පොහොර ප්‍රශ්නයෙන් කැබිනට්ටුව රත්වෙයි



තෙල්දෙණියේ සහ අම්පාරේ ගිය සතියේ ඇතිවූ සිදුවීම් පෙළත් සමග දේශපාලන කරළිය ද ගිනියම් වී තිබේ. ආණ්ඩුවත් විපක්ෂයත් දේශපාලන කටයුතු සියල්ලම පාහේ නතර කර මහනුවර ඇතිවූ සිද්ධි දාමය පාලනය කරන්නට දැඩි වෙහෙසක් ගත් ආකාරයක් දකින්නට තිබිණි. ඒ අතර ආණ්ඩුවේම සමහර ඇමැතිවරුන් ආණ්ඩුවටත්, ආණ්ඩුව විපක්ෂයටත්, විපක්ෂය ආණ්ඩුවටත් වශයෙන් එකිනෙකාට චෝදනා කරන ආකාරයක් ද පෙනෙන්නට තිබිණි.


වෙනදා සුපුරුදු පරිදි අඟහරුවාදා උදේ පැවැත්වෙන කැබිනට් රැස්වීම මෙවර පැවැත්වූයේ අඟහරුවාදා රාත්‍රියේය. අඟහරුවාදා උදේ කැබිනට් මණ්ඩලය රැස්වුණත් ඒ රැස්වුණේ මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතිව තිබුණු තත්ත්වය ගැන සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීම වෙනුවෙනි. තෙල්දෙණිය හා අම්පාර ප්‍රදේශවල ඇතිව තිබූ තත්ත්වය ගැන ජනාධිපතිවරයා මුලින්ම පැහැදිලි කළේය. ජනාධිපතිවරයා කීවේ මේ පිටුපස විවිධ කණ්ඩායම් සිටින බවට තොරතුරු ලැබී ඇති බවය. තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද ජනාධිපතිවරයා කීවේය. අනතුරුව කතා කළේ රාවුෆ් හකීම් ඇමැතිවරයාය. නීතිය ක්‍රියාත්මක කිරීමයි. නීතිය හා සාමය රැකීමයි අතර පරස්පරතාවක් ඇතිවෙලා තියෙනවා. වරද කරපු කෙනා අත්අඩංගුවට ගන්නවාද අත්අඩංගුවට ගත්තොත් ප්‍රශ්නය උග්‍රවේද කියන ප්‍රශ්නයකට ආරක්ෂක අංශත් පත්වෙලා. මේ අයට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක කරන්න හකීම් කීවේ මහනුවර සිද්ධිය ගැන දීර්ඝ විස්තරයක් කරමිනි. අනතුරුව රිෂාද් බදියුදීන් කතා කළේය. ඔහු දිගටම චෝදනා කළේ පොලිසියටය. පොලිසිය සිද්ධි දිහා බලන් ඉන්නවා. ඒවා නවත්වන්න කටයුතු කරන්නෙ නැහැ. ඔවුන් කෙරෙහි විශ්වාසය බිඳවැටිලා රිෂාද් කීවේය. මනෝ ගනේෂන් කීවේ ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාව ආණ්ඩුවට බණින බවය. අපට දිනපතා කෝල් එනවා. ඔවුන් කියන්නෙ ආණ්ඩුවට අපි ඡන්දය දුන්නත් ආණ්ඩුවෙන් වැඩක් නෑ කියලයි. වෙනසක් කරන්න කියල ඡන්දය දුන්නත් වෙනසක් සිදුවුණේ නෑ කියලා ඒ ජනතාව කියනවා යැයි මනෝ ගනේෂන් කීවේය. ජනාධිපතිවරයා කීවේ මේ සිද්ධි දාමය පිටුපස දේශපාලන ක්‍රියාවලියක් තිබෙන බවය. රාජිත කීවේ මේ සිද්ධිවලට පොහොට්ටුවේද සම්බන්ධයක් තිබෙනවා කියාය. මේ පිටුපස තියෙන ​ෙද්ශපාලන ක්‍රියාවලිය පැහැදිලියි. ගිය ආණ්ඩුවත් මුස්ලිම් ජනතාවට ගැහුවා. මේ ආණ්ඩුවත් මුස්ලිම් ජනතාවට ගහනවා. දෙගොල්ලන්ම එකයි කියා පෙන්වන්නයි මේ හදන්නේ. මේකට පොහොට්ටුවේ සම්බන්ධයක් තිබෙනවා.’ යැයි හකීම් කීවේය.


මේ අතර ජනාධිපතිවරයා කීවේ මහනුවර සහ අම්පාරේ සිද්ධි පාලනය කිරීම සඳහා රටපුරා හදිසි නීතිය පැනවීමේ වැදගත්කම නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පෙන්වා දී ඇති බවය. ඒ අනුව රට පුරා හදිසි නීතිය පැනවීමට ඇමැතිවරුන්ගේ අනුමැතිය ලැබී සතියක පමණ කාලයක් සඳහා රට පුරා හදිසි නීතිය පනවන්නට ජනාධිපතිවරයා තීරණය කළේ ඒ අනුවය.


මේ අතර කතාබහට ලක්වුණේ සමාජ මාධ්‍ය ජාලා ඔස්​ෙස් පැතිර යන අසත්‍ය ප්‍රචාර ද මහනුවර හා අම්පාරේ සිද්ධි වර්ධනය වීමට හේතු වී තිබීම ගැනය. ඇමැතිවරුන් වැඩි දෙනා කීවේ සමාජ මාධ්‍ය ජාලා තහනම් කළ යුතු බවය. ඒ අනුව ෆේස් බුක් ආදී සමාජ මාධ්‍ය ජාලා සඳහා තාවකාලික තහනමක් පනවන්නටද තීරණය විය. වෛරි ප්‍රකාශනවලට එරෙහිව පනතක් මුලදි ගෙන ඒම ගැන සඳහන් වූ අවස්ථාවේ සමහරුන් ඊට විරුද්ධ වූ බව කීවේ චම්පික රණවක ඇමැතිවරයාය. සමහරු එදා ඒකට විරුද්ධ වුණේ සුළු ජාතික අයිතිය කියලයි යැයි චම්පික කීවේය. මෙහෙම ගියොත් පුද්ගලික සිද්ධි සමාජයේ ලොකු සිද්ධි බවට පත්වෙන්න පුළුවන්. ඒ නිසා නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි යැයි චම්පික කීවේය. මේ අතර ෆයිසර් මුස්තාපා කීවේ අලුතින් පනතක් ගෙනවිත් ෆේස් බුක් ආදිය තහනම් කළ යුතු බවය.


සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම අඟහරුවාදා රාත්‍රී 7.00 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී ඇමැතිවරුන් කිහිප දෙනකුගෙන් චෝදනාවක් එල්ල වූයේ මහා භාණ්ඩාගාරය කලින් එකඟ වූ දේවල් නොකරන බව කියමිනි. පී. හැරිසන් ඇමැතිවරයා මහා භාණ්ඩාගාරයට චෝදනා කළේ වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය දී තිබියදී මුදල් අමාත්‍යාංශයේ නිලධාරි කමිටුවක් දිසාපතිවරුන් හරහා වී මිලදී ගැනීමට තීරණය කර ඇති බව කියමිනි. ඔහු කීවේ වී අලෙවි මණ්ඩලයට අවශ්‍ය මුදල්ද දී නැති බවය. මුදල් ඇමැති මංගල සමරවීර මෙවර කැබිනට් රැස්වීමට පැමිණ සිටියේ නැත. ඒ වෙනුවට පැමිණ තිබුණේ ඉරාන් වික්‍රමරත්න රාජ්‍ය ඇමැතිවරයාය. ඔහු එවලේම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාද කැබිනට් රැස්වීමට ගෙන්වීය. හැරිසන් කීවේ නිලධාරින් මේ විදියට තීන්දු ගන්නේ කෙසේද කියාය.

පොහොර ගැටලුවද කැබිනට් රැස්වීමේ ආන්දෝලනයක් ඇති කළේය. දුමින්ද දිසානායක ඇමැතිවරයා මුදල් අමාත්‍යාංශයට චෝදනා කරමින් කීවේ තමන්ට වෙලාවට පොහොර දෙන්නට මුදල් අමාත්‍යාංශ​ෙයන් මුදල් නොලැබුණ බවය. අවශ්‍ය වෙලාවට පොහොර නොලැබුණ නිසා තමා ගොවින්ගෙන් බැණුම් අහන බව දුමින්ද කීවේය. රාජිත සේනාරත්න ඇමැතිවරයා යෝජනා කළේ පෞද්ගලික අංශය හරහා පොහොර ගෙන්විය යුතු බවය. කලින් කළ පරිදි වී ගොවින් සඳහා පොහොර මිටිය රුපියල් 500 බැගින් ලබා දීමටත්, අනෙකුත් වගා සඳහා පොහොර මිටිය රුපියල් 1200 කට ලබා දීමටත් තීරණය විය. සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා කීවේ එය ඉතාම හොඳ තීන්දුවක් බවය. අපි උත්සාහ කළේ කාබනික පොහොර භාවිතය වැඩි කරන්න. ගොවීන් ඒකට කැමැති නැත්නම් අපි මොනවා කරන්නද? ජනාධිපතිවරයා ඇසුවේය. අර්ජුන රණතුංග ඇමැතිවරයා නොසිටි නිසා නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මියද කැබිනට් රැස්වීමට පැමිණ සිටියාය. ඇය කීවේ අප්‍රේල් 1 වැනිදා සිට මැයි මස 15 වැනිදා දක්වා කාලය තුළ ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාදිය යුතු බවය. පොහොරවල ප්‍රමිතිය ගැනත් ප්‍රශ්න ති​ෙබන බව කී චම්පික රණවක ඇමැතිවරයා පොහොරවල ප්‍රමිතිය ගැන ද සොයා බැලිය යුතු බව කීවේය.

 

 

හදිසි විදුලිය මිලදී ගැනීමේ යෝජනාව ගැන මෙවරද කැබිනට් රැස්වීමේ කතාබහට ලක්විය. චම්පික රණවක කීවේ එල්එන්ජී බලාගාරය හැදීම ප්‍රමාද කිරීම මීට හේතු වී ඇති බවය. රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා කීවේ මේ යෝජනාව හත් වතාවක්ම කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට පැමිණි බවය. කසළවලින් විදුලිය නිපදවීම සඳහා සමාගම්වලින් ව්‍යාපෘති යෝජනා 4 ක් ලැබී ඇති බවත් විදුලිය ඒකකයක් රුපියල් 32 කට මිලදී ගැනීමට භාණ්ඩාගාරය මුලදී කැමැති වුවත් දැන් වෙනත් කතා කියන බවත් චම්පික කීවේය. ඊට පිළිතුරු දුන්නේ භාණ්ඩාගාර ලේකම්වරයාය. ඔහු කීවේ පහුගිය අයවැයෙන් බදු සහන දී ඇති බවය. ඒ නිසා නිෂ්පාදන වියදම අඩුවී ඇති බැවින් විදුලිය මිලදී ගැනීමේ මිල ගණන් ද අඩුකළ යුතු බව ඔහු කීය. භාණ්ඩාගාර ලේකම්වරයාටත්, මහනගර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් මේ ගැන වෙනම සාකච්ඡා කරන්නැයි ජනාධිපතිවරයා කීවේය.
කැබිනට් රැස්වීම යන අතරේ ජනාධිපතිවරයාට ලැබුණු දුරකථන ඇමතුමකින් කියැවුණේ මහනුවර ප්‍රදේශයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවී තිබෙන බවය. ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ටද කතා කර අවශ්‍ය පියවර ගන්නැයි උපදෙස් දුන්නේය.


කැබිනට් රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ කාර්යාලයේ තවත් සාකච්ඡාවක් පැවැත්විණි. ජනාධිපතිවරයා කීවේ රටේ වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා එම හමුව කැඳවා ඇති බවත් කැමැති ඇමැතිවරුන්ට ඊට සහභාගි විය හැකි බවත්ය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානිහුද ඊට කැඳවනු ලැබ සිටියහ. සරත් අමුණුගම අදහස් දක්වමින් කීවේ අතීතයෙත් මේ වගේ සිද්ධි ඕනැ තරම් වෙලා තියෙනවා. ඒවට පියවර ගන්න වෙනම මෙහෙයුම් කාර්යාලයක් තිබිය යුතුයි කියාය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කීවේ දැනටමත් එය ක්‍රියාත්මක වන බවය. කොටි දළදා මාලිගාවට ගැසුව වෙලාවේ වත් මහනුවර ජනතාව කඩ සාප්පුවලට ගැහුවේ නෑ. මෙතන කුලප්පු කරන කණ්ඩායමක් ඉන්නවා කීවේ චම්පිකය. ජනාධිපතිවරයා ද කීවේ ඇතිවී තිබෙන සිද්ධි මැඬපැවැත්වීමට ආරක්ෂක හමුදාවත් පොලිසියත් පියවර ගෙන ඇති බවය.