පොලිස්පතිගේ හැසිරීම එජාපයේ කතාබහට


ගෙවී යන සතිය ඇරඹුණේ ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් තිබූ බවට පොලිස් ඔත්තුකරුවකු කළ හෙළිදරව්ව සමගය. අගමැති ඇතුළු මුළු ආණ්ඩුවේම අවධානය ඒ සඳහා යොමු වූ අතර කඩිනම් පරීක්ෂණ ඇරඹීමට අගමැතිවරයා පොලීසිය භාර ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර හරහා නියෝග කළේය.


ඒ අතර දකුණු ආසියාවේ විශාලතම සාප්පු සංකීර්ණය කළම්බු සිටි සෙන්ටර් නමින් අඟහරුවාදා අගමැති අතින් කොළඹ නවම් මාවතේ දී විවෘත වූ අතර එම අවස්ථාවට ජෝන් අමරතුංගද එක් විය. දෙස් විදෙස් ආයෝජකයන් හා සමාගම් රැසක්ද එහි තම ව්‍යාපාර ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණ.


බ්‍රහස්පතින්දා උදේම අගමැතිවරයා අරලියගහ මැදුරට ආවේ පාර්ලිමේන්තු යාමට පෙර රාජකාරී කිහිපයක් ඉටු කිරීමටය.


“පොලීසියේ නියෝජ්‍ය පොලිස්පති කෙනෙකු සාමාන්‍ය ඔත්තුකරුවෙකු එක්ක දුරකථනයෙන් ජනපතියි, හිටපු ආරක්ෂක ලේකමුයි ඝාතනය කරන්න කතා කරාවිද? පොලිසියේ ඉන්නේ ඒ තරමට වගකීමක් නැති අයද කියලයි, මිනිස්සු අහන්නේ’’ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කතාවට මුල පිරුවේය.


“මේකෙ ඇත්ත වහාම සොයන්න රස පරීක්ෂකට ඒ හඬ පටි යැව්වා. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පරීක්ෂණ කරනවා. අදාළ නියෝජ්‍ය පොලිස්පති අනිවාර්ය නිවාඩු යැවුවා. පොලිසියේ ඉහළ හා පහළ නිලධාරීන් හැමදාම තරඟෙට ගහ ගන්නවා. ඒවා ජනතාවට වැදගත් නැහැ. මේ කතාවත් එහෙම ආපු එකක්දැයි අප සොයනවා” අගමැතිවරයා පැහැදිළි කළේය.


“මේ සිද්ධිය හරහා පොලිස්පතිට ප්‍රහාර එල්ල කිරීමත් විපක්ෂයේ ඉලක්කයයි. ඔහු හොඳට වැඩ කළත් මාධ්‍ය ඉස්සරහ රඟන එකනම් නවත්තන්න වෙනවා. ඒකාබද්ධෙට කඩේ යන රටේ සුළු ප්‍රශ්න දෙගුණ කර පෙන්නන ජනමාධ්‍යයි, මේක ඇදගෙන යන්නේ”, නවීන් දිසානායක කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළවිය.


“එදා පාර්ලිමේන්තුවේදී මේ ප්‍රශ්නය දිනේෂ් මතු කළා .ඔහු අබිබවා යන්න ඒකාබද්දේ අනිත් අය උත්සාහකර වැ​ෙඩ් අනාගත්තා. එක එක අය එක එක කතා කිව්වේ”, ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


“ඝාතන කතාව කොහෙන් හරි නිර්මාණය කළ දේශපාලන නාට්‍යයක් බව බොහෝ දෙනෙකුගේ අදහසයි. ගෝඨාභය ඝාතනය කරන්නත් හිටියා කියන කතාව මේකට ඇද ගත්තේ ඒකාබද්දේ කුලප්පු කර එයාලගේ සපෝර්ට් එක ගන්න වෙන්නත් පුලුවන්”, බදුලු දිසා මන්ත්‍රී චමින්ද විජේසිරි කීවේය.


“මේ සිද්ධියේ ඇත්ත හොයනවට වඩා විපක්ෂයට ඕනෑ මේකෙනුත් පටු දේශපාලන වාසි ගන්නයි. ඇත්තටම ඝාතන කුමන්ත්‍රණයක් තිබුණාද කියන එකයි, හොයාගන්න ඕනෑ. හඬ පටිවල එහෙම එකක් නැහැ කියලයි පොලිසියේ ඉහළ කෙනෙකු මට කිව්වේ”, දයා ගමගේ කීය.


“ඔය නියෝජ්‍ය පොලිස්පති ජානක පෙරේරාගේ ඝාතනය ගැන විධිමත් පරීක්ෂණ කර, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ඝාතන තැත හා සරත් ෆොන්සේකා ඝාතන තැතකුත් වැළකූ හා මරාගෙන මැරෙන බෝම්බ කට්ටල රැසක් සොයා ගත්ත දක්ෂ කෙනෙකු බව කියනවා. එතකොට ඔය ඔත්තුකරුට රෝහින්ගයා කේස් එකේදී ලක්ෂ 05 ක් පොලිසිය දුන්නත් දිගන කේස් එකේ ඔත්තු දීපුවට මුදල් පමා වූ බවට අරගල කළ කෙනෙකුය, මේ පාවා දීමට හේතුව කියලත් ආරංචි පළ වෙනවා.” චමින්ද විජේසිරි එළි කළේය.


“අගමැතිතුමා හා රංජිත් මද්දුම බණ්ඩාර මේ ඝාතන සිද්ධිය ගැන පාර්ලිමේන්තුවේදී කතා කළාම විපක්ෂයට කට උත්තර නැති වුණා. ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ගැන විපක්ෂය අද කිඹුල් කඳුළු හෙළුවත් 2015 ජනාධිපතිවරණ කාලේ ඔහුගේ ආරක්ෂාව ඉවත් කළාම කවුද ඇඬුවේ?


“ඇමරිකානු පුරවැසියෙකු වුණත් ගෝඨා ඉල්ලුවොත් වැඩි ආරක්ෂාව දෙනවා. ජනාධිපතිතුමාට ආරක්ෂාව ගැන ප්‍රශ්න නැතත් ඒකාබද්දේ මරාගැනිලි නිසා ගෝඨාට නම් අද ආරක්ෂාව ගැන ලොකු ප්‍රශ්න තිබෙන්න පුළුවන් බව අගමැතිතුමා කිව්වම විපක්ෂයට කට උත්තර නැති වුණා”, විජයදාස රාජපක්ෂ කීය.


“මහින්ද රාජපක්ෂ, නාමල් පුතා එක්ක ඉන්දියාවේ ගියේ ඒකාබද්දේ කෑගහන කාටත් හොරායි. ඒකට දිනේෂ්, වාසු, වෙල්ගම, වීරවංශ, ගම්මන්පිල ඇතුළු ඔක්කොම අවුල්ලු. ඒ ගමන රාජපක්ෂලා ඉන්දියාවෙන් ඉල්ලලා ගත්ත එකක් කියලත් තානාපති ආරංචිමාර්ග එළිකළා. මත්තල ඉන්දියාව බදු ගන්නවාට විරුද්ධ නැහැ කියා කීම නිසා ඒකාබද්දේ අය අවුල් වෙලා.”, රන්ජන් රාමනායක කීය.


“මහින්ද 2015 දී රට දාලා ගියේ වසර 02 කට කලින් ඡන්ද තියලයි. රටේ ප්‍රශ්නවලට එයාට විසඳුම් නැති වීම දාලා යන්න හේතුවයි.


“2012 සිට 2014 දක්වා මානව හිමිකම් කොමිසම කළ ඉල්ලීම් පවා මහින්ද ඉවත දැම්මා. 2015 දී එයා දිනලා තිබුණා නම් ජිනීවාවලදී රටට ආර්ථික තහංචි අනිවාර් යෙන් වැටෙනවා. අප ඒ සියල්ල වළකලා ණය බර 60% කුත් ගෙවා රට බේරගත්තම දැන් මහින්ද ආපහු රට එයාට ඉල්ලනවා. මේවා විහිළු” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


“ඉන්ධන මිල සූත්‍රය මෙහෙම ගියොත් මාසෙන්-මාසෙට බඩු මිලයි, ඉන්ධනයි වැඩි වේවි. ඒක දේශපාලන ලෙස අවාසියි.” නවීන් දිසානායක කීය.

 


“ලෝකය ඉන්ධන මිල සූත්‍ර අනුව යන්නේ. මිල අඩු වුණාම අඩු කරනවා. ඩොලරය ඉහළ යාමත් මෙතනදි බලපානවා. අප ජනතාවට උපරිම සහන දෙන්න වැඩපිළිවෙළ හදනවා. ඊයේත් ඒ ගැන කතා කළා.” අගමැති කීය.
“රුපියල කඩාවැටීම ගැන ඒකාබද්දේ ආර්ථික ඔස්තාර්ලා කතා කළාට ලෝකයේ අනිත් සියළු රටවල මුදල් ඒකක කඩා වැටීම එයාල හංගනවා. ඉන්දියාවේ 10% කින් රුපියල වැටෙන විට අපේ 5% යි. තම මුදල් ඒකකය කඩා නොවැටුණු රටක් පෙන්නන්න කියා මා ඒකාබද්දෙට කියනවා.”


“ඩොලර් පොලී අනුපාතය වැඩි කරන්න ඇමරිකානු මහ බැංකුව තීන්දු කළා. ඒ නිසා ලෝකයේම ඩොලර් ඇමරිකාව දෙසට ඇදුනා. ඩොලරය ඉතිහාසයේ ශක්තිමත් තැනට ආවා. ලොව හැම අනිත් රටකටම ඒක පහරක් වුණා. අපේ අපනයනය වැඩි කිරීම හා ආනයන වියදම අඩු කිරීම මේකට එකම විසඳුමයි.”, විජයදාස රාපක්ෂ නීතිය මෙන්ම ආර්ථිකය ගැනද විශේෂ දැක්මක් ඇති අයකු බව ප්‍රදර්ශනය කළේ එසේය.


“විජයදාස නීතිය අතහැර මහ බැංකුවට ආර්ථික උපදෙස් දෙන්න පටන් ගන්න.”, අගමැති කීවේ උස් හඬින් සිනාසෙමිනි.


“මාණ්ඩලික ප්‍රධානියා මෙක්සිකෝ ඉඳලා ඇවිත්. එතුමාට මිනීමැරුම් චෝදනා නැතිලු. උදව් කළාද කියා දැනගන්නයි, කට උත්තර දෙන්න කියන්නේ. නේවි එකේ ඔහුට විරුද්ධ පිරිසකුත් ඉඳීම මේ ගැටලුවලට මුල කියා ආරංචියි.”, චමින්ද විජේසිරි කීය.


“ඔබතුමා මේ මාසෙට දෙපාරක් වියට්නාම් ගියා. ඒ වගේ ශීඝ්‍රයෙන් දියුණු වන රටක් එක්ක අත්වැල් බැඳ ගැනීම ලංකාවට හයියක්”, නවීන් දිසානායක කීවේ අගමැතිටය.


“වියට්නාමය කියන්නේ අපට හුඟක් ආර්ථික ආදර්ශ ගත හැකි තැනක්. සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව වගේ දියුණු රටක්. එයාලා හැම වැදගත් ආර්ථික සමුළුවකටම මට ආරාධනා කරන්නේ අප යන ආර්ථික මාවත නිවැරදි නිසා බව ඔවුන් මට කිව්වා” අගමැති කීය.