පොහොට්ටුව හා ශ්‍රීලනිපය එක්කළ බැසිල්ගේ මෙහෙයුම


පොදුජන පෙරමුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මහ ඡන්දයට එක්ව තරග කරන බව කීවේ ජනාධිපතිවරණයටත් පෙර සිටය. ජනාධිපතිවරණයේ දී ද පක්ෂ දෙක එක්ව ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවන්නට වැඩ කළත්, දෙපාර්ශවයේම ඇතැම් මැති ඇමැතිවරුන්ගේ ප්‍රකාශ හේතුවෙන් එම දීගයට බාධා පැමිණෙමින් තිබිණි. ඊට වඩාත් බලපෑවේ පොහොට්ටුවේ ඇතැම් මැති ඇමැතිවරුන් ශ්‍රීලනිපය සම්බන්ධයෙන් කළ දැඩි විවේචනයයි. පොහොට්ටුවේ සමහරුන් ශ්‍රීලනිපයට තනිව තරග කරන ලෙසට ද අභියෝග කළේ දෙපාර්ශ්වයේ දීගයට හරස් කපමිනි.


පහළ තලයෙන් එවැනි බාධා කිරීම් විවේචන එල්ල වුව ද බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා දැඩි ස්ථාවරයක සිටියේ පොහොට්ටු ශ්‍රීලනිප සන්ධානය ගොඩනැගිය යුතු බව කියමිනි. ඔහු ඒ වෙනුවෙන් දිගටම පෙනී සිටියේය. ඔහු මාධ්‍යවලට ද කියා තිබුණේ දෑවැදි ප්‍රශ්න මතු වුවත් සන්ධාන දීගය දිගටම යන බවය. ඒ අනුව ඔහු පොහොට්ටුව ශ්‍රීලනිප සන්ධානය හදිසියේ කළඑළි බස්සන්නට තිරය පිටුපස විශාල මෙහෙවරක් කළේය. ඔහු පොදුජන පෙරමුණ නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතාත්, ශ්‍රීලනිපයේ නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් වෙන වෙනම හමු වී මේ ගැන සාකච්ඡා කර තිබිණ. ඒ සාකච්ඡාවල කතාබහ වූ කිසිවක් එළියට නොදෙන්නට ද ඔහු වග බලා ගත්තේ පොහොට්ටුවේම සමහරුන් ඊට අකමැති බව දන්නා නිසාමය.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා බැසිල්ය. ඒ නිසාම එම පක්ෂය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ වැඩි වගකීමක් ඔහු සතු බව පැහැදිලිය. ඔහු ඉකුත් සතියේ අඟහරුවාද‌ා මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසට ගොස් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී සාකච්ඡා කළේ ද පොහොට්ටු ශ්‍රීලනිප සන්ධානය හැදීම ගැනය. ඒ සාකච්ඡාව ඇදී ගියේ දෙපාර්ශවයේ සන්ධානය පිහිටුවීම ගැනය. මුලදී ශ්‍රීලනිපය කියා තිබුණේ පුටුව ලකුණින් මැතිවරණයට තරග කළ යුතු බව වුවත් පසුව එම අදහස වෙනස් කරගෙන තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවීමටත් එහි ලකුණ පොහොට්ටුව කිරීමටත් අවසානයේ එකඟ විය.


පොහොට්ටු ශ්‍රීලනිප සන්ධානය ලියාපදිංචිය සඳහා අයදුම්පතක් මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ඉකුත් අඟහරුවාද‌ා දිනයේ බාර දෙන්නේ හදිසියේම ගත් තීන්දුවකට අනුවය. එය ලියාපදිංචි කිරීමට අයදුම්පත රැගෙන යන තෙක්ම ශ්‍රීලනිපයේ බොහෝ දෙනකු මෙන්ම පොහොට්ටුවේ බොහෝ දෙනකු ද දැන සිටියේ නැත. බැසිල් කලින් දින රාත්‍රියේ පකෂ නායකයන්ට දුරකථනයෙන් දැනුම් දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලියාපදිංචිය සඳහා පසුදින උදේ මැතිවරණ කොමිෂන් සභාවට බාරදෙන බැවින් අද‌ාළ අයදුම්පතට අත්සන් කරන ලෙසය. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලේකම් සාගර කාරියවසම් ද ඇතැම් පක්ෂ ලේකම්වරුන්ගේ නිවෙස්වලටම ගොස් අයදුම්පතට අත්සන් කරගෙන ආවේය. සඳුද‌ා රාත්‍රියේ දී බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඩිව් ගුණසේකර මහතාට ඇමැතුමක් ගෙන අයදුම්පතට අස්සන් කළ යුතු බව දන්වා සිටියේය. එවෙලේ ඩිව් සිටියේ මාතරය. මම දැන් මාතර. හෙට උදේ කොළඹ ඇවිත් අස්සන් කරන්නම්. ඩිව් කීවේය. ඒ අනුව පහුවද‌ා උදේ සාගර කාරියවසම් අයදුම්පත රැගෙන ඩිව්ගේ බැද්දගානේ පිහිටි නිවසට ගොස් අස්සන් කරවා ගත්තේය.


ආණ්ඩුව සමඟ මේ වන විට කටයුතු කරන ප්‍රධාන දේශපාලන පක්ෂ ගණන 12 කි. ඉන් ලංකා කම්කරු කොංග්‍රසයත්, ඊපීඩීපී සංවිධානය සහ අතාවුල්ලාගේ පක්ෂයත් හැර අනෙක් පක්ෂ 9 ම නව සන්ධානයට අස්සන් කර ඇත. සියලු අස්සන් ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලියාපදිංචි කිරීමේ අයදුම්පත ද රැගෙන ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර සහ පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මැතිවරණ කොමිෂන් සභාවට ගොස් අයදුම්පත බාරදුන්හ. ශ්‍රීලනිපයෙ මෙන්ම පොහොට්ටුවේ ද බොහෝ දෙනා නව සන්ධානය පිහිටුවා ඇති බව දැනගත්තේ ඉන් පසුවය.


නව සන්ධානයේ නායක මහින්ද රාජපක්ෂය. සභාපති මෛත්‍රීපාල සිරිසේනය. මහලේකම් බැසිල්ය. නියෝජ්‍ය සභාපති දිනේෂ්ය. ජාතික සංවිධායකවරු දෙදෙනෙකි. එක්කෙනෙක් දයාසිරිය, අනෙක් මහලේකම් විමල් වීරවංශය. උදය ගම්මන්පිල උපලේකම්වරයාය. අමරවීර නියෝජ්‍ය මහලේකම්ය.


ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයන්ගේ පළමු හමුව ගිය අඟහරුවාද‌ා රාත්‍රියේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. අගමැති මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල, මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, තොණ්ඩමන්, ඩලස් අලහප්පෙරුම, වාසුදේව, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, මහින්ද අමරවීර, මහින්ද යාපා, කොල්ලුරේ, ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි, අසංක නවරත්න, එස්.එම්. චන්ද්‍රසේන, දයාසිරි, ජයන්ත සමරවීර ඇතුළු පිරිසක් ද අතුරලියේ රතන හිමි ද ඊට සහභාගි වූහ.
අගමැති මහින්දත් හිටපු ජනපති මෛත්‍රීත් පක්ෂ නායක රැස්වීමට ආවේ එකටමය. එම හමුවට එන්නට පෙර මහින්දත් අරලියගහමන්දිරයේම අගමැතිවරයාගේ කාර්යාලයේ කතාබහ කරමින් බොහෝ වේලාවක් ගත කළහ. නිමල් සිරිපාල, අමරවීර, දයාසිරි, දුමින්ද දිසානායක සහ හිටපු ඇමැති බැසිල් ද එම හමුවට එක්ව සිටියහ. ඉදිරි මැතිවරණයට තරග කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, ඡන්ද ව්‍යාපාරය ගෙනයාම ආදිය එහිදී කතාබහට ලක්ව ඇත. එය ඉතා සුහදව පැවැති හමුවක් විය. හමුව අවසානයේ දුමින්ද පක්ෂ නායක හමුවට නොඉඳ යන්නට සූද‌ානම් වෙද්දී ඔහු අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. අනුරාධපුරයේ මෙවර පැවැත්වෙන ජාතික ක්‍රීඩා උළෙලට සහභාගි වන්නැයි දුමින්ද අගමැතිගෙන් ඉල්ලා සිටියේය. දුමින්ද තරුණ කටයුතු රාජ්‍ය ඇමැතිවරයාගෙ ඉල්ලීම පිළිගත් අගමැතිවරයා කීවේ ‘දුමින්ද මම ඒකට එන්නම්. එ් ගමන් ඔයාලගෙ ගෙවල් පැත්තටත් ඇවිත් යන්න එන්න ඕන.’ කියාය.


පක්ෂ නායක රැස්වීම රාත්‍රී 7.00 ට පමණ ආරම්භ විය. ඒ මහින්දගේ ප්‍රධානත්වයෙනි. කාමරයේ පැවැති හමුවෙන් පසුව මහින්දත්, මෛත්‍රීත් පක්ෂ නායක රැස්වීමට එකටම පැමිණ එක ළඟ ප්‍රධාන ආසන දෙකේ ඉඳගත්හ. බැසිල් රාජපක්ෂ ද විශාල ලිපිගොනුවක් ද රැගෙන පැමිණ සිටියේය. පහුගිය ඡන්දවල ඉතිහාස තොරතුරු, ඡන්ද ප්‍රතිශත, ආසන බෙදීයාම ආදී තොරතුරු ඊට ඇතුළත් විය. ඔහු ඒ සියල්ල රැගෙන විත් තිබුණේ ඉදිරිපත් වන ඕනෑම ප්‍රශ්නයකට තර්කානුකූලව පිළිතුරු දීමේ අපේක්ෂාවෙනි.
මේ අතර වාසුදේව ප්‍රශ්නයක් මතු කරමින් ඊට අද‌ාළ නොවන කරුණක් අගමැතිවරයාගේන් විමසීය. ඒ බඩු මිල ගැනය. අගමැතිතුමනි බඩු මිල එළවළු මිල හොඳටම වැඩියි. ඒ ගැන අවධානය යොමුකරන්න. පොහොර හිඟයකුත් තියෙනවා. මේ ගැන මුදල් අමාත්‍යාංශය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති බවයි පේන්නේ. වාසු කීවේය. එවලේමේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට දුරකථන ඇමැතුමක් ගත් අගමැතිවරයා පොහොර ප්‍රශ්නය ගැන විමසීය. පොහොර බෙද‌ා දීමේ වැඩ පිළිවෙළේ යම් යම් අඩුපාඩු තිබෙන බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කීවේය. අගමැතිවරයා උපදෙස් දෙමින් කීවේ වහාම ඒ ගැන බලා පියවරක් ගන්නැයි කියාය.
අනතුරුව කතාබහට ලක්වූවේ ඉදිරි මැතිවරණයට එක්ව කටයුතු කිරීම නාමයෝජනා සහ ලකුණ ගැනය. වැඩි දෙනාගේ කැමැත්ත වූයේ පොහොට්ටුව ලකුණ හොඳ බවය. ඉකුත් මැතිවරණවල ඡන්ද‌ද‌‌ායකයන්ගේ හැසිරීම් ගැන බැසිල් පැහැදිලි කළේය. ඔහු කීවේ ද පොහොට්ටුව ලකුණින් යාම ඉතාම හොඳ බවය. අවසානයේ පොහොට්ටුව ලකුණට සියලු දෙනා එකඟතාව පළකළහ.


මේ අතර මැතිවරණයට පොහොට්ටුවෙන් තරග කරන පක්ෂ අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්නට ද තීරණය විය. පොහොට්ටුවෙන් තරග කරනවා වගේම අපිට සුළු පක්ෂ ගැනත් හිතන්න වෙනවා. උතුරු නැගෙනහිර පළාත්වල අපිත් එක්ක එකතුවන සුළු පක්ෂවලට අවශ්‍ය නම් ඒ ප්‍රදේශවල වෙනම තරග කරන්න අවස්ථාව දෙන්න ඕන යැයි කීවේ ඩලස් ය. ඩලස්ගේ අදහස බැසිල් ද අනුමත කළේය. එම පක්ෂවලින් ඉල්ලීමක් ඒ සඳහා ආවොත් සලකා බැලිය යුතු බව බැසිල් කීවේය. සාකච්ඡාව පැය එක හමාරක පමණ කාලයක් තිස්සේ පැවැත්විණි. පාර්ලිමේන්තුව ලබන 2 හෝ 3 විසුරුවා හරින බව අගමැතිවරයා එහිදී කීවේය.


මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා තරමක් අසනීපයෙන් සිටින බව හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට ද දැනගන්නට ලැබිණි. ඒ වන විට මෛත්‍රී සුවය ලබා රෝහලෙන් පිටව ගොස් සිටියේය. මෛත්‍රී සිය නිල නිවසේ සිටින බව දැනගත් බැසිල් ඉකුත් සතියේ අඟහරුවාද‌ා උදේ මහගමසේකර මාවතේ නිල නිවසට ගියේය. රෝහලේ සිටිය දී එන්නට බැරි වූ බවත් සුවදුක් බැලීමට පැමිණි බවත් බැසිල් කීවේය. ඔහුගේ පැමිණීම ගැන මෛත්‍රීපාල සතුට පළ කළේ දේශපාලන කතාබහකට ද මුල පුරමිනි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පොදුජන පෙරමුණත් ඉදිරි මහ මැතිවරණයට එන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙනි. එහෙත් ලකුණ සම්බන්ධයෙන් ඒ වන විටත් අවසන් එකඟතාවක් නොතිබිණි. ඒ අතර පොදුජන පෙරමුණ ඇතැම් මැති ඇමැතිවරුන් ද ශ්‍රීලනිපයට අභියෝග එල්ල කරමින් සිටියේ පුළුවන් නම් වෙනම තරග කරන ලෙස ද ඉල්ලමිනි. මෛත්‍රීත්, බැසිල් අතර හමුවේ දී ද මේ ප්‍රශ්න ගැන ද කතාබහට ලක් විය. දෙදෙනාම ඉතා හොඳ අවබෝධයකින් කතාබහ කළේ ලබන මහ ඡන්දයට එක්ව තරග කරන බව තහවුරු කරමිනි. මේ අතර බැසිල් දැනුම් දුන්නේ තිබෙන ගැටලු සහ සන්ධානයේ ඉදිරි කටයුතු ගැන ලබන සතියේ හමු වී සාකච්ඡා කිරීමට අගමැතිවරයා ද තීරණය කර ඇති බව කියමිනි. දෙදෙනා අතර කතාබහ පැය දෙකක් තිස්සේ ඇදී ගියේ අතීත දේශපාලන කතාබහවලට ද ඉඩ වෙන් කරමිනි.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන සංවිධායකයන් පත්කර නැති බව ගිය සතියේ නිවේදනයක් නිකුත් කරමින් කීවේය. ඊට හේතුව වූයේ පොහොට්ටුවේ හා ශ්‍රීලනිපයෙන් ආ ඇතැම් මන්ත්‍රීවරුන් තමන් අහවල් ආසනයේ සංවිධායක යැයි කියමින් ගෙන යන ප්‍රචාර හේතුවෙනි. මේ ප්‍රකාශ ඇතැම් මන්ත්‍රීවරුන් අතර ගැටුම්වලට ද හේතු වී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන සංවිධායකයන් පත්කර නැති බව නිවේදනයක් නිකුත් කරමින් කීවේ එහෙයිනි.


මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ වෝහාරික විගණන වාර්තාව ගැන ගිය සතියේ පාර්ලිමේන්තුවේ දෙදින විවාදයක් පැවැත්විණි. විවාදයට පෙර අඟහරුවාද‌ා උදේ පාර්ලිමේන්තු සංකීර්ණ කමිටු ශාලාවක ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් ද පැවැත්වූවේ අගමැති මහින්දගේ ප්‍රධානත්වයෙනි. මන්ත්‍රීවරුන් වැඩි දෙනෙකුට වෝහාරික විගණන වාර්තාව ගැන හොඳ අවබෝධයක් නොමැති නිසා ඒ ගැන පැහැදිලි කිරීමට ඩිව් ගුණසේකර හිටපු ඇමැතිවරයාට එම රැස්වීමට එන්නැයි මහින්ද ආරාධනා කර තිබිණි. ඒ අනුව ඩිව් එම රැස්වීමට පැමිණ මහබැංකු බැඳුම්කර වෝහාරික විගණනය ආදිය ගැන හරබර දේශනයක් පැවැත්වීය. ඔහු ඊට දින කිහිපයකට පෙර මේ මාතෘකාව ගැන කොළඹ දී කළ දේශනයක් ඇතුළත් පොතක පිටපත් ද රැගෙනවිත් තිබුණේ මන්ත්‍රීවරුන්ට බෙද‌ා දීම වෙනුවෙනි. ඔහු ඊට සහභාගි වූ සෑම මන්ත්‍රීවරයෙකුට පොතේ පිටපත බැගින් පිරිනැමීය. මහ බැංකු හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, දිනේෂ් ගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ද එහිදී අදහස් දැක්වූහ.