පාස්කු ඉරිදා වාර්තාව ගැන ජනාධිපති කතා කරයි


  • ආණ්ඩුවේ පසුපෙළ අගමැති හමුවෙයි
  • අශෝක වෙනුවෙන්  සජිත්

 

 


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වන ‘ගම සමඟ පිළිසඳරක්’ වැඩසටහන ඉකුත් සති අන්තයේ පැවැත්වූවේ ගිරිබාව ප්‍රදේශයේදීය. ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා ප්‍රමුඛ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරු රැසක් ද රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද ඊට සහභාගි වූහ. ගම සමග පිළිසඳර අතරේ ජනාධිපතිවරයා දේශපාලන කාරණා කිහිපයකට ද පිළිතුරු දෙන්නට වග බලා ගත්තේය. ඉන් පළමුවැන්න පාස්කු ඉරිද‌ා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ගැනය. දෙවැන්න ජනාධිපතිවරයා ‘​ෆේල්’ බවට විපක්ෂය නගන චෝදනාව ගැනය.


පාස්කු කොමිෂන් වාර්තාව නිකුත් වී ගිය සතිය වන විට මාසයකට ආසන්න කාලයක් ගත වී තිබිණි. වාර්තාව ජනාධිපතිවරයාට බාරදෙනු ලැබුවේ ඉකුත් පෙබරවාරි මස 1 වැනිද‌ාය. වාර්තාව අනතුරුව කැබිනට් මණ්ඩලයටත්, පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් විය. එසේ වුවද ජනාධිපතිවරයා වාර්තාව ගැන ප්‍රසිද්ධියේ කිසිවක් කියන්නට ගියේ නැත. නමුත් ජනාධිපතිවරයා ගිය සතියේ ගිරිබාවේදී කොමිෂන් වාර්තාව ගැන ප්‍රසිද්ධියේ කතා කළේ ඒ සම්බන්ධයෙන් විපක්ෂය නගන චෝදනාවලට පිළිතුරු දමිනි. පාස්කු ඉරිද‌ා ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් දෙන බව ජනාධිපතිවරයා කීවේය. ජනාධිපතිවරයා කීවේ ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ආණ්ඩුවේ සිටි අය දැන් ආණ්ඩුවට චෝදනා කරමින් කළු කොඩි දමන්නට යන බවය. යහපාලන ආණ්ඩුව මේ ප්‍රහාරයට වගකිවයුතු බව කොමිෂන් වාර්තාවේ පැහැදිළිව සඳහන්ව ඇතැයි ද ජනාධිපතිවරයා කීවේය. හිටපු ජනපති, හිටපු අගමැති ප්‍රමුඛ යහපාලන රජය ප්‍රහාරයට වගකිව යුතු යැයි ද තමාට කිසිවක් සඟවන්නට නැතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.


ජනාධිපතිවරයා ෆේල් බවට විපක්ෂය ගෙන යන ප්‍රචාරයට ද ජනාධිපතිවරයා උත්තර දුන්නේය. ‘මම අසමත් නැහැ. ඕනවටත් වඩා සමත්’ යැයි ජනාධිපති කීවේ හිනාවෙමිනි. ආරක්ෂක ලේකම්වරයා ලෙස යුද්ධය අවසන් කරමින් අවුරුදු 20ක් කටයුතු කිරීම ගෞරව උපාධියක් ලැබීමට තරම් ප්‍රමාණවත් යැයි කී ජනාධිපතිවරයා සඳහන් කළේ දැන් තමාට ලැබෙන්නේ බෝනස් ලකුණු බවය.


ආණ්ඩුවේ පසුපෙළ විමල්ට එරෙහි වෙයි


ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු හතළිස් තුන්දෙනෙක් ඉකුත් බද‌ාද‌ා අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.


මේ හමුව සිදුවූයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් කරන ලද ඉල්ලීමකට අනුවය. ආණ්ඩුවේ කටයුතු හා දේශපාලන කාරණා ගැන සාකච්ඡා කරන්නට අවස්ථාවක් දෙන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි. මෙම මන්ත්‍රීවරු මීට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාත් හමුවූහ. ඒ සියලු දෙනා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දැරූ මන්ත්‍රීවරුන් වීම ද විශේෂත්වයකි. පොදුජන පෙරුමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, මහලේකම් සාගර කාරියවසම්, ආණ්ඩුවේ පක්ෂ සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුද ඊට සහභාගි වූහ. සාකච්ඡාව ආරම්භ කරමින් කතා කළේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයාය. ඔහු කීවේ තරුණ මන්ත්‍රීවරුන්ට අගමැතිවරයා හමුවීමට අවස්ථාව දීම ගැන අගමැතිවරයාට ස්තූතිය පළකරන බවය. සාකච්ඡාවට එක්වූ මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා ද ඉදිරිපෙළ අසුන්ගෙන සිටියේය. ඔහු ද පළමුවරට පාර්ලිමේන්තුවට පත්වූ අයෙකි. ප්‍රමිත තරුණ මන්ත්‍රීවරුන් ගැන කියද්දී අගමැතිවරයා හිනාවෙමින් රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා පෙන්වා ඇසුවේ මේ වගේ තරුණ අය ද කියාය.
විමල් වීරවංශ ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන්ද මේ හමුවේදී දීර්ඝලෙස කතා බහට ලක්විය. ආණ්ඩුවට පහර දෙන්නෙ ආණ්ඩුවේම සමහර අය. ඒක ආණ්ඩුවට හොඳ නැහැ. මෙහෙම ඉදිරියට යන්න බැහැ. විමල් වීරවංශ ඇමැතිවරයා ඊයෙ සම්මන්ත්‍රණයකදී කරපු ප්‍රකාශයත් බරපතළයි’ යැයි ප්‍රමිත කීවේය. ජගත් කුමාර මන්ත්‍රීවරයාද ඒ ගැන දිගින් දිගටම කීවේ විමල් කර ඇති ප්‍රකාශ ගැනද සඳහන් කරමිනි. ‘පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ඉස්ලාම් අන්තවාදීන් ආණ්ඩුවේම පිරිසක් ආරක්ෂා කරනවා කියල විමල් කියපු ප්‍රකාශය බරපතළයි. ඒකෙ හානිය හදන්න බැහැ. මේ සඳහා පියවරක් ගන්න යැයි ජගත් කුමාර කීවේය. අනතුරුව මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා විමල් වීරවංශ ඇමැතිවරයා කොළඹ සම්මන්ත්‍රණයකදී පාස්කු කොමිසමේ වාර්තාව ගැන කරපු ප්‍රකාශය සිය ජංගම දුරකථනයෙන් අගමැතිවරයා ඇතුළු පිරිසට ඇසීමට සැලැස්විය. අගමැතිවරයා විමසා සිටියේ කොහෙදිද ඔය ප්‍රකාශය කරල තියෙන්නේ යනුවෙනි. තුම්මුල්ල බුද්ධ ජයන්ති මන්දිරයෙ තිබුණ සම්මන්ත්‍රණයකදි තමයි කරල තියෙන්නෙ යැයි මන්ත්‍රීවරු කියා සිටියහ. විදුර විතානගේ, සංජීව එදිරිමාන්න, සම්පත් අතුකෝරළ, සාගර කාරියවසම් ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම ඒ ගැන කියන්නට වූහ. ඔවුන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් වීරවංශ ඇමැතිවරයාට එරෙහිව පියවරක් ගන්නා ලෙසය.


මන්ත්‍රීවරුන්ට ඒ ඒ ආසනවල තිබෙන ගැටලු හා සංවර්ධන කටයුතු ගැනද මේ හමුවේදී සාකච්ඡාවට ලක්විය.


ජනපති පසුපෙළ හමුවෙයි


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ තනතුරු නොමැති මන්ත්‍රීවරුන් කණ්ඩායම් වශයෙන් පසුගිය කාලයේ හමුවිය. ගිය බ්‍රහස්පතින්දා දහවල් එහි තුන්වැනි කණ්ඩායම ජනාධිපති කාර්යාලයේදී හමුවූ අතර ඊට තනතුරු නොමැති මන්ත්‍රිවරු 18 දෙනෙක් පමණ සහභාගි වූහ. පත්කළ මන්ත්‍රී ජයන්ත වීරසිංහ, රෝහණ දිසානායක, ෂාන් විජයලාල් ද සිල්වා, ජගත් කුමාර, ගීතා කුමාරසිංහ ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඒ අතර වූහ. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දුන් මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරුන්ද ඊට සහභාගිවී සිටීම විශේෂත්වයක් විය. ජනාධිපතිවරයා පැය හතර හමාරක් පමණ මන්ත්‍රීවරුන් සමග රැඳී සිටියේ ඔවුන්ගේ අදහස්වලට සවන් දෙමිනි. සියලුම මන්ත්‍රීවරුන්ට සිය අදහස් ඉදිරිපත් කරන්නට අවස්ථාව දුන් අතර සීමා කිරීමක්ද නොවීය.


සාගර කාරියවසම් කතාව පටන් ගත්තේ විමල් වීරවිංශ ඇමැතිවරයා කර ඇති ප්‍රකාශවලින් ආණ්ඩුවට හානිවන බව කියමිනි. ‘ආණ්ඩුවේ ඉඳන් ආණ්ඩුව විවේචනය කරන අය ඉන්නවා. මේකෙන් ආණ්ඩුවට වන හානිය සුළුපටු නැහැ. විමල් වීරවංශ ඇමැතිවරයා කොළඹ තිබුණු සම්මන්ත්‍රණයකදී පාස්කු වාර්තාව ගැන කරපු ප්‍රකාශයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල කරලා. අපේ අය පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳ විවාදයේදී යහපාලන ආණ්ඩුව කුඩු කරන්න සූදානම් වෙලා හිටියෙ. විවාදයට කලින් දවසේ විමල් මෙහෙම ප්‍රකාශ කළාම ඒකෙනුත් හානිය වුණේ ආණ්ඩුවට’ යැයි සාගර කාරියවසම් කීවේය. පත්කළ මන්ත්‍රී ජයන්ත වීරසිංහ කීවේ පාස්කු කොමිසමේ විවාදය ආණ්ඩුව පැත්තෙන් පටන් ගත්තෙ මම. හැබැයි මාධ්‍යවලින් කිසිම ප්‍රචාරයක් ලැබුණේ නැහැ. අඩුම තරමින් ආණ්ඩුවේ මාධ්‍යවලින්වත් ප්‍රචාරයක් ලැබුණේ නැහැ යනුවෙනි. ඔහු කීවේ ආණ්ඩුව කරන හොඳ වැඩවත් මාධ්‍යවලින් හරියට ජනතාව අතරට නොයන බවය.


ඒ අතර ජනාධිපතිවරයා කීවේ සෞඛ්‍ය හා අධ්‍යාපනය යන විෂය පථයන් පළාත් සභාවලින් ඉවත් කර මධ්‍යම රජයට ගත යුතු බවට වන මතයක්ද තිබෙන බවය. ගෙවිඳු විමසා සිටියේ පළාත් සභා ඡන්දය ජුනි මස තියන්නට ආණ්ඩුව සූදානම් වන බවට සතිඅන්ත පුවත්පතක පළවී තිබුණා යනුවෙනි. ඡන්දය තියන එක ගැන කතා කළා. හැබැයි දිනවකවානු කතා කළේ නෑ’ යැයි ජනාධිපතිවරයා උත්තර දුන්නේය. 


ෂාන් විජයලාල් ද සිල්වා මන්ත්‍රීවරයාද පළාත් සභා ගැන අදහස් දක්වන්නට විය. ඔහු දීර්ඝ කාලයක් දකුණේ මහ ඇමැති ලෙස කටයුතු කර පසුව නැගෙනහිර ආණ්ඩුකාර ලෙසද කටයුතු කළේය. ‘මමත් කැමති පළාත් සභා ගැන මගේ අදහස කියන්න. මම දන්නෙ නැහැ ජනාධිපතිතුමාත් ආණ්ඩුවත් පළාත් සභා සම්බන්ධයෙන් දරන මතය. නමුත් මම අවුරුදු 28ක් මන්ත්‍රීකමේ ඉඳලා මහ ඇමැති සහ ආණ්ඩුකාර දක්වා තනතුරු දැරුවා. අඩුපාඩු තියෙන නමුත් පළාත් සභාවලින් යම් සේවයක් සිදුවුණා. මේක අවුරුදු 30 ගානක් පැරණි ක්‍රමයක්. මෙහි සාධනිය දේ අරගෙන අඩුපාඩු නිවැරදි කර ගන්න අවශ්‍යයි ෂාන් කීවේය.


ඒ සමගම ඔහු සිය ආසනයේ ගැටලු ද ඉදිරිපත් කළේය. අම්බලන්ගොඩ විකල්ප මාර්ගය සහ පොදු වෙ​ෙළඳපොළ ඉදිකිරීමේ අවශ්‍යතාව ගැන ෂාන් සඳහන් කළේය. ජනාධිපතිවරයා මහාමාර්ග ලේකම්වරයාට හා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට එවලේම උපදෙස් දුන්නේ එය නගර සංවර්ධන සැලැස්මට ඇතුළත් කරන ලෙසය.


මේ අතර ගීතා කුමාරසිංහ සීනි බදු ප්‍රශ්නය මතු කළාය. ජනාධිපතිවරයා කීවේ සීනි බදු අඩු කළේ ජනතාවට සහන සැලසීමට වුවත් අඩු කරපු ප්‍රමාණය ජනතාවට ලැබී නැති බවය. ජගත් කුමාර මන්ත්‍රීවරයා කඩුවෙල හා බත්තරමුල්ල ප්‍රදේශයේ අඩුපාඩු ගැන කීවේය. ඔහු කීවේ කඩුවෙල විශාල ජනගහනයක් සිටින නමුත් නගරය සංවර්ධනය වී නැති බවය. ජනාධිපතිවරයාද එය පිළිගත්තේය. බත්තරමුල්ල හා කඩුවෙල සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරියත් සමග සාකච්ඡා කර සිදු කරන බව ජනාධිපතිවරයා කීවේය.


මේ අතර ජනාධිපතිවරයා කීවේ මම ඊළඟ පාර ඉල්ලන්නෙ නැහැ කියලා කවුද කිව්වලු. මම ඊළඟ පාර ඉල්ලනවද කියලා තීන්දු කරන්නෙ ජනතාවයි. පක්ෂයයි යනුවෙනි. මේ අතර මුස්ලිම් මන්ත්‍රීවරයකු නැගී සිටිමින් ජනාධිපතිවරයාට ස්තුතිය පළ කළේ කොවිඩ් මෘත දේහ භූමදානයට අවසර දීම සම්බන්ධයෙනි. මට ඒකට ස්තුති කරන්න එපා. ඒකට අවසර දුන්නේ සෞඛ්‍ය අංශ ජනාධිපතිවරයා කීවේය.


ගුවන් තොටුපොළේ පැයක් රස්තියාදු වූ නාමල්


ඩුබායිහි පැවැත්වෙන එක්ස්පෝ ප්‍රදර්ශනයට සහභාගි වීමට ඩුබායි බලා යාම සඳහා ගියසතියේ කටුනායක ගුවන් තොටුපොළට ගිය නාමල් රාජපක්ෂ ඇමැතිවරයාට සිදුවූයේ අකරතැබ්බයකට මුහුණ දෙන්නටය. නාමල් සමග ඩී.වී. චානක රාජ්‍ය ඇමැතිවරයාද සිටියේය. ගුවන් තාටුපොළේදී නාමල්ගේ විදේශ ගමන් බලපත්‍රය පරීක්ෂා කළ ආගමන විගමන නිලධාරීන් කියා සිටියේ නාමල්ට රට යාමට අවසර නැති බවය. ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දුන්නේ අධිකරණයෙන් පනවා ඇති තහනමකි. විදේශ ගමන් තහනම ගිය සතියේ අධිකරණයෙන් ඉවත් කළ බව නාමල් කීවත් නිලධාරීන් එය පිළිගත්තේ නැත. සිදුව තිබුණේ තහනම ඉවත් කිරීමේ නියෝගය ලියාපදිංචි තැපෑලෙන් ගුවන් තොටුපොළට එවා තිබුණත් එය ඒ වනතුරුත් නොලැබීමය.
සිද්ධිය ආරංචි වී ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාද වහාම නාමල්ට කතා කළේය. නාමල් කීවේ විදේශ ගමන් තහනම ඉවත් කිරීමේ නියෝගය ගුවන් තොටුපොළට ලැබී නැති බවය. ප්‍රසන්න අදාළ බලධාරීන්ට කතා කර නියෝගයේ පිටපතක් ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන්ට කඩිනමින් එවන්නට කටයුතු යෙදීය. පැයක ප්‍රමාදයකින් පසුව නාමල්ට ඩුබායි බලා යන්නට අවසර ලැබිණි.


පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ගැන සජිත් කී කතාව විකෘති වෙලා


විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පසුගිය සතියේ පාර්ලිමේන්තු සැසිවාරයන්ට සහභාගී වූ අතර විපක්ෂනායක කාර්යාලයට පැමිණි මන්ත‍්‍රීවරු රටේ දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කරන්නට වූහ.
‘‘සර් පාස්කු ප‍්‍රහාරයේ වගකීම ඔබතුමා ගන්නවා කියලා කතාවක් සමහර මාධ්‍යවල ගියානේ’’ මන්ත‍්‍රීවරු ඇසුවේ පසුගිය දිනවල මාධ්‍යවල පළවී තිබූ වාර්තාවක් ගැන අවධානය යොමු කරමින්ය.


‘‘විනාඩි විස්සක් විතර ලොකු කතාවක පොඩි කෑලි ටිකක් අරගෙන කට් ඇන්ඩ් පේස්ට් කළාම ඒක විකෘතියක්. පාස්කු ප‍්‍රහාරයේ වගකීම ගන්නවා කියලා කිව්වේ නෑ. පාස්කු ප‍්‍රහාරය එල්ල කරන විට ආණ්ඩුව තිබුණේ අපිට. මේ වගකීමෙන් ආණ්ඩුව පලා යන්න බැහැ. ඒ වගකීමේ කොටස සමස්තයක් ලෙස අපි හැමෝම භාරගන්න ඕනැ. හැබැයි පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරු ඒ ආණ්ඩුවේ හිටියා කියලා ඒකෙන් කියන්න බෑ. මේ ප‍්‍රහාරය පිටුපස සිටින මහ මොළකරු හොයාගැනීම වෙනුවෙන් අරගල කරන්න ඕන. මේක තමයි මම කිව්වේ. මම කියපු කතාව අනික් පැත්ත හරවලා තියෙන්නේ.’’සජිත් කීය.


‘‘ස ෆේල් කියලා රටේ හැමෝම කියන්න ගත්ත නිසා ආණ්ඩුවට වැලේ වැල් නැතිව ඉන්නේ. දැන් ගම්වලට ගිහින් මම ෆේල් නෑ කියලා කියන්න වෙලා තියෙනවා. මේ නිසා තමයි මෙහෙම මඩ ගහන්නේ’’ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා කීවේය.


කාන්තා දින සැමරුම


සමගි වනිතා බලවේගයේ කාන්තා දින සැමරුම් උත්සවය පැවැත්වුණේ “ආර්ථව දරිද්‍රතාවයෙන් මිදෙමු”‍ යන තේමාවෙන් තලවතුගොඩ ග‍්‍රෑන්ඩ් මොනෑෂ් හෝටලයේදීය. රටපුරා සමගි කාන්තා බලවේගයට සම්බන්ධ කාන්තාවන් මෙයට සම්බන්ධවීමට විමසා තිබුණත් සෞඛ්‍යමය වාතාවරණය නිසා වැඩි පිරිසක් කැඳවීමට ඔවුන් කටයුතු කළේ නැත.

 


කාන්තා දිනයට පෙර සමස්ත ලංකා මට්ටමින් පැවති චිත‍්‍ර තරගාවලියෙන් ජයගත් අයද එදින අගය කෙරිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිතවරිය වන හනා ද ඊට එක්ව සිටියාය. පරිසර හිතකාමී මල් පෝච්චිය බැගින් සියලු දෙනාටම ලබාදී තිබුණේය.


මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කතා කරන්නට පෙර වේදිකාවේ තූර්ය වාදන කණ්ඩායම අලංකාර බෙර සංධ්වනියක් ඉදිරිපත් කළහ.


“ඒ බෙර වාදනය ලස්සනයි. හැබැයි ඉතින් එහෙම බෙර හඬවල් ගෙදරදී අපි නිතර අහනවා”‍
මහලේකම් ගේ විහිළුව මුලු‍ සභාවේම මුවගට සිනහා ගෙනාවේය. සජිත් සභාව ඇමතුවේ ඊට පසුවය.
‘‘ඉදිරි මැතිවරණවලදී කාන්තා නියෝජනය ඉහළ දාලා සියයට විසි පහක කාන්තා නියෝජනය සමගි බලවේගයෙන් ලබාදෙනවා’’ සජිත් සහතිකයක් දුන්නේ සභාවේ විසල් අත්පොලසන් හඬ මැදය.
එම උත්සවයෙන් පසුව රාත‍්‍රියේදී තවත් උත්සවයක් පැවැත්වුණේය. සිවිල් සංවිධාන විසින් මෙය සංවිධානය කර තිබුණි.


‘‘කාන්තාවන්ගේ සනීපාරක්ෂාව ගැන මම පෙනී ඉන්නවා. එහෙම පෙනී සිටියදී කවුරුහරි පෑඩ් වුමන් කියලා කිව්වොත් සුසන්තිකාගේ ඔලිම්පික් රිදී පදක්කමට වඩා සතුටින් කරේ දාගන්නවා’’ එතැනදී වෛද්‍යවරියක් සිය දේශනයේදී පවසන විට සියල්ලෝම බැලූවේ සජිත් දෙසය.


‘‘ඔබතුමා ඡන්දයේදි මේ යෝජනාව ගෙනාවම ඔබතුමාට කොතරම් අපවාද කන්දක් ගොඩ ගැහුවාද’’ එතැන සිටි ඉරාන් වික්‍රමරත්න මන්ත‍්‍රීවරයා අතීතය සිහිපත් කළේය.


‘‘කොතරම් අපහාස කළත් ප‍්‍රශ්නයක් නෑ. ජනතා සේවයට ආවාම ඒවා ස්වභාවික දේවල්. හැබැයි මම මේ හැම දෙයක්ම කියන්නේ ඇත්තටම මිනිස්සුන්ගේ අපේක්ෂාවන් දිනවන්න කියලා මගේ හෘදය සාක්ෂිය දන්නවා. ඒ නිසා මම ඒ අපහාස සැලකිල්ලට ගන්නේ නෑ’’ සජිත් කීය.


අශෝක වෙනුවෙන් සජිත්


විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස සිකුරාදා උදෑසන 7 වන විට විපක්ෂනායක කාර්යාලයට පැමිණියේ ය. ඔහු එන විට විපක්ෂනායක කාර්යාලයේ සේවකයින් පැමිණ සිටියේද නැත. උදේ පාන්දර ඔහු පැමිණියේ අශෝක අබේසිංහ මන්ත‍්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ නිසාය. ටික වේලාවකින් අශෝක අබේසිංහ පැමිණි අතර තවත් ටික වේලාවකින් සරත් ෆොන්සේකා සහ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරද පැමිණියහ.


‘‘අශෝක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අරගෙන යන්නේ දේශපාලන වශයෙන් පලිගන්නයි’’ රංජිත් මද්දුමබණ්ඩාර කීය.


‘‘අශෝක තනියම යවන්නේ නෑ. අපි අශෝක එක්ක ඉන්නවා’’ සජිත් කීවේ තමන් නායකයා ලෙස මන්ත‍්‍රීවරුන්ගේ වගකීම් ගන්නා බව කියමිනි.


විපක්ෂනායක කාර්යාලයේ සිට ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට යෑමට පිටත්වූහ. ඉදිරියෙන්ම ගිය වාහනයේ ගියේ සරත් ෆොන්සේකාය. රංජිත් මද්දුමබණ්ඩාර තවත් වාහනයකට ගොඩවූ අතර අශෝක අබේසිංහ තමන්ගේ වාහනයට ගොඩවීමට සූදානම් විය.


‘‘අශෝක මගේ වාහනේම යමු’’ සජිත් තමන්ගේ වාහනයට අශෝක අබේසිංහ නංවා ගත්තේය.
‘‘විපක්ෂය දඩයම් කරන්න ආණ්ඩුව හදන්නේ ආණ්ඩුව අසාර්ථක නිසයි. රට පුරාම වෙන අපරාධ ගැන හොයන්නේ නැතිව අණ්ඩුව විපක්ෂය දඩයම් කරනවා. මම මගේ මන්ත‍්‍රීවරුන් රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටිනවා. කිසිම අයෙක්ට හානියක් වෙන්න දෙන්නේ නෑ’’ සජිත් කීවේ එතැනට පැමිණි මාධ්‍ය හා මන්ත‍්‍රීවරුන් ඉදිරියේමය.


ඉන් පසුව අපවත්වී වදාල පන්නල ඥානාලෝක හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ගියේය. උන් වහන්සේගේ ආදාහනය වෙනුවෙන් පිරිකර තුන්සියයක් ලබාදුන්නේය.


එතැන සිට ඔහු විපක්ෂනායක කාර්යාලයට පැමිණියේ තවත් හිතවතුන් පිරිසක් හමුවීමටය.


මේ අතර බිම්ස්ටෙක් සමුලු‍වකට මියන්මාරයේ මිලිටරි ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමතිට ආරාධනා කිරීම පිළිබඳව මෙරට විදේශ කටයුතු ඇමති දෙනේෂ් ගුණවර්ධනට බොහෝ විවේචන එල්ල විය.
“මේක බරපතළ වරදක්. ඒ වගේම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඉතාම ලාබාල තත්ත්වයක්”‍ කී සජිත් මේ තත්ත්වයට එරෙහිව විශේෂ ප්‍රකාශයක් ද සිදු කළේය.


අනතුරුව සජිත් විශේෂ කටයුත්තක් සඳහා පිටත්ව ගියේය. ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමාධිපති කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැදැක උන් වහන්සේගේ සුවදුක් විචාරීමටය.


ඩී.එස්. ගැන රුවන්ට ගොවියෙක් කී රහස


‘දිවංගත ඩී.එස්. සේනානායක මහත්තයාගේ පෞරුෂයත් කටහඬත් රුවන් විජයවර්ධන මහත්තයට පිහිටල තියෙනවා. ඩී.එස්. සේනානායක මහත්තය වගේ උඩ පොයින්ට් එකත් තිබුණා නම් බඩුම තමා’ යැයි මාතලේ සණස හෝටලයේ පැවැති එජාප බල මණ්ඩල රැස්වීමේදී ගොවි මහත්මයකු කළ මෙම ප්‍රකාශය රැස්ව සිටි සියලු දෙනාටම මහත් විනෝදජනක විය.


එයට පිළිතුරු දෙමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ඕනැ නම් පොයින්ට් එක තියල හදල ගමු යනුවෙනි.


මාතලේ දිස්ත්‍රික් එජාප සංවිධායක ප්‍රියාන් විජයරත්න මහතා මෙම බල මණ්ඩල රැස්වීම සංවිධානය කර තිබුණි. දඹුල්ල, ලග්ගල, ගලේවෙල ඇතුළුව ප්‍රදේශ ගණනාවක බල මණ්ඩල නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.


මෙම බල මණ්ඩල රැස්වීමෙන් පසු රුවන් විජයවර්ධන මහතා සියම් මහ නිකායේ රංගිරි දඹුලු රජමහා විහාරයේ මහානායක ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදුටුවේය. ජාතියේ පියාගෙන් හැදුණු පක්ෂය මී මුණුබුරා අතට පත්වීම බලවත් සතුටක් බව උන්වහන්සේ එහිදී ප්‍රකාශ කර සිටියහ. උන්වහන්සේ විසින් රචිත ‘අතීතාවර්ජනා’ කෘතිය රුවන් විජයවර්ධන මහතාට පිළිගැන්වීමද සිදුවිය.


ඉන්පසු මාතලේ අනුරුද්ධ අරණ විහාරයේදී සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මාතලේ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක මහලකොටුවේ විමලධර්ම හිමියන් හා ලෝක තරුණ බෞද්ධ සංගමයේ ලේඛකාධිකාරී මුගුණුවල අනුරුද්ධ හිමියන් බැහැදුටුවේය.


එහිදී අනුරුද්ධ හිමියන් ප්‍රකාශ කර සිටියේ ඩී.එස්. සේනානායක මහතාගේ පෞරුෂය හා කටහඬත් ඩඩ්ලි සේනානායක මහතාගේ මහත්මා ගති ගුණේ ඇතිව පිරිසුදු පරපුරකින් පැවත එන රුවන් විජයවර්ධන මහතා කිසිම චෝදනාවක් ලබා නැති පිරිසුදු දේශපාලනඥයෙක් බවයි. රටට අවශ්‍ය එවැන්නෙක් බවද උන්වහන්සේ කීහ. 


ලෝක කාන්තා දිනය වෙනුවෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති වැඩසටහන් රාශියකටද රුවන් විජයවර්ධන මහතා සහභාගි විය. ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ල බැගින් පරිත්‍යාග කිරීම හා මහන මැෂින් ප්‍රදානය කිරීමද ඔහු අතින් සිදුවිය.


විමලා අමරදේව මහත්මිය අසාධ්‍යව රෝහල්ගතව සිටින බව අගමැති දේශපාලන කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉකුත් 7 වැනිද‌ා දැනුම් දුන්නේය. ඒ වන විටත් විමලා අමරදේව මහත්මිය සිටියේ ජීවිතයේ අවසාන මොහොත ගත කරමිනි.


අගමැතිවරයා අමරදේව පුත් රංජන අමරදේවට දුරකතන ඇමතුමක් දෙමින් තොරතුරු විමසුවේය. ‘පුතා මේ වේලාවෙ අපෙන් මොනවද කෙරෙන්න තියෙන්නේ? ප්‍රතිකාරවල අඩුවක් එහෙම තියෙනවද?’ යැයි රංජනගෙන් ඇසුවේය.


‘ඔබතුමාට ගොඩක් ස්තූතියි. ප්‍රතිකාර හොඳින් කෙරෙනවා. අම්මගේ තත්ත්වය නම් ඒ තරම් හොඳ නෑ. අපේ තාත්තත් ඔබතුමා කෙරෙහි තිබුණේ ලොකු ආදරයක් ගෞරවයක්.’ රංගන කීවේ අතීතය ද සිහිපත් කරමිනි.
වෛද්‍ය කාර්ය මණ්ඩලය දැඩි උත්සාහයක් ගත්ත ද විමලා අමරදේව මහත්මිය 8 වැනිද‌ා ජීවිතයෙන් සමුගත්තාය. දේහය ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබිණි. සිද්ධිය දැනගත් බොහෝ පිරිසක් ඇයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියහ.


මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ද රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා ද ඒ අතර වූහ. රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් අගමැති දේශපාලන කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ, ගායන ශිල්පී ජානක වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහද කතාබහක යෙදුණි.


‘කොහොමද ඔබතුමාගේ දේශපාලන වැඩ.’ රාජ්‍ය අමාත්‍ය ගම්ලත් විමසද්දී ‘අපි ඉතින් බලාගෙන ඉන්නව ඔබතුමාලගෙ වැඩ ගැන.’ රනිල් වික්‍රමසිංහ මහතා කීවේය. ‘ඔබතුමා පාර්ලිමේන්තුවට ගියා නම් හොඳ නැද්ද? පක්ෂයේ මන්ත්‍රී පුරප්පාඩුවට තාම කවුරුත් පත්වෙලා නෑ.’ කුමාරසිරි හෙට්ටිගේ ඇසුවේ කොරෝනා නිසා රට හමුවේ ඇති අභියෝග ගැන ද සිහිපත් කරමිනි. ‘මං දැන් නිදහසේ ඉන්නේ. ඒකත් නැතිකර ගන්න කියල ද ඔයා කියන්නේ? රට අමාරු තැනක තියෙන්නේ. ඒක කවුරුත් දන්නවනේ. ඒ නිසා ජාතික වැඩපිළිවෙළක් ගැන හිතන්න ඕන.’ රනිල් වික්‍රමසිංහ මහතා කියද්දී ‘මේ අර්බුදය ලෝකයටම බලපාලනේ. කවුරුත් එකතු වෙලා රට ගැන හිතලා යමක් නොකළොත් ලොකු ප්‍රශ්නයක් තමයි.’ හෙට්ටිගේ කීවේය.

 

- ගජබා -