නීති අංශවලද අදහස් ලබා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එදින හවසම පොළොන්නරුව බලා පිටත්ව ගියේය. 


 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කතරගම පුදබිමේ වාර්ෂිකව පවත්වන පිරිත් පින්කම මෙවරද පැවැත්විණි. ජනපති මෛත්‍රි පොළොන්නරුවේ සිට කතරගම බලා පිටත්ව ගියේ ඉරිදා හවස්වරුවේය. ඒ යන අතරේ හදිසියෙම හෙලිකොප්ටරය බුත්තල මාලිගාවිල ප්‍රදේශයට ගොඩබෑවේ ජනාධිපතිවරයාට මාලිගාවිල පුදබිමට යාමට අවශ්‍ය බව දැනුම් දීම හේතුවෙනි. මාලිගාවිල පුදබිමේ ආගමික වතාවත්වලට එක්වූ ජනාධිපතිවරයා කතරගම බලා පිටත්ව ගියේය. කතරගම පුදබිමේ පැවැති පිරිත් පින්කමට ජනපති මෛත්‍රිත්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් එක්ව සිටියහ. එදින රාත්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද කතරගම පැමිණ සිටි නමුත් මොවුන් තිදෙනා එකට හමුවූ බවක් දකින්නට නොතිබිණි. 31 රාත්‍රියේ කතරගම ගත කළ ජනාධිපතිවරයා පසුවදා උදේ කෙළින්ම මහනුවර බලා පිටත්ව ගියේ නව වසර වෙනුවෙන් දළදා වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමටය. මහනුවර ජනපති මැදුරට ආ ජනාධිපතිවරයා උදේ කෑම ගත්තේ මැති ඇමැතිවරුන් පිරිසක් ද සමඟය. එස්.බී. දිසානායක, සරත් ඒකනායක, තිළිණ බණ්ඩාර තෙන්නකෝන්, එදිරිවීර වීරවර්ධන ඇතුළු කිහිප දෙනෙක්ම කල් තියා මන්දිරයට පැමිණ සිටියහ. මුලින්ම ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබාගත් ජනාධිපතිවරයා අනතුරුව පොහෝ දින ධර්ම දේශනාවට සවන් දීමට අස්ගිරිය විජයනන්දනාරාමයට ද ගියේ මැති ඇමැතිවරුන් ද සමඟය. මල්වතු අස්ගිරි මහානාහිමිවරුන්ද බැහැ දුටු ජනාධිපතිවරයා නෙල්ලිගල රජමහා විහාරයේ උත්සවයකට ද ගියේය. එජාපයේ ලක්ෂ්මන් කිරිඇල්ල හා මයන්ත දිසානායක ද නෙල්ලිගලට පැමිණ සිටියහ. විහාරාධිපති හිමියන් සිය අනුශාසනාවේදී සඳහන් කළේ ජනාධිපතිවරයා පන්සල දියුණු කිරීමට හා පන්සලට එන මාර්ගය ඉදිකිරීමට කෝටි ගණනක මුදලක් ලබා දුන් බවය. එය ඇසූ ජනාධිපතිවරයා අසල සිටි දිඹුල්කුඹුරේ විමලානන්ද මල්වතු අනුනාහිමියන්ට කීවේ නායක හාමුදුරුව​ෙන්, මේ මුදල මගේ අතින් දීපු මුදල් නෙවෙයි. මේ ජනතාවගේ මුදල් කියාය. මල්වතු අනුනාහිමියන් සිය අනුශාසනයේදී ජනාධිපතිවරයාගේ කතාව ගැන කීවේ තමන් වහන්සේ එය අගය කරන බවද කියමිනි. 


 බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැති ඇමැතින් මෙන්ම විපක්ෂයෙ මන්ත්‍රීවරුන්ද ගිය සතිය වන විට විවිධ කතා කියමින් සිටියේ දේශපාලන කරළිය කැළඹීමට පත්කරමිනි. එහෙත් ඒ කිසිවකුටත් බැඳුම්කර කොමිසමේ වාර්තාව ලැබී නොතිබිණි. ජනාධිපතිවරයා මහනුවර සිටම ජනාධිපති කාර්යාලයට දැනුම් දී තිබුණේ බැඳුම්කර වාර්තාව ගැන තමා බදාදා විශේෂ ප්‍රකාශයක් මාධ්‍ය 

හමුවේ කරන බවය. ජනාධිපති කාර්යාලය ජනාධිපතිවරයා කරන්නට යන විශේෂ ප්‍රකාශය ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමත් සමඟ ඒ කෙරෙහි සමාජ අවධානය තව තවත් වැඩිවන්නට විය. ජනාධිපතිවරයා බැඳුම්කර වාර්තාව ගැන බදාදා පස්වරුවේ ගිනියම් ප්‍රකාශයක් කළේ කලින් දුන් පොරොන්දුව ප්‍රකාරව සිය යුතුකම ඉටු කරමිනි. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයද මේ වන විට කතාබහට ලක්ව ඇත්තේ දේශපාලන කරළිය දවසින් දවස ගිනියම් කරමිනි. 


දකුණු පළාත් සභාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැතිධුරයේ අර්බුදය ගිය සතියේ විසඳුවේ එම ධුරය මාතර දිස්ත්‍රික්කයට ලබා දෙමිනි. මුලදී මේ සඳහා යෝජනා වී තිබුණේ හිටපු ඇමැති පියසේන ගමගේ මහතාගේ පුත් රන්දිම ගමගේගේ නමයි. එහෙත් ලක්ෂ්මන් යාපා ඇතුළු පිරිසක් එම ඇමැතිධුරයේ අයිතිය මාතරට ලැබිය යුතු බවට ජනාධිපතිවරයා හමුවී කළ ඉල්ලීම හේතුවෙන් රන්දිම ගමගේගේ දිවුරුම් දීම කල් ගියේය. ඒ වෙනුවට පියසේන ගමගේට රාජ්‍ය ඇමැති ධුරයක් හිමිවිය. 


පළාත් ක්‍රීඩා ඇමැතිකම අකුරැස්සේ මනෝජ් සිරිසේනට දෙන්නැයි ලක්ෂ්මන් යාපා ඇතුළු පිරිස ඉල්ලා තිබිණි. ඒ අනුව මනෝජ්ට ගිය බ්‍රහස්ප්‍රතින්දා 12.30 ට ජනාධිපති කාර්යාලයට එන්නැයි දන්වා තිබිණි. දකුණු මහ ඇමැති ෂාන් විජයලාල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා හිටපු මහ ඇමැති එච්.ජී. සිරිසේන ඇතුළු පිරිසක්ද මනෝජ් සමඟ පැමිණ සිටියහ. ජනාධිපතිවරයාද වැඩ රාජකාරි රැසක් මැද මනෝජ්ගේ දිවුරුම් දීමට සූදානමින් සිටියද දකුණේ ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර ඒ වනවිටත් පැමිණ සිටියේ නැත. පසුව සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ ආණ්ඩුකාරවරයාට පණිවිඩය ලැබී ඇත්​ෙත් ප්‍රමාද වී බවය. ආණ්ඩුකාරවරයා එන තෙක් රැඳී සිටින්නැයි පිරිසට දන්වා අසල හෝටලයක පැවැති මංගල උත්සවයකට ගොස් කඩිනමින් එන බව පවසා ජනාධිපතිවරයා පිටව ගියේය. 


 

 හේමකුමාර නානායක්කාර ආණ්ඩුකාරවරයාට මහ ඇමැති ෂාන් ඇමැතුමක් දී ඇහුවේ ඉන්නේ කොහේද කියාය. ඔහු ඒ වනවිට අධිවේගී මාර්ගය ඔස්​ෙස් කොළඹ එමින් සිටියේය. ආණ්ඩුකාරවරයා එනවිට දහවල් 1.00 පමණ විය. ඔහු ඇතුළට ආවේම අධිවේගයේ 140 ට ඇවිත් යාන්තම් ආවා කියමිනි. ඇයි පොලිසියෙන් ඇල්ලුවේ නැද්දැයි මහ ඇමැතිවරයා අහද්දී ඔහු කීවේ වෙලාවට අහුවුණේ නෑ කියාය. ගාල්ලේ සිට කෙළින්ම කඩුවෙල පැමිණ ඔරුගොඩවත්ත හරහා පැමිණි බව ඔහු කීවේය. ජනාධිපතිවරයා ද මංගල උත්සවයට ගොස් එක වෙද්දී පැමිණියේ හරි නේද දිවුරුම් දෙන්න පුළුවන් නේදැයි අසමිනි. ඒ අනුව, මනෝජ් සිරිසේන දකුණු පළාත් සභාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති ලෙස 1.10 ට පමණ දිවුරුම් දුන්නේය. දැන් මාතර මුල්ම රැස්වීමත් අකුරැස්​ෙසනේ තියෙන්නේ. මනෝජ් එක්ක එකතුවෙලා හොඳට කරන්න පුළුවන්නේ යැයි ජනාධිපතිවරයා ලක්ෂ්මන් යාපාට කීවේය.