බඩු මිලට එරෙහිව අනුර යාපා කැබිනට්ටුවේ සටනක


 

පසුගිය අඟහරුවාදා උදේ ජනාධිපති කාර්යාලයේදී කැබිනට් මණ්ඩලය රැස්වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. කැබිනට් පත්‍රිකා ගැන සාකච්ඡා කරන අතරේ කතාබහට ලක්වූයේ පළාත් පාලන මැතිවරණය ගැනය. පුදුකුඩිඉරිප්පු හා මුහුදුබඩ පත්තුවේ ප්‍රාදේශීය සභා දෙකට නාම යෝජනා කැඳවා කල්දමා ඇති බැවින් මැතිවරණයට යාමට පෙර එම නාමයෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ ෆයිසර් මුස්තාපා විසිනි. ඔහු කීවේ එම නාමයෝජනා අවලංගු කිරීමට පනතක් නොගෙනාවොත්, පරණ ක්‍රමයටම ඒ දෙකේ ඡන්දය තියන්නට සිදුවන බව මැතිවරණ කොමසාරිස්වරයා දන්වා ඇති බවය. ඇමැතිවරුන් කීවේ ඒ දෙකේද මැතිවරණය අලුත් ක්‍රමයට පැවැත්විය යුතු බවය. ඒ සඳහා අවශ්‍ය සංශෝධන කඩිනමින් ගෙන ආ යුතු බව ඔවුහු කියා සිටියහ. ඒ සමගම ෆයිසර් කීවේ නුවරඑළියේ පළාත් පාලන ආයතන ගණන වැඩි කිරීමට ඉල්ලීම් තිබෙන බවය. තවම සභික සංඛ්‍යාවක් ගැසට් කර​ නොමැති තත්ත්වයක් තුළ මැතිවරණය මාර්තු වන තෙක් කල්යාමට ඉඩ ඇති බව ඇමැතිවරයෙක් කීවේය. ඡන්ද කල්දමන එක දේශපාලන විකාරයක් වෙලා. අප මේක ඉක්මනින් කරල ඡන්දය ඉක්මනින් තියමු යැයි චම්පික කීවේය.   


චම්පික කියා සිටියේ සභික සංඛ්‍යාව ගැසට් කර ඡන්දයට යා යුතු බවය. ඊළඟට මතු වූයේ බඩු මිල ප්‍රශ්නයයි. බඩු මිලට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කළේ‍ අනුර යාපාය. ‘අපි බඩුමිල අඩු කරන එක ගැන කතා කර කර ඉන්නවා. නමුත් අඩු වෙච්ච බඩු මිලක් නැහැ.’ ජීවන වියදම් කමිටුව අර කමිටුව මේ කමිටුව කියල කමිටු ගණනාවක් පත් කරල තියෙනවා. අරව කරමු මේවා කරමු කියල කතා කරනවා. වෙච්ච දෙයක් නැහැ. අඩු​ වෙච්ච ජීවන වියදමකුත් නැහැ. මේ වගේ ඇමැතිවරුන් ඉන්නවා. වැඩක් වෙන්නෙ නැත්නම් මේ කමිටු විසුරුවලා දමන එක හොඳයි. අපි වෙළෙඳපොළට බලපෑමක් කරන්න ඕන ඉල්ලුම සැපයුම බලලා. වෙළෙඳ ​අමාත්‍යාංශයට පුළුවන් තොග වෙළෙඳුන් එක්ක කතා කරල මිල තීරණය කරන්න. පාරිභෝගික අධිකාරිය අර අධිකාරිය මේ අධිකාරිය කියල ආයතන තියෙනවා. සතොස තියනවා. නමුත් මොනවද කරන්නෙ. යැයි අනුර යාපා දැඩි විවේචනයක් එල්ල කළේය. අනුර යාපාගේ විවේචනය එල්ල වුණේ රිෂාද් බද්යුදීන්ටය. රිෂාද් කීවේ, අනුර යාපාගේ චෝදනා සාධාරණ නැති බවය. වෙළෙඳ අමාත්‍යාංශය මැදිහත්ව බඩු මිල අඩුකර ඇති බව රිෂාද් කීවේය.   


අනුර යාපාගේ විවේචනය හමුවේ රිෂාද් කීවේ එහෙම නම් ජනාධිපතිතුමාට පුළුවන් මාව අයින් කරන්න. මම අයින් වෙන්නම් කියාය. ‘මම කාටවත් අයින් වෙන්න කිව්වෙ නෑ. මම කිව්වේ ඇත්ත කතාව. බොරුවට බඩුමිල අඩු කළා කියලා කියන එකේ තේරුමක් නෑ. අපි සත්‍යයට මුහුණ දෙන්න ඕන. අනුර යාපා කීවේය. අනුර යාපාගේ සහායට සුසිල් ද ඉදිරිපත් විය. සුසිල් පැමිණ තිබුණේ දෙල්කඳ පොළේ බඩු මිල ගණන් සටහන් කර ගත් බිලක් ද සමගය. ‘මම පෙරේදා දෙල්කඳ පොළට ගියා. පොළේ බඩු මිල ඔය කියන විදිහට අඩු නැහැ.

මට අනෝමා ගමගේ ඇමැතිතුමියත් පොළේදී හමු වුණා. එතුමියත් දන්නවා මිල ගණන් අල කියද? ලූනු කියද, පොල් කීයද මෙන්න මම ගත්ත මිල ගණන් යැයි කියමින් සුසිල් බඩු මිල ගණන් ලැයිස්තුවක් කියෙව්වේය. චම්පික රණවක කීවේ රටේ නියඟයක් තිබෙන බව ඇත්ත. නමුත් ලෝකෙ හැම තැනම නියඟයක් නෑ. ඒ නිසා අපි බඩු ගෙන්වන එ්වා විධිමත් විදියට ගෙන්වන්න ඕන එහෙම නැතිව ගෙන්වද්දී ආනයනකරුවෝ තුන් හතර ගුණයක ලාභ ගන්නවා කියාය. අනතුරුව මේ කතාබහට මහින්ද අමරවීර ද මැදිහත් විය. අපි හාල් ගෙන්වන්න තීරණය කළත්, නියම වෙලාවට ගෙන්වූවේ නෑ. අමරවීර කීවේය. යාපනයේ රතු ලූනු මිල අඩුයි. ජනාධිපතිතුමාත් ගිය සතියේ යාපනයේ ගියාම ඒ බව දැක්කා. ඒ සහනය මෙහෙට ලැබෙන්නෙ නැත්තෙ කියන එකයි ගැටලුව. දුමින්ද දිසානායක කීවේය. අද ජීවන වියදම් කමිටුව මුදල් අමාත්‍යංශයේදී රැස්වෙනවා. අපිට එතනදී මේ ගැන කතා කරලා තීන්දුවක් ගන්න පුළුවන් යැයි මලික් සමරවික්‍රමද කීවේය.